මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්ද

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුද්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති කුටි වල දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙලා තියෙනවා.
කඳුමුදුනේ තැනි තලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිළිමය මෙකල ගල් වඩුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පෙන්වයි. අනුරපුරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කඳු මුදුනේ වැඩම කර සිටී. මේ සියල්ල පරයමින් අඩි 400ක් පමණ උස ගොවිජන  සෑය සුවිශේෂී එකක් වෙනවා.

අපූර්ව ත්‍රාස්‍යජනක ගමනක් අත් විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩි පෙලයි. එය කොටසක් චෛත්‍යය තුලින්ද ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණ ගමනම යා යුතුවේ. කෙමෙන් සිහින් වල පඩි පෙල අවසන් වෙන්නේ චෛත්‍ය බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දැමීමෙනි. අවසන් අඩි කීපය නැගීමේදී තැනින් තැන ඇති කුටි තුලට වී ඉහල සිට පැමිණෙන්නන් හා පහල සිට එන්නන්ට මාරු විය හැකිය. පඩි පෙලත් හමන සුලඟත් නිසාවෙන් මෙය බොහෝම පරිස්සමින් ගමන් කල යුතුය.

මෙහි සිට කිසිඳු කන්දකින් බාධාවක් නැතිව අංශක 360ම දැකිය හැකිය. අහස පැහැදිලි දිනයකදී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ශනය වේ. ඈතින් පූජනීය සමනළ කන්ද, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, බහිරව කන්ද, උතුවන්කන්ද, බලපොකුණ, කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල, ලෙවලන්, ඩෙල්ටා, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ.
ආවේණික සත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ගම්පොල නගරයත්, නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූර්ව දර්ශයක් මවයි.


6 comments:

  1. අපේ ගෙදරට අම්බුලුවාව කන්ද හොඳින් පේනවා... මට මතකයි ඒක හරිම ලස්සන දර්ශනයක්... චෛත්‍ය ගොඩක්ම ලස්සනට පේනේනේ වෙසක් කාලෙට. මට මතකයි අම්බුලුවාවේ විශේෂිත ඔසු උයනකුත් තියනවා...

    ReplyDelete
  2. ඇත්තටම මේ කියපු දර්ශනය ගොඩක්ම ලස්සන දර්ශනයක් තමයි... මට මතකයි ඡෛත්‍ය දර්ශණීය වෙන්නේ වෙසක්පොසොන් කාලෙට. මගේ මතකෙ හැටියට විශේසිත ඔසු උයනකුත් තියනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි ඔසු උයනක් තියෙනවා...
      ස්තූතියි

      Delete
  3. ඡෛත්‍ය දර්ශණීය වෙන්නේ වෙසක්පොසොන් කාලෙට ....ඇයි ඒ එකලට විතරක්.. පැහැදිලිව නොපෙනෙන ද අනේකුත් කාලවලට

    ReplyDelete
  4. මේක හදන කාලේ මම ඔතනට ගිහිල්ල උසම කුළුනේ මුදුනටත් නැගල 'කතාවක් පැවැත්වුවා' මතකයි. හි හි... පාමුල ඉඳන් මගේ මාමා කෙනෙක් ඒක වීඩියෝ කරලා තිබ්බ. අපේ අය්යා කාරයා මැකුව ඒක තරහ ගිහින්. හි හි... දැන් තමයි තේරෙන්නේ අය්යා කරපු වැඩේ හරි කියල.

    සිත්ගන්නාසුළු සටහනක්. නමුත් තව තොරතුරු දුන්නා නම් වටිනවා ( අලුත් සංචාරකයින්ට, මැප් එකක් සහ ළඟාවෙන්න විස්තර වගේ.). පින්තුර නම් වටිනා බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අත්දැකීම බෙදා ගත්තාට
      මේ සාමාන්‍යයෙන් ලඟාවෙන තැන ගැන මම දෙන තොරතුරු ටික. මැප් වගේ දාල තොරතුරු සියල්ල දෙන්න පුළුවන් නමුත් ඕන එකයි එපා එකයි සියල්ලෝ ගිහින් විනාස කරනවා ඒ තැන්. ඒ නිසා අවැසි අය මගෙන් අහනවා යන හැටි විස්තර. එහෙම අයට මම තොරතුරු දෙනවා.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!