මගේ ගමන් බිමන් හතලිස් හයවෙනි කොටස - ගොවිඳුහෙල

සියඹලාන්ඩුව අම්පාර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තියෙන කන්දක් තමා මේ ගොවිඳුහෙල කියන්නේ. මේකට කියන නම් විවිධයි. ගෝවින්ද හෙල, ගොවිඳුහෙල, වෙස්මිනිස්ටර් ඇබේ හා පුංචි සීගිරිය කියන නම් වලිනුත් මේ කන්ද හැඳින්වෙනවා. හැමදාමත් අම්පාරේ යන එන ගමන් දැක්ක මේ කන්ද නගින්න සෑහේන කාලයක් බලන් හිටියා. අන්තිමේ යාළුවෝ කීප දෙනෙක් එක්ක කන්ද තරණය කලා. කැලේ මැදින් වැටුනු දුශ්කර ගමනක් වුනත් අවසානය මතක් කරගෙන වෙහෙස අමතක කරලා මේ ගමන ගියේ. බුවනෙකබාහු විහාරය කියන නාම පුවරුව සහ ඌව පරිසර අමාත්‍යංශයෙන් දාපු ගොවිඳුහෙල ඓතිහාසික ස්ථානය කියනනාම පුවරුව ගාවින් හැරිල කිලෝමීටරයක් විතර ගියාම කන්ද පාමුලට එන්න පුළුවන්. එතැනින් කැලෑව මැදින් වැටුනු අඩිපාරවල් දිගේ කන්ද තරණය කරන එක තමයි තියෙන්නේ.
මේ ගොවිඳුහෙල ඉතිහාසය හා බැඳෙන්නේ මෙන්න මෙහෙම. පොලොන්නරු යුගයේ අවසානය එක්ක කාලිංග මාඝ ආක්‍රමණ ඇතිවීම නිසා ලංකාව පාලන කොටස් හතරකට කැඩෙනවා. ඒ මිනිපේ සංඛ සෙනෙවියාගේ රාජධානිය, දඹදෙණියේ විජයබාහු රාජධානිය, යාපහුවේ සුභ සෙනෙවියාගේ රාජධානිය හා ගොවිඳුහෙල බුවනෙකබාහු ආදිපාද වරයාගේ රාජධානිය විදිහට. මේ ස්ථාන සියල්ලේම කාලිංග මාඝයන්ට විරුද්ධව සටන් සේනා සංවිධානය හා මෙහෙයවීම කරල තියෙනවා. පස්සේ මාඝ හා සටනේදී බුවනෙකබාහු
ආදිපාදවරයා ප්‍රභල සටනක් දීල තියෙනවාග ඒකට හේතුව සටන සඳහා වැඩි බලයක් තිබිල තියෙන්නේ ඔහුට වීම. මාඝයන් ප්‍රභල ලෙස අඩපණ කිරීමෙන් පස්සේ බුවනෙකබාහු ආදිපාදවරයා සටන් බිමේදීම මිය ගිහින්. පස්සේ දඹදෙණියේ පාලක විජයබාහු මාඝට එරෙහිව ආක්‍රමණය කරල බලය අත්කරගෙන තියෙනවා.
කන්දට යන මාර්ගයේ තියෙන ගල්වැටි හා මාර්ගයේ ස්වභාවයෙන් අපට පෙර රජදවස තිබුණු මාර්ගය මවා ගන්න පුළුවන්. තවද ගල්වල කෙටු පිය ගැටපෙල තැන් තැන් වල දකින්න පුළුවන්. කන්ද නගින විට තියන පියවර වලට අනුකූල වෙන විදිහට තමා මේ පියගැට සකස් කරලා තියෙන්නේ. තවත් තැනෙක ගලෙකින් සෑරූ කාණුවක් වැන්නකුත් දකින්න පුළුවන්. එය එකල ගිමන් හලක් හෝ නැරඹුම් කුටියක් කියල විශ්වාස කරන්නත් පුළුවන්. එතැනම දකින්න තියෙන සිදුරු වලින් එතැන තිබූ අත්වැටක් ගැනත් අපට හිතන්න පුළුවන්. දැනට නම් සමහර තැන් වල යකඩින් කල ඉනිමං සකස් කරල තියෙනවා වාගේම ඒ කාලයේදීත් සමහර තැන් වල ඉනිමං තියෙන්නට ඇති කියන්නත් සාධක සොයාගන්න පුළුවන්. පෙර තිබූ මල් ආසනයක්, මුරගලක නටඹුන්, ගලින් නෙලූ පුන්කලසක් හා සඳකඩ පහණක් මෙහිම දකින්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ මෙය නරඹන්නට ආ පුද්ගලයින් විසින් මුරගල් කොටස් ලිප් බඳින්නට භාවිත කල බවට සලකුණු තියෙනවා. පස්සේ මෙතැන බුදුමැදුරක් ඉදිකරවලා තියෙනවා. පොලොන්නරු යුගයේ අවසානය විදහා දක්වන සඳකඩ පහණ ගව රූපය ඉවත් කර හංස පෙල, අශ්ව පෙල, ඇත් පෙල, ලිය වැල් හා නෙළුම් මල් අන්තර්ගත කරලයි හදලා තියෙන්නේ. කලින් තිබුණු ස්ථානයෙන් වෙනත් තැනකයි දැන් මේ සඳකඩ පහණ තියෙන්නේ.
පර්වත මුදුනේ අපට දකින්න තියෙන තවත් වි‍‍ශේෂ දෙයක් තමා පොකුණ. වැසි ජලය එක්රැස්වෙන විදිහට හදපු පොකුණ අඩි 5ක් විතර ගැඹුරුයි. ජනප්‍රවාදය අනුව නම් නියං කාලයේදී පවා නොසිඳෙන පොකුණක් විදිහට තමා මේක හැඳින්වෙන්නේ. පොකුණ වටා විශාල ගල් පවුරකුත් එය කුඩා ගල් උපයෝගී කර සෑදු බදාමයකිනුත් පුරවලයි තියෙන්නේ. පර්වත මුදුනේ ඇවිදින කොට එකල රජ දරුවන් විසූ මණ්ඩප ආසන තිබූ තැන්හි නටඹුන් දකින්න පුළුවන්.ඒ වාගේම ඔලිඳ පෙත් දෙකක් තවත් පොකුණු දකින්න පුළුවන්. මෙහි ඇති ඇත් පොකුණ නමින් ජනප්‍රවාදයේ එන පොකුණද විශේෂ තැනක්. ඇතුන් නෑවීම සඳහා භාවිත කරන ලද්දක් ලෙස ප්‍රකට වුනත් එයට ඇතුන් ගෙනාවේ කෙසේද යන්න නම් වැශාල ගැටළුවක්. මෙය මෙම පර්වත මුදුනේ ඇති විශාලම පොකුණයි. ගල් බදාම හා විශාල ගල් කුට්ටි එක්කර තැනු බැම්ම හා ජලයේ ඇති පැහැය විශේෂයක් විදිහට පෙනුනා.

එකල තිබූ චෛත්‍යයක නටඹුන් විදිහට අද දකින්න තියෙන්නේ නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වෙලා විනාශ වුනු වලක් විතරයි. ඒත් නටමුන් ප්‍රදේශය අනුව නම් වර්ග අඩි 25ක පමණ චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඇත් පොකුණ පිටුපස ප්‍රදේශය මාලිගා දොරටුව කියල හිතන්න පුළුවන් නටඹුන් දකින්න තියෙනවා. මාලිගය තිබූ තැන පිටුපසට වන්නට කරවූ සෙල්ලිපි දෙකක් දකින්න පුළුවන්. එකක් අක්‍ෂර 14කිනුත් අනෙක අක්‍ෂර21කින් යුක්තයි. තවත් තැනෙ පොකුණක් කරවීමට ගත් උත්සාහයක් පමණක් දකින්න පුළුවන්. දැන් නම් ඒ ප්‍රදේශය ඊතන පඳුරු වලින් වැහිලා ගිහින්. මීට අමතරව පර්වතයේ හදපු ලෙණක්ද හම්බුනා. යුද්ධයෙන් දිනා ජයගොස තැබූ තැන ලෙස ප්‍රසිද්ධ ස්ථානයක්ද තියෙනවා. එතැන ගොවිඳුහෙල පර්වතයේ උසම ස්ථානය අසලම දකින්න පුළුවන්.
අවසානයේ කියන්න ඕන අපි නම් හොඳට විනෝද වුනා එතැනදී. ඒත් මත්පැන් නැතිව විතරක් නෙවෙයි එතැන තියෙන දේවල් විනාශ නොකර. එහෙම කරන්න වග බලාගෙන එන්න රැයක් ගතකරන්නත් අපූරු තැනක් කියලයි කියන්නේ.

2 comments:

  1. බොහොම වැදගත් මෙම ස්ථාන ඔබේ බ්ලොග් අඩවියෙන් දැනගන්න ලැබීම සම්භන්දව. ඉදිරියටත් කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු හා අතට ලැබෙන මුදල් කියන කාරණා දෙකම සුබ විදිහට යෙදුනාම ලංකාවේ දුවන එක තමා කරන්න හිතන් ඉන්නේ...

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!