සංස්කෘතිය වනසන මංගල ඡායාරූපකරණය


දැන් ගොඩක් දෙනා මංගල ඡායාරූපකරණය හා බැඳී ඇති නිසාත් එය වත්මන් සමාජයේ මංගල උත්සවයක වැදගත්ම අංගයක් කරගෙන තිබෙන නිසාත් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ගොඩක් වෙලාවට මංගල අවස්ථාවක ඡායාරූප ගන්නේ අපට ජීවිතේ විඳින්න ලැබෙන සුන්දරම මතකයක් නිසාවෙන් එහි මතකයන් අලුත් කරගන්න හා අන් අය එක්ක ඒක බෙදාගන්න තියෙන මාධ්‍යයක් විදිහටයි. ඒත් පටන් ගැන්මේදී එය මංගල අවස්ථාවේ චාරිත්‍ර වාරිත්‍ර වලට බාධාවක් වුනේ නැහැ. ඒත් අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා මංගල අවස්ථාව කියන්නේ පින්තූර ගන්න දවසක් විතරක් වෙලා. ඡායාරූප ශිල්පියාට අවැසි විදිහට තමා සම්පූර්ණ උත්සවයම සිදු වෙන්නේ. මේ දේවල් වල සාරාංශයක් විදිහට තමා අද කතා කරන්න හදන්නේ. මොකද සම්පූර්ණ කතා කරන්න නම් ලිපි පෙලක්ම ඕන වෙන නිසා.













පළවෙනිම දේ තමා දැන් තියෙන අලුත්ම වැඩසටහන වුන preshoot කියන එක. මොකක්ද මේ කාරණාව. සාමාන්‍යයෙන් සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව මනාලයා මනාලියගේ අතිනත ගන්නේ පොරුවේදී. හැබැයි මේ preshoot එකේදී ලස්සන තැනක් කියල බඳින්න කලින් අරන් යනවා කැලෑවක, උද්‍යානයක එහෙමත් නැත්තම් දිරපු බලකොටුවකට බංගලාවට වගේ තැනකට. එතැන තමා පින්තූර ගන්නේ. ඒකෙත් විවිධ ඉරියව් තියෙනවා. මේ සියල්ල කරල අවසාන‍යේ මංගල දිනයේදී ලොකු තිරයක දාල සකස් කල වීඩියෝ දර්ශනයක් හරි පින්තූර පෙලක් හරි පෙන්වනවා. හරි අපූරුයි. යෝජිත විවාහයක් කලත් පෙම්වතුන් වගේ හැසිරිලා. ඒක කවු‍දෝ හොරෙන් පටිගත කරල. චිතුපටයක් වගේ. හැබැයි ඉතින් බලන අයට හිතෙන්නේ බඳින්න කලින් රට වටේම ඇවිදලා වගෙයි. පෙඳ බැඳුන පාලු බංගලා වලින් පටන් ගන්න ජීවිත තියෙනවාද? බිඳුණු පාලු ගෙදරකින් අලුත් ජීවිතක් පටන් ගන්න අයට ලැබෙන ආශිර්වාදය මොකක්ද කියලා නම් ලොකු ප්‍රශ්ණයක් එනවා.











දෙවැනි වැදගත් කාරණාව වන්නේ බඳින දවසේ උදේම ජෝඩුව පන්සල් යන එක. ඒක අපේ හෙල චාරිත්‍ර වාරිත්‍ර වල තියෙන දෙයක්. මොන ශුභ දෙයක් කරන්නත් කලින් බුදුන‍්ගේ ආශිර්වාද ලබා ගන්න එක. නමුත් තමන්ගේ දෙමාපියන් එක්ක පන්සල් යනවා මිස ඡායාරූප ශිල්පියා එක්ක පන්සල් යන්න කියල නම් චාරිත්‍ර වල නැහැ. නමුත් පින්තූර සඳහා පන්සල් යන එක හා ඒ පින්තූර ගනිද්දී අපේ සංස්කෘතියට වෙන විනාසය දැක්කාම අපිට නම් දුකක් තමා ඇති වෙන්නේ. ලස්සන පින්තූරයකින් ඇල්බමය ලස්ස කර ගන්නවාට වඩා බුදුන් වැඳ ආශිර්වාද ලබා ගන්න එකයි වැදගත් වෙන්නේ. මේ විදිහට පන්සල් යන ජෝඩු වලින් කීයෙන් කී දෙනාද බුදුන් වඳින්නේ. පිනතූර ටික ගත්තා දුවනවා ඊලට අවස්ථාවට... පො‍්රුවේ චාරිත්‍ර කරන්න. පින්තූර ගනිද්දී කරන ප්‍රධානම වරද තමයි බුදුන් සිහිකරන පිළිම වලට, බුදුන්ගේ ධාතූන් නිධන් කල චෛත්‍ය වලට, හා ගෞතම බුදුන් බුදු වීමට පිට දුන් බෝධීන් වහන්සේට පිටුපා ඡායාරූප ගැනීම. දැන් ඡායාරූප ගන්නේ පිටුපස තියෙන ගහ බොඳ කරලා. එහෙමත් නැත්තම් බුදු ගෙයි ඇතුලේ ඉඳන් එන විදිහට දොර ගාව තියල. එතකොට ඇතුලේ ටික කලු පාටයි මොනවද තියෙන්නේ කියල පේන්නේ නැහැනේ. ඒත් ඉතින් බෞද්ධයා දන්නේ නැද්ද බුදු ගෙයි දොර ඇතුලේ තියෙන්නේ බුදුන්ගේ පිළිම වහන්සේලා කියන දේ.
 

දැන් ඒකත් බිස්නස් එකක් වෙලා තියෙනවා. සමහර ප්‍රසිද්ධ පන්සල් වල තමා මේ දේ වැඩියෙන් සිද්ධ වෙන්නේ. පින්තූර ගන්න කලින් වෙන් කරන්න ඕන. අවසර නැත්තම් පන්සලේ පින්තූර ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි මංගල ඡායාරූප ගැනීමක් වෙනවානම් පන්සලට "ආධාර" කරන්නත් ඕන. ඒකට වෙනම ආධාර පොත් තියෙනවා. සමහර ඒවායේ රුපියල් හාර පන්දාහක් ගන්නවා පින්තූර ගන්න. අඩුම ගානේ පන්සල දකින්න වන්දනාවේ එන කෙනෙක් වුනත් අල්ලපු ගමේ කෙනෙක් වුනත් පින්තූර ගන්න නම් ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගන්න ඕන. හැබැයි ඉතින් ඒ තරම් ලස්සන නැති ප්‍රසිද්ධ නැති මංගල ඡායාරූප වලට කට්ටිය එන්නේ නැති පන්සලකට අපි ගියා නම් පින්තූර ගන්න විතරක් නෙවෙයි කෑම බීමත් දීලයි එවන්නේ. ඒවා අත්දැකීමෙන් කියන දේවල් කියල මගේ ගමන්බිමන් ලිපි පෙල කියවන අය නම් දන්නවා ඇති.

ඊලඟට චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්න ගියාමත් ගොඩක් දේ වෙනස් වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර වලට හේතු, අඳින පලඳින දේවල් වලට හේතු කිසිවක් දන්නේ නැහැ. අඩුම ගානේ දැන් දෙමාපියන්වත් ඒ දේවල් දන්නේ නැහැ කියන එකයි මගේ නම් මතය. සීයල ආච්චිල තමා දන්නේ. දැන් චාරිත්‍ර දන්නේ ගමේ වැඩිහිටියා නෙවෙයි.මංගලණයේ සියල්ල මෙහෙයවන්නේ ඡායාරූප ශිල්පියා විසින්. එයාට පින්තූර ගන්න ඕන විදිහට අනිත් අය එහා මෙහා වෙලා චාරිත්‍ර කරන්න ඕන. මොනව හරියට මොන දිශාව බලන් කරත් කමක් නෑ පින්තූර ටික හරියට වැදුනද කියලයි අහන්නේ. ඇත්ත තමයි පින්තූර වල දිශාව පේන එකක්යැ. දැන් මංගලණයේ බඳින අය වත් අනිත් වැඩ වත් වැදගත් වෙන්නේ නෑ වැදගත් වෙන්නේ පින්තූර ටික ගන්න එක. අනික දාන makeup එක. මංගල්‍යය අතරේ දුවනවා ‍දිය වෙන ඒවා හදන්න. සමහර වෙලාවට මනමාලි දිහා බලන්න බෑ තැන තැන පුල්ලි මතු වෙලා. අසාධ්‍ය සමේ රෝගියෙක් වගේ. මූණ එක පාටක් අත තව පාටක්. කලු අය සුදු වෙලා නැත්තම් කහ වෙලා. මංගල්‍යයෙන් පස්සේ ගෙදර ගියාට මනමාලි අඳුනගන්න නම් බැහැ. සම්පූර්ණ වෙනස්. ඒයා‍මද මේ කියල තමයි අහන්න වෙන්නේ.

කොහොම වුනත් ලිපියේ අවසානයක් කරන්න බැහැ. චාරිත්‍ර වාරිත්‍ර හා ඒවා ඇයි වෙන්නේ කියන දේ ගැන අනාගතයේ ලිපියක් සකස් කරල වැඩි දුර දේවල් එතැනින් කතා කරන්නම්. දිග ලිපියක් කියවගෙන යන්න අමාරු නිසා මෙතැනින් අදට අවසන්. පින්තූර වලට මුලාවෙලා චාරිත්‍ර වාරිත්‍ර විනාස කරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. මොකද පරම්පරා ගනනවක් තිස්සේ රැකුන චාරිත්‍ර හේතුවක් නැතිව පවතින්නේ නැති නිසා. මම නම් හිතන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරමින් ඒවා ඒ ආකාරයෙන් පින්තූර වලට එකතු වුනානම් ඒක මේ විදිහට වඩා‍ හොඳයි කියලයි.

9 comments:

  1. හ්ම්....මටත් මේ ගැන ලොකු කළකිරීමක් තියෙනවා.මං ඉන්නේ මහනුවර.උදේට යද්දී මංගල ජෝඩුයි ෆොටෝ කාරයෝයි.සමහර අය තුරුල් කරගෙන.බදගෙන ඉඹගන්නවා.සමහරු ඇකිලෙනවත් දැකලා තියෙනවා.දළදා මාලිගාව ඉස්සරහා මෙවා වෙනවා.අනික බලාගෙන ඉන්න අපිට විලි ලැජ්ජාවේ බෑ..

    ReplyDelete
    Replies
    1. උඹලට ගෑනුත් එක්ක ඕවා කරන්න විලි ලැජ්ජා නෑ. වෙඩින් කපල් එකක් දිහා තමා බලන්න බැරි.

      Delete
    2. මෙතැන ගැටලුව තියෙන්නේ අ‍ේ සංස්කෘතිය එක්ක රහසේ කරන දේල් එලි පිට කරන එකයි සහෝ...... (කවුරු වුනත්)

      Delete
  2. මුලින්ම මතු කරන්න හදපු කාරණය එතරම් නිවැරදි නැහැ කියන එකයි මගේ හැගීම. Pre-Shoot එකක් පාලු තැනක යොදා ගත්ත කියල චාරිත්‍රානු කූලව එහි ඝට්ටනයක් තියෙනව කියන එක මම හිතන්නෙ නැහැ. එවැනි ස්ථානයකින් ස්වභාවිකව කලාත්මක ගතියක් නිර්මාණයට ලබාදෙන්න බොහොම පහසුයි. ප්‍රශ්නය තියෙන්නෙ එවැනි නිර්මාණයක තේමාව. ඔව් මල්ලි කිව්ව වගේ යෝජිත විවාහකට සූදානම් වන යුවලකට සුදුසු නැති තේමාවක් බොහෝවිට යොදා ගැනෙනවා

    මංගල්‍යය වෙලාවෙ බොහෝ විට යුවලට වැදගත් එම අවස්ථාවට කොහොම තිවුනත් ඇල්බම් එකේ ලස්සනට තියෙනව නම් ඔක්කොම ගොඩ. එතකොට තමයි ඡායාරූප ශිල්පියා මංගල අධ්‍යකෂක වෙන්නෙ. එවැනි ඡායාරූප බොහාමයක් කෘතීමයි (පුද්ගල ඉරියව්) මොකද මනාල යුවල හෝ සෙසු අය නළු නිළියන් නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔබ කවුදැයි දන්නේ නැහැ නමුත් පාලු තැනක් කියන්නේ ස්වභාව සෞන්දර්ය ඇති තැන් ගැන නෙවෙයි. මම කතා කලේ කැලෑවක වගේ තැනකට විවාහ වෙන්න ඉන්න කෙනො එක්ක යන සිරිතක් සිංහල සිරිත් විරිත් වල නැහැ කියන එකයි. අනික ඒ තැන් වල තියෙන බිඳුනු විනාස වුනු දේවල් එක්ක ජීවිතයක් පටන් ගන්න තැන පින්තූර ගන්නවත් යොදා නොගන්නවනම් හොඳයි කියන එකයි මගේ අදහස වුනේ.

      Delete
  3. මේ ගොඩක් දේවල් දැන් ට්‍රෙන්ඩ් එක වෙලා.. ඩීජේ කරන අය , ත්‍රී පීස්, වන් මෑන් ෂෝ කරන අය වගේම ඡායාරූප ශීල්පීනුත් වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ මංගල උත්සව එක්ක. හැමෝම හදන්නේ තමන්ගේ වැඩ පෙන්නන්න. ඒ අයට මඟුල් ගෙයක් කියන්නේ තවත් එක වැඩක් විතරයි. එක වැඩකින් තවත් වැඩ දෙක තුනක් අල්ල ගන්න තමයි ගොඩක් උත්සහ කරන්නේ. ඹය preshoot එකත් ඒ විදිහට පටන් අරගෙන දැන් හැමෝම කොපි කරන එකක්. මුල් කාලේ බැන්ඩ් එකක් විතරක් තිබුනම ඇති වුනාට, දැන් දැන් ඩාන්සින් ටීම් එකක්, බෑන්ඩ් එකක්, ඩීජේ එකක්, වීඩියෝ එකක් පෙන්වීම, ලයිටින් ටීම් එකක් වගේ දේවල් අත්‍යාවශ්‍ය දේවල් වෙලා. මගුල් ගෙයක් දැන් පාලනය කරන්නේ වෙඩින් ඕගනයිසර්. ඔහු බොහෝ වෙලාවට විශාල මුදලක් ගෙවා වෙන් කරගත් අයෙක්. දැන් ඕනෑම මගුල් ගෙදරක අඩු වැඩි වශයෙන් මේවා තියෙනවා.
    preshoot එක හා පන්සලේ ඡායාරූප ගැනීමත් සිද්ධ වෙන්නේ මනාල යුවලගේ අවශ්‍යතාව අනුව. අනිත් කාරණය මගුල් ගෙදරින් පස්සේ හැමෝම හොයන්නේ වෙඩින් ඇල්බම් එක. ඒකේ මොනවා හරි අඩුවක් උනොත් ඒක ඡායාරූප ශිල්පියාගේ ඉදිරි වැඩ වලට බලපානවා. ඉතින් ඔහු උත්සහ කරන්නේ ඔහුගේ කාර්යය හොඳින් කරන්න. අන්න එතකොට තමයි ඡායාරූප ශිල්පියා සියල්ල අතට ගන්නේ.
    හොඳ සංවිධානාත්මක උත්ත්සවයක් නම් එහෙම වෙන්නෙ නෑ. නිවැරදිව හොදින් සංවිධානය කරනවානම්......

    ReplyDelete
  4. ජීවිතේ පටන් ගන්නේ කොහොමත් පාලු අඳුරු තැනකින් තමයි. ගර්භාෂය කියන්නෙ දිව්‍ය ලෝකයක්ද බොල?

    ReplyDelete
  5. *** මේ විදිහට පන්සල් යන ජෝඩු වලින් කීයෙන් කී දෙනාද බුදුන් වඳින්නේ. ***

    දැන් එතකොට උඹ කොච්චර පන්සල් බලන්න ගියත් වඳින එකෙක්ද?

    ReplyDelete
  6. සිංහල සංස්කෘතියට නොගැලපෙන නිසා සමහර චායාරුප ශිල්පින් pre shoot කරන්නේ නැහැ. ප්‍රවීන ශිල්පී දයාන් විතාරණ මහතාත් ප්‍රි වෙඩින් ෂුට් නොකරන බව කියා තිබුණා. හරි වැරදි නිවැරදිව දකින්නට ඔබට හැකිවී ඇත්තේ, ඔබ රට පුරා ඇවිද අපේ සංස්කෘතිය හොඳින් වටහාගත් තරුණයෙකු නිසා වන්නට ඇති. ඔබට මගේ ප්‍රණාමය.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!