පාසල් අධ්‍යාප්‍යනයට අලුත් අත්දැකීමක්

මේ ලියන්න යන්නේ අපූරු අත්දැකීමක් ගැන. ඒ අපි කරපු තවත් එක් තාරකා නිරක්‍ෂණ වැඩසටහනක් ගැන තොරතුරු. නමුත් එය එක් තාරකා නිරීක්‍ෂණ වැඩසටහනක් විතරක්ම නොවන නිසා තමයි ලියන්න හිතුවේ. ඒ 2014 මාර්තු 28 වැනිදා අම්පාර පාදාගොඩ රජමහා විහාරයේ කල වැඩසටහන. නව පාසල් අධ්‍යාපන ක්‍රමය යටතේ පන්ති කාමරෙන් බැහැරව සිදු කරන්නා වූ ඉගැන්වීම් වැඩසටහනක් විදිහට විදිහට නිර්මාණය වුන මේ වැඩසටහන වෙනස්ම මුහුණුවරකින් කරන්න අපට හැකිවුනා.

අපේ "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය එක්ක නුවර ප්‍රදේශයේ කොටගල්ඔළුව ශ්‍රී ජිනරතන විද්‍යාලයයෙන් කතාකලා. ඒ එයිල වෙනුවෙන් වැඩසටහනකට ආරාධනා කරන්න. නමුත් ඒ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් හෝ වියදම් කරන්න තරම් හැකියාවක් ඔවුන් වෙනුවෙන් තිබිල නැහැ. අපගේ හිතවතකු මගින් කල ඉල්ලීමක් නිසාවෙන් අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න වුනා. එහිදී තීරණය වුනේ පාසලෙන් එන අධ්‍යාපන චාරිකාවක නවාතැන්පොලක් අම්පාරට යොදාගැනීමත් එහිදී අප වැඩසටහන හා එකතුවීමට අවස්ථාවක් ලබාදීමයි.

මේ විදිහට සකස්වුන වැඩසටහන වෙනුවෙන් ඔවුන් තෝරාගත්තු දිනය අමාවක දිනයක් හා ඔවුන් පන්සලට එද්දී ගොඩක් රෑ වුන නිසාත් අපට වැඩසටහනේ වෙනස්කම් කීපයක් කරන්න සිද්ධ වුනා. ඒ වැඩසටහන කෙටි කිරීම හා සඳ නිරීක්‍ෂණය අත්හැර දැමීම. සඳ නිරීක්‍ෂණ කාලය පාන්දර 5 විතරත් සෙනසුරු නිරීක්‍ෂණය රාත්‍රී 11.40ට පමණ වුන සවසක් වීමත් ඒ වෙද්දී ලමයි මහන්සිවෙලා හිටි නිසාත් ඒ දෙකම අත්හරින්න සිද්ධ වුනත් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්‍ෂණය කරන්න නම් හැකියාවක් තිබුණා. මේ අත්දැකීම ලමයින්ට ගොඩක් විශේෂ දෙයක් වුනා. ඒ අතරින් සමහර අය පළමු වතාවට දුරේක්‍ෂයක් දැකගත්තේ එතැනින් වීමත් ඔවුන් තුල මතකයක් විදිහට රැඳේ යැයි අප විශ්වාස කරනවා.


අනිත් පින්තූර බලන්න.........

පහර දුන් තැන, පහර වැදුනු තැන හා රිදෙන තැන.....

මේ කියන්න යන්නේ අද ඊයේ සිද්ධ වුන සිද්ධියක් ගැන. ප්‍රවෘත්ති ගැන අවධානයෙන් හිටපු අය දන්නවා ඇති පසුගිය දවසක අන්ධයෙකු විශිෂ්ඨ දැනුමක් එක්ක කරලියට ආව බව. ඔහු නමින් ඉන්දික තොටවත්ත. ඔහු අන්ධයකු වුනත් විශිෂ්ඨ උත්සාහයක් හා ධෛර්යයකින් හෙබි පුද්ගලයෙක්. මමත් කාලයක් මේ ක්‍ෂේත්‍රයන් පිළිබඳ උනන්දුවක් දැක්වූවා. නමුත් මම අවුරුදු ගානක් කල දේ ඔහුට ජල බිංදුවක් තරම් කුඩායි. දකුණු පලාත, ගාල්ල දිස්ත්‍රික්කය, අම්බලන්ගොඩ නගරය, වතුගෙදර ජීවත්වෙන ඔහු මට නම් අසල්වාසියෙක්. නමුත් මමවත් ඔහු ගැන දැනගෙන හිටියේ නැහැ. අවුරුදු ගානක් ඉගෙන ගත්තු ජෝතිශ්‍යය වෘත්තිය විදිහට කරගෙන යන ඔහු ITN මාධ්‍යජාලයේ "වෙනස" වැඩසටහනෙන් තමයි එලියට අරන් එන්නේ. කතාව පටන් ගන්නේ එතැනින්. ඔහු තවත් එක් අන්ධයකු නොවන තැනින්.
ඔහු කතාකරන මාක්ස්වාදය, ඩාවින්වාදය, ජෝතිශ්‍ය, භෞතික විද්‍යාව ඇතුළු මහත් වූ විශය සම්භාරයත් එක්ක තවත් කෙනෙකුටගැටෙන්න අමාරුයි. ඒ සඳහා කීපදෙනෙක් ඕන වෙනවා. මොකද අද ජීවත්වන විශිෂ්ඨයන් ලෙස සැලකෙන සියල්ලෝම පාහේ එක් විශයයක් වෙනුවෙන් කැපවුන අය. නමුත් ඉන්දික, ඔහු ක්‍ෂේත්‍රයන් කීපයක හසල දැනුමක් ඇත්තෙක්. මෙන්න මේ හේතුව නිසාවෙන් සමාජයේ උපාධි ඇතැයි, දැනුම ඇතුයි කෑ ගහන සියල්ලන්ටම පහරක් වැදිල කියලයි හිතෙන්නේ.
මුලින්ම ක්‍ෂේත්‍රය ගැන දැනුම ගැන පරීක්‍ෂා කලා. දැන් පිරිසක් විදිහට එකතුවෙලා ඔහුට පහර දෙනවා. ඒ ඔවුන් වසර ගණනාවක් තිස්සේ කරගෙන ආව බොරුව, ව්‍යාපාරය බිඳවැටෙන හින්දාමද කියලත් හිතෙනවා. කාලයක් තිස්සේ ජෝතීර්වේදීන් කරගෙන ආව බොරුව, ඒ ක්‍ෂේත්‍රය පිලිබඳ දී තිබුන වැරදි මතයන් ඉන්දික විසින් බොරුවක් බව ඔප්පු කරල දෙද්දී ජෝතිශ්‍ය විද්‍යාවේ විද්‍යාත්මක පැත්ත, එහි සත්‍ය පැත්ත විදිහට වෙනස්ම පැතිකඩක් පෙන්නා දීපු පුද්ගලයාට මේ විදිහට පහර දීම නම් සාධාරණ වැඩක් නෙවෙයි.

මේ ලඟදී ඔහුගෙන් අහපු එක ප්‍රශ්ණයක් තමයි "ඔබට මේ දැනුම පිළිබඳ විශ්වාසද? ඔබ කොහොමද මේ දැනුම නිවැරදියි කියල ඔප්පු කරන්නේ?" කියන එක. නමු ඔහු දුන් පිළිතුර තමයි "මම ඒක සත්‍යයයි කියල ඔප්පු කරන්න මහන්සි වෙන්නේ නැහැ". එයට හේතුව කිසි දිනක රහත්වුන කෙනෙකු මම රහත්වුනා කියල ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැහැ. කරන්නේ තමන්ගේ අරමුණ වුන නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සාහ කරන එකයි. කෙසේ වෙතත් අප කල යුත්තේ අන්ධයෙකු ලොව උගෙන ගන්නාවූ ක්‍ෂේත්‍රය පරතෙරටම උගෙන ඒ විශයයන් සියල්ල කැටිකරගෙන අප්‍රහිත ධෛර්යයකින් තම ජීවන ගමන යන පුද්ගලයෙකුට ගෞරව කිරීම නොවන්නේද? අප සිතිය යුත්තේ පහර දුන් තැන කොතැනද? පහර වැදුනු තැන කොතැනද? ඊටත් වඩා පහර වැදී රිදෙන්නේ කොතැනද? යන්නයි.

මෙතැනින් පසුවවත් මෙවන් කෙනෙකුගෙන් අප ගතයුත්තේ ඔහුගේ දැනුමෙන් ප්‍රෙයා්ජනයක් මිස ඔහු පිළිබඳ විවේචන කරමින්, ඔහු අපහසුතාවයට පත්කිරීම නම් නොවේ. ලොවට ධර්මය දේශනා කල අප ගෞතම බුදුරජාණන් වහන්සේ පවා සිදුහත් චරිතය තුල මෙවන් ගැටළු වලට මුහුණදුන් අවස්ථා එමටය. එනිසා අප කල යුත්තේ ඒ සියල්ල ගැන සිතමින් කණගාටු වීම නොව ඒ සියල්ල පරදවමින් තමාගේ අරමුණ කරා දිවයෑමයි.

මේ ඔහු පිළිබඳ වීඩියෝ කීපයක්....
http://www.youtube.com/watch?v=8M3SHaDohDY


http://www.youtube.com/results?search_query=Indika+Thotawaththa

ඉතිහාසය විනාස කරන අපේ මිනිස්සු හා එය රකින අය

මේ ලියන්න යන්නේ දැන් සිදුවුන දෙයක් ගැන පුවතක්. අද ඒ කියන්නේ 2014 මාර්තු 24 වැනිදා මමත් මගේ මිත්‍රයන් දෙදෙනෙකුත් අපගේ වැඩ රාජකාරි වලින් පස්සේ අම්පාර වැව අසල නිර්මාණය වෙමින් පවතින උද්‍යානය පැත්තට ඇදුනේ අපේ සිත් මඳක් රාජකාරි වලින් බැහැර කරල නිදහසේ ඉන්න. කලාතුරකින් අපට හමුවෙන අවස්ථාවල අපි මේ වගේ තැනකට යන එක සාමාන්‍යයයි. රාත්‍රී 8.30ට විතර ආව අපි අපේ රසවත් මාතෘකාවලින් අයින් වුනේ හෙට දිනයක් වෙනුවෙන් කතා කරන්න ගොඩක් දේවල් ඉිතිරි කරගෙන. ඒත් කළුවර මකන මගේ දුරකතනයේ විදුලි ලාම්පුවට අහම්බෙන් වගේ පය පැටලෙන කළුගලක් හම්බවෙනවා. කතාව පටන්ගන්නේ එතැනින්.....

මගේ අඩෙවිය එක්ක ඉන්න හුඟක් අය දන්නවා මම පැරණි දේ ගැන හා අපේ ඉතිහාසය ගැන සොයා බලන බව හා ඒ ගැන ලියන බව.  මගේ මිත්‍රයන් කවුද කියල නොකීවත් ඔවුන් මේ සමාජයේ හුඟක් දන්නා අය. මටත් වඩා මේ අම්පාරේ හා ලංකාවේ තැනක් තියෙන අය. නමුත් මම.....? කොහොම වුනත් මගේ පය පැටලුන කළුගල මට විශේෂත්වයක් පෙන්නුවා. ඒ අපේ ඉතිහාසයේ මඟ සළකුණු පෙන්වමින්. මගේ මිත්‍රයන් නවත්තලා අපි තවත් ඒ පිළිබඳ සෝදිසි කලා. එය අතීතයේ කලුගලින් නිර්මිත කොටස් වලට වෙන් කල කැසිකිලි වලක් බව දුටුවාම අප තුල ඇති කුතුහලය වර්ධනය වුනා පමණක් නෙවෙයි අපි ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙමින් අදාල අංශ ඒ පිළිබඳ දැනුවත් කලා.
අම්පාර පොලීසියේ පුරා විද්‍යා ඒකකය, අම්පාර පොලිස් ස්ථානාධිපතිතුමා හා මාධ්‍ය කණ්ඩායම් ඒතැනට බොහොම ඉක්මනින් ලඟාවුනා. අම්පාරේ නිර්මාණය වන විනෝද උයන් වෙනුවට අපගේ උරුමය විනාස කරන එක ගැන එතැනට ආව කිසි කෙනෙක් තුල සතුටක් නම් තිබුනේ නැහැ. එතුන තිබූ ගල්කණු යැයි සැලකිය හැකි කොටස්, තවත් ආරාමයක යැයි සැලකිය හැකි කොටස් පොළව මට්ටමෙන් පහත තිබූ ගඩොල් නිර්මාණ වල කොටස් අපට දකින්න පුලුවන් වුනා. කෙසේ වෙතත් ටික දිනක් වන මේ සොයා ගැනීම් ගැන පුරාවිද්‍යා ඒකකය හෝ වෙනත් අංශ කිසිවක් දැනුවත් වෙලා නම් තිබුනේ නැහැ. අප තුල ඇති කුකුස නිසාවෙන් හා අප ඒය රකින්නට යැවුනේ අප තුල ඇති ඇල්ම නිසාම යැයි මට සිතෙන්නේ අප තිදෙනා තුලම මේ අප අතීතය රැකීම පිළිබඳ ඇත්තේ සමාන දැක්මක් නිසාවෙනි. ඒ විතරක්ම නොවී අප ඒ වනතුරු කතා කලා වූ සියලු මාතෘකා දිව ගියේද මේ අප හෙල උරුමයන් පිළිබඳව වීමත් තවත් විශේෂයක් ලෙසම දකිමි. සැබෑ හෙල ඉතිහාසයක් තනි තනිව සොයා යන අප මෙවන් තැන්වල අප දැනුම හුවමාරු කරගන්නේ සිතේ ඇති නිදහස ඔස්සේ අතීත රූ රටා චිත්තරූප ලෙස මවා ගනිමිනි. ඒ කතාවන් ඔස්සේ අපටම මෙලෙස අප ඉතිහාසය වසන් කරන්න තැත් කරන්නවුන්ගෙන් එය රැකගැනීමට ලැබීම අපගේ මහත් වූ භාග්‍යයක් ලෙස සලකමි.









චිත්‍රපට කලාව, කොපි කිරීම හා දේශපාලනය

මේ කියන්න හදන්නා වූ මාතෘකාව මම සාමාන්‍යයෙන් කතා කරන මාතෘකා වලට වඩා වෙනස් මාතෘකාවක්. නමුත් කලාවට හිතැත්තන් තුලත් මේ කතා කරන්නාවූ මාතෘකාව නිතැතින් නොනැඟෙන්නේ යැයි නොසිතමි. කොහොම වුනත් අද අපේ කලාවට මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල මම හිතනවා.
අපි ලංකාවේ නිපදවන චිත්‍රපට උදාහරණයක් විදිහට අරන් කතා කරන්නම්. අප ලංකාවේ නිපදවන රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපට සැලකුවාම මේ සියල්ල දේශපාලනීකරණයට ලක්වෙලා කියලයි පෙනෙන්නේ. ඒ නිපදවන බහුතරයක් නිපදවන්නේ රසිකයන්ගේ වින්දනය උදෙසා හෝ ප්‍රේක්‍ෂකයා වෙනුවෙන් සිතන්නට යමක් ලබාදීම වෙනුවෙන් නම් නෙවෙයි. ගොඩක් වෙලාවට මුදලට යටවුන නිශ්පාදකවරයෙකුගේ හෝ තිර රචකයකුගේ අරමුණ හුදෙක්ම සම්මානයක් ලබා ගැනීම හෝ කිසියම් මුදලක් සොයාගැනීම පමණක් වී ඇත. බොහෝ චිත්‍රපට හෝ නාටක වල එකම ක්‍රමයක් දකින්න පුළුවන්. ඒ වුනත් ඒ සියල්ල පරදමින් එක හා සමාන කෘති අතරින් එකක් සම්මානයට පාත්‍ර වන්නේ කුමන නිර්ණායක ඔස්සේ දැයි සිතීම අපහසු කාරණයක් බව නම් නිසැකය.
තවත් කරුණක් නම් බොහෝ චිත්‍රපට නිශ්පාදකයන් කරන්නේ හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටයක පරිවර්තනයක් තමාගේ සේ ඉදිරිපත් කිරීමක් පමණකි. නමුදු ඒ සියල්ල මැනෙවින් බලන්නෙකුට මේ සියල්ලේ මුල් පිටපත් සොයාගැනීමද අපහසු කාරණාවක් නොවනු ඇත. අප කලාවට කල පරිවර්තනය කිරීම නොව අනුවර්තනය කිරීමකි. එයට හේතුව අප ඉහත කතා කරන්නා වූ හොලිවුඩයේ හෝ බොලිවුඩයේ සංකෘතීන්ගෙන් වෙනස් වූ සංස්කෘතියක උරුමක්කාරයන් නිසාවෙනි. හුදෙක් මේ සංකල්පය යොදා ගත්තානම් සම්මානලාභී සාර්ථක චිත්‍රපට යැයි හඳුන්වා දෙන විහිලු වලට වඩා වෙනස් සාර්ථක නිර්මාණයකට මංපාදනු ඇත.
තවද අප චිත්‍රපට කලාවන් ආරම්භයේ අප දුටු කලු සුදු ජවනාකා වල ඉතා සාර්ථකත්වයක් තිබුනද අද වර්ණවත් ලෝකයකට හිමිකම් කියන අප එම චිත්‍රපට අත්හැර දමා වාණිජකරණය වූ රූප පෙළක අතරමංව ඇත. තවත් කරුණක් නම් අද මේ වාණිජකරණය නිසාවෙන් දේශපාලනයද මේ තුලට හිස දමා ගැනීමයි. පසුව එම දේශපාලනය විසින් අප අතීත වීරයන්ගේ චරිත විකෘති කරමින් අනුග්‍රහය දැක්වූ දේශපාලනයට අවශ්‍ය දේ සිදුකරගැනීමට මාන බලන බවක් දක්නට පුලුවන්. අප තුල ඇති සිංහලකම හා දේශ හිතෙෂීභාවය අප විනාශ කරමින් වින්දනයක් ලබන්නට සැරසෙන චිත්‍රපට හෝ රූපවාහිනී නාට්‍ය ලෙස අප ආලින්දයට ගෙනවිත් දමන්නේ අප මනස විකෘතියෙන් විකෘතියට පත්කරවමිනි. දවස මුළුල්ලේ මහන්සි වී නිවසට පැමිණි අය වෙනුවෙන් ලැබෙන රූප පෙළෙහි හොඳ හෝ නරක පැතිකඩක් දැක්මට හෝ කාලයක් නොමැති නිසාවෙන් එය අප සිත් තුලට පහසුවෙන් කා වැද්දවීමට ඔවුනට හැකිව ඇත.
කෙසේ වුවත් අප තුල ඇති තරඟයද කලාව හා සම්බන්ධ වූ දිනයේ පටන් ඇතිකලා වූ විප්ලවය, අද හුදෙක් රසවින්දනය උදෙසා වූ චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය කලාව තුලින් ලොකු කුඩා කාගේත් හිත් තුල මහත් විනාශයක් කරමින් සිටින බව නම් සැබෑය.

"ආවර්ජනා" සහජීවනය හා සංහිදියාව පිළිබඳ ප්‍රදර්ශණය

දශක තුනකට පෙර සමෘද්ධිමත් වූ අප ශ්‍රී ලංකාවට කුරිරු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය විසින් විනාශ කරන්නට විය. ඉන්පසු සිංහල, දමිල, මුස්ලිම් හා බර්ගර් සංහිදියාව දෙදරා ගියේය. නමුදු අද තිස් වසරක කුරිරු යුද්ධය නිමාවීමෙන් නැවතත් අප එක් රටක් එක් ජාතියක් බවට පත්ව ඇත. එකල මිලේච්ඡ තුස්තවාදීන් විසින්,
  • දෙමාපියන්ට දරුවන් අහිමි කලහ
  • දරුවන්ට දෙමාපියන් අහිමි කලහ
  • සහෝදරයන්ට සහෝදරියන් අහිමි කලහ
  • නෑදෑ හිතමිතුරන් අහිමි කලහ
  • දේශයට ආදර්ශයක් වූ ආගමික නායකයින් ඝාතනය කලහ
  • රටට නායකත්වය දුන් දේශපාලඥයින් ඝාතනය කලහ
  • දහස් සංඛ්‍යාවක් ආබාධිතයින් කලහ
  • රටේ ආර්ථික මධ්‍යස්ථාන විනාශ කලහ
  • තම මව්බිමේ විශාල දේපල හා ජීවිත විනාශ කලහ
  • ලෝකයා හමුවේ අප රට ත්‍රස්තවාදයෙන් පිරුණු රටක් බවට පත් කලහ
  • මුළු රටේම භීතිය, ත්‍රාසය හා අස්ථාවරත්වය ඇති කලහ
මේ සියල්ල විනාශ කරමින් අද අප රටේ විශාල සංවර්ධනයක් ඇති වෙමින් පවතී. මේ පිළිබඳ මතකයන් රූප මාධ්‍යයෙන් රටේ සුවහසක් ජනයා වෙනුවෙන් දකින්නට සැලැස්වීමට සංහිඳියාව හා සහජීවනය සඳහා වූ කේන්‍ද්‍රය විසින් ප්‍රදර්ශණයක් පවත්වනු ලබන්නේය. මෙය හික්කඩුවේදී, දියත උයනේදී, පොලොන්නරුවේදී හා වව්නියාවේදී මීට පෙර පැවැත්වීය. අද එනම් 2014 ක්වූ මාර්තු මස 14 වන සිකුරාදා අම්පාර නගර ශාලාවේදී පවත්වන්නට කටයුතු සිදු කර ඇත. මේ ඒ පිළිබඳ මතකයන්.......











එන්න එක්වරක් වත් නරඹන්න. මේ ප්‍රදර්ශණය කරන අයගේ අඩෙවිය

"විශ්වයේ මොහොතක්" සමඟ අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයයේදී

තවත් එක් තාරකා නිරීක්‍ෂණ වැඩසටහනක් පවත්වන්න අපට ආරාධනා ලැබුනා. ඒ අපේ සංගමය වන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය විසින් පවත්වන ලබන සත්වන පාසල් වැඩසටහන විදිහට. මීට කලින් අපි කල "අපූරු අහස" කියන වැඩසටහන ගැන ලිපියක් පලවුනා මතක ඇති. ඊට පස්සේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පැවැත්වුන නිරීක්‍ෂණ කඳවුර ගැනත් ලිපියක් පළවුනා. මේ විදිහට නොලියවුන තවත් වැඩසටහන් කලා නමුත් ඒ ඒ සියල්ල අතරින් ළමයි අහපු ප්‍රශ්ණ වල පැහැදිලි හා ප්‍රයෝජනවත් බව නිසා මේ ලිපිය ලියන්න හිතුනා.

අම්පාර වගේ ප්‍රදේශයක ලමයිනට කොලඹ ඉන්න ලමයින්ට වගේ ගොඩක් දේ ලැබෙන්නේ නැහැ. නමුත් අපි කිහිප දෙනෙක් එකතුවෙලා මේ සංගමය ගොඩ නැඟුවේ අපට හැකි විදිහට ඒ අය වෙනුවෙන් යමක් කරන්න. අපි අපිම පුළුවන් විදිහට වියදම් කරල ගොඩ නගපු සංගමය අද ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපිට අපේ සංගමය හරහා කල හැකි ගොඩක් දේ තිබුනත් අපි කිහිපදෙනාට භෞතික සම්පත් හොයාගන්න එක ලේසි නැහැ. ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න තරම් කෙනෙක් හොයාගන්න නැහැ. නමුත් අපි අපට පුළුවන් විදිහට තාමත් පාසල් ළමුන් වෙනුවෙන් වැඩසටහන් පවත්වනවා. ඒ ඒ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඒන කියන චේතනාවෙන්.

මේ අපෙන් අහපු ප්‍රශ්ණ වලින් බිඳක්....
එතැනදී අපට විද්‍යාලයයේ උප විදුහල්පතිතුමිය, විද්‍යා ගුරුතුමිය හා ළමුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. කොහොම වුනත් තවත් එක් වැඩසටහනක් නොවී තාරකා විද්‍යාව වෙනුවෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන් කල වැඩසටහනක් විදිහට හිතන්න පුළුවන් තරමේ සාර්ථකත්වයක් අප ලැබුණා.

මේ එහි මතක සටහන් වලින් බිඳක්....













කලාකරුවන් වෙනුවෙන් තැනෙන ගල්ඔය වේදිකාව

මම අම්පාරේ උපන් කෙනෙකු නොවුනත් 2014 වර්ෂය ආරම්භයත් එක්ක මට ආරාධනාවක් ලැබුනා අම්පාරේ කලාකරුවන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරන්න දායකත්වය ලබාදෙන්න කියල. හිතේ කලාවයි අපේ පිච්චියයි නැති එවුන් වෙනුවෙන් තැනක් හදන එක තමි අරමුණ වුනේ. වෙන්නේ මොනාද කියල දන්නේ නැති වුනත් මුලින්ම රැස්වීමට ගියේ තිබුණ අරමුණේ හොඳකම නිසාමයි. "ගල්ඔය වේදිකාව" සහෘදයන්ගේ ආත්මීය එකමුතුව එක්ක අත්වැල් බැඳගෙන එහි අඩිතාලම දාන්න දායකත්වය සපයන්න ලැබුණ එකම 20141දී මම ලබපු ජයග්‍රහණයක්. අම්පාර නගරාධිපතිතුමා ඇතුළු තවත් සමාජයේ පිලිගත් රුකියා කරන කලාකාරයන් අතරේ නම් මම බොහෝම පුංචි එකෙක් වයසින් වගේම කල කී දේ වලිනුත්. කොහෝම වුනත් මට තිබුණු විවිධ බාධා සහ විශ්ව විද්‍යාල ඉගෙනීමේ අවසාන සය මාසිකය ගෙවෙද්දී වුනත් මේ දේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න හිතුවා. ඒ මට කලාවට තිබ්බ ඇම්ම නිසාවෙන් කියලත් වෙලාවකට හිතෙනවා. මේ දේ වෙනුවෙන් එක්වෙද්දී තවත් නොදන්න කලාවක් ඉගෙන ගන්න, කලාවන් රසවිඳින්න ලැබෙන වාසියත් ගැන නොහිතුනාම නෙවෙයි.

කොහොමින් කොහොම හරි මටත් වාසනාව ලැබුණා ගල්ඔය වේදිකාව සහෘදයන්ගේ ආත්මීය එකමුතුව නිර්මාණය කරන අඩිතාලම දාන මුල්ම සාමාජිකයෙක් වෙන්න. මේ නිර්මාණය කෙරුණු ගල්ඔය වේදිකාව සහෘදයන්ගේ ආත්මීය එකමුතුව මොකක්ද කියන එක මේ ලින්කුවෙන් බලාගන්න පුළුවන්. මේ එකතුවුන සහෘදයන් පිරිස එක්ක මුලින්ම කල කලා කටයුත්ත විදිහට 2014.03.02 වෙනිදා ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" වේදිකා නාට්‍යය කොලඹින් ගොඩක් දුර බැහැර වුන අම්පාරට වෙනකන් ගේන්න පුළුවන් වුනා. ඉතා සාර්ථක විදිහට වේදිකා ගතවුන නාට්‍යය හරහා අපට අම්පාර ජනතාව වෙනුවෙන් වෙනස් විදිහේ අත්දැකීමක් දෙන්න පුළුවන් වුනා.

මේ සියල්ල විඳිමින් ගතවුන පහුගිය දවස් අතරේ අන්දරේලා වේදිකා නාට්‍යය අවසානයේ අප ජයලත් මනෝරත්නයන් වෙනුවෙන් නිර්මාණය කල සමරු තිළිණය පිලි ගැන්වීම හා එය පිලිගැනීම මගේ ජීවිතේට වෙනස්ම විදිහේ සිතිවිල්ලක් පහල කලා. මේ ඒ දේ අඩංගු වීඩියෝවක්. මගේ ලිපි හැමදාම කියවන ඔයාලත් මේක බලන්න මම වින්ද ඒ දේ ඔයාලටත් දැනෙනවාද බලන්න.
video

මේ වීඩියෝව තුල දකින කලාකරුවාගේ සතුට කොයිතරම් අව්‍යාජද කියන දේ දකින්න කලාකරුවෙක් වෙන්නම ඕන නැහැ. මම මේ ලිපිය ලියන්න තරම් හේතු වුනේ මේ සමරුව ගන්නාවූ ජයලත් මනෝරත්න නම් විශිෂ්ඨ කලා කරුවාගේ මුහුණේ තිබුනු සතුට හා අව්‍යාජ සිනහව විතරමයි. 

සහෘදයන්ගේ ආත්මීය එකමුවෙන් තව තවත් ගොඩක් දේ නිර්මාණය වෙන්න නියමිතව තියෙනවා. ඔයාලත් කැමති නම් එකතු වෙන්න අපි එක්ක. ඒ වෙනුවෙන් අපි මතුවට දැනුම් දීම් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එක්ක එකතුවෙන්න තියෙන්න ඕන එකම එක සුදුසු කමක් විතරයි. ඒ කලාවට ආදරය කරන හදවතක් ඇති සහෘදයකු වීම පමණමයි.

ඔයාලට ආයුබෝවන්