ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

අද මගේ අත්දැකීම් අඩවියේ ඉඩ බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. ඒ තමයි මැක්‍රෝ ඡායාරූපකරණය.

අපි ගන්න ඡායාරූප සාමාන්‍යයෙන් ජීව ප්‍රමාණය වඩා කුඩායි. ඒ කියන්නේ කෙනෙකුගේ හෝ යම් දෙයක ඡායාරූපයක් ලබා ගත්තාම ඒක ඇත්ත අරමුණ සමඟ සසඳද්දී විශාලනය කුඩායි. අඩුම තරමේ මේ විශාලන ප්‍රමාණය 1:1 අනුපාතය තියෙනවා නම් අපි කියනවා ඒක මැක්‍රෝ ඡායාරූපයක් කියල. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි Macro සහ Closeup ඡායාරූප කියන වර්ග දෙක. ජීව ප්‍රමාණයෙන් 1/4ක් වෙන ඒ කියන්නේ 1:4 විශාලනයක් සහිත ඡායාරූපයක් නම් ඒකට අපි කියන්නේ closeup ඡායාරූපයක් කියලයි. නමුත් අපි පොදුවේ මේ දෙකම Macro ඡායාරූප ගොඩට දාලා තියෙනවා. ජීව ප්‍රමාණම හා ජීව ප්‍රමාණය වගේ 5ගුණයක් වෙනකම් ඡායාරූප Macro ගොඩටත් එතැනින් පස්සේ Micro ගොඩටත් මයික්‍රෝ මීටර වගේ කුඩා අරමුණ ඡායාරූප ගත කරන එක nano ඡායාරූප ගොඩටත් අයිති වෙනවා.


අපි කතා කරමු මෙතැන තියෙන closeup හා Macro ගැන. අපිට මේ දේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි මැක්‍රෝ ලෙන්ස්, Closeup Filters, Reverse Rings, Extension Tubes,  Bellows ආදිය. මේ ඇරුණාම තව ක්‍රම තියෙනවා. මේ DSLR වලට වුනාට දැන් දැන් දුරකථන කැමරා වලින් පවා Macro ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් වෙනම ලෙන්ස් එකක් හෝ කීපයක් භාවිතා කරන්න වෙනවා.

Macro Lens- මේ තමයි මිල අධික වඩා සාර්ථක ක්‍රමය. ලෙන්ස් එක ඒ වෙනුවෙන්ම සකසන නිසා වර්ණ අප්‍රේරණය, නාභිගත වීම හා වේගය, තියුණු බව අදිය උපරිමයෙන්ම රැක ‍ගන්න පුළුවන්.
විවිධ වර්ගයේ Macro Lens
Closeup Filters - මේවා තියෙන ලෙන්ස් එක ඉස්සරහට සවි කරන්න පුළුවන් විදිහේ අමතර ලෙන්ස් ටිකක්. මේක වෙනුවට අපිට අත්කාචයක් ලෙන්ස් එක ඉස්සරහ තියලත් ඡායාරූපයක් ගන්න පුළුවන්. නමුත් අත්කාච වල තියෙන ලෙන්ස් හදන වීදුරු නිවැරදි තියුණු බව හෝ වර්ණ අප්‍රේරණය වැලකීම කරන්නේ නෑ. නමුත් වෙන්නේ මොකක්ද බලන්න නම් පුළුවන්. Filters භාවිතා කරද්දී වෙන වැඩේ තමයි රාමුව ලෙවරට යද්දී බොඳවෙන්න බලන ස්වභාවයක් තියෙන එක. එකම තලයේ තියෙන අරමුණක් වුනත් මේ දේ වෙන එක වලක්වන්න අමාරුයි. නමුත් දැන් ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් වෙලඳපොලේ තියෙනවා. ඒකෙදී Distortions සහ වටේ සිදුවන අසාමාන්‍ය බොඳවීම් අවම කරල තියෙනවා.
Closeup Filter set
Closeup Filters
Closeup Filters ලෙන්ස් එකකට සවි වල අයුරු
ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් එකක්
Reverse Adapter - මේකත් බොහෝම ලාභ ක්‍රමයක්. සමහර අයෙක් Reverse ring කියල කියන්නේත් මේකම තමයි. ලෙන්ස් එක ගලවලා අනිත් පැත්තට හයි කරන්නයි තියෙන්නේ. Reverse Adapter එකක් බොහෝම ලාබෙට ගන්න පුළුවන්. නමුත් ඒ නැතත් අපිට ලෙන්ස් එක අනිත් පැත්ත හරවලා කැමරාවට තියල අතින් අල්ල ගෙන ඡායාරූපය ගන්න පුළුවන්. හැබැයි ඉතින් Aperture එක විවෘත කරන යාන්ත්‍රණයක් සකසා ගන්න වෙනවා. Nikon වලදී නම් ලීවර් එකක් තියෙන නිසා ඇඟිල්ලෙන් වුනත් ඒක අල්ල ගන්න පුළුවන්. කැනොන් වලදී නම් ටිකක් විතර කරදර වැඩ කරන්න වෙනවා. මොකද සියල්ල ඉලෙක්ට්‍රොනික් නිසා. ටිකක් විතර වියදම් කරන්න පුළුවන් නම් Automatic ඒවාත් වෙලඳපොලේ තියෙනවා. ඒවායේ නම් ලෙන්ස් එක කැමරාවත් එක්ක සබඳතාව රැක ගන්න යාන්ත්‍රණයක් තියෙනවා.
Manual Reverse Ring
විවිධ ප්‍රමාණවල ලෙන්ස් සඳහා Reverse Adapter සහ Automatic System එකක්

Automatic System එකක් සමඟ Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු
සාමාන්‍ය Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු

Extension Tubes - මේ ක්‍රමයත් සාපේක්‍ෂව ලාබදායී ක්‍රමයක්. ලෙන්ස් එක සහ කැමරාව අතරට මේ Tubes හයි කරල අපිට ඡායාරූප ගන්නයි තියෙන්නේ. වර්ග දෙකක් තියෙනවා. Manual සහ Automatic. Manual එකේදී ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතා නැති නිසා ටිකක් වැ‍ඩේ කරදරයි. අපි Aperture එක විවෘතව තියා ගන්න ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. Automatic එකේදී ලෙන්ස් එක කැමරාව එක්ක සබඳකම් තියෙන නිසා වැඩේ ටිකක් පහසුයි. මේවා එකක් හෝ කීපයක් වශයෙන් කැමරාවට සවි කරන්න පුළුවන්. නමුත් මේවා භාවිතා කරද්දී ආලෝකය නම් සෑහෙන පුමාණයක් අඩු වෙන නිසා වෙනම ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්න කියන එක නම් මතක් කරන්නම ඕන.
Manual Extension Tube set
Automatic Extension Tube set

 Extension Tube set එකක් කැමරාවට සවිකර ඇති අයුරු
Extension Tube set එකක් කැමරාවට සවිකර වන අයුරු
Bellows - මේකත් Extension Tubes වගේ ක්‍රියාත්මක වෙන එකක්. නමුත් මෙහි වාසිය තමයි අපිට ටියුබ් වල දිග වෙනස් කරන්න පුළුවන් ක්‍රම කීපයක් එහෙම නැතිනම් අගයන් සීමිත ගනනක් වෙනුවෙන් විතරයි. නමුත් Bellows භාවිතා කරද්දී අපිට කැමති අයුරින් දිග වෙනස් කරගන්න පුළුවන්. මේකෙදිත් අපිට වෙනම ආලෝකයක් අවශ්‍ය වෙනවා.
Bellow එකක්
Bellow එකක් මගින් ලෙන්ස් එකක් කැමරාවට සවිකර ඇති අයුරු
මේ විදිහෙන් කැමති ක්‍රමයක් හෝ ක්‍රම කීපයක් එකතු කරල වුනත් භාවිතා කරන්න පුළුවන්. ඒ මොන විදිහක් භාවිතා කරල වුනත් අපි ගන්න ඡායාරූපය විශාලනය ප්‍රමාණය අනුව Macro ද Closeup ද කියල තීරණය වෙනවා. 

පුළුවන් තරම් ත්‍රිපාදයක් හෝ වෙන ආධාරකයක් භාවිතා කරන්න. මොකද කුඩා සෙලවීමක් වුනත් අපි අරමුණ විශාල කරල ගන්න නිසා විශාල වශයෙන් ඡායාරූපයට හානි කරන්න පුළුවන්. 

දුරකථනයෙන් මේ වැඩේ කරන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් වෙනමම නිපදවපු ලෙන්ස් වර්ග තියෙනවා. හැබැයි පරණ CD/DVD එකකින් ගලවපු ලෙන්ස් එකක් ‍එහෙම නැතිනම් පරණ කැමරාවකින් ගලවපු ලෙන්ස් එකක් දුරකථන කැමරාව ඉදිරියෙන් තියා ගත්තා නම් අපිට මේ දේ ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රඳවා ගැනීමට යාන්ත්‍රණයක් හදා ගන්න වෙනවා.
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක්
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක් දුරකඖනයට සවිකර ඇති අයුරු
දුරකථන කැමරා සඳහා වෙනත් උපකරණයකින් ගලවා ගත් ලෙන්ස් එකක් භාවිතා කරන අයුරු
දුරකථන කැමරා සඳහා වූ ඉක්මනින් වෙනස් කල හැකි Macro Lens පද්ධතියක්
මීට අමතරව අවශ්‍ය ආලෝකය ලබා දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ ගැනත් දුරකථන කැමරාව වෙනුවෙන් ලෙන්ස් එකක් හදන හැටි, මැක්‍රෝ ඡායාරූප සඳහා ආලෝකකරණය, මැක්‍රෝ ඡායාරූප වල විශේෂ ගුණාංග හා සාර්ථක මැක්‍රෝ ඡායාරූපයක් ලබාගන්නා හැටි ඉදිරියේ ලිපි කීපයක් විදිහට ලියන්නම්. එතකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න Follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුළුවන් තැන් ලින්ක් කරන්නම්. ස්තූතියි.


* උපකරණ වල ඡායාරූප අන්තර්ජාලයෙනි.....

23 comments:

  1. Thank you very much for sharing your knowledge. .

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි අයියා . ඇත්තටම ගොඩක් ආස විශයක් . ඉදිරි ලිපි ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා . . විශේෂයෙන් මොබයිල් එකට ලෙන්ස් එකක් හදාගන්න විදිය . .

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක්.....ගොඩක් ස්තුතියි අය්යේ.....

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමක්...ගොඩක් ස්තුතියි සුලා..

    ReplyDelete
  5. ගොඩක් හොද වැඩක්...(අමතක වෙලා තිබුන දේවලුත් මතක් වුනා) ස්තුතියි.

    ReplyDelete
  6. බොහොම හොඳයි. ගොඩක් තාක්ෂණික කරුණු ඉගෙනගත්තා.

    ReplyDelete
  7. ගොඩක් වටින ලිපියක්.හොදට අවබෝධ වෙනවා

    ReplyDelete
  8. නියමයි bro. ජයවේවා ...👍

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!