මගේ ගමන් බිමන් අසූ හය වැනි කොටස - යටවත්ත බිසෝ ඇල්ල

මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම පාරට පැමිණ එතැනින් හීංගොල්ල පාර දිගේ කිලෝමීටර 20කට මඳක් වැඩි ප්‍රමාණයක් පැමිණ අපට මෙම ඇත්ත ඇති ප්‍රදේශයට පැමිණිය හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් මායිම්ව පවතී. සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත් වල ජලය එක්වී දිය දහරක් සාදා අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින් ඇද හැලෙන්නේ බිසෝ ඇල්ල නිර්මාණය කරමිනි.
 
මිතුරන් කීප දෙනෙක් එක්ක ත්‍රී රෝද රථයක ගමන් කල අපි එතැනට ලඟ වෙද්දී දවල් වුනා. කොහොම වුනත් සැලගම කඳු මුදුනෙන් ඇවිත් පර්වත මුදුනෙන් දිය ඇල්ල මුදුන තමයි මුලින්ම බැලුවේ. ගැමියන්ගෙන් පාර අහගත්ත අපි ප්‍රධාන දියපාර දිගේ ඇවිත් කඳුමුදුණේ දිය ඇල්ල වැබෙන ප්‍රපාතය අසලට මුලින්ම ආව. එතැනින් පෙනෙන කඳුපන්ති සහ කුඹුරුයාය වල ඇති සුන්දරත්වය විඳි අපි දිය ඇල්ල හා බැඳුනු ජනප්‍රවාද අසමින් පහලට බසින්න වුනා. අපේ දෙවැනි අරමුණ වුනේ දිය ඇල්ලේ පහලට ලඟවීමයි. ඒ වෙනුවෙන් යටවත්ත ප්‍රදේශයේ වෙල්යායවල් අතරින් පැමිණ මාර්ගය අවසානයට ලංවුනා. එතැන් ඉඳන් පයින් තමයි ඉතිරිය යන්න සිද්ධ වුනේ. විශාල කුඹුක් ගසක් ලඟට යනකම් මාර්ගය පෙන්වන්න ගැමියෙක් ආවත් එතැන් සිට ඔහුගේ ගමන අපට විරුද්ධ දිශාවට වැටිල තිබුනා. වනාන්තරය තුලින් පාර හොයාගෙන කෙහොම හරි දිය ඇල්ල පාමුලට එන්න අපි සමත් වුනා. එතැන සුන්දරත්වය විඳි අපි ආයෙමත් පහලට ආවේ වෙනත් මාර්ගයකින්.
 
 බිසෝ ඇල්ල අවට ප්‍රදේශයත් එම ඇල්ලත් පිළිබඳ පුරාවෘත බොහෝ පවතී. ඇල්ල අසල ඇති ගල් පර්වතයේ ඇති රහස් දොරටුවකින් ගල් පර්වතය තුල ඇති වලගම්බා රජුගේ රහස් මාලිගයට පිවිසිය හැකි බවද ජනප්‍රවාදය පවසයි. තවද එම මාලිගිවෙන් ඇරඹෙන උමඟක් තුලින් එයට කිලෝමීටර 3ක් පමණ ඈතින් ඇති සුළුනාපහුව විහාරයට ගමන් කල හැකි බවද කියැවේ. මෙහි නම් සෑදී ඇති අයුරු ගැන ජනප්‍රවාදයේ ප්‍රධාන කතාන්දර දෙකකි.
 
වලගම්බා රජ සේනාව සමඟ යුද්ධයට යාමට පිටත්වෙද්දී තම බිසෝවරුන් හත් දෙනෙකු (සමහර තැනක මෙය හතලිහක් බවද කියැවේ) ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ රඳවා ඇත. තමන් යුද්ධයෙන් දිනුවහොත් සුදු කොඩියක්ද පැරදුනහොත් රතු කොඩියක්ද ලෙල දෙනු ඇති බවත් පරික්‍ෂාවෙන් සිටින ලෙසත් අණකොට පිටව ඇත. රජ යුද්ධයෙන් දිනා පැමිණෙද්දී සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් එය දැක සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැණ දිවිනසාගත් බවත් කියැවේ. රතු කොඩිය ඇමතියෙන් විහිලුවට දැමූ බවටත් රඩු විසින්ම තමාට වැඩියෙන් ආලය කරන බිසව බැලීමට දැමූ බවටත් කතාන්දර දෙකකි. එහිදි දරුවකු ලැබෙන්නට සිටි එක් බිසවක් වැල් ගාලක පැටැලී දිවි බේරාගත් බවත් පසුව ගැමියන් ඇයව රඳවා සුවකල බවත් කියැවේ.  අද එම ප්‍රදේශය මාලිගාතැන්න නමින් හැඳින්වේ යැයි කියැවේ. බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් වූ එකතු වූ බවත් එතැන රතලේ වැව ලෙස නම් ලැබූ බවද ජනප්‍රවාදය පවසයි.
එතැන රැඳුනු අනෙත් පුධාන කතාව මෙසේය. වීරපරාක්‍රම ‍නරේනද්‍රසිංහ රජුගේ වැදි බිසව් මෙම කඳු මුදුනේ වාසය කලේයැයි පැවසේ. රජ වරෙක යුද්ධයකට පිටව යාමුට සූදානම්ව යුද්ධය දිනුවහොත් සුදු කොඩියක්ද පැරදුනහොත් රතු කොඩියක්ද ලෙලදෙනු ඇතැයි බිසවට පැවසීය. යුද්ධය සිදුවූයේ කිලෝමීටර කීපයක් නුදුරේ ඇති වැව් පිටියේය. රජ යුද්ධය දිනුවේය. එතැන යුද්ධයේ ගලාගිය රුධිරය වැවට එක්වී එය රතු පැහැ විය. රතු ලේ වැව පසුව රතලේ වැව බවට ව්‍යවහාරයට පැමිණියේය. යුද්ධයෙන් එන අතරමඟදී රාජපුරුෂයන් වැරදීමකින් සුදු වෙනුවට රතු කොඩියක් දැම්මෝය. ඒ දුටු බිසව තම දරු දෙදෙනාද සමඟ ඇල්ලෙන් පැන දිවි නසාගත් බවත් එදා සිට මෙම ඇල්ල බිසෝ ඇල්ල නම් වූ බවත් පැවසේ.
ජනප්‍රවාදය කෙසේ වෙතත් මෙ ඉතා ස්නුදර දිය දහරකි. වැසි අවසන් සමය නිසා දිය ඇල්ලේ ජල ප්‍රමාණය බිඳකිත සමහර කාලයන් වලදී එය සම්පූර්ණ වශයෙන් සිදී යන බවද කියති. කෙසේ වෙතත් ගමන් බිමන් වල මම දිය ඇල්ල උපරිම වශයෙන් විඳගන්නට සමත්  වුනා වගේම පහත ලින්කුවෙන් ගිහින් ඒහි පින්තූර වලින් පාථක ඔබත් එය විඳිනු ඇතැයි සිතමි.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!