මගේ ගමන් බිමන් හැටවන කොටස - මකර


විශ්ව විද්‍ය්‍යාලය නිසා අම්පාරට ආව මම විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් කරද්දී අවුරුදු 4ක් වෙලා. ඒ කාලය පුරාවටම මම යන්න සුදුසු තැනක් විදිහට "මකර" කියන තැන ගැන ඇහුවත් යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒකට හේතු  ගණනාවක් තිබුණා. ඒ අධ්‍යයන කටයුතු, ගමනේ දුශ්කරකම හා භයානක කම, නීති රීති, මිළ මුදල් වගේ දේවල්. කොහොම වුනත් මට සමුදෙන්නත් එක්ක අම්පාරේ මගේ මිතුරු පිරිසක් විසින් මේ තැන බලන්න යන්න තීරණය කලා. නමුත් හැමෝටම නිඩාඩු තිබුණේ නැති නිසා ඒ ගමන එක දවසකට තීරණය වුනා. (දවසින් නම් මෙතැන බලන්න බැහැ)

මුලින්ම කියන්නම් මොකක්ද මේ මකර කියන්නේ කියල. ඊට කලින් කියන්න ඕන සේනානායක සමුද්‍රය ගැන. සේනානායක සමුද්‍රය කියන වැව තමා දැනට පසු කාලීනව කල ලංකාවේ විශාලම වැව. මේ වැව  හදල තියෙන්නේ ගල්ඔය ගඟ හරස් කරල. ඉතින් මේ මකර කියන්නේ ගල්ඔය ගඟ සේනානායක සමුද්‍රයට වැටෙන තැනට. ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයිති නිසාවෙන් වනජීවී එකේ අවසර නැතුව නම් යන්න බැහැ. අම්පාර බිබිල පාරේ කිලෝමීටර 20ක් විතර ගියාම ඌව පලාත් සංචාරක අමාත්‍යාංශයෙන් දාපු දුන්වීම් පුවරුව දකින්න පුළුවන්. එතැනින් කිලෝමීටර 10ක් ගියාම වනජීවී කාර්යයාලය දකින්න පුළුවන්. එතැනට යනකම් නම් ඕන වාහනයක යන්න පුළුවන් වුනාට එතැනින් එයාට යන්න නම් සෆාරි වාහනයක් හරි ආරක්‍ෂිත වාහනයක් හරි තියෙන්නම ඕන. එතැනින් අපි එක්ක යන්න කෙනෙක් එනවා. එතැනිනුත් කැලේ මැදින් කිලෝමීටර 10ක් විතර ගියාම මකර කියන තැනට ලඟාවෙන්න පුළුවන්.

අපේ ගමන මෙතැනට එද්දී උදේ 9 විතර වුනා. එතැනදී අපේ සහයට කෙනෙක් ආවා වගේම අපි පස්සෙන් තව තුන් දෙනෙක් ආව. ඒ තමයි මේ අය...
සංචාරකයන් කූඩාරම් ගහන නිසා මේ අය ඒ උයන කෑම කන්න පුරුදු වෙලා. කිලෝමීටර 10ම දුවනවා වාහන පස්සෙන්. කැලේ වනසතුන් ගොඩක් ඉන්නවා කියල අහල තිබුනත් දකින්න ලැබුනේ මුව රංචුවක් විතරයි. ඒකට හේතුව වුනේ මේ පායන කාලේ නිසා සත්තු ගොඩක්ම ඉන්නේ වතුර තියෙන තැන් වල වීම. නැතිනම් දිවියන්, අලි හා විවිධ කුරුලු වර්ග දකින්න පුළුවන්. කොහොම වුනත් අපි මකර කියන තැනට සේන්දු වෙද්දී නම් වෙන සතුන් දකින්න පුළුවන් වුනේ නැහැ. අපි ගිය කාලය නම් එතැන නියම සුන්දරත්වය විඳින්න හොඳ කාලයක් නෙවෙයි. තවත් විදියක් තියෙනවා මෙතැනට එන්න ඒ තමයි සේනානායක සමුද්‍රයේ වේල්ල ලඟ ඉඳන් කිලෝමීටර 18ක් ගෙවාගෙන එන බෝට්ටු සවාරිය. කැලේ මැදින් යන අතරේ දැන ගන්න ලැබුණු දෙයක් තමා ඉස්සර මේ තැන අවට ඖෂධ උයනක් බවත් ඒ කාලයේ මේ තැන හරහා අශ්ව කරත්ත හා අලි කරත්ත ගමන් කරවූ බවත් ඒ සඳහා ගල් මාවතක් නිර්මාණය කර තිබූ බව. දැනටත් සමහත තැනෙක ගල් කණු දකින්න ලැබුණා වගේම ගලින් කල පාරක නටඹුන් දකින්න පුළුවන්.

කොහොම වුනත් මෙතැනට මකර කියන්න හේතුවුන කාරණාව දකින්න ලැබුනේ නියම මකර කියන තැනට ලඟා වුනාම. ගල්ඔය ගඟ වැවට වැටෙන මේ තැනට එද්දී ගංගා 7ක් එක් වෙනව කියලයි කියන්නේ. ඒ එකතුවෙලා ගලාගෙන ඇවිත් එකපාරට පොලව යටට යන ජලකඳ මීටර 500ක් විතර ගිහින් මතුවෙනව කියලයි කියන්නේ. අන්න ඒ නිසා තමයි මෙතැනට මකර (මකර කට) කියල කියන්නේ. දැන් නම් එහිදී දකින්න බැහැ. මොකද මහා විශාල වැව පුරවපු ගල්ඔය ගඟ මේ කාලයට සිහින් දිය පාරක් විතරයි. පුරාවට විසිරිනු ගල් අතරේ තියෙන විශාල කටාරම් දකිද්දී තේරෙනවා කොයි තරම් විශාල ජල කඳක් එනවා ඇතිද මෙතැනට කියල.

කොහොම වුනත් වැව පටන් ගන්න තැනට යනකල් වැලි වලින් වැහිල නිසා දැන් නම් නියම මකරය බලන්න ලැබෙන්නේ නැහැ කියලයි කලින් මෙතැන බලන්න ආපු අය කිව්වේ. එතැනින් බැහැල වැව මැද පැත්තට ගියේ සත්තු ඇති කියල හිතන්. ඒ වුනත් දවල් කාලයේ රස්නය නිසා සත්තු බලන්න නම් වුනේ නැහැ. වැව අගලට හිඳිල නිසාත් තැන තැන තිබුණු අලින්ගේ මලපහ නිසාවෙනුත් ආපිට හැරෙන්න සිද්ධවුනා. ආයෙම වතාවක් රැයක් ඉන්න බලන් එන්න ගමන සැලසුම් කරන් එතැනින් ආවේ මෙන්න මේ මතකයන් එකතු කරගෙන.


එන ගමනේදී වැව් බැම්ම බලන්න ගියේ අහම්බයකින් ඇතිවුන සිතිවිල්ලකින් වුනත් එතැනදී හම්බ වුන මේ සද්ධන්තයා නම් අමාරු කාරයෙක්ලු. පඩිපෙලෙන් බැහැල එන්න තරමක් හිත හිතා හිටියත් ඊට පස්සේ වැවේ දිය නාමින් හිටි අයට එලවන්න පටන් ගනිද්දී නම් අපි හැමෝටම හීන්දාඩිය දැම්මා. ඒ මොකද තනියෙකුගේ එලවීමක් ගොඩක් වෙලාවට කෙලවර වෙන්නේ මරණයකින් නිසාවෙන්.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!