Light Painting හෙවත් ආලෝක පින්තාරු

අඩු ආලෝක තත්ත්වයක් යටතේ ඇති වස්තුවක් වැඩි අනාවරණ කාලයක් තුලදී චලනය වන ආලෝක ප්‍රභවයක්/ ‍ප්‍රභව මගින් ආලෝකමත් කර ඡායාරූප ගැනීම light painting හෙවත් ආලෝක පින්තාරු ලෙස හැඳින්වේ.

මේ සඳහා අවශ්‍ය වන උපකරණ කීපයක් පවතී.
1. Manual Settings සහිත කැමරාවක්
                      Aperture අගය, Shutter අගය හා ISO අගය අපට පාලනය කල හැකි විය යුතුයි. නිවැරදි අනාවරණය හැම විටම සාර්ථක ප්‍රථිඵල ගෙන දෙන නිසාවෙන්.

2. හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
                            කැමරාවේ බර දරා ගනිමින් අනාවරණ කාලය තුල කැමරාව නෙසෙල්වී පවත්වා ගැනීමට

3. Shutter Release කේබලයක් හෝ දුරස්ථ පාලකයක්
                            අනාවරණය සිදු කිරීමේදී සෙලවීමක් ඇති වීම වලක්වා සියුම් ලෙසින් අනවරණ ස්විචවය ක්‍රියාත්මක කිරීමට

4. Stop Watch එකක්
                               වැඩි අනාවරණ කාලයන්හිදී ගතවූ කාලය මැන ගැනීමට
5. ආලෝක ප්‍රභව (light sources)
                           වස්තුව ආලෝකමත් කිරීම සඳහා උදාහරණ වශයෙන් විදුලි පන්දම් වැනි දේ යොදාගත හැක.
6. Color Gels
                                 විවිධ වර්ණ වලින් අනාවරණය සඳහා ආලෝක පුභවය සමඟ යොදාගැනීම සඳහා.

කැමරාවේ සැකසුම් සකස් කිරීම

Mode - කැමරාව සෑම විටම Manual Mode තබා ගත යුතුය.

Image quality - හැකි සෑම විටම RAW හෙවත් නොසැකසූ දත්ත ආකාරයට පින්තූරය ගබඩා කරන්නේ නම් හොඳයි.

White Balance - ස්වයංක්‍රීය ආකාරය සාර්ථක බව අඩුය. නමුත් එයින් බිහිකල හැකි නිර්මාණ නැතුවාම නොවේ.

ISO - ISO අගය අඩු අගයක පවත්වා ගැනීමෙන් අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමද ඝෝෂාව අවම කර ගැනීමද සිදු කල හැකිය.

F-Stop හෙවත් Aperture අගය - F8 හෝ F10 වැනි අගයයන් පවත්වා ගැනීමෙන් වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීම හා අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමට හැකිවේ.

Shutter Speed - Bulb mode හෝ ඉතා අඩු අගයයන් වල පවත්වා ගැනීමෙන් පින්තාරුව සඳහා වැඩි කාලයක්  ලබා ගත හැකිය.

LCD Brightness - ‍LCD තිරයේ ආලෝකය අඩු තත්ත්වයක පවත්වා ගත යුතුය. එමගින් එහි ආලෝකය පින්තාරුව සඳහා එක්වීම වලක්වාගත හැක.

Histogram - හැකි තරම් histogram එක භාවාතා කරන්න උත්සාහ ගැනීමෙන් පින්තාරුවේදී තද අඳුරු ස්ථාන අවම වන සේ සාර්ථක පින්තාරුවක් කල හැක.

IS හෝ VR - සෙලවීම් අවම කිරීම සඳහා ලෙන්ස් වල තියෙන උපක්‍රම ආකාරය ත්‍රිපාදයක් මතදී විරුද්ධ දෙසටට ක්‍රියා කරයි. ඒ නිසා එම ස්විචය නිවා දැමීම කල යුතුයි.

Long exposure noise reduction - නවීන කැමරාවල ඇති සැකසුමකි. විශාල අනාවරණ කාලයන් වල ඡායාරූප ගැනීමේදි ඇතිවන ඝෝෂව අවම කිරීමේ සැකසුමක් කැමරාව තුල ඇති අතර ආලෝක පින්තාරුවකදී ISO අඩු අගයක පවත්වා ගන්නා නිසා මේ සැකසුම අවැසි නොවේ. තවද මෙහිදී සිදුවන දෙවැනි අඳුරු ලපය ඝෝෂාව ලෙස සලකා ඉවත් කෙරෙන නිසා පින්තා‍රුවේ ඇති නිර්මාණාත්මට බව මේ සැකසුම නිසා ඉවත් විය හැකිය.

බොහෝ විට ආලෝක පින්තාරුවකදී අප මුහුණපාන ගැටලුවක් පවතී. එනම් අප වස්තුව ආලෝකමත් කිරීම සාර්ථකව නිම කලත් බාහිර වටපිටාව අධි අනාවරණයක් හෝ පින්තූරයේ වටිනාකම අඩු කරන ආකාරයට සැකසී තිබීමයි. ඒ නිසා මෙම අනාවරණය සැකසීම සීරුවෙන් කරගත යුතුය. මේ සඳහා විවිධ අනාවරණ කාලයන් යොදමින් ප්‍රශස්ථ අගය සෙවීම කාලය ගතවන හා සිදුකිරීමට අසීරු කාර්යයකි. මේ නිසාවෙන් එය පහසු කර ගැනීම සඳහා කෙටි පියවරක් ඉදිරිපත් කල හැකිය.

* පළමුව ඔබ අනාවරණය සඳහා බලාපොරොත්තු වන ISO අගයට වඩා නැවතුම් 6ක් ඉදිරියෙන් ඇති අගයයකට කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස අප බලාපොරොත්තු වන්නේ ISO 50 අගය නම් නැවතුම් 6ක් ඉදිරියට යනු ISO 3200 වේ.
* දෙවනුව ISO 3200 ට අදාලව බාහිර පරිසරය සඳහා වන ප්‍රශස්ත ද්වාර වේගය සොයාගන්න. දැන් නැවත ඔබ බලාපොරොත්තු වූ ISO අගය වූ 50 අගයට කැමරාව සකසා ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස ලැබුනු තත්ත්පර ගනනේ අගය මින්තු වලින් යොදා කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස තත්ත්පර එකක් ලැබුනි නම් ISO 50 දී ප්‍රශස්ත ද්වාර වේගය වන්නේ මිනිත්තු එකකි.

ආලෝක පින්තාරුවදී ඇතිවන තවත් ගැටලුවක් වන්නේ නාභිගත කිරීමයි. එයට හේතු වන්නේ අප නාභිගත කරන්නට උත්සාහ ගන්නා වස්තුව අඳුරේ පැවතීමයි. ඒ සඳහා සාර්ථක පිලියමක් වේ. එනම් පලමුව වස්තුවේ එක් තැනක් ආලෝක ප්‍රභවයක් මගින් ආලෝකමත් කර එතැනට ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සිදු කරගන්න. පසුව නාභිගත කිරීමේ ස්වයංක්‍රීය ස්විචය නිවා දමන්න. යම් හෙයකින් නාභිගත කිරීමෙන් පසුව කැමරාව සොලවන්නේ නම් නැවත ඉහත පියවර මගින් නාභිගත කිරීම සිදු කල යුතුය.

පහත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් සාර්ථක ආලෝක පින්තාරුවක් සිදුකරගැනීමට හැකි‍වේ.

* වස්තුවේ සියලු පැති පින්තාරු කරන්න 
      කැමරාව පිටුපස සිට ආලෝක ප්‍රභවයන් භාවිත කරමින් අරමුණේ සියලු පැති හොඳින් පින්තාරු කිරීමෙන් වස්තුවවේ සියලු දත්ත හා රටාවන් හසු කරගැනීම කල හැක. 
 
* විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිතා කරන්න
       විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිත කිරීම මගින් වස්තුවට හොඳ ත්‍රිමාන බවක් ලබා දිය හැක. තවද ඒ හා අතර ඇති පසුබිම් මතුපිටද නිවැරදි වශයෙන් ආලොකමත් කිරීම මගින් ත්‍රිමාණ බව පවත්වා ගත හැකිය.

* කැමරාව හා ආලෝක ප්‍රභවය අතර සිට ගන්න එපා
       වස්තුව හා ආලෝක ප්‍රභවය අතර සිට ගැනීම නිසා ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු විය හැක.
 
* අඳුරු පැහැ පරාවර්ථනය අවම ඇඳුමකින් සැරසෙන්න
        මෙමගින් ද ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු වීම අවම කර ගත හැක.
 
* ආලෝක ප්‍රභව කැමරාව දෙසට යොමු කරන්න එපා
        ආලෝක ප්‍රභවය කැමරාව දෙසට එල්ල කිරීමෙන් ඡායාරූපය තුල දීප්තිමත් අලෝක ප්‍රදේශ ලැබිය හැකිය.
 
* රතු පැහැති අඩු ආලෝකයක් කැමරාවේ සැකසුම් බලා ගැනීමට යොදා ගන්න
        එමගින් සැකසුම් සිදු කිරීමට හෝ ඔබ භාවිතා කරන ආලෝකය නිසා ඡායාරූපය දූෂනය වීම අවම කර ගත හැක.
 
* ආලෝක ප්‍රභවය සෑම විටම චලනය කරන්න
        මෙමගින් ඡායාරූපය මත වූ අධි අනාවරණ කලිප මග හරවා ගත හැකිය.
 
* මතුපිට ආකාරය අනුව ආලෝකය ‍ලබා දෙන කාලය වෙනස් කරන්න
        මතුපිට රළු අඳුරු පැහැ නම් ආලෝකය වැඩිපුර උරා ගනී. මේ නිසා එවැනි තැන් ආලෝකමත් කිරීමට වැඩි ආලෝකයක් ලබා දීමට සිදුවේ. වැඩි කාලයක් ආලෝකය ලබාදීමෙන් මෙය සිදු කල හැක. සිනිඳු දිලිසෙනවා නම් ආලෝකය වැඩි වශයෙන් පරාවර්ථනය වේ. මේ නිසා අඩු කාලයක් ආලෝකය ලබා දීමෙන් ප්‍රශස්ත අනාවරණය සිදු කල හැක.
 
* විශාල වස්තූන් ක්‍රමාණුකූලව ආලොකමත් කරන්න
        වස්තුව ක්‍රමාණුකූලව ඉහල සිට පහලට හෝ දෙපසට ආලෝකමත් කිරීම මගින්ද අධිඅනාවරණය වූ ලප ඇති වීම වලක්වාගත හැකිය.
 
* පළමු උත්සාහය මගින් අවසන් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා
        තමාට අවැසි නිර්මාණය කිරීමට ප්‍රථම කීප වරක් අභ්‍යාසයේ යෙදෙන්න. එමගින් අපූරු නිර්මාණයක් කර ගැනීමට හැකිවනු ඇත. 


 උසස් අපූර්ව නිර්මාණ බිහිවන්නේ අත්වැරදීමෙන් හෝ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිඵල වශයෙනි.

අන්තර්ජාලය හා අත්දැකීම් ඇසුරිනි - උපුටා ගැනීම හා වෙනස් කිරමින් මූල්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම තහනම්