මගේ ගමන් බිමන් හතලිස් එක්වන කොටස - දිව්රුම්පොල රජමහා විහාරය


දිව්රුම්වෙල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ වැලිමඩ නුවරඑළිය පාරේ නුගතලාව ප්‍රදේශයේ. එතැන පොඩි චෛතයයක් එක්ක ස්මාරකයක් තියෙනවා එතැනි හැරිල මීටර 50ක් විතර ගියාම තමා පන්සල දකින්න පුළුවන්. පොඩි පන්සලක් වුනත් එතැන ඓතිහාසිකව වැදගත් ස්ථානයක්.
මෙතැන වැදගත්කම කියන්න අපි රාමායණය දැනගෙන ඉන්න ඕන. රාමායනයේ එන විදිහට රාවණ සීතාදේවිය ගෙනාවට පස්සේ රඳවලා තියල යුද්ධය අවසානයේ රාම කුමාරයා ආයෙත් සීතා දේවියව ලබා ගන්නවා. ඒත් රාම කුමරුන් සීතාදේවිය අවිශ්වාස කරනවා. මේ හේතුව නිසාවෙන් සීතාදේවිය ගිණිගොඩකට පැනලා තමාගේ පතිවත කෙලසී නැහැ කියල දිව්රල කියනවා. මෙන්න මේ කියන දිව්රුම දුන්නා කියන භූමිය මෙතැන කියලා තමයි කියන්නේ.
ඒ විදිහට දිවුරුම් දුන් ස්ථානයේ පසුව දෙතිස් ඵලරුහ ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ශාඛාවක් ස්ථාපනය කරල තියෙනවා. ලස්සන වටපිටාවක තියෙන මේ පන්සල අපේ හෙළ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් විතරක් නෙවෙයි අවුරුදු 6800ක් විතර පැරණි ඉතිහාසයක් (මම ලිව්ව අපේ ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද කියන ලිපිය කියවලාබලන්න) ගැන කතාව පුරාවෘතයක් නෙවෙයි කියන්න තරම් භෞතික සාධකයක් ලබා දෙන තැනක්. ගිහින් වන්දනා කරල අපේ ඉතිහාසයේ පුංචි තැන් හොයා බලන්න.

මගේ ගමන් බිමන් හතලිස්වන කොටස - ඇඳිරි ලෙණ

ඇඳිරි ලෙණ මොකක්ද මේ කියන්නේ? මටත් මුලින් මේ ගැන කිව්වේ මූණු පොතෙන් මාත් එක්ක එකතුවෙලා පස්සේ මගේ අත්දැකීම් වල රසිකයෙක් වුන විකියා. ඒ පැල්මඬුල්ලේ එයාගේ ගෙදර ගිය වෙලාවේදී. එයාගේ තාත්තා මට විස්තරේ කිව්වේ මෙන්න මෙහෙම. අපි ගුහාව ඇතුලට ගියේ ගොඩ කාලෙකට කලින්. ඇතුළු වෙන්න තියෙන්නේ පුංචි ඉඩක්. ඒත් ඒක ඇවිදලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි ඉටිපන්දම් දෙකක දුර ගියා. ඒත් ඉවර වෙන්නේ නම් නෑ. වතැරපාරක් එනවා ඒත් යන තැනක් නම් නෑ. වොලිබෝල් පිට්ටනි දෙකක් හදන්න ඉඩ තියෙනවා ලෙණ ඇතුලේ. කාමර වලට වෙන්වෙලයි තියෙන්නේ. මේ දේවල් ඇහුව මට ආසාවක් ඇති වුනා මේ ගුහාව හොයන් යන්න. අවසානයේ දන්න අයගෙන් අහල කරල ගුහාවට යන්න තියෙන පැත්ත හොයාගෙන අපි හතරදෙනෙක් ගමනට එකතු වුනා.
පැල්මඬුල්ල බලංගොඩ පාරේ රත්නපුර ඉඳන් එද්දී ඕපනායක පහුවෙලා ටික දුරක් එද්දී කන්දේ විහාරය නාම පුවරුව දකින්න පුළුවන්. එතැනින් හැරිල පැලැන්දකන්ද ගමට යන්න ඕන. පාරේ කෙලවරටම ගියාම එතැනින් කන්දට යන පාර අහගන්න ඕන. රජතුමා රාජාභරණ පැලඳිගම නිසා මෙතැනට පැලැන්දකන්ද ගම කියනවා කියලයි කියන්නේ. පාරේ යද්දී පේන පෙට්ටි කන්ද මුදුනේ තට්ටු හතක රත්‍රන් වලින් කල රජමාලිගයක් තිබූ බටක් කටකතා පවතිනවා. ඒත් එවැන්නක් හමුබවුන බවට නම් සටහන් නැහැ. කන්දට යන්න ගමේ හිටි ප්‍රියන්ත අයියා කෙනෙක් අපිට සහය වෙන්න ඉදිරිපත් වුනේ දෙවිකෙනෙක් වගේ. නැත්තම් පාර හොයාගන්න එක නම් හීනයක්. කොහොමින් හරි අපි කන්ද නැගලා ලෙණ තියෙන තැනට ආවා.
මගේ යාළුවගේ තාත්ත කිව්ව විදිහටම ඒක පොඩි ගුහා කටක් තියෙන තැනක්. අපි ඇතුලට යන්න පොඩි ටෝච් එකකුයි මගේ Samsung S Duos දුරකථනයේ තියෙන ටෝච් එකයි තමා ගෙනත් තිබුනේ. අපි එක්ක ගිය යාළුවා කිව්වේ ඕක නම් දැනෙන්නේ වත් නැහැ කියලයි. 2001 අවුරුද්ද විතර වෙද්දී සෑහෙන දෙනෙක් මෙතැනට ඇවිත් තියෙනවා. ඒ කාලේ මෙතැනට පාර පෙන්නන්න යන්න අයත් ඉඳලා තියෙනවා. පස්සේ කවුරුත් එන එක නවත්තලා. අපි ඇතුලට බැස්සාම අපිට කලින් කිව් කතා ඔක්කෝම ඇත්ත කියලා පෙනුනා. අපේ ගෙනියපු එලි දැනෙන්නේ වත් නැති තරම් කළුවරක් තමා තිබුනේ. එක් කුටියකින් අනෙකට කොන්ද නමාගෙන යන්න වුනත් එතැනින් එහාට වහල මීටර 10කට වඩා වැඩි උසක් තියෙනවා.
සීරුවට පරීක්‍ෂා කලත් බිත්ති වල කිසිම ආකාරයේ සටහනක් නැහැ. මේක කොයි කාලයේද කියන්නවත් බැරි තරම්. එක් තැනකින් යාන්තම් කෙට්ටු කෙනෙකුට බඩගාගෙන යන තරමේ සිදුරක් තිබුනා. ඒකෙන් අපි නොගියත් අපි එක්ක ගිය කෙනා කලින් ගිහින් තිබුනා. එයා කියන්නේ එතැනින් ගියාම වෙනත් ගුහා කටකින් මතුවෙනවා කියලයි. තව තැනක පොඩි සිදුරක් තිබුනා එතැනින් රෝල් වෙන්න පුළුවන් ගලක් දැම්මාම ඒක දිගටම පෙරලෙන සද්දේ වගේම ටික වේලාවකට පස්සේ වෙන ගුහාවකට වැටෙන සද්දේ ඇහෙනවාලු. දැන් එතැන ගල් දාලම පිරිලා කියලයි කියන්නේ. කොහෝම වුනත් පොලවට තට්ටු කරද්දී තව ගුහාවක් යටින් තියෙනවා වාලේ බොල් හඬනම් ඇහෙනවා. පැයගානක් ගුහාව අස්සේ හිටි අපි එලියට එද්දී රෑ තිබිලා එකපාරට දවල් වුනා වගේ අපිට දැනෙන්න ගත්තා. ඇතුලේ කිසිම අපහසුවකින් තොරව හුස්ම ගන්න පුළුවන් කියලා තේරුණේ එතකොට.
එද්දි කැලේ භාවනා කරන තරුණ හිමි නමක් මුණ ගැහැන අපි ඒ ගැන විස්තර කතා කරන්න උත්සාහ කලත් එය ගුහාවක් ඇරෙන්න කොයි කාලයේද කියන්න කවුරුවත් දැනගෙන ඉඳලා නම් නැහැ. මේ ගුහාවේ ඉඳන් පහල තියෙන පන්සලට උමඟක් තිබුණු බවත් ඒ පන්සගේම විශාල නිධානයක් තිබුණු බවත් විස්තර දුනගන්න ලැබුණේ ගම් වැසියන්ගෙන්. නිධානය නම් දැන් වහල දාලයි කියලයි කියන්නේ. ඒකට හේතුව නිධන් හොරු පන්දල විනාශ කරල නිධාන ගන්න තැත් කිරීම. කොහොම වුනත් ආයෙත් දවසක මේ තැන හා පන්සල බලන්න එන්න හිතේ තියාන ගමන නම් නිමා කලා. ඒ තවත් ගමනකට අඩිතාලම දාගෙනම.


මගේ ගමන් බිමන් වල තිස් නමවන කොටස - මරක්කල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන පුංචි දිය ඇල්ලක් තමා මරක්කල ඇල්ල කියන්නේ. මේ දිය ඇල්ල කළුවල ඇල්ල කියන නමෙනුත් හැඳින්වෙනවා. රිංගමපොල දියපාරෙන් මැවෙන ඇල්ල හෙට්ටිකන්දෙන් ඇවිත් නාරංගොඩ හා බුලත්වත්ත කඳු අතරින් තමා වැටෙන්නේ. පැල්මඬුල්ල රත්නපුර පාරේ ගණේගම පන්සල ලඟින් හැරිල කිලෝමීටරයක් විතර ගියාම ගඟ ගාවින් පාර ඉවර වෙනවා. එතැනින් ගඟ හරහා යන්න ඕන පයින්. වතු කීපයක් ඇතුලින් වැටුන පාරක් දිගේ ගියාම මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්. හැබැයි ඉතින් වැස්ස කාලයටනම් පරෙස්සම් වෙන්න ඕන මෙතැනින් යද්දී. දිය ඇල්ල මීටර 8ක් විතර උස ඇති.
මේ ඇල්ල පහල තියෙන දියවල කළුවල නමින් හැඳින්වෙන අතර ඒ හා බැඳුනු කතා පුවතක් පවා තියෙනවා. කලකට කලින් මරක්කල නමින් හැඳින්වෙන මුස්ලිම් ජාතික තරුණයෙක් මෙතැන මාළු අල්ලන්න ඇවිත් තියෙනවා. රාත්‍රිය නිදිවරමින් බීමත්ව ගතකරපු මේ තරුණයා මාළු අල්ලන නූල ඔහුගේ කකුලේ ගැටගහගෙන තමා ඉඳලා තියෙන්නේ. දිය වලේ හිටි විශාල ආ‍ඳෙක් මේ නූලට අහුවෙලා තරුණයා ඇදගෙන වතුරට ගියා කියලයි කියන්නේ. කොහොම වුනත් ගම්වාසීන්ගේ විශ්වාසයන්ට අනුව මේ දිය වලේ තාමත් බිලිගැනීම් සිදුවෙනවා.
දියපාර වැටෙන ගල දිගේ ලිස්සලා පහලට එන්න පුළුවන් තරම් සිනිදුවට තමා මේ ගල තියෙන්නේ. කොහොම වුනත් මේ තැන විශාල වශයෙන් විනෝද වෙන්න පුළුවන් තැනක්. ඒ වාගේම දියපාර වැටෙන තැන යට ගුහාවකුත් තියෙනවා යන්තම් දෙන්නෙකුට විතර ඉන්න පුළුවන් එතැන බොහෝම විනෝදජනක තැනක්. හැබැයි ඉතින් මේ විනා්දය බොහෝම පරෙස්සමට කරන්න ඕන මොකද වතුර පාර දිගේ ගල් එන්න පුළුවන් විතරක් නොවෙයි හිටිගමන් ජලපහර දරුණු වෙන්න පුළුවන්. විනාශ නොකර බලන්න මේ තැන් අපේ රටේ සුන්දරත්වය නිසාවෙන්ම.
අපි ගිය දවසේ සෑහෙන්න වැස්ස නිසා නියමාකාරයෙන් විඳින්න වත් පින්තූරවත් ගන්න නම් බැරිවුනා. මඩ නිසා දුඹුරුපාට වෙච්චි වතුර වලින් ඇල්ල පිරෙද්දී කරගන්න දෙයක් නැතිවුනා. ඒ නිසා අන්තර්ජාලයෙන් උඩ තීන පින්තූර ඉස්සුවා. එව්වා ගත්ත අයට පින්. මම ගත්තු සියළු පින්තූර වලට මෙතැනින්.....


මගේ ගමන් බිමන් තිස් අටවන කොටස - බෝපත් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට තියෙන ලස්සන දිය ඇල්ලක්. සමනල කන්දෙන් ආරම්භ වෙන පුංචි දිය පාරවල් කීපයක් එකතුවෙලා හැදෙන කුරුගඟ මේ ඇල්ල පෝෂණය කරනවා. රත්නපුර කොලඹ පාරේ කුරුවිටින් පොලිස් ස්ථානය ලඟින් හරි දෙවිපහල ගමට යන පාරදිගේ ගියාම හරි බෝපත් ඇල්ල ලඟට යන්න පුළුවන්. කිලෝමීටර තුනක් විතර තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඇල්ල බලන්න නම් ප්‍රවේශපත් ගන්න වෙනවා. මොකද එහි පිරිසිදුව නඩත්තුව පැවරිලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවට නිසා. හොඳින් වතුර වැටෙන කාලයේදී බෝ කොලයක ආකාරයෙන් පේන නිසා තමා මේ නම ලැබිලා තියෙන්නේ.
බොහෝමයක් ඒක දේශික මසුන් සර්පයන් හා ශාක විශේෂ මේ අවටින් දකින්න පුළුවන් විතරක් නෙවෙයි බලන්න යන අය පරෙස්සම් විය යුතුයි විශඝෝර සර්පයින්ගෙන්. ගේට්ටුවෙන් ඇතුලට ගියාම විශා ඉඩකඩක් දකින්න පුළුවන් වගේම පඩිපෙල් පහලින් ගඟ දිගේ ටිකක් යන්න ඕන. එතැන මැද තියෙන දූපත හරහා හරි වටේ තියෙන උස්බිම් හරහා හරි ඇල්ල ලඟටම යන්න පුළුවන්. හැබැයි යන අය දිය ඇල්ලෙන් නාන්න නම් හිතන්නවත් එපා. අඩු තරමේ දිය ඇල්ල දිගේ එන වතුරට බහින්නවත් එපා. මොකද මේ තැන බිලිගන්නා ස්ථානයක් විදිහට බොහෝම ප්‍රසිද්ධ තැනක්. නාන්නම ඕන නම් පඩිපෙල ලඟ ගඟේ නාන්න පුළුවන්.
මේ තැන බිලිගන්නා හේතුව ගැන කතා ගෝඩාක් තියෙනවා. එකක් තමා කලකට පෙර ගැහැණු ලමයෙක් අතවරයට ලක්වීම නිසා ඇල්ලට පැනලා පස්සේ ඇයගේ ආත්මය බිලිගන්නවා කියන එක. තව එකක් තමා ඇල්ලේ යම් තැනක සැඟවිලා තියෙන වස්තු සම්භාරයක් ආරක්‍ෂා කරන්න මේ විදිහට බිලිගන්නවා කියන එක. ඒ කොහොම වුනත් මුඛ පරම්පරාවෙන් එන බිලිගන්න කතාව නම් ඇත්ත. මොකද ජීවිත ගණනාවක්ම මෙහි බිලිවෙලා තියෙනවා.











 
ගිහින් විඳින්න තරම් ලස්සන පරිසරයක් මෙහි තියෙනවා වගේම එහි තීන ගස් ගල් ලස්සනට තියන්න අරන් එන්න නම් එපා. එතැන සොණාව සෞන්දර්යය විඳින්න විනාස නොකර. පොලිතින් ප්ලාස්ටික් ගෙනිහින් විනාශ කරන්න එපා. කැමති අයට ඒ ගඟේ බොට්ටු සවාරි වලටත් අවස්ථාව තියෙනවා. එහෙනම් ආයේ ගමනක් එනකම් ආයුබෝවන්....!


මගේ ගමන් බිමන් වල තිස්හත්වන කොටස - දෙල්ගමුව රජමහා විහාරය


ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කියන ප්‍රදේශයේ. පාරේ ඉඳන් ටිකක් විතර ඇතුලට යන්න ඕන. සබරගමුවේදී නම් ඓතිහාසික අතින් දෙවනි වන්නේ ශ්‍රී පාදස්ථානයට විතරයි. මහාවංශයේ ලබුජගාම විහාරය විදිහටත් රාජාවලිය හා සුළු රාජාවලිය ග්‍රන්ථ වල සබරගමු විහාරය ලෙස හඳුන්වලා තියෙන්නේත් මේ විහාරයමයි. සීතාවක යුගයේදී මේ ගැන මුලින්ම සඳහන් කරල තියෙනවා. ඒ දළදා වහන්සේ ආරක්‍ෂාව සඳහා මෙහි සඟවා තැබීමයි. විහාරස්ථානයට ගිණිකොණින් කුරුගඟ දකින්න පුළුවන්.
1549 ඉඳන් 1592 වෙනකන් අවුරුදු 43ක් පෘතුගීසීන්ගෙන් දළදාව ආරක්‍ෂාකර දීම සිදුවීමත් දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් එය කොපුවක බහාලුම ආරම්භ වූයේත් මේ විහාරස්ථානයෙනි. විශාල කුරහන් ගලක් තුල එය සඟවා ඇත්තේ එහි ආරක්‍ෂාව හා සැඟවූ ස්ථානය පිලිබඳ සැකයක් ඇති නොවීමටයි. එකල කුරහන් ගල ධාන්‍ය වර්ග කෙටීමට නිවෙස් වලත් පූජනීය ස්ථානයන් වල වැලි, මැටි ආදිය අඹරා ගැනීමටත් යොදාගෙන ඇති නිසාවෙන් මෙලෙස සිදු කර ඇතැයි සැලකෙනවා. පසුව එය මැණික් කොපුවක් තුලත් රන් කොපුවකත් අවසානයේ ඇත් දලින් කල කොපුවකත් හොබවා ආරක්‍ෂාව තහවුරු කර තිබේ.
පලමු රාජසිංහ සමයේදී දළදා පෙරහැරක් කරවා ඔහුගේ රාජ්‍ය කාලය වුන වසර එකොලහකදී දළදා පෙරහැර එකොලක්ද කරවා ඇත. ලංකා රාජ්‍යය තහවුරු කරන්නා වූ ලකුණක් විදිහට මේ දලදා වහන්සේ සලකනවා මෙන්ම එහි ආරක්‍ෂාව සඳහා ඇපකැප වූ විහාරස්ථානයන්ටද ඇත්තේ විශාල සැකකිල්ලක්. දැන් විහාරස්ථනයේ තිබූ පැරණි නුවර යුගයේ චිතු වෙනුවට අළුතින් චිත්‍ර කරවන අතර විහාරස්ථානය අළුත්වැඩියාවන්ද සිදුකෙරෙනවා. පැරණි දේ විදිහට මෙහි තිබෙන විශාල මල් ආසනයත්, දළදා වහන්සේට ආරක්‍ෂාව දුන් විශාල කුරහන් ගලත්, ගල් පඩිපෙල් දෙකත් දකින්න පුළුවන්. පැරණි විහාරස්ථාන වල කැණීම් සිදු කරලා නැති නිසාවෙන් මෙහි ඇත්තම අතීතය කෙතරම්දැයි කියන්න බැහැ.