මගේ ගමන් බිමන් අසූ පස් වැනි කොටස - ලෝකාන්තය පහලින් පෙනෙන නන්පෙරියල් වතුයාය හා සමනල වැව ජලාශය


1836 ජනවාරි මාසයේ 01 වැනිදා සිය නම් කෙරුණු හෝර්ටන් තැන්න අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ‘දෙවියන්ගේ කුසුම් උයන’ කියන නමින්. දහනමවැනි සියවස මුල්කාලයේ ලංකාවේ ආණ්ඩුකාරයා වුන සර් රොබට් හෝර්ටන් කියන පුද්ගලයා තමයි නම වෙනස් කරල තියෙන්නේ. 1969 දෙසැම්බර් 05 වැනිදා ස්වභාවික රක්‍ෂිතයක් ලෙසින් නම් කරපු හෝර්ටන් තැන්න ලංකාවේ උසින්ම තියෙන තැනිතලා භූමියද වෙනවා. ආසන්න වශයෙන් හෙක්ටයාර 3160ක් තියෙන මේ භූමියේ එක් කෙලවරක තියෙන ලෝකාන්තය නම් කෙලවර නිසාවෙන් ද එහි තියෙන සුවිශේෂ ජෛව විවිධත්වය නිසාවෙන්ද දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආවේණික ශාකයක් වුන මහරත්මල් Rhododendron (Rhododendron arboretum) ශාකය එයින් සුවිශේෂ තැනක් ගන්නවා. ලෝකාන්තය හා හෝර්ටන් තැන්න ගැන කලින් ලිපියක කියවෙන නිසාවෙන් එහි ඇති කරුණු ගැන මෙතැන කතා නොකලත් ඒ ගැන කියවන්න මෙතැනින් ගිහින් පුළුවන් වෙයි.
කාලයක් තිස්සේ ලොකාන්තය බලන්න ගිහින් එතැනින් පහල පෙනෙන නන්පේරියල් වතුයාය හා සමනල වැව ජලාශයත් අවට ප්‍රදේශයේත් සුන්දරත්වය විඳගත්තු නිසාවෙන්ම පහල ඇති තැන් ලගට ගිහින් ලෝකාන්ත‍ය පෙනෙන්නේ කොහොමද කියල බලන හීනය හැබෑ කරගන්නයි මේ ගමන සූදනම් වුනේ. කීප දෙනෙකුටම ගමනට ආරාධනා කලත් ගමනේ තියෙන රළු බව නිසා තොරගත්තු පිරිස පරිස්සම් සහගතවයි සිදු කලේ. නමුත් කවදා කොහොම සූදානම් කලත් අවසානයේ ගමනක් යන්න ඉතිරිවෙන්නේ තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු විතරයි යන කතාව සනාථ කරමින් අපි දෙදෙනෙක් ගමන ආම්භ කලා. හිරු නැගෙද්දී කඳු මුදුනට යන්න හිතාගෙන අම්බලන්ගොඩින් පාන්දර 2ට පිටත් වුනා. අපි තෝරගත්තු මාර්ගය වුනේ කොළඹ බදුල්ල මාර්ගයේ ඇවිත් බෙලිහුල් ඔය 160 කිලෝමීටර කණුව ලඟින් හැරිලා කිලෝමීටර 32ක් ඇති ලෝකාන්තයට යන මාර්ගය. එතැන තියෙන ලෝකාන්තය, නන්පේරියල් වතුයාය හා නගරක් බංගලාව (Nagarak) යන නාම පුවරුව නිසා පාර හොයාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. හිරිකටුඔය අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථායත් තියෙන්නේ මේ මාර්ගයේමයි. එතැනින් කිලෝමීටර 8ක් ආවත් වතුයායට වාහනයකින් යන්න අවසර ගැනීම සිදු කල යුතුයි කියල දැන ගන්න ලැබුනා. නමුත් පයින් යාම සඳහා ඒ තරම් ගැටලුවක් තිබුනේ නැති නිසාත් ආව ගමන ප්‍රයෝජනවත් විය යුතු නිසාත් ඉතිරි කිලෝමීටර 20ක පමණ දුර පයින් යන්න තීරණය කලා. එතැන බයිසිකලය දාල පයින් ගමන ආරම්භ කරද්දී වෙලාව උදේ 8.00ට විතර ඇති. තේ වත්ත ඇතුලේ තියෙන කෙටි මාර්ග ගැන අවබෝධයක් නැති නිසා අපි වාහන ගමන් කරන ගල් බොරලු සහිත මාර්ගයම භාවිතා කලා. මාර්ගය බෙදී ලෝකාන්තයෙන් හරියටම පහලින් තියෙන කොටසට යන්න කිලෝමීටර දෙකක් පමණක් තිබුනත් නගරක් බංගලාව දෙසට එහෙමත් නැතිනම් කඳු මුදුනට යන මාර්ගය තොරා ගත්තේ කාල වේලාව අනුව දෙවෙනි කොටස බලන්න හිතේ තියාගෙනයි.
යන අතර සුන්දර දර්ශන ඡායාරූප ගත කලා වුනත් දිය ඇලි ඡායාරූප ගත නොකලේ එන අතර වාරය වෙනුවෙන් ඉතිරි කරගන්න. හිරු නැගෙන දර්ශන පෙලක වටිනකම එයට වඩා වැඩි නිසා ඉක්මනින් කඳු මුදුනට යෑමේ අවශ්‍යතාවය තමයි තිබුනේ. විශාල වංගු 33කින් සමන්විත මාර්ගයේ වංගු 14ක් විතරයි අපි බයිසිකලයෙන් ඇවිත් තිබුනේ. 23 වැනි වංගුව වුන මුහුදු මට්ටමින් අඩි 5700ක් උසින් තියෙන ‘බේකර්ස් වංගුව’ ලඟට එද්දී වෙලාව දහවල් 11ට විතර ඇති. මගදී මම දාගෙන හිය සෙරෙප්පුව කැඩුනු නිසාවෙන් ගමනේ වේගය සෑහෙන්න පුමාණයක් අඩු වුනා. ලිස්සන සුලු මාර්ගයත් ගල් බොරලු සහිත බව නිසාත් සෙරෙප්පු නැති නිසාත් ඉතිම දුශ්කර ගමනක් වුනා. මාර්ගය අතර තිබෙන දිය ඇලි අපේ පවස නිවද්දී අවට සුන්දරත්වය අපේ වෙහෙස නිවන්නට වුනා. කෙතරම් අපහසු වුනත් ගමනේ අවසානය දකින්න තිබුන අධිෂ්ධානයේ නම් අඩුවක් තිබුනේ නෑ. දහවල් 12.40 විතර වෙද්දී මුහුදු මට්ටමින් අඩි 6990ක සීමාවට ලඟා වුනා. එතැන ඉඳන් අපේ ගමනාන්තයට කිලෝමීටර 1කුත් ලොකාන්තයට කිලෝමීටර 4කුත් තමයි තිබුනේ. නමුත් තිබුන පොද වැස්ස ටිකක් විතර වැඩි වුන නිසා ගමන නවත්තල ලඟ තිබුන වතු නිවාස කීපයක් ලඟ නැවතුනා. ‍තේවත්තේ ආරම්භයේ ඉඳන් මේ වෙනකම් ගමනේ වතු නිවාස දකින්න ලැබෙන දෙවැනි තැන තමයි මේ. අපේ කැමරා ආම්පන්න ආරක්‍ෂා කරගෙන වැහි කබා දා ගන්නකම් නවතින්න තීරණය වුනත් වැහි පොද ටික ටික අඩු වෙද්දී වැහි කබා අස්සේ ගුලිවෙලාම ගමන ආරම්භ කලා. එයට හේතුවුනේ සවස් වෙද්දී නැවත යා යුතු නිසාවෙන්.

 
 
 
video
 මීදුමෙන් වැසුනු නගරක් බංගලාව ලඟට ඒ කියන්නේ අපේ ගමනේ අවසානයට එද්දී දවල් 2ට විතර ඇති. පැය 12ක ගමන අවසානයේ මඳක් විවේක ගන්න තීරණය වුනත් එය විනාඩි කීපයකින් සීමා කරන්න වුනා. එයට හේතුව අධික මීදුම හා වැසි ස්වභාවය. බංගලාව බලාගන්න පුද්ගලයා එක්ක කතා බහ කරල විස්තර ටිකක් දැනගත්තා. කොහොම වුනත් දවසක් මේ බංගලාවේ නවතින්න බලාගෙන එන්න පුළුවන් නම් අපූරු ගමනක් වෙයි. බංගලාව දැනට 10 දෙනෙකුට නවතින්න පහසුකම් තියෙනවා. උයන්න අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න ඕන. රාත්‍රී 12 වෙනකම් විදුලිය භාවිතා කරන්න පුළුවන්. ගෑස් ලබා දෙන අතර කො‍්කියෙක් දෙනවා. ඔහු ලවා සියලු ආහාර සකස් ගන්න පුළුවන්. දහවල් 12 සිට ඊලඟ දවසේ දහවල් 10.00 පමණ වෙනකම් ඉන්න පුළුවන්. ඒ දවස සඳහා දැනට අයකිරීම වෙන්නේ 15000ක මුදලක් පමණයි. රත්නපුර‍ නගරයේදී මෙහි නවාතන් සඳහා මුදල් ගෙවා වෙන්කරගැනීම කල යුතුයි. අවටින් නැගෙන මීදුම නොමති කාලයේදී දකුණු මුහුදු වෙරළ දක්වා දකින්න පුළුවන් කියලයි කියන්නේ. වැට මායිමකින් වෙන්වුන හෝර්ටන් තැන්න අභය භූමිය එක් පැත්තක තිබුනා වුනත් අනවසයෙන් ඇතුලු වීම නම් කරන්න බැහැ. එතැනින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න නම් වනජීවී එකෙන් විශේෂ අවසරපත්‍ර අරගෙන එන්න ඕන.
 
 
 
 

එතැනින් පිටත් වුන අපි පහලට එන්න තියෙන කෙටි මාර්ග භාවිතා කරන්න වුනා. කඳු ඉහල ඉඳන් බලද්දී කෙටි මාර්ග පැහැදිලිව පේන නිසා සහ සවස් වෙන්න කලින් පහලට යන්න ඕන නිසා අපි ඒ මාර්ග භාවිතා කලා වුනත් දිය ඇලි හා ලෝකාන්තය පහල කොටස මඟ හැරුනා. තේ වතු අතරින් පෙනෙන එක් දිය ඇල්ලක සුන්දරත්වය විඳිමින් සවස 4.15 පමණ වෙද්දී වතු යායේ ගේට්ටුව ලඟටත් 4.30 පමණ වෙද්දී ප්‍රධාන මාර්ගයටත් එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රධාන මාර්ගයට එන අතරතුර හමුවන ගලගම ඇල්ල එහෙමක් නැතිනම් පහන්තුඩා ඇල්ල බලන්න ටික වේලාවකට නතර වුනා. දෙපැත්තෙන් දිය ඇලි දෙකක් විදිහට ඇවිත් පහලින් එකතුවෙන දිය ඇල්ල බොහොම සුන්දර දිය ඇල්ලක්. සියල්ල අවසානයේ අපි පහලට ආව වුනත් අපේ දවසේ චාරිකාවේ අවසානය තාමත් සිදු වුනේ නෑ. ඒ තවමත් ඉතිරිව තිබුන සමනල වැව ජලාශය බලන්න යන්න ඕන නිසා.

එතැනින් ‍සබරගමුව විශ්ව විද්‍යාලය ලඟින් තියන මාර්ගය දිගේ ආවාම රජවකට එන්න මාර්ගයක් තියෙනවා. එය සමනල වැව ජලාශය ලඟින් තමයි යන්නේ. අපි ඒ මාර්ගය දිගේ ආවා වුනත් සමනල වැව වේල්ල අවට කිලෝ මීටර තුනක් පමණ යනතුරු අධිආරක්‍ෂිත කලාපයක් කරල. ඒ නිසා ඡායාරූප ගන්න තියා නවතින්නත් තහනම්. ජලාශයේ සුන්දරත්වය ඇස් වලින් පමණක් දකිමින් රාත්‍රී වෙන්න කලින් වනාන්තර මායාමෙන් පිටවෙන්න අපි වේගවත් ගමනක යෙදුනා. ඒ වන අලි මාර්ගයට පැමිණෙන නිසාවෙන්. නමුත් ජලාශයේ සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් තිබේදැයි නිරතුරු සොයමින් තමයි ආවේ. අපේ වානසාවකට සුන්දර කඳු ගැටයක් දෙසට නැගුනාම සමනල වැව පේන තැනක් හමුවුනා. එනැතින් අපූරුවට සමනල වැවත් ලෝකාන්තය පැත්තත් සොයාගන්න අපහසු වුනේ නෑ. නමුතු මීදුමින් වැසුනු නිසාවෙන් කඳ මුදුන නම් පැහැදිලි වුනේ නෑ. විනාඩි කීපයකින් එතැනින් පිටවුන අපි රජවකින් ගොඩකවෙලටත් එතැනින් රක්වාන හරහා සූරියකන්දටත් ආව. වංගු 10 හරහා දෙනියායට එද්දී රාත්‍රී 11ත් පහුවෙලා. ඒකට හේකු වුනේ සූරියකන්ද පැත්තෙන් එන මාර්ගය අබලන් වීම හා අපේ මහන්සිය. කොහාම වුනත් ගැටබරු පාමුල බස් නැවතුමේ විනාඩි කීපයකට විවේක ගත්තා. රාත්‍රී 1.30 විතර වෙද්දී නිවෙස් බලා ආව අපි නිදද්දී රාත්‍රී 2ත් පහුවෙලා.
 
 
 
පැය 24ක සම්පූර්ණ ගමනක් නිමාවෙද්දී නොනිදා සම්පූර්ණ දවසක් ඇවිදපු එකම ගමන් බිමන් විස්තර පොත අපූරුවට මේ විදිහට හැඩ කරනවා. දවස් දෙකක් භාවිතා කරල යන්න ඕන ගමනක් එක පැය 24ම බයිසිලයත් පැදගෙන ඇවිදල ආව එකෙක් ඇති කියල මම නම් හිතන්නේ නෑ. කොහෙම වුනත් විස්තර පොත සරසන්න අමතක කරන්නේ නෑ වගේම මේ වගේ ගමන් යන්න ඒත් ඒ තැන් විනාශ කරන්න එපා කියන එල්ලීම කරන්න කැමතියි. තවත් ලස්සන ගමනක් එක්ක හමු වෙනකම් ගමන් බිමන් ලියන මම සමුගන්නවා. ස්තූතියි !

තව පින්තූර බලන්න මෙතැනින් යන්න.... 

4 comments:

  1. Just want to make this trip and have a stay in this bungalow... will talk to you when things are arranged..

    ReplyDelete
  2. Wow..supiri..photos tikath patta saho

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!