සිපිරි ගෙයක තතු

අපි ජිවිතයේ කවදාවත් යන්න ප්‍රාර්ථනා නොකරන තැනක් තමයි සිපිරි ගෙයක් එහෙමත් නැත්තම් හිර ගෙදරක් කියන්නේ. ඒත් මට පුංචි අවස්ථවක් ලැබුනා මේ අත්දැකීමත් විඳින්න. එතැනදී තමයි මම දැනගත්තේ එතැන ඉන්න සියල්ලන් වැරදි කල අයම නෙවෙයි කියල. දැන් ඔයාල බලනවා ඇති අත්දැකීම් ලියන සුලාට මොනවා වෙලාද කියල. ඇත්ත මටත් අවස්ථාව ලැබුනා හිරගෙදරට යන්න. කතාවේ වටපිටාව නොදැන මම එතැනට ගිය හැටි නොදැන කතාව ඇහුවොත් ඔයාල මම ගැන වැරදියට හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කතාව ආරම්භ කරන්නම් මම ඇයි එතැනට ගියේ කියන තැනින්.

මම එතැනට යන්න හේතුව පටන් ගන්නේ අප විශ්ව විද්‍යාලයයට දේශපාලනය එන්න උත්සාහ දැරීමත් එක්ක. ලංකාවේ ගැටුම් නැති ලෙස සලකන විශ්ව විද්‍යාල එකක් ලෙස සිටීමේ ආඩම්බරය අප සතුව තිබුනත් අද ඒ දේ අපෙන් නැතිවෙලා තියෙන්නේ දේශපාලනය විශ්ව විද්‍යාලයය තුලට එන්න උත්සාහ කිරීමත් එක්ක. අප මුල සිටම කිසිඳු දේශපාලනයක් අප විශ්ව විද්‍යාලය තුලට ගෙන ඒමට විරුද්ධ වුනා. පුද්ගලික දේශපාලනය විශ්ව විද්‍යාලයයෙන් පිටතට තියන්න තරම් අප කටයුතු කලා. නමුත් කීප දෙනෙකුගේ වුවමනාව නිසාවෙන් මේ විදිහට විශ්ව විද්‍යාලය තුලට දේශපාලනයේ අදිසි හස්තය යොමුවුනා. අවසානයේ සටනක තත්ත්වයට පත්වුනේ මේ ආරම්භයේ ප්‍රථිඵලයක් විදිහටම තමයි. ගැටුම ගැන මාධ්‍ය වලින් දුන් වැරදි මත නිසා මේ දේ නොලියා බැහැ නමුත් ඇත්ත මේ දේ කියල හැමෝම දන්නවා. සටන අවසානයේ කලහකාරී ලෙස හැසිරීම කියන චෝදනා මත අපි 53 (පිරිමි ලමයි 49 ගැහැණු ලමයි 4) දෙනෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කලා. ඒ ලංකාවේ එකවර වැඩිම පිරිසක් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීම විදිහට. කොහොම වුනත් අපි පුංචි කාලේ අසාවෙන් හිටි බන්ධනාගාර බස් එකේ යන ආසාව නම් ඉටුවුනා කියන්න පුළුවන්. දවස අවසානයේ අපි ලංකාවේ තියෙන පුංචිම බන්ධනාගාරයක් වුන මඩකලපුවේ රක්‍ෂිත බන්ධනාගාරයේ කාමරයකට දැම්මා.
අපි 41 දෙනෙක් සාඩින් පැක්කරන්න වගේ එකම කාමරය හිටියේ. අපිට මොන මොන විදිහේ සිතිවිලි තිබුනත් එතැනදී නම් හිරගෙදර විදිහට හැඩගැහෙන්න සිද්ධ වුනා. හැබැයි ඉතින් අනෙක් රැඳෙවියන්ගෙන් වෙන් කරපු පුංචි වෙලාවක් අපට ලබාදෙන්න තරම් එහේ හිටපු ජේලර් කාරුණික වුනා. උදේ 6ට දොර ඇරියාට පස්සේ ඇතුලේ ඉන්න ගාන ගනන් කරලා පැය භාගයයි දෙන්නේ නාන්න, මූණ සෝදන්න හා වැසිකිලි යන්න. ආයේ ගනන් කරලා ඇතුලට දානවා. ආයෙමත් දොර අරින්නේ 8.00ට උදේ කෑමට. ඊටත් පස්සේ ආයෙමත් 12ට කාලක් තියෙද්දි වහලා දවල් කෑමට දොර අරිනවා. කෑම දීලා වැහුවාම ආයෙම දොර අරින්නේ 2.00ට. හවස නාන්නත් පැය භාගයයි. අයෙමත් හවස 6 වෙද්දී වහන දොර අරින්නේ උදේ 6ට තමයි. සමහර අයට කෑමට, නාන්න, වැසිකිලි යන්න තියෙන්නේ එකම එක අයිස්ක්‍රිම් කප් එකක් විතරයි. ඒ අයගේ ජීවිත දැක්කම අපේ අය මොන තරම් සැප විඳිනවද කියල හිතෙනවා. දවල් කෑම කද්දී උඩ තට්ටුවෙන් වැලි වැටෙන එකයි දාන එකයි දෙකම සිද්ධ වෙනවා. අමාරුවෙන් තමා කෑම එක වැලි වලින් බේරගන්නේ. පිටතින් බලන්න එන අය ගේන දේවල් වලට තියෙන ඉල්ලුමත්, බීඩි වලට තියෙන ඉල්ලුමත් ගොඩක් වැඩියි.
කොහොම වුනත් හවස 6න් පස්සේ තමයි අමාරුම ටික. මොකද ආයේ දොර අරින්නේ උදේ 6ට. ඉතින් වැසිකිලි යන්නවත් ආයේ දොර අරින්නේ නම් නැහැ. චූ කරන්නවත් ඕන නම් ඇතුලේ තියෙන බාස්කට් එකකට තමා. අපි 41ක් නිසා ඒ වැඩේ ඇතුලේ ඉඳන් නම් කරන්න බැහැ. මොකද 41ක් කියන්නේ පොඩි ගඳක් නෙවිනේ. ඉතින් අමාරුවෙන් හිර කරන් වතුර බොන එකත් අඩු කරගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. නිදාගන්න පැදුරු දිලා තිබුනත් බිත්ති දිගේ පහලට එන මකුණන්ගෙන් බේරෙන්න නම් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉහලින් මකුණන් වැටෙන්නේ බඩ උඩට. රෑ මැදියමේ ඇහැරගෙන මකුණෝ මරන එකනම් අපි එපි වෙනකම් මාරුවෙන් මාරුවට කලා. රෑ කීප වරක් බන්ධනාගාර නිලධෘරීන් ඇවිත් අපි සියල්ල ඉන්නවද කියල බලල යනවා. එලිය වැටෙන්නේ කීයටද කියල ඇඟිලි ගනන් කරමින් ජනෙල් දිහා බලන් ඉන්නේ ගෙවුන පැය ගානවත් ගෙවෙන්න තියෙන පැය ගානවත් නොදන්න නිසා.
අවසානයේ එලිය වැටෙද්දී දුවන්න බලන් ඉන්නේ කෙලින්ම ටොයිලට් වලට. ඒක ඇතුලේ විවිධාකාර මිනිස්සු එකිනෙකාට උදව් කරගන්න විදිහ දැක්කාම හිතෙනවා ඇයි එලියට ඇවිත් මේ විදිහටම ඉන්න බැරි කියලා. කොහොම වුනත් කැම්පස් එකෙන් දුන්න රැග් එකේ වටිනාකමනම් හොඳින්ම තේරුනේ ඒ දවස් 4දී තමයි. කොහොම වුනත් 41 වෙනකම් දෙමලෙන් ගනින හැටි ඉගෙන ගත්තෙත් හිරේදිම තමයි. =D නිදහස් වෙන දවසේදී අපිව බලන්න ආව ගෙනාව බිස්කට් අපි පෙට්ටියකට දාලා හිරේ හිටි අය අතරේ බෙදලා දුන්නා ඒ වෙලාවේදී ඒ අයගේ හිත් වල අපි දැක්ක සතුට බොහෝම වැදගත් වුනා තවමත් මතක්වෙන ඒ සුන්දර සිනාවන් අපිට ගොඩක් දේ කිව්වා. සමහර අයට හිරේ ආවට පස්සේ බිස්කට් එකක් ලැබුනමයි. මොකද ඒ අය බලගන්න කිසිකෙනෙක්  එන්නේ නැහැ. ඒ අයට මොනතරම් දේවල් නැතිවෙලාද කියල හිතෙද්දී දැනෙද්දී තමා හිරගෙදර ඇත්තම දඬුවම තියෙන්නේ එතැන කියල තේරුනේ.
කොහොම වුනත් මේ දේ දැන්මම ලියන එක මට අවාසි වෙන්නත් ඉඩතියෙනවා. හැබැයි ඉතින් මලත් මොකෝ සක්කරයට වුනත් කියන්න තියෙන දේ කියන එකෙක් විදිහට කියල දාන එක මගේ යුතුකම. මගේ අත්දැකිම් වල මේ දේවල් ලියවුනේ නැත්තම් අත්දැකීම් පිටුවට මම කල අසාධාරණයක් වෙනවා. කොහොම වුනත් එකී මෙකි නොකී සියල්ල අතරේ සිදූවීම් අනන්තයි. ඒ ඔක්කොම ලිව්වොත් මේ ලිපිය කියවන්න බැරි තරම් දිග එකක් වෙයි. ඒ නිසා ඇති නේද මේ ටික. තවමත් අවසන් නැති නඩුවක හිටියත් ඇත්ත ඇති සැටියෙන් ලියන එක මගේ යුතුකම නිසා මෙන්න ලිව්වා එහෙනම් සිපිරිගෙයි තතු....

ආයෙ ලිපියකින් හමුවෙනකම් හැමෝටම ආයුබොවන්.....