මගේ ගමන් බිමන් එකසිය එක් වන කොටස - මීමුරේ යන්න ගිහින් වැරදුනු ගමන

පහුගිය දිග නිවාඩුවට යකාගේ පඩිපෙල දිගේ ඔහියට ආව මතක ඇතිනේ. ඉතින් මේ නිවාඩුවේ තැනක මීමුරේ යන්නත් ඉඩ තියාගෙනයි ආවේ. ඒත් ඉතින් දිග නිවාඩුව හා අපේ සබඳතාවල දුර්වල බවක් නිසා මීමුරේ නවතින්න තැනක් හමුවුනේ නෑ. ඉතින් අපි හිතුවා මීමුරේ උදේ ගිහින් හවස එනවා කියල. මේ ගමනේ මූලික අරමුණ වුනේ මීමුරේ දකින්න සහ එය බලන්න යනවා නම් සබඳතා ටිකක් ගොඩනගා ගැනීම. කොහොම වුනත් අවසානයේ අපි බයිසිකල් දෙකක මාත් තවත් මිතුරන් දෙදෙනෙකුත් එක්ක මීමුරේ බලන්න නුවර ඉඳන් පිටත් වුනා. 
අපේ ගමන හුන්නස්ගිරියට ඇවිත් එතැනින් බයිසිකල් වලින්ම මීමුරේට යන්න තීරණය වුනා. අපේ අවාසනවාට විවිධ වැඩ නිසා සහ මට තිබුනු අසනීප තත්ත්වය නිසා අපි හුන්නස්ගිරියෙන් පිටත් වෙද්දී 11ට ආසන්න වෙලාවක් වෙන්න ඇති. මීමුරේට දුර කිලෝමීටර 37ක් වුනාට පාරේ මුල් ටික හදලා නිසා අපිට ඒ තරම් ගානක් වුනේ නෑ. ඉතින් මඟ ඉන්න සමනල්ලුන්ගේ පින්තූර ගන්නයි, අවට පරිසරයේ පින්තූර ගන්නයි අපේ කාලයෙන් ටිකක් වැඩිපුර වැය කලා. මේ විදිහෙන් අපි මීමුරේට ආසන්න වෙද්දී ටිකෙන් ටික වාහන ප්‍රමාණය වැඩිවෙන බව අපිට ‍දැනෙන්න වුනා. දින හතරක පහක දිග නිවාඩුවක් ආවාම මිනිස්සු ඉන්නේ කොහේද කියල තේරෙන්නේ මේ වගේ පැති වලට ආවම තමයි. කොහොම වුනත් අවසානයේ මීමුරේට යාබද ගම්මානය වුන කයිකාවලට ලඟා වුනා. 
 
 
 
අවාසනාව පටන්ගන්නේ එතැනින්. හවස 1.30 විතර ඇති. බයිසිකලේ පිටිපස්සේ රෝදේ ඇණයක් ඇනිල හුලං යන්න අරන්. දැන් මොනවා කරන්නද? එතැන ලඟ තියෙන වාහන දාපු කුඹුරක බයිසිකලේ නවත්තලා බැලුවාම ආයේ යන්න නම් පැච් එක දාන්නම වෙනවා. මිතුරන්ගේ තීරණය වුනේ බයිසිකලේ හදාගෙන ඉමු කියන එක. ඒක හදාගන්න තැනක් ගැන ගමෙන් විමසුවාම දැනගත්තේ ආයෙමත් හුන්නස්ගිරියටම යන්න වෙනවා තියලයි. ඒ නිසා බයිසිකලේ රෝදේ ගලවලා මිතුරන් අතේ නැවත හුන්නස්ගිරියට යැව්වා. ආයෙමත් ඉහල යන්න අර සෙනඟ අස්සේ?????? මතක් වෙද්දීත් ඇඟ රිදෙනවා වුනත් මා මිතුරන් ඒ වෙලාවේදී විනාඩියක්වත් නොයිඳ අයෙත් හුන්නස්ගිරියට යන්න පිටත් වුනා. 
දැන් ඉතින් මටයි වැඩේ. ගියානම් හොඳයි කියල හිතෙන් වැඩි වෙලා ගියේ නෑ. ලකේගල කන්දත් වමෙන් පේන සානුවත්, ලකේගල මුදුනේ ඇති අනතුරු හඟවන සුදු කොඩියක් ආයෙම දකින්න එපා වෙන තරමට බලාගෙන පැය හතරක් විතර එකම තැනකට වෙලා අපි ගෙනියපු කැමරා ආම්පන්නත් බලාගෙන ඉන්න වෙන එක මොනතරම් දුකක්ද? හාන්සි වෙලා ටිකක් විවේක ගන්න හැදුවත් බලු පැටව් තුන්දෙනෙක්ගේ දැඟලිල්ල ඒක නවත්තලා දැම්මා. එයින් එකෙක් මම හාන්සිවෙලා හිටි තැන ආක්‍රමණයට අව නිසා නින්දක් ගැන හිතන්න බැරි තරම් වුනා. විවිධාකාරයේ මිනිසුන් එහෙ ඇවිදිමින් මීමුරේ විනාස කරන හැටිත් පලවෙනි වතාවට තමන්ගේ වාහනේ අරන් මීමුරේ ආපු වාහන වල රියදුරන් කෙඳිරිගාන හැටිත් දැක්කාම නම් මීමුරේ එපා වෙනවා. මේ සියල්ල එක්ක ගෙවුන පැය හතක කාලයෙන් පස්සේ අවසානයේ මිතුරන් දෙදෙනා ආවේ හීනයක් දකින්න වගේ. ඉක්මනින්ම බයිසිකලේ හදාගත්ත අපි ආයෙත් හුන්නස්ගිරියට යන්න පිටත් වුනේ තවත් පැය දෙකක් විතර යන්න වෙන බව දැනගෙනමයි. 
 
 
සියල්ල අවසානයේ මගේ කණ ඇතුලට රිංගපු මොකෙක්දෝ කරුම සතෙක් කණ ඇතුලේ පෙරලද්දී අපි නුවරට ආව. එතකොට රෑ 11වත් වෙන්න ඇති. අවාසනාවත්න වුනත් එකම තැන ඉඳගෙන මේ කතාව ලියනවා මයි කියල හිතාගෙන ගත්තු පින්තූර කීපය එක්ක අවාසනාවන්ත ගමනක අවසානය සනිටුහන් වෙනවා. කොහොම වුනත් ආයේ දවසක මීමුරේ පැත්ත සම්පූර්ණයෙන්ම බලන්න දවස් කීපයක්ම යොදාගෙන කැලේ ඇතුලේ හරි නිදියන්න බලාගෙන යන්නයි හිතන් ඉන්නේ.


3 comments:

  1. මීමුරේ ඉන්නෙත් දෙසීය ගාණක්ද කොහේ ඒ දවස් ටිකට බලන්න තුන්දාහකට වැඩිය ගිහින්. දැන් අපි ගිය කාලෙ කරපු බඩඉරිඟු ගම්මිරිස් වගාවන් දකින්නවත් නෑලු. අපි යද්දි ඔය ලියදි හරක් බානක් දාල හානවා

    ReplyDelete
  2. මමත් මී මුරේට දැන් අවුරුදු එකහාමාරකට කලියෙන් ගියා. එහේ ගිහිල්ලා වෙච්චි දේ මගේ බ්ලොග් එකේ ලියන්න හිතාගෙන ඉන්නවා. මීමුරේ විකුනාගෙන කන සෙට් එකක් ෆේස්බුක් එක හරහා මාර මාකටින් පාරක් දෙනවා. ගමේ එවුනුත් උන්ට එකතුවෙලා ඉන්නේ. කොහොම නමුත් අවසානයේ නොයිදුල් ගම්මානයක් උන් දුෂණය කරලා දැම්මා.

    ReplyDelete
  3. හම්මේ.. මතක් වෙද්දීත් ඇගපත සිතල වෙනවා. ආපහු දවසක දවස් දෙක තුනක්වත් ඇවිදින්න යමු.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!