මනමාලයන් අතින් හෑල්ලුවට ලක්වෙන නිළමේ ඇඳුම

ලංකාව කියන්නේ පෞඩ ඉතිහාසයක් තියෙන රටක්. ඒ විතරක් නෙවෙයි ලංකාවට, ලෝකයා පිලිගත්තා වූ අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒක බොහෝම කාලයක් තිස්සේ නොනැසී පැවතුනත් දැන් දැන් හුදෙක් මුදල් වෙනුවෙන් සංස්කෘතිය විනාශ වෙමින් පවතිනවා. මේ ඒ වගේ කතාවක්.

අද කාලයේ කවුරුත් තමන්ගේ මංගල දිනයේදී නිළමේ ඇඳුමක් අඳින්න කැමැත්තක් දක්වනවා. නමුත් අපි ඒ දේ කරන්න ගිහින් අරුත් දන්නා පිරිස ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනවා. මුලින්ම කියන්න ඕන දෙයක් තමා ආවට ගියාට නිළමේ ඇඳුමක් අඳින්න බැහැ. ඒකට දින ගනනක් පේ වෙන්න ඕන. එතැනදී අපි පන්සල් යන එක, දින ගනන් පිරිත් සජ්ජායනා කරමින් පිරිත් නූලක් බඳින එක, මස් මාංශ වලින් තොරවී සිටීම වැනි වත් පිලිවෙත් කල යුතුයි. මේ දේවල් නොකර නිළමේ ඇඳුමක් අඳිනවා කියන්නේ අපේ පෞඩත්වයටම පහර දීමක් එය කෙලසීමක්.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
තව දෙයක් තමා අඳින ඇඳුමේ වර්ණය. සාමාන්‍යයෙන් නිලය අනුව වර්ණය වෙනස් වෙනවා. වංශනිකයන් උඩුකය ඇඳුම ලෙස අඳින්නේ නිල් හෝ මෙරූන් වර්ණය. සාමාන්‍යයෙන් සුදු පැහැය භාවිත වෙන්නේ විදානේ නැමැති තනතුර හොබවන අයගේ ඇඳුමේය. වර්තමානයේ විවිධ වර්ණ වලින් යුතු නිළමේ ඇඳුම් ඇඳීම විලාසිතාවක් වීම නිසා ‍නිළමේ ඇඳුමේ ගෞරවය පමණක් නොව අර්ථයද විනාශ වෙමින් පවතී. නිළමේ ඇඳුම නිසිආකාරයෙන් ඇඳීමේදී අඩි 48ක පමණ රෙදි අවශ්‍ය වන නමුදු වර්තමානයේ විවිධ ද්‍රව්‍ය යොදා මහත සකස කර කෙටි රෙදි වලින් ක්‍ෂණික ක්‍රමයට අන්දවන නිළමේ ඇඳුම් දැකිය හැක.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
නිළමේ ඇඳුමේ ඇති ‍මෝස්තර, ලියවැල්  ආදියද යොදමින් සකස් කරන මේ ඇඳුම කලකට ඉහත රාජකීය නිල ඇඳුමක් වශයෙන්ද පසුව විවිධ ඉහල පෙල පුද්ගලයන්ගේ රාජකාරී ඇඳුමක් වශයෙන්ද භාවිතා විය. මෙහි යෙදෙන ලියවැල් ආදායද කොඩි නිරූපණද භේරුණ්ඩ පක්‍ෂියා, සිංහ රූප, හංස පූට්ටුව, මොනරා සහ ගුරුලා වැනි සත්ව රූප මෝස්තර ද එම පලඳින පුද්ගලයාගේ තරාතිරම නිරූපණය කරයි.

නිලමේ ඇඳුමෙන් සැරසෙන ඕනෑම පුද්ගලයකු තුළ මහත් ආඩම්බරයක්, ගෞරවයක් ඇතිවෙන අතර ඔහුට මනා පෞරුෂයක් කැපී පෙනෙන ස්වභාවයක් ඇති වීමද ඉබේටම සිදුවේ. නිලමේ ඇඳුම ඇන්දවීමේදී මුලින්ම රැලි සහිත කලිසම අන්දවා පපු පටිය ගැට ගසා පසුව සුදු රෙද්ද, රතු රෙද්ද සහ කවණියෙන් සරසා තුම්පොට්ටිය ඇන්ඳවීමෙන් පසු බඳ පටිය හා විල්ලුද ජැකට් එක අන්දවනු ලැබේ. අවසානයෙ අදාළ ආභරණ, හිස්වැස්ම සහ සපත්තු පැළඳවීම සිදු කරයි. මෙම ඇඳුම සම්පූර්ණයෙන් ඇඳ අවසන් වූ පසු උදර ප‍්‍රදේශය විශාලව හා දෙපතුල දෙසට සිහින් ස්වභාවයක් ගනී. අවසන කිරිච්චිය හා කිණිස්ස ඉණෙහි රඳවනු ලබයි. මේවා ආරක්‍ෂාව උදෙසා තිබූ අතර අද එ්වා සාම්ප්‍රදායික "ආභරණ" බවට පත්කරගෙන තිබේ. දැන් දැන් ඇඳුමට කඩුවක් පවා එක් කරගෙන සිටින අවස්ථා තිබුනද ඒවා ‍නිළමේ ඇඳු‍ම සඳහා පසුව එක් වූ දේවල්ය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
කෙසේ වෙතත් කොටස් 14කින් යුතු මෙම ඇඳුම ලෙහෙසියෙන් ඇඳිය නොහැකි අතර තවත් කෙනෙකුගේ සහය අවැසිය. සිංහල රාජකීයයන්ගේ ඇඳුමක් වූ මෙය වර්ථමානයේ මුල්‍යමය වටිනාකමක් යොදමින් මෝස්තර නිර්මාණ ගීල්පීන් පිටරැටියන්ට පවා අන්දන්නට පටන් ගෙන ඇත. අවශ්‍ය කරන නියම අමුද්‍රව්‍ය‍ වල මිල වැඩි කම හා ඉන්දියාවෙන් ගෙන්විය යුතු අමුද්‍රව්‍ය ඇති නිසාවෙන් ඔවුන් ලේසියෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඇඳුම් නිර්මාණය කරන්නට පෙලඹී ඇත. එමෙන්ම තමන් ලස්සන යැයි සිතෙන සතුන් යොදමින් නිර්මිත ඇඳුම් නිසාවෙන් මෙම රාජකීය ඇඳුමේ වටිනාකම මෙන්ම අපේ පෞර රාජ වංශයද හෑල්ලුවට පත්වෙමින් තිබේ. මෙලෙස අපේ රටේ ගෞරවය ප්‍රසිද්ධියේ විනාශ වෙන්නට නොදී රැක ගැනීම ඔබේත් මගේත් අප හැමගේත් යුතුමකමක් වන්නේය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

8 comments:

  1. නියමයි.හාරාත්මක ලිපියක්.ලිපිය ලියා ඇති ආකාරයත් හරි අපූරුයි.කිවුව කතාව ඇත්ත.අපේ අයියත් හොද කලාකරුවෙක්.එයාට නම් හොදටම කලකිරිලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. ඇත්ත සාම්ප්‍රදායික පාරම්පරික කලාකරුවන් වෙනුවෙන් දැන් තැනක් නෑ. වෘත්තියමය ලෙස කරගෙන යන්න අවශ්‍ය කොටස විතරක් ඉගෙන ගත්තු පිරිස් ඇත්ත අර්ථය නැතුව දේවල් කරද්දී තමා අපේ සංස්කෘතිය අපි අතින්ම විනාස වෙන්නේ.

      Delete
  2. නිළමෙ ඇදුම අදින්නෙ උඩරැටියන් කියලා වැරදි මතයක් තියෙනවා. ලංකාවෙ අවසාන රාජධානිය මහනුවර නිසා මේ අදහස ඇවිල්ලා ඇති. නැත්නම් මේ ඇදුම ලංකාවෙ කාටත් අයිතියි. මහනුවර කාලෙ වුනත් පහතරට නිළමෙලා ඇන්දා නම් ඇදලා ඇත්තෙ මේ ඇදුම. අපිට දැනට හම්බවෙන මේක ඇදපු පරණම කෙනා දුනුමන්ත. අදටත් ඒ ඇදුම එහෙන්මම දැඩිමුණ්ඩ දෙවියන්ට අන්දවනවා. ඒකෙන් අදහන් කරන්නෙ නෑ නිළමෙ ඇදුම අන්ද පළවෙනි කෙනා දැඩිමුණ්ඩ අධිකාරම් කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. ඇත්ත මේක උඩරැටියන් සඳහා වූ ඇඳුමක් නෙවෙයි. ඔබ කිව්වා වගේ අවසන් රාජධානිය ‍මහනුවර වීම නිසා සිදු වූවක්...

      Delete
  3. මහනුවර යුගයෙදි, අපේ නිළමෙ වරු ඇන්ද තුම්පොට්ටි සහ මුල් ඇඳුම් ආදිය නායක්කාර් වරුන්ගේ සම්භවය සමඟ මිශ්‍ර වුණු ඒවා. දැනට මුලාශ්‍ර තියෙන්නෙ ඒවායෙ නිසා.. එක එක වර්ණ වලින් ඒ හැඩ තලය තියන් ඕහේ මහනවා.. අඳිනවා.. හරිම ලාංකිකයාගෙ මුල් ඇඳුම හොයාගන්න නම්, ඊටත් එහා මූලාශ්‍ර වලට යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපේ ඉතිහාසය ඊටත් පැරණියි. සමහර පාලකයන්ගේ විනාසයන් නිසා අද වගේම එදත් සමහර ‍දේවල් ඇයි ආවේ කියන එක මැකිල ගිහින්....

      Delete
  4. මුල් ඇඳුම ඇඳීමේදී මස් මාංශ වලින් තොර වීමේ අවශ්‍යතාවය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවය නොවේ මුල් ඇඳෞමේ සංස්කෘතිය එයයි. අපේ සංස්කෘතිය බුදුදහම හා බැඳුනු එකක් වීම තමයි ලොකුම හේතුව. එනිසා එයට ‍ගෞරවනීය බවක් දෙන්නයි මස් මාංශ වලින් තොර අයෙකුට මුල් ඇඳුම අඳින්න අවසර ලැබුනේ. ඇත්තෙන්ම කියනවා නම් පස් පවින් තොර අයෙක් තමයි තානාන්තරයකට හිමිකම් කියන්නේ. මේක ලොකු ඉතිහාස ගවේශණයක් අවැසි මාතෘකාවක් මිතුර

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!