එදත් අදත් අපේ සුන්දර ලමා කාලයේ වෙනස

වසර ගනනක් ගතවෙලා. අද සමාජයේ විවිධ තැන්වල යද්දී මට මතක් වෙන්නේ මගේ කුඩා කාලයයි. එහි මා දුටු සුන්දරත්වයයි. අද ඉලෙක්ට්‍රොනික ලෝකයක හිත දුවද්දී වුවද එදා අප විඳි සුන්දර ලමා කාලය මසිතට නැ‍ඟෙන්නේ සිහියක් පරිද්දෙනි. එදත් අදත් වෙනස ගැන ලියන්නට කීප වරක් උත්සාහ ගත්තද හුදෙක් ඒ සෑම මොහොතකම මා සිහින ලොවක අතරමංවීමි. මෙය මාගේ පමණක් නොව මා වයසේ හා ඊට පෙර සිටි උන්ගේ අතීතයම විය.

කුඩා කාලය පනා බිස්කට් එකක් උදේ ආහාරය විදිහට අරන් ඉස්කොලේ ගියේ අපේ තිබුනු ආර්ථික තත්ත්වය හින්දාමය. නමුදු එකල ආර්ථිකය යනු හුදෙක් බැරෑරුම් අප නොදන්නා වචනයකි. අපේ හිත් වල තිබුනේ පුංචි පුංචි සෙල්ලම් කරමින් සතුටු වෙන ලෝකයක් විතරමය. රූපවාහිනී නොතිබුණු විදුලිය නොතිබුනු කාලයකින් අප පටන් ගත්තෝ වෙමු.
පුවක් පට්ටයක වාඩි වී තවකෙකු ලවා ඇදගෙන යාම අවසන් වන්නේ පුවක් පට්ටය ගෙවී පස්සා පැත්ත බිම වැදී සීරෙන්නට පටන් ගත් පසුය. පොල්පිති හරකෙකු දක්කාගෙන හෝ ඔක්ටපාලු බෝලයකින් සෙල්ලම් කරමින් දවස ගත කලෙමු. වසරේ වැදගත්ම සමය වන්නේ අලුත් අවුරුදු නිවාඩුවය. අලුත් ඇඳුම් ගන්න, රතිඤ්ඤා පත්තු කරන්න, එහෙමත් නැතිනම් උණ බට වෙඩි තියන්න තරම් දෙයක් අපට තිබුනේ නැහැ. නෑ ගම් යන්න වගේම අලුත් අවුරුදු නැකත් වෙනුවෙන් ඇඟිලි ගනින්න වුනා. වැඩියෙන්ම වටින නැකත වුනේ කෑම නැකත තමයි. අවුරුද්දට හදන කෑම ඉඳුල් කරන්නේ අවුරුදු නැකතට නිසාත් ඒ කෑම ටික වෙනුවෙන් සති ගානක් මතක කෙල ගිලින නිසාත් ඒ නැකත නම් මඟ හරින්නේ නෑ. එතැනින් පස්සේ පංච දාන්න, ඔලිඳ කෙලින්න, ඔංචිල්ලා පදින්න වගේ දහසකුත් සෙල්ලම තිබුනා. අවුරුදු උත්සව බලන්න යන්න, අලියට ඇහැ තියන්න, කොට්ටපොරේ ගහන ඇඟ තඩි අයියල දිහා පුදුමයෙන් බලන්න වගේ අවුරුදු ක්‍රීඩා එක්ක සතුටු වුනා. ඒ කාලේ අවසන් වෙද්දී හිත් වල තියෙන්නේ වෙසක් උත්සවය ගැන. මේ අවුරුද්දේ ලොකුම කූඩුව කාගෙද? හොඳම තොරණ කොතනද තියෙන්නේ කියල හිත හිතම තමයි ඉන්නේ. අපේ ගෙදරත් පැටව් ගොඩක් එක්ක කූඩුවක් හදමු කිව්වත් අවසානයේ සුපුරුදු විදිහටම කූඩු දෙකක් එල්ලන්නේ ගෙදර කූඩුවක් පත්තු කරන්නම ඕන නිසා. හැබැයි ඉතින් අඬල හරි වෙසක් බලන්න යන්නම ඕන. ඒ වෙසක් කූඩු ටික බලන්නයි තොරණේ තියෙන ජාතක කතාව බලන්නයි. පස්සේ තොරණේ ලයිට් පත්තුවෙන අපූරුවට හිත බැඳිල දැන් යමු නේද කියල තාත්ත අහද්දී තමයි මතක් වෙන්නෙ රෑ වෙලා කියල. හැබැයි ඉතින් කොහොම කලත් දැන් ඇති යමු කියල තාත්ත සැර කලේ නැත්තම් එලි වෙනකම් වුනත් තොරණ දිහා බලාගෙන තමයි. 










වෙසක් ඉවර වෙලා පොසොන්, ඇසල ගෙවෙද්දී පෙරහැර බලලා ඒකේ ඉන්න යක්කුන්ට කෝලං කරල ගෙදර එනවා. කොහොම හරි කරල සලු පාලිය නටන යකා මතකයේ තියාගෙන ඌ කරපු ඔච්චම දවස් ගානක් හිතේ තියෙනවා. එතැනින් පස්සේ ආ‍යෙත් එන්නේ පාසල් නිවාඩු කාලයයි සරුංගල් කාලයයි. පුංචිම එකා කාල‍ේ කාටහරි කියල සරුංගලයක් හදවගෙන ඒක පිට්ටනියක යවල හැන්දෑ වෙනකම් ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික ටික ලොකු වෙද්දී අපිටම කියල සරුංගලයක් හදාගෙන ඒ උඩ යවන්නේ නූල් පන්දු ගානට. සරුංගලේ වැඩියෙන්ම උඩ යවන්නේ කවුද කියල තරඟයක් නොතිබුනත් අපි  හිත්වලින් එකිනෙකා එක්ක තරඟ කලා. අවසානයේ වැඩිම උඩ තීරණය වෙන්නේ නූල් පන්දු කීයක් උඩ යැව්වද කියන එකෙන්. සරුංගලය් හදාගන්න බැර වුනොත් හරි තමන්ගේ සරුංගලය නැති වුනොත් හරි තව කොනෙක්ගේ සරුංගලයක් කඩාගෙන යනකම් බලන් ඉන්නේ බයිසිකල් අරන් ඒක වැටෙන තැනින් අගෙන ගෙදර ගේන්න. සරුංගලයක් කඩාගෙන යද්දී ඒක වැටෙන තැන හරියටම අනුමාන කරන්න ඒ කාලේ අපිට සහජ හැකියාවක් තිබුනා. සරුංගලය ලස්සන නම් අනිත් අයට කලින් ඒක පස්සෙන් බයිසිකලය පදින්න ලංකාවේ කොනටම යන්න වුනත් අපි සූදානම්.
ග‍ඟේ බැහැල මාලු අල්ලන්න ගියේ පව්කාර කමට නෙවෙයි හිතේ තිබුන කොලු කමට. රබර් ඇට දැක්කාම ඒක ගෙනත් පුංචි සිදුරක් හදල කූඹින්ට වැඩේ බා‍ර දෙන්නේ ඒක ඇතුල සුද්ද කරන හැටි අපූරුවටම දන්නේ කූඹි බව දන්න නිසා. ගොක් කොලයකින් රූම් පෙත්තක් හදාගෙන මිදුල වටේ දුවන්න, ගොක්කොල නයෙක් හදාගන නටවන්න අපි ආස කලා. කැටපෝලයක් ඉනේ බැඳගෙන වීරයෙක් වගේ ඇවිදින්න බටතුවක්කු හදාගෙන දෙපිල බෙදිලා වෙඩි තියාගන්න කුරුම්බැට්ටි මැෂිමකින් මහන්න වගේ දේවල් එක්ක අපේ පුංචි කාලයත් හෙමින් හෙමින් ගෙවුනා. කුප්පි ලාම්පු එළියෙන් පටන් ගත්තු අපේ ජීවිත වලට විදුලිය එද්දී හරිම අපූරු වුනා. ඒ කාලේ ලංකාවටම විදුලිය නැතිවුන කාලයක් තිබුනා. ලයිට් එනකම් කියල රේඩියෝවේ වැඩසටහන් පවා ඒ කාලේ තිබුනා. හරි සුන්දර විහිලු තහලු එක්ක බැටරි බහිනකම් රේඩියෝව ඇහුවා. හැබැයි ඉතින් මේ කොයි දේටත් වඩා කලුවරේ එක පහනක් පත්තු කරගෙන තාත්තට ගුලි වෙලා තාත්ත කියන කතා ටික අහන්න අපි ආස වුනා. දවසක් හරි රෑට ලයිට් තිබුනම තමයි හිතට අවුල. මොකද එදාට තාත්තගේ කතාව අහන්න වෙන්නේ නැති නිසා. බට්ටෝ පනින්න, හැංගිමුත්තන් කෙලින්න අපේ වයස ගතවුනා. දුර ගමන් යන්න කොයි තරම් ආස වුනාද කියනවා නම් ගමනට සූදානම් වුනේ මාසෙක විතර ඉඳන් අපේ හිතෙන්. කෝච්චියේ නැගල එකෙ ඇහෙන තාලෙට 'ඩක ඩකස්' කියන්න, 'තවත් හයියෙන් තවත් හයියෙන්' කියල කෑ ගහන්න ආස කලා. පත්තර පිටු ගනන් ඉරාගෙන ඇවිත් හුල‍ඟේ පා කරන්න වුනා. කෝච්චියේ වැඩට යන අයියල අක්කලා නැන්දලා මාමලාගේ සින්දු අහන්න ආස කලා. මේ වගේ පුංචි පුංචි දේවල් ගොඩක් එක්ක අපි ලොකු වෙලා තාක්‍ෂණය ලෝකෙට ආව.
දුන් ඉතින් අපිට විනෝද වෙන්න බෑ. ඒකට හේතු ගොඩයි. අපිට වගකීම් එනවා. නමුත් ඉස්සර වගේ පුංචි අය දිහා බලල අපිට සුන්දර දේවල් මවන්නත් බෑ. අපේ අය දිහා බලල වින්දනයක් ලබන්නත් බෑ. ඒකට හේතුව තාක්‍ෂණය තමයි. දැන් පුංචි ලමයි සරුංගල් හදන්න දන්නේ නෑ. දන්නේ කඩේ විකුන්න තියෙන ප්ලාස්ටික් සරුංගල් ගැන. රූං පෙත්තේ ඉඳල හැම දේම කඩේ තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා. බයිසිකල් පදින්න වත්තේ තාප්පය සීමාව තියෙනවා. හවස 6-7 වෙද්දී බලන්න තියෙන කාටූන් අපි පුංචි කාලේ සුන්දරව බලපු ටයිටස් තොටවත්ත මාම හඬකවපු ලස්සන වචන එක්ක නෑ. ඊට පස්සේ රෑ නිදා ගන්නකම් බලන්න ටෙලා නාට්‍ය පෝලිමක් තියෙනවා. ඒවා වලින් කා දාන්නේ පුංචි සෙල්ලම් හිත් කියල මාධ්‍ය ආයතන වලට මතකත් නැහැ. එහා ගෙදර ලමයි මෙහා ගෙදර ලමයි දන්නේ නෑ. සල්ලි තියෙන ලමයි දුප්පත් ලමයි එක්ක සෙල්ලම් කරන්නේ නෑ. තාත්තට තුරුල් වෙලා කතාවක් අහන්න තියා ලමයින්ට කතාවක් කියා දෙන්න තාත්තලට වෙලාවක් නෑ. කෝච්චියේ යද්දී කියන සින්දු අහන්න විදිහක් නෑ. මොකද ඒවායේ යන අය ඔක්කෝම වගේ ජංගම දුරකථන වල චිත්‍රපටි බලන්න එහෙමත් නැතිතම් සමාජ ජාල වෙබ් අඩෙවි වල හිරවලා ඉන්න හරි  හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන තමන්ගේ පාඩුවේ යන්න හරි පුරුදු වෙලා. හිනාවෙන්න කතා කරන්න අමතක වෙලා. කතා කලත් ඇනුම්පදයක් හෝ නෝක්කාඩුවක් විතරයි. පෙරහැරක් බලන්න තොරණක් බලන්න යන්නේ නැහැ. ඒවා එක්ක ‍විනෝද වෙන්න දන්නේ නෑ. විනෝද චාරිකාවක් හරි වෙනයම් දෙයකට හරි කට්ටිය එකතු වෙනවා නම් එකතු වෙන්නේ සතුටු වෙන්න නෙවෙයි මත්පැන මූලික කරගෙන. පරිඝණක ක්‍රීඩා වලින් සෑහීමකට පත්වෙන අය කවදාවත් එලියට ඇවිත් අපි පුංචි කාලේ විනෝද වුන විදිහට විනෝද වෙන්න දන්නේ නෑ. ස්වභාව ධර්මයේ වින්දනය දන්නේ නෑ. ගහක් කොලයක් සතෙක් අඳුනන්නේ නෑ. හැම කෙනෙක්ම තාක්‍ෂණය එක්ක එකට බැඳිලා සුන්දරත්වය අමතක කරල. එයාලට නොදැනීම මනුස්සකම වගේ දේවල් එයාලගෙන් ඈත් වෙනවා. සල්ලි තියේ නම් ගන්න පුළුවන්. හැමදේම සිල්ලරට විකි‍ණෙනවා. එක දෙයක් ඇරෙන්න. ඒ තමයි සතුට.

තව ටික කාලයකින් හැමෝටම අපි විඳපු සුන්දර ලමා කාලය අමතක වෙයි ඊලඟ පරම්පරාව කොහොමත් ඒ දේවල් දන්නේ නෑ. හැමෝම යාන්ත්‍රික වෙයි. මිනිස්සුන්ව දූශකයෝ අපරාධකාරයෝ බවට පත්වෙයි. හැබැයි මේ සියල්ල වෙද්දීත් අපි ඒ කාලේ විඳපු ස්වභාව ධර්මයේ දේවල් බලාගෙන ඉඳීවි. සුල‍ඟෙ සිසිලස විඳින්න, වෙල් යායේ සුවඳ  විඳින්න රස පළතුරක රස විඳින්න, ගහ කොල වල දැවටෙන්න මිනිස්සුන්ට අමතක වෙයි. ඒත් ඒ දේවල් හැම වෙලාවෙම අපිට ආයේ ආයේ මතක් කරල දෙන්න උත්සාහ ගනීවි, අහවි අපෙන් "අපි තාම එතැනමයි මිනිසුනේ නුඹලා කොහිද?" කියල.

අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද?

ලස්සන අකුණු වල ඡායාරූප දකින අයට ලොකුම ලොකු ගැටලුවක් වෙලා තියෙන අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද කියන එකට උත්තරයක් අරන් තමයි අද මේ ලිපිය ලියන්නේ. මුලින්ම අපි බලමු ඕන කරන දේවල් ටික මොනවාද කියල.
1. DSLR කැමරාවක්
2. ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
3. lens
4. Cable Realese (තිබේ නම් හොඳයි)
5. වැහි ආවරණ
හොඳයි දැන් කතා කරමු එකින් එක කොහොමද ඒ දේවල් තෝරාගන්නේ කියල. පළවෙන දේ තමයි DSLR කැමරාව. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Entry level DSLR එකකින් වුනත් මේ දේ කරන්න පුළුවන්. දෙවැන්නේ දේ තමයි ශක්තිමත් ත්‍රිපාදය. මේක බොහොම වැදගත් ශක්තිමත් වගේම සමබරතාව හොඳින් රැකෙන එකක් විය යුතුයි. මොකද අපි කැමරාව අටවලා බලන් ඉද්දී කැමරාව වැටෙන්න පුළුවන් ශක්තිමත් ත්‍රිපාදයක් භාවිතා නොකලොත්. ඒ වගේම කැමරාවේ බරට රාමුව වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ශක්තිමත් ත්‍රිපාදයක් භාවිත කිරීම නම් අනිවාර්යයි. ඒ නැතිනම් මොකක් හරි විදිහකින් කැමරාව ආරක්‍ෂිතව එකම රාමු සැකැස්මේ තියාගන්න ක්‍රමයක් ඕන.
ගුවන් නියමුවාගේ දැක්මක් සහිත ඡායාරූපයක් (Pilots View Photograph)
ඊලඟට අපි කොහොමද ලෙන්ස් එක තෝරගන්නේ. ලෙන්ස් එක තෝරා ගැනීමේදී හැකි තරම් පලල් දර්ශන කෝණයක් තියෙන (wide angle lens) එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි. උදාහරණ විදිහට 24-70mm වගේ ලෙන්ස් එකක් භාවිත කරන්න පුළුවන් නමුත් විශේෂ අවස්ථාවක් විදිහට දුර කන්දක් මුදුනේ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් තියෙන තැනක අකුණු ගහන එක පින්තූර ගන්න ඕන නම් අපට 70-300 mm වගේ ලෙන්ස් එකක් වුනත් භාවිත කරන්න පුළුවන්. ඒකෙන් අපට ගුවන් නියමුවෙකුගේ දැක්මක් (Pilots View) සහිත රාමුවක් සකසා ගන්න පුළුවන්.
cable Release එකක් තියෙනවා නම් අපට කැමරාවෙන් දුර ඉඳගෙන සහ කැමරාව නොසෙල්වෙන අයුරින් ද්වාර බොත්තම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක තියෙනවා නම් පින්තූර සාර්ථක කරගන්න පහසු වෙනවා.

වැහි ආවරණ නම් තියා ගන්න එක හොඳයි. මොකද අකුණු එක්ක වැස්ස එන එක නියතයි සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වල. ඒ නිසා පෙර සූදානම වටිනවා වැස්ස වැටෙද්දී කැමරා ආම්පන්න උස්සගෙන ආවරණ සොයමින් දුවනවාට වඩා.

හරි අවශ්‍ය දේවල් ටික හදා ගත්තානම් ස්ථානයක් තෝරගන්න වෙනවා. මොකද ස්ථානය අනුව කැමරාවේ සෙටින්ග්ස් වෙනස් වෙන නිසා. කන්දක් උඩ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් පිහිටි ස්ථානයකට අකුණු ගහන අවස්ථාවක් නම් ගොඩක් හොඳ පින්තූරයක් ගන්න පුළුවන් වෙයි. රාමුව හොද පසුබිමක් හා අකුණු යන සියල්ල අන්තර් ගත වෙන විදිහෙන් සකස් කරගන්න. නමුත් ලඟ අකුණු ගහන වෙලාවකදී නම් උස් ස්ථාන වලට යන්න එපා. මතක තියා ගන්න කැමරාව අතේ තිබුනත් ආරක්‍ෂාව පලමුවැනි තැන තියාගන්න.
අකුණු කීපයක් එකම රාමුවක සැකසුනු අවස්ථාවක්
කැමරාවේ සෙටින්ග්ස් ගැන කියද්දී මුලින්ම ISO අගය 100ක වගේ අඩුම අගයක තියා ගන්න. ඇපෙචරය හා ද්වාරය එක්ක අනාවරණය සකසා ගන්න උත්සාහ ගන්න. කැමරාව Manual Focusing වලට දාල අනන්නයට නාභිගත කරන්න.

සාමාණ්‍යයෙන් ගම්බදව ආලෝක දූෂණය අඩු පරිසරයකදී නම් ඇපෙචරය 5-10 අතර පවත්වගෙන තත්පර 5ක වගේ අනාවරණයක් භාවිත කරන්න පුළුවන්. නමුත් අකුණු ගහන කාල අන්තරය වැඩි නම් ඇපෙචරය 10-16 අතර අගයකත් ද්වාරය තත්පර 30ක් වගේත් යොදාගන්න පුළුවන්. නගරබදව නම් ඇපෙචරය අඩුම අගයක තියාගෙන (5.6 වගේ) තත්පර 5ක් 6ක් හරි ඇපෙචරය 8-10 වගේ අගයක තත්පර 15ක් වගේ අගයක් භාවිත කරන්නත් පුළුවන්. නමුත් හොඳම දේ අපේ පසුබිම් ආලෝකය අනුව අපේ ඇපචරය හා ද්වාර වේගය සකස් කර ගන්න එක. මොකද කියනවා නම් අකුණ තිබුනත් පසුබිම අධිඅනාවරණය වෙලා නම් පින්තූරයේ අගය නැති වෙනවා. දිගු අනාවරණ සඳහා පසුබිමට අනුකූලව ප්‍රශස්ත අයුරින් කැමරාවේ සෙටින්ග්ස් හදා ගන්න හැටි කලින් ආලෝක පින්තාරු ගැන ලිපියේ සඳහන් කලා මතක ඇති. අමතක නම් මෙතැන ක්ලික් කරල ගිහින් බලන්න.
තව එක වැදගත් කාරණාවක් තමයි පුළුවන් තරම් RAW වලින් පින්තූරය ගන්න බලන්න. එවිට පසු පිරියම් වලදී වැඩේ පහසුයි සහ පින්තූරයක අසාර්ථකත්වයක් වීමේ ඉඩකඩ අඩුයි.

දැන් වැඩේ හරි වැහි ආවරණ එහෙම දාගෙන වැඩේ පටන් ගන්න. ලංකාවේ අපිට නම් හොඳම විදිහ වෙන්නේ වැඩි අනාවරණ කාලයක් භාවිතා කරන එක මොකද අකුණු දිගින් දිගටම ගහන වෙලාවක් හොයාගන්න අමාරු නිසා. අවසානයේ කියන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඉවසන්න කියන එක. ගිය ගමන් පින්තූරය අරන් එන්න බෑ. ‍අකුණු ගහන වෙලාවක් කියන්න බෑ අහස දිහා බලාගෙන අධ්‍යයනයෙන් ඉන්න එතකොට අකුණක් ගහන්න මොහොතක් කලින් නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. රාමුව සකස් කරල කැමරාව ත්‍රිපාදයේ තියල කේබල් රිලීස් එක අතේ තියාගෙන අහස දිහා බලන් හිටියානම් සාර්ථක පින්තූර ගන්න පුළුවන් වෙයි.
කෙටි කාලාන්තර වලදී අකුණු ගොඩක් ගහනවා නම් දිගු අනවරණයන් වලදී අපිට එකම රාමුව ඇතුලේ අකුණු කීපයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතිනම් අකුණු කීපයක් එකම රාමුවක බලාගෙන පසු පිරියමේදී Stack ක්‍රමය භාවිතා කරල අකුණු සියල්ල එකම රාමුවක ඇති පින්තූරයක් ගන්න පුළුවන්.

මම මේ දාන පින්තූර අන්තර් ජාලයෙන් ගත්ත ඒවා. ඒවායේ අයිතිය ඒ ඒ ඡායාරූප ශිල්පීන් සතුයි. ඔයාල ගන්න පින්තූර පුළුවන් නම් කොමෙන්ටු හැටියට සඳහන් කරන්න. මොකද ලිපියේ සාර්ථකත්වය ඔයාලගේ කොමෙන්ටු අස්සේ තමයි හැංගෙන්නේ. ඉතින් කට්ටියටම හොඳට අකුණු ගහන්න ආහ් නෑ නෑ අකුණු ඡායාරූප ගත කරන්න ලැබේවා.....!!!!