කැමරාවක් තෝරගන්න කලින්.......

මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්ණයක් තමයි කැමරාවක් ගන්නවා නම් මොකක් ද හොඳ කැමරාව කියල. හොඳ කැමරාවක් නම් ඉතින් High End කැමරාවක් තමයි.  ඒත් ගැටලුවක් තියෙනවා ඒ තමයි High End කැමරාවක මිල අධික වීම. ඒ තරම් මිල අධික කැමරාවක් ගන්න තරම් පුළුවන් අය ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒත් වියදම් වැඩි විනෝදාංශයක් තෝරගනිද්දී තමයි ඒක හිතන්න තිබුනේ. ඒ නිසා අපි බලමු සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් කැමරා මොනවද කියල. ඒක තීරණය කරන්න ඕන කොහොමද කියලත් අපි කතා කරමු. මෙතැනදී කෙලින්ම කතා කරන්න බලාපාරොත්තු වන්නේ Point and Shoot එහෙමත් නැතිනම් Compact කැමරා ගැන නම් නෙවෙයි. කතා කරන්නේ DSLR කැමරාව ගැන. එය තෝරාගැනීමේ තාක්‍ෂණික පැත්ත ගැන වෙනමම ලිපියකින් විස්තර ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
කැමරාවක් තෝරගන්න කලින් කරන්න ඕන ගොඩක් දේවල් තියනවා. මොකද කැමරාවක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන නිසා සහ ඒ මුල වැය කරල ගේන කැමරාව තමන්ට අවශ්‍ය දේ කරන්න භාවිතා කරන්න බැරිනම් ඒකෙන් වැඩක් නැති වෙනවා. මේ සඳහා මුලින්ම බලන්න ඕන ඡායාරූපකරණය කියන විශාල විශය ක්‍ෂේත්‍රය තුල ඔබ තෝරගන්නේ කුමන කොටසද කියන එක. මේ වෙද්දී කෙනෙක් අහන්න පුළුවන් ඡායාරූපකරණයේ යෙදෙන කෙනෙක් එහෙම විශයයන් වලට වෙන් වෙලා නෑ නේද කියල. ඔබ හරි නමුත් ඡායාරූපකරණයේ විශිෂ්ඨයෙකු වෙන්න මේ සියල්ල අල්ලගෙන බෑ. අනිත් විශයයන් අතර තමන්ට විශේෂිත එක් කොටසක් තිබිය යුතුයි. එහි ප්‍රවීණයෙක් විය හැකියි. වාර්තා ඡායාරූපකරණය, වනජීව ඡායාරූපකරණය, මංගල ඡායාරූපකරණය කියන්නේ විශාල ක්‍ෂේත්‍රයක කොටස් තුනක් විතරයි. මේ වගේ විවිධ මංපෙත් තියෙන කලාවක තමන්ට අවශ්‍ය පැතිකඩ දිගේ යන්න නම් කැමරාව සහ උපාංග එකිනෙකට වෙනස් විධි වලින් අවශ්‍ය වෙනවා. හැමොටම Full Frame කැමරාවක් ගන්න බැරි නිසා Entry Level කැමරාවක් හරි Semi Professional කැමරාවක් හරි ගන්න බලන්න පුළුවන්. විවිධ කාර්යයන් සඳහා විශේෂ වශයෙන් තාක්‍ෂණිකව දියුණු කල කැමරා පවා දැන් වෙලඳපොලේ තියෙන නිසා කැමරාවක් තෝරා ගැනීම ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕන.

කැමරාවක් තෝරගන්න තමන්ගේ විශය තෝරගන්නේ කොහොමද කියල කෙනෙකුට අහන්න පුළුවන්. තමන්ගේ විශය කියන්නේ තමන් වැඩියෙන්ම කැමති මොනවා කරන්නද කියන එකයි. සමහර කෙනෙක් මම මංගල ඡායාරූපකරණයට කැමතියි ඒ නිසා කැමරාවක් ගන්නේ කියල කිව්වත් ඔහු කවදාවත් කලාවට ආස නිසා කැමරාව සොයල නැතිනම් ඒ ගන්න කැමරාවෙන් වැඩක් නෑ. මොකද මංගල ඡායාරූපකරණය කියන දේ දැන් දැන් ලංකාවේ විශාල ආදායමක් උපයන වෘත්තියක් වෙලා තියෙන නිසා හුඟ දෙනෙක් කැමරාවක් වෙනුවෙන් මුදල් යොදවලා වැඩි ලාභ ලබන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින් කිව්වා වගේ ඡායාරූපකරණය විනෝදාංශයක් කරගත්තු කෙනෙක් මිස රස්සාව කරගත්තු කෙනෙකුට පවතින්න නම් අමාරුයි.

කොහොම වුනත් තමන්ගේ විශය තෝරාගන්න නම් කාලයක් තිස්සේ පින්තූර රසවිඳින්න වෙනවා. ඒ ඒ පින්තූර රසවිඳින අතරේ තමන් වැඩියෙන්ම කැමති පින්තූර වර්ග කර ගත්තානම් තමන්ගේ විශය ඒ තුල රැඳිල තියෙන්න පුළුවන්. දක්‍ෂ ඡායාරූප ශිල්පියෙකු වීමේ පලවෙනි පියවර එයයි. 
විශය තෝරා ගැනීමෙන් පස්සේ තියන්නේ තමන් අතේ තියෙන මුදලට හරිය විදිහේ කැමරාවක් තෝරන එකයි. මොකද විනෝදාංශයෙන් හම්බකරන්න වෙන්නේ නැති නිසා. හැබැයි ඉතින් කරගෙන යද්දී එක එක විදිහේ දේවල් ඕන වෙන නිසා හොදම දේ මුලින්ම තමන්ගේ විශයට අවශ්‍ය මූලික දේ තියෙන කැමරා Body එකක් තෝරගන්න. ඒ එක්කම හොඳම ලෙන්ස් එක වෙනුවෙන් වියදම් කරන්න. මොකද ආලෝකය අල්ලා ගන්නේ කැමරා කාචය නිසාවෙන්. විශය ක්‍ෂෙත්‍රයට අලුතින්ම එන අයට Entry level කැමරා තියෙනවා. එයින් එකක් අරගෙන කලාවට අවතිර්ණ වෙන්න පුළුවන්. උදාහරණ විදිහට දැනට වෙළඳපොලේ තියෙන Nikon D3300 එහෙමත් නැතිනම් Canon 1200D වගේ කැමරා ගන්න පුළුවන්. ලොකු ලොකු වැඩ නැතත් සාමාන්‍යෙයන් කැමරාවට පුරුදු වෙන කෙනෙකුට හොඳ කැමරා දෙකක්. නැතින්ම් Semi Professional කැමරා වන Nikon D7000, Nikon D7100 හරි Canon EOS 60D එකක් වගේ ගන්න පුළුවන්. මෙතැන Nikon, Canon විතරක් නෙවෙයි Pentax, Sony වගේ ආයතන වලින් නිර්මාණය කරන කැමරා පවා තියෙනවා. උදාහරණ විදිහට Entry Level කැමරාවක් වෙන Pentax K-500 වගේ කැමරාවක් හඳුන්වන්න පුළුවන්. දැනට High End කැමරා විදිහට Nikon D5, Canon EOS 5D Mark III වගේ කැමරාවක් ගන්න පුළුවන්. Entry Level කැමරාවක් 60000කට වගේ ගන්න පුළුවන් වුනත් High End කැමරාවක් රුපියල් ලක්‍ෂ 5ක් වගේ වෙනවා.
හැබැයි මේ කොයි දේ කරල කැමරාවක් ගත්ත වුනත් ඡායාරූපයේ ආරම්භ වටිනාකම දෙන්න පුළුවන් ශිල්පියාගේ දක්‍ෂතාවයට විතරයි. අදක්‍ෂයෙකු ලඟ කොයිතරම් අගනා සම්පත් තිබුනත් වැඩක් නෑ ඒ වගේම දක්‍ෂයා ලඟ කොයි තරම් අඩුවෙන් සම්පත් තිබුනත් වටිනකම උපරිමයි.

අවසානය තමයි ලොකු වැඩ දන්නේ නැති මමත් ගන්න පුංචි පින්තූර ටිකක් මගේ පින්තූර මතක නමින් පලකරනවා. කැමති අය පොඩ්ඩක් ගිහින් බලන්න. දැන් නිශ්පාදනයේ නැති Semi Proofessional හැටියට Nikon සමාමෙන් මුලින්ම ආපු Nikon D90 කැමරාවක් තමයි දැනට මම භාවිත කරන්නේ. මෙන්න ලින්කුව ගිහින් බලන්න.
https://www.facebook.com/sulakkhanaphotography/

තවත් කාරණාවක් තමයි Nikon ද Canon ද Pentax ද Sony ද එහෙමත් නැතිනම් Fujifilm ද කියන එක වැදගත් වෙන්නේ නෑ. ඒ හැමදෙනාම නිශ්පාදනය කරන කැමරා වල එක එක විශේෂත්ව තිබුනත් කැමරා වර්ගය ඡායාරූපයේ උසස් බව තීරණය කරන්නේ නෑ. එනිසා වර්ගය නෙවෙයි තමන්ට අවශ්‍ය පහසුකම් ඒ ඒ කැමරාවේ තියෙනවාද බලන්න. අනිත් එක තමයි අන්තර්ජාලයේ ගොඩක් වෙලාව ඒ ඒ කැමරා ගැන ඡායාරූප ශිල්පීන් තමන්ගේ අදහස් ලියල තියෙනවා. ඒවා වල දෝශ අඩුපාඩුකම් ආදිය විතරක් නෙවෙයි සමාගම් අතර එකම කාලයේ පිටවෙන කැමරා අතර වාසි අවාසි පවා ලියවෙලා තියෙනවා. තමන් තොරගත්තු කැමරාවට සල්ලි ගෙවන්න කලින් ඒවත් කියවල ඉන්න බලන්න.

කැමරාවක් තොරගන්න විදිහ සහ එහිදී සැලකිල්ලට ගන්න ඕන තාක්‍ෂණික පැත්ත ගැන ඉදිරියේ ලිපියකින් ලියන්නම්....

ස්තූතියි හැමෝටම.... ජයවේවා...!

9 comments:

  1. Thank you very much!

    ReplyDelete
  2. Entry Level, Amateur, Advance Amateur, Prime, Professional, High End කියල විතරයි නේද කැමරා වර්ගීකරණය වන්නෙ..?
    මා දන්නා තරමින් Semi Professional කියල කාණ්ඩයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සර් නමුත් මේ තරම් විශාල පරාසය වර්ගීකරණයකින් කැමරාවක් සොයන කෙනෙක්ට පැහැදිලි කරානම් මේ කියන වචන වල තේරුම කියන්නම මාස ගානක් යනවා. අපේ ගොඩක් දෙනා කැමරාවක් ගන්න සොයන්නේ ඒ ගැන දැනගෙන නොවෙයි. තමන්ගේ යාලුවෙක් භාවිත කරනවා දැකල ඇතිවෙන ආසාව නිසා. ඒ නිසා තමයි මම මේ විදිහෙන් වර්ගීකරණය කලේ. කලින් නම් මම කිව්ව Semi Professional කියල වර්ගයකට කැමරා දාල තිබුනා. නමුත් ඒක පැවතුනේ බොහොම ටික කාලයයි. වැඩිදෙනෙක් ඒ නම භාවිතා කලෙත් නෑ. ඉතින් අවසානයේ ඉතිරිවුනේ සර් කියපු නම් ටික තමයි.

      Delete
  3. බොහොම ස්තුතියි .මම මේක ෂෙයාර් කරනවා. කවුරුහරි වැඩක් ගනියි මේ ලිපියෙන් .

    ReplyDelete
  4. ලෝකේ තියන මිල අධිකම හොබීස් 25 අතරවත් ෆොටෝග්‍රෆි නෑ. ඒ වැඩේට මිල අධික කැමරා ඕනේ නෑ. සාමාන්‍ය කැමරාවක් වුනත් දක්ෂ විදිහට හැසිරවීම විතරයි දැනගන්න ඕනේ

    http://list25.com/25-expensive-hobbies/1/

    ReplyDelete
    Replies
    1. පොඩි අඩුපාඩු කම් කීපයක් තිබුනා ඒවා සකස් කරමින් ඉන්නවා. ආධුනික කෙනෙකු නිසා තවමත් ම උගනිමින් ඉන්නේ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!