මගේ ගමන් බිමන් හැත්තෑ අටවන කොටස - පාහියංගල ලෙන

ඔන්න ගමන් බිමන් විස්තර එක්ක පලවෙනි වතාවට බස්නාහිර පලාතට ආවා. කළුතර දිස්ත්‍රික්කයේ පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය ගම්මානයට තමා මේ විදිහට යන්නේ. බුලත්සිංහල හංදියෙන් නික්ගහ පාරේ කිලෝමීටර 5ක් ආවාම අපට පාහියංගල ලෙන තියෙන තැනට එන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 400ක් විතර උසින් තමා මේ ස්ථානය තියෙන්නේ. වාහනයක ආවත් අපට ගල් පඩි 496ක් නගින්න වෙනවා මේ ලෙන බලන්න යන්න නම්. ලෙන නයි පෙනයක හැඩයෙන් අඩි 468 උසින් තිබෙන ගල් පර්වතය දකින්න පුපුළුවන්. එහි ඇති ලෙනේ කට අඩි 150ක් පමණ උසින් හා අඩි 175ක් පමණ පළලින් යුතු වෙනවා. ලෙනෙහි වැඩිම දිග අඩි 282ක් වන අතර උපරිම පළල අඩි 160ක් විතර වෙනවා. ඉතින් මේ සා විශාලත්වයෙන් තියෙන ගල් ලෙන ලංකාවේ ඇති විශාලතම ස්වභාවික ගල්ලෙන විදිහටත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. එනම් අති විශාල දඹුලු ලෙනේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විතර විශාල ලෙනක් මේක. ගල්ලෙනෙහි නොතෙමී සිටිය හැකි මිනිසුන් ගනන 3000ක් විතර කියල තමා කියන්නේ.
panaroma එකක්
මෙතැනට නම වැටුනු විදිහ ගැන විවිධ ජනප්‍රවාද තිබුනත් වඩාත් පිලි ගන්නා මතය වෙන්නේ මෙන්න මේක. ක්‍රි. ව. 5වන සියවස ආරම්භ වෙද්දී ඒ කියන්නේ  අනුරාධපුරයේ රජකල මහානාම රජ දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් නම් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියායැයි සැලකෙන නිසාවෙන් නම් දැරූ බවයි. සුප්‍රකට දේශ ගවේශකයෙකු වන මේ පාහියන් භික්‍ෂූන් වහන්සේ ලංකාවේ විවිධ පලාත්වල සංචාරය කර ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඓතිහාසික තොරතුරු රැස් කරගෙන සිය රටට ගිය බැව් ඉතිහාසයේ කියවේ.

1986/87 කාලයේ ආරම්භ කල පාහියංගල කැණීම් වලදී මතුවූ මානව ඇටසැකිලි වලින් කාබන් කාල නිර්ණ පරීක්‍ෂාවක් සිදු කල අතර එයින් ලැබුණු පිලිතුර අනුව සියල්ලෝ මවිත විය. ඒ හමුවූ ඇටසැකිලි වල වයස අවුරුදු 37000ක් පමණ වුන නිසාවෙනි. එනිසා ලංකාවේ පැරණිම යැයි විශ්වාස කල බලංගොඩ මානවයාගේ තැන පාහියංගල මානවයාට හිමිවිය.
මෙම විශාල ලෙනෙහි දකුණට වන්නට කුඩා විහාරයක් තනවා ඇති අතර එය වෑවල ධම්මජෝති හිමියන්  වැඩ වාසය කරන සමයේදී තනවන ලද්දක් බව කියවේ. එකල කරවූ මහනුවර යුගයේ චිත්‍ර කරවා ඇතත් අද නම් ඒවා විනාශය පත්වී ඇත. පිලිසකර කටයුතු කරමින් පැවතියත් එකල ස්වභාවිකව ලබාගත් වර්ණයන්ගෙන් වර්ණවත් කල පින්තූර අද කෙසේ වර්ණ ගන්වන්නේදැයි පැණයක් ඉතිරිව ඇත.
පාහියංගල කල කැණීම් වලින් තහවුරු වී ඇති ආකාරයට එහි වසර ගනනාවක් තිස්සේ කඩා වැටුනු ගල් පොතු කැබලි වලින් පොලව ඉහලට එසැවී ඇති අතර මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ඒවා පිලිවෙලකට තැන්පත්ව ඇති බවයි. තවද එහි මීටර 2ක් යටින් පවා ගින්දර දල්වා ඇති බවට සාක්‍ෂි හමුවී ඇත. තවද හමුවූ විශාල අස්ථි කොටස් වලින් රයිනෝසිරස් හා හිපපොටේමස් සතුන් පවා මේ අවට ජීවත් වූ බවට සාක්‍ෂි හමුවී ඇතැයි කියවේ. සමහර අස්ථි කොටස් පිලිස්සුම් හා කැපීම් වලට නකතු වී ඇති නිසා මේවා මානව ක්‍රියාකාරකම් වල අවශිෂ්ඨ කොටස් බව සිතිය හැක. ලෙන තිබෙන තැන සිට සෘජුව මුහුදට ඇති දුර 50km පමණ වන නිසාවෙන් එවකට මානවයන් මුහුද දක්වා පවා ආහාර සොයා ගිය බැව් කිව හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. ගුහාවෙන් විවිධ සතුන්ගේ ඇට කැබලි හා දත් වර්ග හමුවී ඇති අතර එයට කුඩා විශාල යැයි භේදයක් නොමැත. ඒ සියල්ල ආහාරයට ගත් සතුන්ගේ යැයි සාක්‍ෂි පවතී. ඒ අතර කිඹුලා, වලි කුකුලා, හම්බාවා, ඉත්තෑවා, විවිධ මිරිදිය මතස්‍ය වර්ග හා සර්ප විශේෂ පවා මොවුන්ගේ ආහාර රටාවේ තිබී ඇතැයි සාක්‍ෂි පවතී.
 
අවසානයේදී මම දැක්ක දේ නම් කියන්න ලැජ්ජයි ඒත් ඒ ගැන කිව යුතුම යැයි කියලත් හිතෙනවා. ඒ තමයි විහාරයේ පිලිමය පිටිපස්සේ තිබුණ කුණු ගොඩ. ඒක පොලිතීන් එක්ක එකතු කරලා ලෙනේ පැල්මක් තුල පුරවලා තිබීම නම් කණගාටුවට කරුණක්. ඒ දේවල් බලධාරීන්ගේ ඇස් වලටත් පේන්න ඇති නොබලා ගියාට කියලයි මම නම් හිතන්නේ. කොහොම වුනත් සැකවින් කියපු විස්තරයක් එක්ක මේ තැන ගිහින් බලනවා නම් ‍ගොඩක් වටිනවා කියල කියන්න පුළුවන්. කෙසේ වුනත් මෙන්න මම ගත්ත පින්තූර ගොන්න.


3 comments:

  1. මම මීට අවුරුදු හතරකට විතර කලින් පාහියන්ගල බලන්න ගියා. වැසි නැති වියළි කාලයක නම් පරිස්සමට පාහියන්ගල මුදුනට නගින්නටත් පුලුවන්. මම නම් උඩට ගිහින් නෑ. කුණු නම් ඉතින් අපේ සංචාරකයො යන හැම තැනම තියෙන ප්‍රශ්නයක්... පින්තූර තව ඩිංගක් විතර ලොකුවට දාන්න පුලුවන් නම් අපූරුයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. පින්තූර උඩ ක්ලික් කලා නම් ලොකුවට බලන්න පුළුවන්. පින්තූර ලොකු වුනාම ලෝඩ් වෙන්න වෙලා යනවා. slow connection තියෙන අය නෙුවෙන් තමා පොඩියට දැම්මේ.

      Delete
  2. ඔය‍ාගෙ බ්ලොග් එක හරි අපූරුයි... මම පහුගිය ලිපි කීපයක්ම කියෙව්වා.. මෙච්චර කල් මට වහං වෙලා තිබුණු එක පුදුමයි.. ඔන්න මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!