කුරුල්ලන් ඡායාරූපගත කිරීම හා කුරුළු ශබ්ද කෘතිමව ඇති කිරීම

ඡායාරූප ශිල්පීන් කුරුල්ලන්ගේ හෝ වෙනත් වනජීවීන්ගේ ඡායාරූප ගන්න එක දැන් දැන් ගොඩක් දකින්න පුළුවන්. නමුත්  ගොඩක් දෙනා ඒ ඒ වනජීවීන් ගැන අධ්‍යයනය කිරීම කියන දේ කරන්නේ බොහෝම අඩුවෙන්. මම නම් හිතන්නේ ඡායාරූප ශිල්පියෙන් වනජීවියෙකුගේ ඡායාරූපයක් ගන්න කලින් ඒ සතා ගැන සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කරනවා නම් තමයි හොඳ. ඔවුන්ගේ ජීවන රටාව, විවිධ කාලයන්, ගැහැණු පිරිමි සතුන්, නිජබිම්, ආවේණික බව හෝ තර්ජිත සතුන්ද යන වග ආදිය වි‍ශේෂ වශයෙන් ඉගෙන ගන්නවා නම් තමයි හොඳ. 
හුඟක් අය දැන් කරන්‍නේ කුරුල්ලන් සඳහා වූ ඔවුන්ගේ ශබ්ද පටිගත කර ගත් උපකරණයක් භාවිතා කරල තමන් ඉන්න තැනට කුරුල්ලන් ගෙන්ව ගන්න එක. මේ දේ බොහෝම භයානක තත්ත්වයක්.

කුරුල්ලකු නාද කරන අවස්ථා කීපයක් තියෙනවා. මෙයින් ප්‍රධාන වෙන්නේ සතුරකු තමන්ගේ භූමියට ඇතුලුවීමේදී ඔවුන් පලවා හැරීම හෝ තම රංචුවට ඒ පිලිබඳ දැනුම් දීමට කරන හැඬවීම. අනික තමයි කිරිල්ලියන් තමන් වෙත ගෙන්වා ගැනීම සඳහා කරන හැඬවීම්. මේ දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ දෙකම භාවිතා නොකරනවා නම් තමයි හොඳ. මම නම් දකින්නේ කුරුල්ලෙකු අධ්‍යයනයෙන් තොරව ලේසියෙන් ඡායාරූප ගැන පමණක් හිතන ශිල්පියෙක් නොවන ශිල්පියෙකුගේ ක්‍රියාවක් කියලයි. මේ දේ කරද්දී පවා සදාචාරාත්මකව විරුද්ධ දේවල් ගොඩක් මම දකිනවා.

කුරුල්ලන්ගේ ශබ්ද ශ්‍රවණය හොඳනිම තියෙන නිසා මේ දේ කරද්දී සාමාන්‍ය කුරුල්ලා නාද කරන ශබ්දයට වැඩි ශබ්ද භාවිතා නොකල යුතුයි. එය ප්‍රධාන ගැටලුවක්.. මොකද එහෙම වුනාම ඈතක ඉන්න කුරුල්ලෙකු වුනත් තමන්ගේ භූමියෙන් ඉවත් වෙලා එන්න පුළුවන්.
දෙවැනි කාරණාව තර්ජනයට ලක්වූ විශේෂ හෝ වඳවී යන විශේෂ සඳහා පවා මෙම ක්‍රමය භාවිතා කිරීම. 

කුරුල්ලන්ගේ සීමාභූමි වලට ඔබ්බෙන් මේ ශබ්ද භාවිතා කර වෙනත් අපගේ ඡායාරූප ලබාගැනීමේ පහසු ප්‍රදේශ වෙත කුරුල්ලන් ගෙන්වා ගැනීම. 

දිගින් දිගටම ශබ්ද නිකුත් කිරීම.

මේ වගේ දේවල් කලාම වෙන්නේ කුරුල්ලන් තම වාසභූමි වලින් එලියට ඇවිත් විලෝපිකයන්ට ගොදුරු වෙන එක. නිතර මේ වැඩේ කලාම වෙන්නේ අර අපි පොඩි කාලේ අහපු "කොටියා එනවෝ කියල කෑ ගහපු ගොපලු ලමයාට වුන දේ" අන්තිමේ ඇත්තටම කිරිල්ලිය ශබ්ද කලා වුනත් ඔවුන් නෑවිත් ඉන්න බලනවා. තවත් දෙයක් තමයි අපි යොදන ශබ්දය විලෝපි කුරුල්ලෙකුගේ නම් අනිත් කුරුල්ලන් ඒ වාස භූමි හැරයන්න බලනවා. මේ වගේ දේවල් වලින් වෙන්නේ සතුන් බය වෙන එක. 
 
කුරුල්ලන් ඡායාරූපගත කරන අය කුරුල්ලන් අධ්‍යයනය කරන එක තමයි හොඳම වැඩේ. ඉන්න තැන බිත්තර දාන කාලය, සංසර්ග කාලය, කිරිල්ලිය හා රඟන රංගභූමි අාදී දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. පස්සේ ඒ ඒ තැන් වල දුරස්ථ පාලනය සහිත කැමරා අටවන්න පුළුවන්. නැතිනම් හොඳන් පරිසරයට අනුගත වන අයුරින් සැඟව ඉන්න පුළුවන්. මේ කොයිදේ කලත් කුරුල්ලෙක් හොඳට ඡායාරූපගත කරන්න නම් ඉවසීම කියන දේ උපරිම අයුරින් තියෙන්න ඕන.

බලාගෙනයි පින්තූරය ගන්නේ අවසන් කුරුල්ලා වෙන්න පුළුවන්. නැතිනම් කුරුල්ලාගේ අවසන් පැය වෙන්න පුළුවන්.
 

1 comment:

  1. අගනා ඡායාරූප පෙළක්. අගනා උපදෙස් මාලාවක්. බොහොම ස්තුතියි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!