අද කාලේ අධ්‍යාපන චාරිකා වල හැටි....

මං හිච්චි එකා කාලේ අපිට විනෝද චාරිකා කියල ජාතියකුයි අධ්‍යාපන චාරිකා කියල ජාතියකුයි වෙන වෙනම තිබුනා. ඒත් ඉතින් දැන් එහෙම දෙකක් නෑ. Buy one Get one Free වගේ තමයි. එකක් ගියාම අනෙක නිකම්ම ලැබෙනවා. ඒත් ඉතින් කරුමේ කියන්නේ හැමදාම නිකන් ලැබෙන්නේ විනෝද චාරිකා කියන එක විතරමයි. මං ඇටකිච්ච කාලේ (ඒ කියනනේ 6 වසරේ විතර ඉන්නකොට) ගියපු පාසල් අධ්‍යාපන චාරිකා තාමත් මතකයි. ඊ්ටත් කලින් අධ්‍යාපන චාරිකා ගියා ඒවායේ වුනත් මතකයන් ඩිංග ඩිංග හිත ඇතුලේ තියෙනවා.
මගේ තාත්ත පාසලේ උසස් පෙළ ගුරුවරයෙක්. තාත්ත සූදානම් කරන චාරිකාව හරිම අපූරු එකක්. විශේෂ තැන් විශේෂ විස්තර වගේම අධ්‍යාපනික වශයෙන් විශාල වැදගත්කමක් තිබුනා. ඒ ඔක්කොමත් එක්ක විනොද වෙන්නත් උපරිම ඉඩ තිබුනා. හැබැයි ඉතින් පාසල් ශිෂ්‍යයන්ගේ මට්ටම රැක ගන්න ඕන. විනය අතින් සීමාව පැන්නොත් චාරිකාවේ අවසානය තමයි. එදා තාත්තගේ අතේ එල්ලිලා ගිය මුල්ම චාරිකාව පුරාම තාත්ත ඒ කාලේ හිටි අයියල අක්කලට කියල දීපු ‍දේවල් වලට මගේ හිතේ මාර ඉඩක් හැදුනා. ලෝකාන්තේ බලන්න යන ගමනේදී හෝර්ටන් තැන්නේ විශේෂ පැල, ලයිකන සත්තු ශාක හැදුන රටාවල් ගැන තේරුනේ නැතත් අහගෙන හිටියා. හැතැප්ම හතර හමාරක් පයින්ම ගියේ තිබුනු සතුට හින්දමයි. කණ්ඩායමේම හිටි පොඩිම එකා වෙලත් අනිත් අයට නෙදෙවෙනිව ඇවිද්දා. දැන් කාලේ වගේ නෙවෙයි පාරවල් හදල නැතිව නැරඹුම් මැදිරි නැතිව වැල් වල එල්ලිලා ගිහින් කාණුවක බඩගාල ලොකාන්තෙට එබිල බැලුවා. හරිම අපූරුවට දැක්ක බලංගොඩ නගරය අදටත් එදා දැක්ක විදිහේම මතකයේ තියෙනවා.
ටික ටික ලොකු වෙද්දී විවිධ අය එක්ක විවිධ පාරවල් වලින් චාරිකා ගියා වුනත් ඒ යන හැම තැනම ගැන තාත්ත කියා දෙන විශයයට අදාල දේවල් හිතේ අස්සක ගොඩ ගැහුනා. ඒත් ඉතින් ඒවායින් බාගයක් විතරම තේරුනේ නැහැ. මම උසස් පෙලට ඇවිත් ඒ දේවල් මගේ ගුරුතුමී කියා දෙද්දී, තාත්ත පාඩම කියා දෙද්දී මගේ මතකයට ඇවිත් හොල්මන් කලේ ඒ ඇවිදින කාලේ දැක්ක දේවල් අහපු දේවල් නිසා පාඩම කවදාකවත් අමාරු වුනේ නැහැ. දවසින් දවස ගෙවිලා මටම කියල ඇවිදින්න පුළුවන් වෙද්දී අනිත් උන් පරිඝණක වලින් ක්‍රීඩා කරද්දී මම කලේ එක එක තැන් වල විස්තර හොයපු එක. අහුවෙන හැම තැනම තියෙන දේවල් කියවල විස්තර අහගෙන ඒ ඒ තැන් බලන්න යන්න විස්තර හොයන්න පුරුදු වුනා.
දැන් කියන්නම් අද කාලේ චාරිකා වල හැටි. අද කාලේ අධ්‍යාපන චාරිකාවක් යන්න කලින් ලමයි කරන දේවල් තමයි මේ. අලුත් ඇඳුම් ගන්නවා. සින්දු CD ටිකක් හරි Pen Drive එකක් සින්දු පුරවල හරි දා ගන්නවා. චාරිකාව යන්න බස් එක හොයද්දී හොයන්නේ බස්‍ එකේ යන්න පුළුවන්ද කියන එක නෙවෙයි. ඒකේ සින්දු Play කරන්න හොඳ Player එකක් තියෙනවද? TV එකක් තියෙනවද කියලයි. චාරිකා‍ේ ගමන් විස්තරය බලන්නේවත් නෑ. අහන්නේ එකම දෙයයි. යන්නේ කොහේද? මොනව මොනවද බලන්නේ කියලයි. ඒකත් අහන්නේ ගෙවල් වලට කියන්න ඕන නිසා. බස්‍ එකට නැග්ග වෙලේ ඉඳන් උපරිම සද්දෙන් දාන සින්දු වලට දඟලන්න පටන් ගන්නවා. මහන්සි වුනාම සීට් වලට වැටුනා නිදි. කොහේ හරි නවත්තලා "අපි ආවා බහින්න" කිව්වාම විනාඩි 10ක් විතර බස් එකෙන් බහිනවා. යන තැන ගිහින් විනාඩි විස්සකින් බලන්න තියෙන දේ පැයකට වඩා කැරකි කැරකි ඉන්නවා. අන්තිමට කෑ ගහල බස් එකට නග්ග ගන්න ඕන.
ආයෙත් ඉතින් කලින් වගේම කලින් සින්දු ටිකම දාගෙන දඟලනවා. හැබැයි ඉතින් කොයි සින්දුව දාගෙන දැඟලුවත් බෙරයක් අරන් එන්න නම් අමතක වෙන්නේ නෑ. ඒත් ඉතින් ඒ බෙරේ ගහල කියන්න තරම් සින්දු ලමයි දන්නේ නෑ. ඒකට හේතුව නූතන ඉගෙක්ට්‍රොනික් සින්දු වාදනය කරන්න සාමාන්‍ය විදිහට බැරි වීම සහ ළමයි එහෙම වාදනය කරන්න පුළුවන් සින්දු නොදැන සිටීම. චාරිකාවේ පළවෙනි දවස අවසන් වෙද්දී ප්‍රමාද වීම් නිසා නොගිය තැන් අපමණ වුනත් ඔවුන් ඒ දේ දන්නේවත් නෑ. කොටින්ම කිව්වොත් ඔව්නුට ඒ ගැන ගානක්වත් නෑ. අධ්‍යාපන චාරිකාව අවසාන වෙන්නේ විනෝද චාරිකාවක් විදිහට. අවසර ලැබෙන්නේ අධ්‍යාපන චාරිකා වලට විතරක් නිසා ඒ විදිහට නම දාල චාරිකාව ගියත් අවසානයේ එකඳු ලමයෙක්වත් ඒ ගිය තැනක් මාර්ගයක් හෝ වැදගත් වෙන එක කරුණක්වත් එකතු කරගෙන එන්නේ නම් නෑ.
ඒ කාලේ අපි ගියේ මෙතැනින් මෙහෙම කියන්න තරම් චාරිකාව අවසානයේ ළමයෙකු දැන සිටියත් අද ඒ දේවල් දන්නේ නෑ. අපි එදා ඉඳන් අද වෙනකල් මේ පාරවල් වල කොයිතරම් යන්න ඇතිද? ඒත් අදටත් පාරවල් හදල හැ‍මදේම අලුත් වෙලා තියෙන හැටි බලාගෙන යන්න අපි කොයිතරම් ආසයිද? එදා යන්න බැරි තැන් අද යන්න පුළුවන් වෙලා. ඒත් ළමයි ඒ යන කිසිම තැනක වැදගත්කමක් ගැන ඉගෙන ගන්න ආසාව නැතිවෙලා. තැනක ගියාම ඒ තැන ඉන්නේ කොහොමද ඒ තැන ආරක්‍ෂා කරන්නේ කොහොමද කියන දේ ගැන ඔවුන් දන්නේ නෑ. ඒ තැන තියෙන විස්තර පත්‍රිකා, දැන්වීම් පුවරු කියවන්න ඔවුන් උනන්දු වෙන්නේ නෑ. කරන එකම දේ තමයි බැස්ස තැන ඉඳන් Selfi ගැනිල්ලයි බහිස්‍රාවය කිරීමයි. Selfi ගැනිල්ල නිසාම ඉන්න තැන පවා මතක නැතිව අනතුරු වෙන්නත් තියෙන ඉඩ කඩ දැන් වැඩියි.
කොහොමින් කොහොම වුනත් දවසක අපේ රට පුරාම ඇවිදපු අය අනන්ත ඉඳිවි. ඒත් ඒ ඒ තැන් වල තියෙන විශේෂ ‍දේවල් ගැන දන්න අයනම් අතලොස්සක්වත් ඉතිරි නොවේවි.


කියවලි විසිකරන්න නෙවෙයි අදහසක් දාලම යන්න... ස්තූතියි...!

වර්ථමාන අධ්‍යාපනය හා පෞද්ගලීකරණය වීම

කාලෙකින් කාලීන මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ තමයි අධ්‍යාපනය හා පෞද්ගලීකරණය. මේ දෙකම අද එකට බැඳිලා ඇතිවෙලා තියෙන තත්ත්වය තමයි කතා කරන්න හිතුවේ. පහුගිය දවස් වල ශිෂ්‍යයන් පෞද්ගලික විශ්ව විද්‍යාල බවත් කරන්න යැයි ඉල්ලමින් කල උද්ගෝෂණය හා ඒ හා බැඳුනු කතිකාවන් නිසාවෙන් මේ ලිපිය සකස් කිරීම ඉක්මන් වුනා. මම නම් හිතන්නේ පොලීසියෙන් ඒ විදිහට ශිෂ්‍යයන්ට ගහපු එක වැරදියි. ඒක හිංසනයක්. කවුරු කොයි විදිහෙන් ඒකට අණ කලත් ඒක වැරදියි. හැබැයි ඒ වැරදියි කියන එකෙන් ශිෂ්‍යයන් කල දේ හරියි කියන්න බෑ. ශිෂ්‍යයන් ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනය නවත්වන්න නම් ඒකත් වැරදියි.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
දැන් කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියල. මමත් රජයේ විශ්ව විද්‍යාලයකින් තමයි ඉගෙන ගත්තේ. ඒත් මම කියනවා පෞද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි කියල. ඇයි ඒකට ලමයි විරුද්ධ වෙන්නේ? මේකට හේතුවක් තියෙන්නත් එපැයි. ඒ හේතුව තමයි පෞද්ගලික අධ්‍යාපනය තුල ලැබෙන උපාධි හෝ ඩිප්ලෝමා සහතික වලට රජයේ අධ්‍යාපන ආයතන වලට වඩා වැඩි රැකියා අවස්ථාවන් ලැබීම. ඒ තුල රජයේ අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා දරුවන්ට තියෙන තැන අඩු වෙනවා. ඉතින් ළමයි කෑ ගහන්න පටන් ගන්නේ ඔවුන්ගේ අනාගත රැකියා සිහිනය බොඳවෙන නිසා. හැබැයි අපි හැමෝටම අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඇයි පෞද්ගලික අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා අයට වැඩි රැකියා අවස්ථාවන් හිමිවෙන්නේ කියන එක. ඒ ගැන පුංචි කතාවක් විදිහට කියාගෙන යන්නම්.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොහොම හරි කරලා විශිෂ්ඨ ලෙස සමත් වෙන අය රජයේ අධ්‍යාපන ආයතන වලින් නොමිලේ උගනින්න වරම් හිමිකර ගන්නවා. අනිත් ළමයි මොකද කරන්නේ? ඔවුන් තුල හැකියාවන් නැතිද? පාසල් අධ්‍යාපනය තුල රාමුවක් සකස් කරල ඒකට අනුගත කරන එකයි කරන්නේ. එහිදී සිසුන්ට තෝරා ගැනීමක් නැහැ. කල යුත්තේ තියෙන රාමුව තුල ඉගෙන ගැනීම. තමන්ගේ දක්‍ෂතාව මොකක් වුනත් ඒ සියල්ල අමතක කරලා අධ්‍යාපන ක්‍රමවේදය මගින් දුන්න පාඩම් මාලාවක් ඉගෙන ගන්න ඕන. ඇත්තටම මොනවද මේ පාඩම් මාලාවේ තියෙන්නේ. තියෙන්නේ එකිනෙකට වෙනස් වූ විශයයන් සමූහයකින් ඉතා කුඩා ප්‍රමාණය බැගින් ඉගැනවීමක්. පසුව උසස් පෙල විශයයන් ලෙස තෝරා ගැනීමක් දුන්නද එයද යම් සීමාවක් තුල සිදු කල  යුතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී වුනත් එහෙමයි. අප ලද ලකුණු අනුව යන්නේ කොතනද කියල තීරණය වෙනවා. පසුව එතැන තියෙන දේවල් වලින් අපි නොනැසී පවතින්න උත්සාහ ගන්නවා. අවසානයේ කැඳ හැලියක හිටි එකෙකු එලියට එනවා. ඔහු හෝ ඇය දත් දෙයකුත් නොදත් දෙයකුත් නැහැ. පලමු වාරය දෙවැනි වාරයේදී මතක නැහැ. කෙටි කාලීනව දැනුම ගබඩා කරගෙන එතැන තිබෙන ආකාරයට අනුගත වෙමින් වැඩ කල හැකි රොබෝවෙක් සමාජයට බිහිවෙනවා.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
නමුත් පෞද්ගලික අධයාපන ආයතන මගින් ළමයෙකුට මුදල් ගෙවීමෙන් පසු තමන්ගේ ලකුණු මට්ටම කුමක් වුවත් තමාගේ දක්‍ෂතාවයට හා කැමැත්තට ඔබින ආකාරයේ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව ලැබෙනවා. එවිට ඔහු‍ හෝ ඇය තමන්ගේ අනාගතය සැලසුම් කරනවා. සල්ලි තිබුන පමණින් ඔහු අධ්‍යාපනය හමාර කරන්‍නේ නැහැ. ඔහුට හෝ ඇයට එතැනත් තරඟයක් ති‍බෙනවා. තමන් කැමති විශයයක් එයට අදාල හෝ සමගාමී වූ තවත් විශයයන් තමඟ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගන්නා ඔවුන් අවසානයේ එක් විශයයක් සඳහා විශේෂඥයෙකු වශයෙන් සමාජයට එනවා. අවසානයේ ඔහු රැකියාවක් සඳහා තරඟ කරන්නේ ඔහුගේ විශේෂත්වය එක්ක.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා සිදුවී තිබෙන දෙයින් කොටසක් විතරයි. අතීතයේ නොතිබුනු පෞද්ගලික අධ්‍යාපන ආයතන අද බිහිවෙද්දී ඒවායේ රැකියා ඉලක්ක කරගෙන කරන්නා වූ අධ්‍යාපන ක්‍රමවේදයන් හා තරඟ කිරීම සඳහා රජයේ අධ්‍යාපන ආයතන වල ක්‍රමවේදයන් අපාහොසත් වීම නිසාවෙන් අසරණ වන්නේ විශේෂ දක්‍ෂතා ඇති සිසුවන් පමණක්ම නොවන්නේද? එකිනෙකට වෙනස්වූ විශයයන් රැසකින් සමන්විත කඩයිම් පරීක්‍ෂණ සියල්ල ජය ගන්නා ඔවුන් එක් දිශාවකට යොමු කරවන්නේ නම් ඔවුන්ගෙන් ලැබෙන්නා වූ සේවය කොතරම්දැයි නොපෙනෙන්නේ මන්දැයි ගැටලුව අද මටත් ඔබටත් පැන නඟිනු ඇත. 
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
අවසානය මෙසේ සටහන් කරමි. කුමණ දේශපාලන පක්‍ෂයක් පැමිණියත් අධ්‍යාපනයේ වටිනාකමක් තිබෙන දේශපාලන මතයක් තවමත් පැමිණ නැත. එසේ පැමිණියා නම් අද මේ ලිපිය මෙසේ මා අතින් සටහන් වන්නේ නැත. අධ්‍යාපනයක අගය දන්නේ හුදෙක් අධ්‍යාපනයේ රසය දන්නා උන් පමණක්මය.

එදත් අදත් අපේ සුන්දර ලමා කාලයේ වෙනස

වසර ගනනක් ගතවෙලා. අද සමාජයේ විවිධ තැන්වල යද්දී මට මතක් වෙන්නේ මගේ කුඩා කාලයයි. එහි මා දුටු සුන්දරත්වයයි. අද ඉලෙක්ට්‍රොනික ලෝකයක හිත දුවද්දී වුවද එදා අප විඳි සුන්දර ලමා කාලය මසිතට නැ‍ඟෙන්නේ සිහියක් පරිද්දෙනි. එදත් අදත් වෙනස ගැන ලියන්නට කීප වරක් උත්සාහ ගත්තද හුදෙක් ඒ සෑම මොහොතකම මා සිහින ලොවක අතරමංවීමි. මෙය මාගේ පමණක් නොව මා වයසේ හා ඊට පෙර සිටි උන්ගේ අතීතයම විය.

කුඩා කාලය පනා බිස්කට් එකක් උදේ ආහාරය විදිහට අරන් ඉස්කොලේ ගියේ අපේ තිබුනු ආර්ථික තත්ත්වය හින්දාමය. නමුදු එකල ආර්ථිකය යනු හුදෙක් බැරෑරුම් අප නොදන්නා වචනයකි. අපේ හිත් වල තිබුනේ පුංචි පුංචි සෙල්ලම් කරමින් සතුටු වෙන ලෝකයක් විතරමය. රූපවාහිනී නොතිබුණු විදුලිය නොතිබුනු කාලයකින් අප පටන් ගත්තෝ වෙමු.
පුවක් පට්ටයක වාඩි වී තවකෙකු ලවා ඇදගෙන යාම අවසන් වන්නේ පුවක් පට්ටය ගෙවී පස්සා පැත්ත බිම වැදී සීරෙන්නට පටන් ගත් පසුය. පොල්පිති හරකෙකු දක්කාගෙන හෝ ඔක්ටපාලු බෝලයකින් සෙල්ලම් කරමින් දවස ගත කලෙමු. වසරේ වැදගත්ම සමය වන්නේ අලුත් අවුරුදු නිවාඩුවය. අලුත් ඇඳුම් ගන්න, රතිඤ්ඤා පත්තු කරන්න, එහෙමත් නැතිනම් උණ බට වෙඩි තියන්න තරම් දෙයක් අපට තිබුනේ නැහැ. නෑ ගම් යන්න වගේම අලුත් අවුරුදු නැකත් වෙනුවෙන් ඇඟිලි ගනින්න වුනා. වැඩියෙන්ම වටින නැකත වුනේ කෑම නැකත තමයි. අවුරුද්දට හදන කෑම ඉඳුල් කරන්නේ අවුරුදු නැකතට නිසාත් ඒ කෑම ටික වෙනුවෙන් සති ගානක් මතක කෙල ගිලින නිසාත් ඒ නැකත නම් මඟ හරින්නේ නෑ. එතැනින් පස්සේ පංච දාන්න, ඔලිඳ කෙලින්න, ඔංචිල්ලා පදින්න වගේ දහසකුත් සෙල්ලම තිබුනා. අවුරුදු උත්සව බලන්න යන්න, අලියට ඇහැ තියන්න, කොට්ටපොරේ ගහන ඇඟ තඩි අයියල දිහා පුදුමයෙන් බලන්න වගේ අවුරුදු ක්‍රීඩා එක්ක සතුටු වුනා. ඒ කාලේ අවසන් වෙද්දී හිත් වල තියෙන්නේ වෙසක් උත්සවය ගැන. මේ අවුරුද්දේ ලොකුම කූඩුව කාගෙද? හොඳම තොරණ කොතනද තියෙන්නේ කියල හිත හිතම තමයි ඉන්නේ. අපේ ගෙදරත් පැටව් ගොඩක් එක්ක කූඩුවක් හදමු කිව්වත් අවසානයේ සුපුරුදු විදිහටම කූඩු දෙකක් එල්ලන්නේ ගෙදර කූඩුවක් පත්තු කරන්නම ඕන නිසා. හැබැයි ඉතින් අඬල හරි වෙසක් බලන්න යන්නම ඕන. ඒ වෙසක් කූඩු ටික බලන්නයි තොරණේ තියෙන ජාතක කතාව බලන්නයි. පස්සේ තොරණේ ලයිට් පත්තුවෙන අපූරුවට හිත බැඳිල දැන් යමු නේද කියල තාත්ත අහද්දී තමයි මතක් වෙන්නෙ රෑ වෙලා කියල. හැබැයි ඉතින් කොහොම කලත් දැන් ඇති යමු කියල තාත්ත සැර කලේ නැත්තම් එලි වෙනකම් වුනත් තොරණ දිහා බලාගෙන තමයි. 










වෙසක් ඉවර වෙලා පොසොන්, ඇසල ගෙවෙද්දී පෙරහැර බලලා ඒකේ ඉන්න යක්කුන්ට කෝලං කරල ගෙදර එනවා. කොහොම හරි කරල සලු පාලිය නටන යකා මතකයේ තියාගෙන ඌ කරපු ඔච්චම දවස් ගානක් හිතේ තියෙනවා. එතැනින් පස්සේ ආ‍යෙත් එන්නේ පාසල් නිවාඩු කාලයයි සරුංගල් කාලයයි. පුංචිම එකා කාල‍ේ කාටහරි කියල සරුංගලයක් හදවගෙන ඒක පිට්ටනියක යවල හැන්දෑ වෙනකම් ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික ටික ලොකු වෙද්දී අපිටම කියල සරුංගලයක් හදාගෙන ඒ උඩ යවන්නේ නූල් පන්දු ගානට. සරුංගලේ වැඩියෙන්ම උඩ යවන්නේ කවුද කියල තරඟයක් නොතිබුනත් අපි  හිත්වලින් එකිනෙකා එක්ක තරඟ කලා. අවසානයේ වැඩිම උඩ තීරණය වෙන්නේ නූල් පන්දු කීයක් උඩ යැව්වද කියන එකෙන්. සරුංගලය් හදාගන්න බැර වුනොත් හරි තමන්ගේ සරුංගලය නැති වුනොත් හරි තව කොනෙක්ගේ සරුංගලයක් කඩාගෙන යනකම් බලන් ඉන්නේ බයිසිකල් අරන් ඒක වැටෙන තැනින් අගෙන ගෙදර ගේන්න. සරුංගලයක් කඩාගෙන යද්දී ඒක වැටෙන තැන හරියටම අනුමාන කරන්න ඒ කාලේ අපිට සහජ හැකියාවක් තිබුනා. සරුංගලය ලස්සන නම් අනිත් අයට කලින් ඒක පස්සෙන් බයිසිකලය පදින්න ලංකාවේ කොනටම යන්න වුනත් අපි සූදානම්.
ග‍ඟේ බැහැල මාලු අල්ලන්න ගියේ පව්කාර කමට නෙවෙයි හිතේ තිබුන කොලු කමට. රබර් ඇට දැක්කාම ඒක ගෙනත් පුංචි සිදුරක් හදල කූඹින්ට වැඩේ බා‍ර දෙන්නේ ඒක ඇතුල සුද්ද කරන හැටි අපූරුවටම දන්නේ කූඹි බව දන්න නිසා. ගොක් කොලයකින් රූම් පෙත්තක් හදාගෙන මිදුල වටේ දුවන්න, ගොක්කොල නයෙක් හදාගන නටවන්න අපි ආස කලා. කැටපෝලයක් ඉනේ බැඳගෙන වීරයෙක් වගේ ඇවිදින්න බටතුවක්කු හදාගෙන දෙපිල බෙදිලා වෙඩි තියාගන්න කුරුම්බැට්ටි මැෂිමකින් මහන්න වගේ දේවල් එක්ක අපේ පුංචි කාලයත් හෙමින් හෙමින් ගෙවුනා. කුප්පි ලාම්පු එළියෙන් පටන් ගත්තු අපේ ජීවිත වලට විදුලිය එද්දී හරිම අපූරු වුනා. ඒ කාලේ ලංකාවටම විදුලිය නැතිවුන කාලයක් තිබුනා. ලයිට් එනකම් කියල රේඩියෝවේ වැඩසටහන් පවා ඒ කාලේ තිබුනා. හරි සුන්දර විහිලු තහලු එක්ක බැටරි බහිනකම් රේඩියෝව ඇහුවා. හැබැයි ඉතින් මේ කොයි දේටත් වඩා කලුවරේ එක පහනක් පත්තු කරගෙන තාත්තට ගුලි වෙලා තාත්ත කියන කතා ටික අහන්න අපි ආස වුනා. දවසක් හරි රෑට ලයිට් තිබුනම තමයි හිතට අවුල. මොකද එදාට තාත්තගේ කතාව අහන්න වෙන්නේ නැති නිසා. බට්ටෝ පනින්න, හැංගිමුත්තන් කෙලින්න අපේ වයස ගතවුනා. දුර ගමන් යන්න කොයි තරම් ආස වුනාද කියනවා නම් ගමනට සූදානම් වුනේ මාසෙක විතර ඉඳන් අපේ හිතෙන්. කෝච්චියේ නැගල එකෙ ඇහෙන තාලෙට 'ඩක ඩකස්' කියන්න, 'තවත් හයියෙන් තවත් හයියෙන්' කියල කෑ ගහන්න ආස කලා. පත්තර පිටු ගනන් ඉරාගෙන ඇවිත් හුල‍ඟේ පා කරන්න වුනා. කෝච්චියේ වැඩට යන අයියල අක්කලා නැන්දලා මාමලාගේ සින්දු අහන්න ආස කලා. මේ වගේ පුංචි පුංචි දේවල් ගොඩක් එක්ක අපි ලොකු වෙලා තාක්‍ෂණය ලෝකෙට ආව.
දුන් ඉතින් අපිට විනෝද වෙන්න බෑ. ඒකට හේතු ගොඩයි. අපිට වගකීම් එනවා. නමුත් ඉස්සර වගේ පුංචි අය දිහා බලල අපිට සුන්දර දේවල් මවන්නත් බෑ. අපේ අය දිහා බලල වින්දනයක් ලබන්නත් බෑ. ඒකට හේතුව තාක්‍ෂණය තමයි. දැන් පුංචි ලමයි සරුංගල් හදන්න දන්නේ නෑ. දන්නේ කඩේ විකුන්න තියෙන ප්ලාස්ටික් සරුංගල් ගැන. රූං පෙත්තේ ඉඳල හැම දේම කඩේ තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා. බයිසිකල් පදින්න වත්තේ තාප්පය සීමාව තියෙනවා. හවස 6-7 වෙද්දී බලන්න තියෙන කාටූන් අපි පුංචි කාලේ සුන්දරව බලපු ටයිටස් තොටවත්ත මාම හඬකවපු ලස්සන වචන එක්ක නෑ. ඊට පස්සේ රෑ නිදා ගන්නකම් බලන්න ටෙලා නාට්‍ය පෝලිමක් තියෙනවා. ඒවා වලින් කා දාන්නේ පුංචි සෙල්ලම් හිත් කියල මාධ්‍ය ආයතන වලට මතකත් නැහැ. එහා ගෙදර ලමයි මෙහා ගෙදර ලමයි දන්නේ නෑ. සල්ලි තියෙන ලමයි දුප්පත් ලමයි එක්ක සෙල්ලම් කරන්නේ නෑ. තාත්තට තුරුල් වෙලා කතාවක් අහන්න තියා ලමයින්ට කතාවක් කියා දෙන්න තාත්තලට වෙලාවක් නෑ. කෝච්චියේ යද්දී කියන සින්දු අහන්න විදිහක් නෑ. මොකද ඒවායේ යන අය ඔක්කෝම වගේ ජංගම දුරකථන වල චිත්‍රපටි බලන්න එහෙමත් නැතිතම් සමාජ ජාල වෙබ් අඩෙවි වල හිරවලා ඉන්න හරි  හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන තමන්ගේ පාඩුවේ යන්න හරි පුරුදු වෙලා. හිනාවෙන්න කතා කරන්න අමතක වෙලා. කතා කලත් ඇනුම්පදයක් හෝ නෝක්කාඩුවක් විතරයි. පෙරහැරක් බලන්න තොරණක් බලන්න යන්නේ නැහැ. ඒවා එක්ක ‍විනෝද වෙන්න දන්නේ නෑ. විනෝද චාරිකාවක් හරි වෙනයම් දෙයකට හරි කට්ටිය එකතු වෙනවා නම් එකතු වෙන්නේ සතුටු වෙන්න නෙවෙයි මත්පැන මූලික කරගෙන. පරිඝණක ක්‍රීඩා වලින් සෑහීමකට පත්වෙන අය කවදාවත් එලියට ඇවිත් අපි පුංචි කාලේ විනෝද වුන විදිහට විනෝද වෙන්න දන්නේ නෑ. ස්වභාව ධර්මයේ වින්දනය දන්නේ නෑ. ගහක් කොලයක් සතෙක් අඳුනන්නේ නෑ. හැම කෙනෙක්ම තාක්‍ෂණය එක්ක එකට බැඳිලා සුන්දරත්වය අමතක කරල. එයාලට නොදැනීම මනුස්සකම වගේ දේවල් එයාලගෙන් ඈත් වෙනවා. සල්ලි තියේ නම් ගන්න පුළුවන්. හැමදේම සිල්ලරට විකි‍ණෙනවා. එක දෙයක් ඇරෙන්න. ඒ තමයි සතුට.

තව ටික කාලයකින් හැමෝටම අපි විඳපු සුන්දර ලමා කාලය අමතක වෙයි ඊලඟ පරම්පරාව කොහොමත් ඒ දේවල් දන්නේ නෑ. හැමෝම යාන්ත්‍රික වෙයි. මිනිස්සුන්ව දූශකයෝ අපරාධකාරයෝ බවට පත්වෙයි. හැබැයි මේ සියල්ල වෙද්දීත් අපි ඒ කාලේ විඳපු ස්වභාව ධර්මයේ දේවල් බලාගෙන ඉඳීවි. සුල‍ඟෙ සිසිලස විඳින්න, වෙල් යායේ සුවඳ  විඳින්න රස පළතුරක රස විඳින්න, ගහ කොල වල දැවටෙන්න මිනිස්සුන්ට අමතක වෙයි. ඒත් ඒ දේවල් හැම වෙලාවෙම අපිට ආයේ ආයේ මතක් කරල දෙන්න උත්සාහ ගනීවි, අහවි අපෙන් "අපි තාම එතැනමයි මිනිසුනේ නුඹලා කොහිද?" කියල.

අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද?

ලස්සන අකුණු වල ඡායාරූප දකින අයට ලොකුම ලොකු ගැටලුවක් වෙලා තියෙන අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද කියන එකට උත්තරයක් අරන් තමයි අද මේ ලිපිය ලියන්නේ. මුලින්ම අපි බලමු ඕන කරන දේවල් ටික මොනවාද කියල.
1. DSLR කැමරාවක්
2. ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
3. lens
4. Cable Realese (තිබේ නම් හොඳයි)
5. වැහි ආවරණ
හොඳයි දැන් කතා කරමු එකින් එක කොහොමද ඒ දේවල් තෝරාගන්නේ කියල. පළවෙන දේ තමයි DSLR කැමරාව. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Entry level DSLR එකකින් වුනත් මේ දේ කරන්න පුළුවන්. දෙවැන්නේ දේ තමයි ශක්තිමත් ත්‍රිපාදය. මේක බොහොම වැදගත් ශක්තිමත් වගේම සමබරතාව හොඳින් රැකෙන එකක් විය යුතුයි. මොකද අපි කැමරාව අටවලා බලන් ඉද්දී කැමරාව වැටෙන්න පුළුවන් ශක්තිමත් ත්‍රිපාදයක් භාවිතා නොකලොත්. ඒ වගේම කැමරාවේ බරට රාමුව වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ශක්තිමත් ත්‍රිපාදයක් භාවිත කිරීම නම් අනිවාර්යයි. ඒ නැතිනම් මොකක් හරි විදිහකින් කැමරාව ආරක්‍ෂිතව එකම රාමු සැකැස්මේ තියාගන්න ක්‍රමයක් ඕන.
ගුවන් නියමුවාගේ දැක්මක් සහිත ඡායාරූපයක් (Pilots View Photograph)
ඊලඟට අපි කොහොමද ලෙන්ස් එක තෝරගන්නේ. ලෙන්ස් එක තෝරා ගැනීමේදී හැකි තරම් පලල් දර්ශන කෝණයක් තියෙන (wide angle lens) එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි. උදාහරණ විදිහට 24-70mm වගේ ලෙන්ස් එකක් භාවිත කරන්න පුළුවන් නමුත් විශේෂ අවස්ථාවක් විදිහට දුර කන්දක් මුදුනේ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් තියෙන තැනක අකුණු ගහන එක පින්තූර ගන්න ඕන නම් අපට 70-300 mm වගේ ලෙන්ස් එකක් වුනත් භාවිත කරන්න පුළුවන්. ඒකෙන් අපට ගුවන් නියමුවෙකුගේ දැක්මක් (Pilots View) සහිත රාමුවක් සකසා ගන්න පුළුවන්.
cable Release එකක් තියෙනවා නම් අපට කැමරාවෙන් දුර ඉඳගෙන සහ කැමරාව නොසෙල්වෙන අයුරින් ද්වාර බොත්තම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක තියෙනවා නම් පින්තූර සාර්ථක කරගන්න පහසු වෙනවා.

වැහි ආවරණ නම් තියා ගන්න එක හොඳයි. මොකද අකුණු එක්ක වැස්ස එන එක නියතයි සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වල. ඒ නිසා පෙර සූදානම වටිනවා වැස්ස වැටෙද්දී කැමරා ආම්පන්න උස්සගෙන ආවරණ සොයමින් දුවනවාට වඩා.

හරි අවශ්‍ය දේවල් ටික හදා ගත්තානම් ස්ථානයක් තෝරගන්න වෙනවා. මොකද ස්ථානය අනුව කැමරාවේ සෙටින්ග්ස් වෙනස් වෙන නිසා. කන්දක් උඩ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් පිහිටි ස්ථානයකට අකුණු ගහන අවස්ථාවක් නම් ගොඩක් හොඳ පින්තූරයක් ගන්න පුළුවන් වෙයි. රාමුව හොද පසුබිමක් හා අකුණු යන සියල්ල අන්තර් ගත වෙන විදිහෙන් සකස් කරගන්න. නමුත් ලඟ අකුණු ගහන වෙලාවකදී නම් උස් ස්ථාන වලට යන්න එපා. මතක තියා ගන්න කැමරාව අතේ තිබුනත් ආරක්‍ෂාව පලමුවැනි තැන තියාගන්න.
අකුණු කීපයක් එකම රාමුවක සැකසුනු අවස්ථාවක්
කැමරාවේ සෙටින්ග්ස් ගැන කියද්දී මුලින්ම ISO අගය 100ක වගේ අඩුම අගයක තියා ගන්න. ඇපෙචරය හා ද්වාරය එක්ක අනාවරණය සකසා ගන්න උත්සාහ ගන්න. කැමරාව Manual Focusing වලට දාල අනන්නයට නාභිගත කරන්න.

සාමාණ්‍යයෙන් ගම්බදව ආලෝක දූෂණය අඩු පරිසරයකදී නම් ඇපෙචරය 5-10 අතර පවත්වගෙන තත්පර 5ක වගේ අනාවරණයක් භාවිත කරන්න පුළුවන්. නමුත් අකුණු ගහන කාල අන්තරය වැඩි නම් ඇපෙචරය 10-16 අතර අගයකත් ද්වාරය තත්පර 30ක් වගේත් යොදාගන්න පුළුවන්. නගරබදව නම් ඇපෙචරය අඩුම අගයක තියාගෙන (5.6 වගේ) තත්පර 5ක් 6ක් හරි ඇපෙචරය 8-10 වගේ අගයක තත්පර 15ක් වගේ අගයක් භාවිත කරන්නත් පුළුවන්. නමුත් හොඳම දේ අපේ පසුබිම් ආලෝකය අනුව අපේ ඇපචරය හා ද්වාර වේගය සකස් කර ගන්න එක. මොකද කියනවා නම් අකුණ තිබුනත් පසුබිම අධිඅනාවරණය වෙලා නම් පින්තූරයේ අගය නැති වෙනවා. දිගු අනාවරණ සඳහා පසුබිමට අනුකූලව ප්‍රශස්ත අයුරින් කැමරාවේ සෙටින්ග්ස් හදා ගන්න හැටි කලින් ආලෝක පින්තාරු ගැන ලිපියේ සඳහන් කලා මතක ඇති. අමතක නම් මෙතැන ක්ලික් කරල ගිහින් බලන්න.
තව එක වැදගත් කාරණාවක් තමයි පුළුවන් තරම් RAW වලින් පින්තූරය ගන්න බලන්න. එවිට පසු පිරියම් වලදී වැඩේ පහසුයි සහ පින්තූරයක අසාර්ථකත්වයක් වීමේ ඉඩකඩ අඩුයි.

දැන් වැඩේ හරි වැහි ආවරණ එහෙම දාගෙන වැඩේ පටන් ගන්න. ලංකාවේ අපිට නම් හොඳම විදිහ වෙන්නේ වැඩි අනාවරණ කාලයක් භාවිතා කරන එක මොකද අකුණු දිගින් දිගටම ගහන වෙලාවක් හොයාගන්න අමාරු නිසා. අවසානයේ කියන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඉවසන්න කියන එක. ගිය ගමන් පින්තූරය අරන් එන්න බෑ. ‍අකුණු ගහන වෙලාවක් කියන්න බෑ අහස දිහා බලාගෙන අධ්‍යයනයෙන් ඉන්න එතකොට අකුණක් ගහන්න මොහොතක් කලින් නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. රාමුව සකස් කරල කැමරාව ත්‍රිපාදයේ තියල කේබල් රිලීස් එක අතේ තියාගෙන අහස දිහා බලන් හිටියානම් සාර්ථක පින්තූර ගන්න පුළුවන් වෙයි.
කෙටි කාලාන්තර වලදී අකුණු ගොඩක් ගහනවා නම් දිගු අනවරණයන් වලදී අපිට එකම රාමුව ඇතුලේ අකුණු කීපයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතිනම් අකුණු කීපයක් එකම රාමුවක බලාගෙන පසු පිරියමේදී Stack ක්‍රමය භාවිතා කරල අකුණු සියල්ල එකම රාමුවක ඇති පින්තූරයක් ගන්න පුළුවන්.

මම මේ දාන පින්තූර අන්තර් ජාලයෙන් ගත්ත ඒවා. ඒවායේ අයිතිය ඒ ඒ ඡායාරූප ශිල්පීන් සතුයි. ඔයාල ගන්න පින්තූර පුළුවන් නම් කොමෙන්ටු හැටියට සඳහන් කරන්න. මොකද ලිපියේ සාර්ථකත්වය ඔයාලගේ කොමෙන්ටු අස්සේ තමයි හැංගෙන්නේ. ඉතින් කට්ටියටම හොඳට අකුණු ගහන්න ආහ් නෑ නෑ අකුණු ඡායාරූප ගත කරන්න ලැබේවා.....!!!!

Light Painting හෙවත් ආලෝක පින්තාරු

අඩු ආලෝක තත්ත්වයක් යටතේ ඇති වස්තුවක් වැඩි අනාවරණ කාලයක් තුලදී චලනය වන ආලෝක ප්‍රභවයක්/ ‍ප්‍රභව මගින් ආලෝකමත් කර ඡායාරූප ගැනීම light painting හෙවත් ආලෝක පින්තාරු ලෙස හැඳින්වේ.

මේ සඳහා අවශ්‍ය වන උපකරණ කීපයක් පවතී.
1. Manual Settings සහිත කැමරාවක්
                      Aperture අගය, Shutter අගය හා ISO අගය අපට පාලනය කල හැකි විය යුතුයි. නිවැරදි අනාවරණය හැම විටම සාර්ථක ප්‍රථිඵල ගෙන දෙන නිසාවෙන්.

2. හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
                            කැමරාවේ බර දරා ගනිමින් අනාවරණ කාලය තුල කැමරාව නෙසෙල්වී පවත්වා ගැනීමට

3. Shutter Release කේබලයක් හෝ දුරස්ථ පාලකයක්
                            අනාවරණය සිදු කිරීමේදී සෙලවීමක් ඇති වීම වලක්වා සියුම් ලෙසින් අනවරණ ස්විචවය ක්‍රියාත්මක කිරීමට

4. Stop Watch එකක්
                               වැඩි අනාවරණ කාලයන්හිදී ගතවූ කාලය මැන ගැනීමට
5. ආලෝක ප්‍රභව (light sources)
                           වස්තුව ආලෝකමත් කිරීම සඳහා උදාහරණ වශයෙන් විදුලි පන්දම් වැනි දේ යොදාගත හැක.
6. Color Gels
                                 විවිධ වර්ණ වලින් අනාවරණය සඳහා ආලෝක පුභවය සමඟ යොදාගැනීම සඳහා.

කැමරාවේ සැකසුම් සකස් කිරීම

Mode - කැමරාව සෑම විටම Manual Mode තබා ගත යුතුය.

Image quality - හැකි සෑම විටම RAW හෙවත් නොසැකසූ දත්ත ආකාරයට පින්තූරය ගබඩා කරන්නේ නම් හොඳයි.

White Balance - ස්වයංක්‍රීය ආකාරය සාර්ථක බව අඩුය. නමුත් එයින් බිහිකල හැකි නිර්මාණ නැතුවාම නොවේ.

ISO - ISO අගය අඩු අගයක පවත්වා ගැනීමෙන් අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමද ඝෝෂාව අවම කර ගැනීමද සිදු කල හැකිය.

F-Stop හෙවත් Aperture අගය - F8 හෝ F10 වැනි අගයයන් පවත්වා ගැනීමෙන් වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීම හා අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමට හැකිවේ.

Shutter Speed - Bulb mode හෝ ඉතා අඩු අගයයන් වල පවත්වා ගැනීමෙන් පින්තාරුව සඳහා වැඩි කාලයක්  ලබා ගත හැකිය.

LCD Brightness - ‍LCD තිරයේ ආලෝකය අඩු තත්ත්වයක පවත්වා ගත යුතුය. එමගින් එහි ආලෝකය පින්තාරුව සඳහා එක්වීම වලක්වාගත හැක.

Histogram - හැකි තරම් histogram එක භාවාතා කරන්න උත්සාහ ගැනීමෙන් පින්තාරුවේදී තද අඳුරු ස්ථාන අවම වන සේ සාර්ථක පින්තාරුවක් කල හැක.

IS හෝ VR - සෙලවීම් අවම කිරීම සඳහා ලෙන්ස් වල තියෙන උපක්‍රම ආකාරය ත්‍රිපාදයක් මතදී විරුද්ධ දෙසටට ක්‍රියා කරයි. ඒ නිසා එම ස්විචය නිවා දැමීම කල යුතුයි.

Long exposure noise reduction - නවීන කැමරාවල ඇති සැකසුමකි. විශාල අනාවරණ කාලයන් වල ඡායාරූප ගැනීමේදි ඇතිවන ඝෝෂව අවම කිරීමේ සැකසුමක් කැමරාව තුල ඇති අතර ආලෝක පින්තාරුවකදී ISO අඩු අගයක පවත්වා ගන්නා නිසා මේ සැකසුම අවැසි නොවේ. තවද මෙහිදී සිදුවන දෙවැනි අඳුරු ලපය ඝෝෂාව ලෙස සලකා ඉවත් කෙරෙන නිසා පින්තා‍රුවේ ඇති නිර්මාණාත්මට බව මේ සැකසුම නිසා ඉවත් විය හැකිය.

බොහෝ විට ආලෝක පින්තාරුවකදී අප මුහුණපාන ගැටලුවක් පවතී. එනම් අප වස්තුව ආලෝකමත් කිරීම සාර්ථකව නිම කලත් බාහිර වටපිටාව අධි අනාවරණයක් හෝ පින්තූරයේ වටිනාකම අඩු කරන ආකාරයට සැකසී තිබීමයි. ඒ නිසා මෙම අනාවරණය සැකසීම සීරුවෙන් කරගත යුතුය. මේ සඳහා විවිධ අනාවරණ කාලයන් යොදමින් ප්‍රශස්ථ අගය සෙවීම කාලය ගතවන හා සිදුකිරීමට අසීරු කාර්යයකි. මේ නිසාවෙන් එය පහසු කර ගැනීම සඳහා කෙටි පියවරක් ඉදිරිපත් කල හැකිය.

* පළමුව ඔබ අනාවරණය සඳහා බලාපොරොත්තු වන ISO අගයට වඩා නැවතුම් 6ක් ඉදිරියෙන් ඇති අගයයකට කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස අප බලාපොරොත්තු වන්නේ ISO 50 අගය නම් නැවතුම් 6ක් ඉදිරියට යනු ISO 3200 වේ.
* දෙවනුව ISO 3200 ට අදාලව බාහිර පරිසරය සඳහා වන ප්‍රශස්ත ද්වාර වේගය සොයාගන්න. දැන් නැවත ඔබ බලාපොරොත්තු වූ ISO අගය වූ 50 අගයට කැමරාව සකසා ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස ලැබුනු තත්ත්පර ගනනේ අගය මින්තු වලින් යොදා කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස තත්ත්පර එකක් ලැබුනි නම් ISO 50 දී ප්‍රශස්ත ද්වාර වේගය වන්නේ මිනිත්තු එකකි.

ආලෝක පින්තාරුවදී ඇතිවන තවත් ගැටලුවක් වන්නේ නාභිගත කිරීමයි. එයට හේතු වන්නේ අප නාභිගත කරන්නට උත්සාහ ගන්නා වස්තුව අඳුරේ පැවතීමයි. ඒ සඳහා සාර්ථක පිලියමක් වේ. එනම් පලමුව වස්තුවේ එක් තැනක් ආලෝක ප්‍රභවයක් මගින් ආලෝකමත් කර එතැනට ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සිදු කරගන්න. පසුව නාභිගත කිරීමේ ස්වයංක්‍රීය ස්විචය නිවා දමන්න. යම් හෙයකින් නාභිගත කිරීමෙන් පසුව කැමරාව සොලවන්නේ නම් නැවත ඉහත පියවර මගින් නාභිගත කිරීම සිදු කල යුතුය.

පහත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් සාර්ථක ආලෝක පින්තාරුවක් සිදුකරගැනීමට හැකි‍වේ.

* වස්තුවේ සියලු පැති පින්තාරු කරන්න 
      කැමරාව පිටුපස සිට ආලෝක ප්‍රභවයන් භාවිත කරමින් අරමුණේ සියලු පැති හොඳින් පින්තාරු කිරීමෙන් වස්තුවවේ සියලු දත්ත හා රටාවන් හසු කරගැනීම කල හැක. 
 
* විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිතා කරන්න
       විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිත කිරීම මගින් වස්තුවට හොඳ ත්‍රිමාන බවක් ලබා දිය හැක. තවද ඒ හා අතර ඇති පසුබිම් මතුපිටද නිවැරදි වශයෙන් ආලොකමත් කිරීම මගින් ත්‍රිමාණ බව පවත්වා ගත හැකිය.

* කැමරාව හා ආලෝක ප්‍රභවය අතර සිට ගන්න එපා
       වස්තුව හා ආලෝක ප්‍රභවය අතර සිට ගැනීම නිසා ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු විය හැක.
 
* අඳුරු පැහැ පරාවර්ථනය අවම ඇඳුමකින් සැරසෙන්න
        මෙමගින් ද ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු වීම අවම කර ගත හැක.
 
* ආලෝක ප්‍රභව කැමරාව දෙසට යොමු කරන්න එපා
        ආලෝක ප්‍රභවය කැමරාව දෙසට එල්ල කිරීමෙන් ඡායාරූපය තුල දීප්තිමත් අලෝක ප්‍රදේශ ලැබිය හැකිය.
 
* රතු පැහැති අඩු ආලෝකයක් කැමරාවේ සැකසුම් බලා ගැනීමට යොදා ගන්න
        එමගින් සැකසුම් සිදු කිරීමට හෝ ඔබ භාවිතා කරන ආලෝකය නිසා ඡායාරූපය දූෂනය වීම අවම කර ගත හැක.
 
* ආලෝක ප්‍රභවය සෑම විටම චලනය කරන්න
        මෙමගින් ඡායාරූපය මත වූ අධි අනාවරණ කලිප මග හරවා ගත හැකිය.
 
* මතුපිට ආකාරය අනුව ආලෝකය ‍ලබා දෙන කාලය වෙනස් කරන්න
        මතුපිට රළු අඳුරු පැහැ නම් ආලෝකය වැඩිපුර උරා ගනී. මේ නිසා එවැනි තැන් ආලෝකමත් කිරීමට වැඩි ආලෝකයක් ලබා දීමට සිදුවේ. වැඩි කාලයක් ආලෝකය ලබාදීමෙන් මෙය සිදු කල හැක. සිනිඳු දිලිසෙනවා නම් ආලෝකය වැඩි වශයෙන් පරාවර්ථනය වේ. මේ නිසා අඩු කාලයක් ආලෝකය ලබා දීමෙන් ප්‍රශස්ත අනාවරණය සිදු කල හැක.
 
* විශාල වස්තූන් ක්‍රමාණුකූලව ආලොකමත් කරන්න
        වස්තුව ක්‍රමාණුකූලව ඉහල සිට පහලට හෝ දෙපසට ආලෝකමත් කිරීම මගින්ද අධිඅනාවරණය වූ ලප ඇති වීම වලක්වාගත හැකිය.
 
* පළමු උත්සාහය මගින් අවසන් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා
        තමාට අවැසි නිර්මාණය කිරීමට ප්‍රථම කීප වරක් අභ්‍යාසයේ යෙදෙන්න. එමගින් අපූරු නිර්මාණයක් කර ගැනීමට හැකිවනු ඇත. 


 උසස් අපූර්ව නිර්මාණ බිහිවන්නේ අත්වැරදීමෙන් හෝ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිඵල වශයෙනි.

අන්තර්ජාලය හා අත්දැකීම් ඇසුරිනි - උපුටා ගැනීම හා වෙනස් කිරමින් මූල්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම තහනම්

මගේ ගමන් බිමන් අසූ හතර වැනි කොටස - තිස්සව රජමහා විහාරය - කොස්දෙණිය

කුරුණෑගල දිස්ත්‍රික්කයට කියන්නේ ‍ඓතිහාසික වශයෙන් ගොඩක් වැදගත් කරුණු රාශියකට හිමිකම් කියන පුරවරයක්. කුරුණෑගල කිව් පමණින් මතක් වෙන්නේ ඓතිහාසික ඇතුගල් විහාරය. ඉතින් මේ පුරවරයේම ටිකක් ඈතින් තියෙන කටුපොත පැත්තට ගමන් බිමන් විස්තරයක් ගෙන එන්න කල්පනා කලා. ඒ තමයි තිස්සව රජමහා විහාරය. කටුපොත ඉඳන් තිස්සව කොස්දෙණිය පාරේ ගියා නම් මේ අපූර්ව විහාරස්ථානයට යන්න පුළුවන්.
ගම ගැන අපූර්ව වගේම ගොඩක් පැරණි ඉතිහාස කතාවක් තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන්නේ මෙන්න මෙහෙමයි. විජය රජු සමඟ පැමිණි පිරිසේ සිටි රජුගේ අගමැති තනතුර දරාපු උපතිස්ස සෙනෙවියා පදිංචි වුන ගම අද තිස්සව ලෙස ප්‍රසිද්ධ වුනාලු. මේ පන්සල නම් නිර්මාණය වෙලා තියෙන්නේ වලගම්බා රජ දවස කියලයි කියන්නේ. මීට අවුරුදු 7කට පමණ ඉහත පුරා විද්‍යා සමීක්‍ෂණ වලින් ලංකාවේ චෛත්‍ය තුන වුන ශාරීරික, පාරිභෝගික, උද්දේචිත කියන තුනම ඉතා කුඩා භූමියක තියෙන්නේ මේ පන්සලේ ගල මුදුනේ කියලයි කියන්නේ.
ගල මුදුනේ අනුරාධපුර යුගයේ චෛත්‍යයක් තිබෙනවා. තවත් චෛත්‍යයක නටඹුන් පහල තිබෙන අතර එයද අනුරාධපුර යුගයට අයත් වෙනවා කියලයි කියන්නේ. එහි පේසා වලලු සඳහා ගඩොල් රවුම් හැටයෙන්ම පුච්චා සකස් කරල තිබීම තවත් විශේෂත්වයක්. විහාරගෙය එකට බැඳි වියන් දෙකකින් සමන්විතයි. දෙකම තියෙන්නේ ගල යට. ඒ වගේම ගල කටාරම් කොටල විහාරය වැසිදියෙන් ආරක්‍ෂා කරල තියෙනවා. විශාල විහාරය අනුරාධපුර යුගයේ නිර්මාණය කර ඇති අතර කුඩා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේගේ නියමයෙන් නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
 
 
 
 
 
කඳු අතර ඇති සානුවේ තවත් කටාරම් කොටන ලද ගල් ගුහා ක් පමණ වනාන්තරයට යටවී ඇති බවයි වාහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වුන මුගුණුවටවන සිද්ධත්ත ස්වාමීන් වහන්සේ පවසන්නේ. සරණංකර ස්වාමීන් වහන්සේගේ කාලයේ තිබූ තල්පත් ආදිය තවමත් සුරැකිව ඇති බවයි පවසන්නේ. වනාන්තරයේ බෝධින් වහන්සේ නමකුත් සිතුවම් කල ගල් ගුහාවකුත් ඇති බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසනවා. නමුත් දැන් නම් යන්න බැරි තරම් වනාන්තරය වැවිලා තියෙනවාලු.


කීප වරක් ඒවා බලන්න යන්න මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න හැදුවත් සාර්ථක වෙලා නෑ ආයෙත් වනාන්තරයට යටවෙන නිසා. ගල් අතුරලා ගස් කොලන් විනාශ නොකර එයින්ම වියන සෑදෙන අයුරින් මාර්ග සකස් කරල වන්දනාකරුවන්ට බලන්න යන්න දෙන්න කැමති වුනත් ඒ තරම් දෙයක් කරන්න පුරා විද්‍යා එකෙන් සහයෝගය දක්වන්නේ නැහැ කියලයි කියන්නේ.

මගේ ගමන් බිමන් අසූතුන්වන කොටස - සේරුවාගල පුරාණ විහාරය

කාලෙකට පස්සේ අලුත් ලියක් එක්ක ඔයාල හමුවෙන්න එන්න හිතුවා. ඒ තමයි නාරම්මල පැත්තේ තියෙන පුරාණ රජමහා විහාරයක්. එය නමින් සේරුවාගල. මෙහි අතීතය වලගම්බා රජ දවස වෙනකම් දිවයන්නක්. කුරුණෑගල නාරම්මල ඉන්න මගේ මිත්‍රයෙක් එක්ක තමයි මම මේ ගමන ගියේ. පන්සලේ විස්තර දැනගන්න මට උදව් කලේ තවත් මිත්‍රයෙක්. 
ටී. එම්. අප්පුහාමි වෙදමහත්තයා
කුරුණෑගල-නාරම්මල-මාදම්පේ කියන මාර්ගයෙන් හැරිල වාදාකඩ පැත්තට යද්දී අපට මේ පන්සල තියෙන තැනල ලඟායවන්න පුළුවන්. විශාල ගල්තලාවක උඩ තමයි මේ පන්සල තියෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න ටී. එම්. අප්පුහාමි කියල වෙදමහත්තයා තමයි අපට මෙතැන  ගැන විස්තර කිව්වේ. ඔහුගේ අත්තා තමයි මේ චෛත්‍යය නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් අපට ඉතිහාසය දැන ගන්න ගොඩක් කරුණු කියන්න මේ සීයා උදව් වුනා.
එකල වලගම්බා රජතුමා දඹදෙණියට යන අතරේ නැවතුන අම්බලමක් කියල තමයි කියන්නේ. විශාල විහාරය මෑතකදී සැදූවක් වුනත් පැරණි විහාරය නම් වලගම්බා රජ දවස තෙක් විහිදෙනවාලු. විහාරගෙයි චිත්‍ර නුවර යුගයේ චිත්‍ර බවත් එවායේ සුවිශේෂත්වයක් තිබෙන බවත් පවසනවා. චෛත්‍යය අවුරුදු 150ක් විතරත් බෝධින් වහන්සේ අවුරුදු 75ක් විතරත් වෙනවා කියලයි කියන්නේ. එය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක්. කෙසේ වුනත් මෙතැන ගැන ජනප්‍රවාද ගනනාවක් අහන්න පුළුවන් වුනා. මෙහි ඇති ගල් වලත් එය ලඟින් ඇති ගල් තට්ටුවත් ගැන කතාව තියෙන්නේ එය පොකුණ වහන්න තිබුණු එකක්ලු. පොකුණේ නිධන් තිබුනු බවත් ඒවා ඉන්දියාවෙන් පැමිණ ගෙනගොස් ඇති බවත් ගැමියන් කියනවා.
 
පිටුපත ‍තිබෙන මාලිගාතැන්න කියල ප්‍රදේශය පුරා විසිරුණු ගඩොල් කැබලි හා පස් වලින් පැරණි මාලිගාවේ කොටස් බවත් සම්පූර්ණ ගල අක්කර 700ක් පමණ විහිද තිබුන බවත් කියනවා. නමුත් දැන් තියෙන්නේ අක්කර 400ක් පමණ කොටසක්ලු. මේ ප්‍රදේශයේ තියෙන විශාලතම මත්‍රපිට පෙනෙන ගල් තට්ටුව මෙය බවයි කියන්නේ. තවත් කතාවක් තමයි ගල් පෙට්ටියක් ගැන තියෙන කතාව.
 
මනුස්සයෙක් මේ මාර්ගයේ එන අතරතුර ගලින් කල පෙට්ටියක් දැකල තියෙනවා. ඔහු එය අරගෙන ඇවිත් ගෙදර තියල තියෙනවා. රාත්‍රියේ ඔහු බයවෙලා අවධි වෙලා තයෙනවාලු. නමුත් ගල් පෙට්ටිය ගැන බලන්න ගිහින් නෑ. උදේ අවදිවෙලා බලද්දී එය තිබුනු තැන හොයාගන්නවත් නැතිවෙලා කියලයි කියන්නේ. මෙය සත්‍ය සිදුවීමක් බවත් ඒ පිළිබඳ තමන්ට මතකයක් ඇති බවත් අප්පුහාමි මහත්තයා පවසනවා. කොහොම වුනත් මේ ප්‍රදේයේ නිධන් ගන්න ගිහින් වුන අනතුරු නම් ඉතා බහුලයි කියලයි අප්පුහාමි මහත්තයා කියන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් මගඩි වැඩ

අද කියන්න හදන්නේ සිදුවෙන අසාදාරණයක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කරන පාරිභෝගිකයන් ගනන් නොගන්නා ආකාරයක් ගැන. මේක සිදුවුනේ මටම නිසා සාක්‍ෂි කීපයක්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මීට මාසයකට පමණ ඉහතදී මම වැඩ කීපයක් සඳහා මාගේ හිතවතෙකුගේ අන්තර්ජාල සබඳතාවයක් භාවිතා කරන්නට පටන් ගත්තා. නමුත් එය විනාඩි කීපයකයට පසු අකර්මන්‍ය වුනා. පසුව විනාඩි කීපයකින් නැවත යථා තත්ත්වයට පත්වුන නිසා ගනන් ගත්තේ නෑ. නමුත් එය සැරින් සැරේ වෙන්න පටන් ගත්තු නිසා සහ අකර්මන්‍ය වී පවතින කාලය දිගු වෙන නිසාවෙන් ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා අංකයක් සම්බන්ධ කරගත්තා. නමුත් ඔවුන සාර්ථක විසඳුමක් දෙන්න නොහැකි වුන නිසා නැවත නැවත කතා කරන්නට වුනා.
 
නමුත් එය විසඳුමක් නොවුනත් කීප වාරයක් පැමිණිලි අංක ලැබුනා. පසුව ඔවුන්ගේ කණ්ඩායමක් එවන බව පවසමින් සිටියත් ඔවුන් එද්දී දින දෙකක් පමණ ගතවෙලා තිබුනා. පැමිණ තිබුනේ දුරකථන දෝශ සඳහා වූ තාක්‍ෂණික අංශයයි. ඔවුන් පැමිණ කීවේ අපට අදාල නැහැ අන්තර්ජාල කණ්ඩායම එවන්නම් කියලයි. තවත් දිනයකට පමණ පසු ආව තාක්‍ෂණික නිලධාරියා අන්තර්ජාලයට සම්බන්ධ කල අතර ඉක්මනින් පිටවී ගියා. ඔහු ගිය විටම වාගේ නැවත අන්තර්ජාල සම්බන්ධතාව නැතිවුනා. මේ සිදුවීම් පෙල දැනට සතියක කාලයක් වුනත් විසඳුමක් ලැබී නැහැ. නැවත නැවත කතා කරමින් ගෙන්වා ගත්තත් කිසි සාර්ථක විසඳුමක් නොලැබුන අතර මා කල යුතු කාර්යයන් පෙල දිනෙන් දින කල් යන්න පටන් ගත්තා. එයට හේතු වුනේ විනාඩි කීපයක ලැබෙන අන්තර්ජාල සබඳතාවයෙන් අමාරුවෙන් වැඩ කරගැනීමට සිදු වීමයි.

අවසන මාසයක් ඉකුත්ව ඇත. මට අවසානයට ලැබුණු පැමිණිලි අංකය ලැබී දැනට දින දෙකකි. එම අංකය 19136056 යි. සබදතාව සකස් කිරීම කල නොහැකි නම් ඒ බැව් පැවසීම මගින් අපට වෙනත් සබඳතාවයක් වෙනුවෙන් මුදල් බැරකල හැක. මුදල් ගෙවමින් මෙවන් සේවාවක් ලබාදීම නම් පල නැති කාණයකි. කෙසේ වෙතත් අවසානයේ ඇසිය යුතු එක් ප්‍රශ්ණයක් පවතී. එය නම් මුදල් ගෙවා ලබා ගන්නා සේවයක ආකාරය මෙයද? පාරිභෝගකයාට සේවා සැපයීම මේ ආකාරයෙන්ද? තවත් මේ සබඳතාව තිබෙන්නේ මා හිතවතාට වෙනත් සබඳතාවයක් වෙත මාරුවීමට තරම් කාලයක් මේ දිනවල නොමැති කම නිසාවෙනි. බලධාරීන් ඇස ගැටුනත් ප්‍රයෝජනයක් නොමැති බව දන්නවා වුනත් අන්තර්ජාලයේ මේ ආකාරයෙන් කොටා තබන්නේ හුදෙක් ලාංකික සන්නිවේදන මාධ්‍ය සපයන ආයතන පිලිබඳ අතිශය කලකිරීමෙනි. 

මගේ ගමන් බිමන් අසූ දෙවැනි කොටස - විහාරහේන, ආඩාරදෙණිය සුන්දරත්වය

දෙනියාය කියන්නේ අපූරු සුන්දරත්වයකින් පිරි පරිසරයක්. මීදුම් පිරුණු කඳු පන්ති වලින් වටවෙලා තියෙන ප්‍රදේශයක්. සිංහරාජ වනාන්තරයේම කෙලවරක තියෙන නිසා බොහෝමයක් සත්ත්ව විශේෂ හා ගහකොළ දකින්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය නිසාම තවත් මිත්‍රයෙක් එක්ක දෙනියාය බලන්න යන්න හිතාගත්තා. ඵලවෙනි අදියර වුනේ ඌරුබොක්ක ප්‍රදේශයේ ඉන්න මගේ මිත්‍රයාගේ ඥාතියෙකුගේ නිවසේ නවාතැන් ගන්න එක. එතැන ඉඳන් කොටපොල හරහා දෙනියායට එන්න තමයි සැලසුම වුනේ. එතැනත් හරිම අපූරු තැනක්. කඳු මුදුනක තේ වත්තක් මැද තියෙන ගෙවල් කිහිපය අතරින් හිරු උදාව බලන්න වාසනාව ලැබුනා.
උදේ එතැනින් පිටත්වුන අපිට විහාරහේන ප්‍රදේශයට එන්න ටිකක් වෙලාව ගතවුනා. ඒකට හේතුව වුනේ අවට ඇති සුන්දරත්වයමයි. මග තියෙන සුන්දරත්වය විඳගෙන කඳුමුදුනට ගියේ එන ගමන් තියෙන දේවල් බලන්න හිතාගෙන. අපේ මාර්ගයේ අවසාන වුනේ පුද්ගලික ඉඩමක් වුන Rain forest ecolodge පුද්ගලික  සමාගම සතු සංචාරක නිවාස ගාවින්. එතැනින් එහාට යන්න අවසර නොතාබුන නිසා අපේ ගමන අවසන් වුනා. යන්න පුළුවන් උපරිම දුර ගිය අපි එතැන ඉඳන් අවට සුන්දරත්වය උපරිම වශයෙන් විඳගත්තා.
ආපසු ගමනේදී අපි මග හරිමින් ගිය වැදගත් ස්ථානයක් අසල නවත්තන්න අපි අමතක කලේ නම් නැහැ. ඒ තමයි සමන්ගල විහාරය. සමන්ගල විහාරය කියන්නේ සමන් දෙවියන් වැඩවාසය කල තැනක් කියලයි කියන්නේ. ඇත්තටම සමන් දෙවියන් දේව සභාව රැස්කල තැන කියලයි ගැමියන්ගේ විශ්වාසය තියෙන්නේ. ‍කොහොම වුනත් හරිම අපූරු නිස්කලංක තැනක්. කවුරුත් නැතත් යන එන සංචාරකයන් මෙතැන නවතින්න නම් අමතක කරල නැහැ. එතැනින් පිටත් වුන අපේ ඊලඟ නවාතැන වුනේ ආඩාරදෙණිය කියන ප්‍රදේශය.
ආඩාරදෙණිය කියන ප්‍රදේශයට ගිය අපි ගිංගඟ පෝෂණය කරන අතු ගංගාවක ඇති විශේෂ තැනක් බලන්න ගියා. මේ තැන වතුර ගලා යාම නිසාම විශාල ගල් වලවල් ඇති වුන තැනක්. මගේ මිත්‍රයාට මුහුණුපොතෙන් හමුවුන විදේශ රටක සේවය කරන තවත් මිත්‍රයෙකුගේ නිවසක් තිබුනු නිසා අපි ඒ නිවසට ගියේ මාර්ගය ගැන හරි අවබෝධයක් ලබාගන්න හිතාගෙන. ආගන්තුක සත්කාරය උපරිම අයුරින් ලාබාදුන්න ඔවුන් මාර්ගය පෙන්වන්න තරම් කාරුණික වුනා. ඒ මාර්ගය දිගේ අව අපට මේ අපූර්ව ස්ථානය දකින්න ලැබුනා. නමුත් වතුර මට්ටම නිසා අපට එය හොඳින් දකින්න නැතත් ගංගාවේ අනෙක් තැන් වල ඇති වතුර හා ගලායාමේ වේගය හා සසඳද්දී නම් මේ කියන ස්ථානය ටිකක් විතර දරුණු තැනක් වගෙයි පෙනුනේ.


හවස් වෙන සලකුණු තිබුනු නිසාත් රෑ වෙන්න කලින් ආයෙමත් එන්න ඕන නිසාත් අපි ගමන එතැනින් නවත්තල දාල ආයෙම එන්න පිටත්වුනා. කොහොම වුනත් සුන්දරත්වය පිරුණු මේ තැන් වලට ආයෙම එන  බලාපොරොත්තුව නම් මගෙත් මගේ මිත්‍රයාගේත් හිත්වල ඉතුරුවුන සුන්දර මතකයන් එක්කම රැඳුනා.


මෙන්න අපේ මතකයෙන් බිඳක් පුංචි මතක සටහන් දෙකක් විදිහට පළවෙනි එක සමන්ගල විහාරය ලඟදී දෙවැන්න Rain forest ecolodge එක ලඟදී....

තවත් පින්තූර ඇල්බමයකට 
video
video