මගේ ගමන් බිමන් අනූ හත්වැනි කොටස - ලවර්ස් ලීප් ඇල්ල_හාවාඑළිය

පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත්  වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.
 
 
 
 
මේ දිය ඇල්ලේ නම සැදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටිය කුමාරයෙක් මේ අවටින් යද්දී ඉතා ලස්සන තරුණියක් දැක ආදරයෙන් බැ‍ඳෙනවා. නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම් වැසියෙන් නිසාලු. කුලයෙන් හීනයන් සමඟ විවාහ වනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලාගන්න. කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම ‍එනවා. තවත් යාහැකි මඟක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සියදිවි හානිකරගන්නවාත ඒ නිසා මෙයට ආදරවන්තයින් පැන්න ඇල්ල එහෙමත් නැතිනම් ලවර්ස් ලීප් කියන නම ලැබුනේලු. ගම් වැසියන් කියන විදිහට නම් දිය ඇල්ල බලන්න හවස් යා‍මයේ යන එක නම් හොඳ වැඩක් නෙවෙයි.
 
 
 
 
 
දිය ඇල්ල පාමුලට එද්දී නුවරඑළිය නගරය අපූරුවට දකින්න පුළුවන්. ඒ කාලයේ සැමුවෙල් බේකර්ස් විසින් බියර් සැකසූ කර්මාන්ත ශාලාව අද නුවරඑළිය රෝහල ලෙස වෙනස් කර ඇති අතර ජේම්ස් ටේලර් විසින් තේ සිටවූ වතුයාය අදත් දැකිය හැක. අවට ගම් වැසියන්ගේ විවිධ වගාවන් අතරින් දිවෙන මාර්ගයෙන් සැදි දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා. ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් සිටි මේ දිය ඇල්ල අවට පරිසරය රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක්ම වන්නේය.
 

1 comment:

  1. හරිම ලස්සනයි.. ස්තුතියි ගිහින් ඒ සුන්දරත්වය විඳලා ඇවිත් අපිටත් මේ විදිහට විඳින්න සලස්වන එක ගැන.. හිත වැඩියෙන් නැවතුනේ පීල්ලකින් වගේ වතුර වැටෙන පින්තූරේ ලඟ. ගිහින් බලනවා වගේම සුන්දරත්වය රැකගන්න මතක් කරපු එකත් ලොකු දෙයක්..

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!