මගේ ගමන් බිමන් අනූ දෙවැනි කොටස - බටතොට ලෙන (දිවා ගුහාව)

කාලයක් තිස්සේ හිතාගන හිටි ගමනක් යන්න ලැබුනා. ඒ තමයි එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ශ්‍රී  පාදය කියන විස්තරය කලින් ලිපියක ලිව්වා මතක ඇතිනේ. මේ එරත්න පාරෙන් ශ්‍රි පාදය වන්දනා කරන්න යද්දී හමුවෙන ලෙනක් පිලිබඳ විස්තරයක්. රත්නපුර කොළඹ පාරේ කුරුවිටින් හැරිල එරත්තන පාරේ  කිලෝමීටර 7ක් විතර යන්න ඕන. එතැනින් වමට හැරිලා ‍කිලෝමීටර 1.5ක් විතර ගියාම ලෙනට යන්න හදපු පඩි පෙල දකින්න පුළුවන්. සෙනඟ වැඩි කාලයේදී නම් ටිකක් පහලින් වාහන නවත්තන්න වෙනවා. එතැන ඉඳන් පඩි පෙල දිගේ ඉහලට ගියාම ලෙන ඇතුලට යන්න පුළුවන්.
මෙම ලෙන තුල නිශ්ශංකමල්ල රජ යුගයෙන් ඇරඹි, පොලොන්නරු ,ගම්පොළ ,මහනුවර රාජධානි යන්ද පසු කලෙක යටත් විජිත සමයේදීද වරින් වර විහාරයක් ඉදිකිරීමට තැත් කල බවට ඉපැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි .එහෙත් එසේ උත්සාහකල කිසිම අවස්ථාවක වැඩ නිම කිරීමට නොහැකිව ඇත. දිගින් අඩි 150ක් ද පළලින් අඩි 70ක් ද උසින් අඩි 50ක් පමණ වන මෙම ලෙන නැගෙනහිරට මුහුණලා ඇත.
මෙම ලෙන බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ගේ ඉල්ලීම පරිදි සමන්තකූටයේ සිරිපතුල පිහිටු වීමෙන් පසු 500ක් රහතන් වහන්සේලා සමඟින් වැඩම වන සමයේ දිවා විහරණය සඳහා නතර වූ දිවා ගුහාව ලෙසින් කලක් තිස්සේ වැඳුම් පිදුම් ලැබීය. භගවාලෙන, භගවා ගුහාව ලෙසින්ද මෙය හැඳින්වේ. නමුත් පසු කලෙක පලාබද්දල මාර්ගයේ හමුවූ ලෙන දිවා ගුහාව ලෙසින් හැඳින්වූ අතර මෙය බටතොට ලෙන ලෙසින් නම් කෙරින.

දිවා ගුහාව ඉතිහාසයේ සඳහන් වන්නේ මෙසේය. සල්මලින් වටවූ ඉතා සිහිලක් ඇති සමන්ත කූට පාමුල ඇති ගුහාවක බුදුන් වහන්සේ දිවා විහරණය කල සේක. නමුඳු එ් පිලිබඳ තවත් යමක් ඇත. මිනිසුන් සියලු ස්ථාන වැඳපුදා ගන්නා අතර දෙවියන් වෙනුවෙන් මෙතැන ඉතිරි කරන මෙන් සමන් දෙවිඳුන් විසින් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කර ඇත. එවිට බුදුන් වහන්සේ විසින් බුද්ධ ප්‍රාර්ථනාවක් සිදුකර ඇත. එනම් මිනිසුන්ට මෙම ලෙණ නෙ‍ාපෙනී දෙවියන් වෙනුවෙන් පෙනෙන ලෙසයි. එ නිසාවෙන් දිවා ගුහාව මිනිසුන්ට සොයගෙත නොහැකිව ඇත. කෙසේ වෙතත් සිරිපා කරුණා කරන අතරමඟ යා යුතු තැනක් ලෙස මෙම බටතොට ලෙන නම් කල හැකිය.

මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්ද

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුද්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති කුටි වල දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙලා තියෙනවා.
කඳුමුදුනේ තැනි තලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිළිමය මෙකල ගල් වඩුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පෙන්වයි. අනුරපුරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කඳු මුදුනේ වැඩම කර සිටී. මේ සියල්ල පරයමින් අඩි 400ක් පමණ උස ගොවිජන  සෑය සුවිශේෂී එකක් වෙනවා.

අපූර්ව ත්‍රාස්‍යජනක ගමනක් අත් විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩි පෙලයි. එය කොටසක් චෛත්‍යය තුලින්ද ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණ ගමනම යා යුතුවේ. කෙමෙන් සිහින් වල පඩි පෙල අවසන් වෙන්නේ චෛත්‍ය බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දැමීමෙනි. අවසන් අඩි කීපය නැගීමේදී තැනින් තැන ඇති කුටි තුලට වී ඉහල සිට පැමිණෙන්නන් හා පහල සිට එන්නන්ට මාරු විය හැකිය. පඩි පෙලත් හමන සුලඟත් නිසාවෙන් මෙය බොහෝම පරිස්සමින් ගමන් කල යුතුය.

මෙහි සිට කිසිඳු කන්දකින් බාධාවක් නැතිව අංශක 360ම දැකිය හැකිය. අහස පැහැදිලි දිනයකදී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ශනය වේ. ඈතින් පූජනීය සමනළ කන්ද, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, බහිරව කන්ද, උතුවන්කන්ද, බලපොකුණ, කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල, ලෙවලන්, ඩෙල්ටා, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ.
ආවේණික සත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ගම්පොල නගරයත්, නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූර්ව දර්ශයක් මවයි.


වනජීවී ඡායාරූපකරණයට ඔවදනක්.......

වනජීවි ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් අඩුම ගනනේ 300mm වත් ලෙන්ස් එකක් භාවිතා කල යුතු වෙනවා. නමුත් හොඳ දූරරූප කාචයක් තිබේ නම් රාමුව පුරවා ගැනීම පහසුවේ. නමුත් වෙනත් ලෙන්ස් එකක් භාවිත කර ගන්නා ඡායාරූපයක් හොඳ crop එකක් මගින් සාර්ථක කරගත හැකිය.
 
සේයාරුව ගැනීම සඳහා වැදගත් වන තවත් කරුණක් නම් සතෙකුගේ චර්යාවන් හා වාසස්ථාන පිලිබඳ දැන සිටීමයි. නමුත් ‍හොඳම ඡායාරූපය ලෙස බොහෝ විට හදිසියේ ලැබෙන දුර්ලභ අවස්ථා ඡායාරූප ලෙස සටහන් කර ගැනීම වැදගත්වේ.
ඡායාරූප ලබා ගැනීමේදී සතුන්ට ලඟාවීම වැදගත් කරුණකි. එහිදී නොපෙනෙන ලෙසින් සැඟවී සිටීමද වැදගත් වේ. වනාන්තරයට අනුගත වෙන පරිදි සැඟව සිටිමින් දින ගනන් ගත කිරීම වැනි කැපකිරීම් සිදුකිරීමෙන් හොඳ සාර්ථක ඡායාරූපයක් ලබාගත හැකිය.
වනජීවී ඡායාරූපකරණයට පැමිණීමේදීම කල යුතු තවත් කාරණාවක් තිබේ. එය නම් ප්‍රථම තමන‍්ගේ ගෙවත්තේ සිටින සතුන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමයි. කුරුල්ලන්, කුඩා සතුන්, සමහර අවස්ථාවක සර්පයන්, මුගටියන් වැනි සතුන් හෝ පූසන් බල්ලන් පවා ඡායාරූප ගත කිරීමට උත්සාහ ගත යුතුය. එයින් මනා පුහුණුවක් ලබා ගත හැකිය.
ඉන් පසුව සත්වෝද්‍යානයකය ගොස් එහි සිටින සතුන් ඡායාරූප ගත කිරීමට උත්සාහ ගත හැකිය. එහිදි වඩා විශාල ඇපෙචර අගයන් භාවිතා කර පටු ක්‍ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීමෙන් කූඩු වල ඇති කම්බි ඡායාරූපයට සිදු කරන බධාව මඟ හැරගත හැකිය.
සතෙකුගේ ඇස ඡායාරූපයක හොඳන්ම නාභිගත වුන ස්ථානය කරගන්න. ඇස නාභිගත කරගැනීමෙන් සතෙකුගේ සාර්ථක ඡායාරූපයක් ලැබෙනු ඇත. සතෙකුගේ ආලේඛය ඡායාරූපයකදී නම් මෙය අතිශයින් වැදගත්වේ.
සතෙකුගේ ක්‍රියාවන් ඡායාරූප ගැනීම වැදගත් වන අතර එහිදී කැමරාව සතා සමඟ pan කිරීමෙන් බොඳවුන පසුබිමක් සහිතව අරමුණ හොඳනි මතුවන ඡායාරූපයක් ලබාගත හැකිවනු ඇත. එහිදී අරමුණ රාමුව තුල පවා ක්‍රියාශීලිව දැකිය හැකිය. විශේෂයෙන්ම කුරුල්ලකුගේ හෝ දුවන සතෙකුගේ ඡායාරූපයකදී එය වැදගත් වනු ඇත.
ඡායාරූපය ගැනීමේදී අඩුම වශයෙන් Monopod එකක්වත් භාවිතා කරන්න. එසේ නැතිනම් ස්වාර වේගය ගැන හොඳන් සැලකිලිමත් විය යුතුය. නැතිනම් ත්‍රීව්‍ර ඡායාරූපයක් ගිලිහී යනු ඇත.
සෑම අවස්ථාවේදීම පසුබිම හා අරමුණ යන දෙකෙහිම අනාවරණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අවසන් ඡායාරූපයේ රාමු සැකැස්ම, අනාවරණය අරමුණ, අවස්ථාව ආදිය නිසා අපූර්වත්වයක් කැටි කරනොගන්නේ නම් එය තවත් ඡායාරූපයක් පමණක්ම වනු ඇත.

බෞද්ධයා, පිරිත හා දානය

ලංකාව බෞද්ධ රටක්. අපි බෞද්ධයෝ. මේක තමයි අපි කියන වචන ටික. හැබැයි මේ වචන අර්ථවත් කරන්න උත්සාහ අරන් තියෙනවාද? අද ලංකාවේ බොහෝමයක් ඉන්නේ නාමික බෞද්ධයන්. පන්සල් යන්නේ අනිත් අයට පේන්න. නැත්තම් වාසි ලබන්න. පන්සලට ගියාම ඇහෙන්නේත් අරක නෑ දායක මහත්තය මේක නෑ දායක මහත්තයා කියල විතරයි. මට නම් දැන් පන්සල් බහුතරයක් කහ සිවුර ඇඳගත්තු මහා ධන කුවේරයන්ගේ මන්දියක් විදිහටයි පේන්නේ. සියල්ල බිස්නස් එකක් වෙලා. පිරිත් කෑල්ලකට, බණ පදයකට, මතක බණකට නියමිත ගානක් තියෙනවා. ඒ ඒ මුදල තීරණය වෙන්න පනස්ලේ තියෙන වත්කම්, බලය හා ප්‍රසිද්ධිය බලපානවා. ඒ දේ එහෙම වෙන්න අපේ බෞද්ධයන්ගේ මාන්නයත් බලපානවා. මොකද අපිත් ලොකුවට සල්ලි දීල ආධාර කරල පත්තරේට නම දාගන්න බලන නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. 
පිරිත කියන්නේ මොකක්ද කියල දේශනා කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං
අන්තරායං පරිහන්තං තායතීති පරිත්තං
මහාතේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං
උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං

හාත්පසින් අරක්‍ෂාව සපයන බැවින් පරිත්ත නම්වේ
අනතුරු වලක්වාලමින් ආරක්‍ෂාව ලබාදෙන බැවින් පරිත්ත නම්වේ
තේජවන්ත බැවින් සත්වයින් හට පැමිණෙන බය උවරුදු දුරුකරලන බැවින් පරිත්ත නම්වේ
හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලබා දෙන බැවින් පරිත්ත නම්වේ
පරිත්‍රාණ, පරිත්ත, පිරිත කියන තුනම එකම අරමුණ වෙනුවෙන් භාවිත කරන වචන තුනක්. සංස්කෘත භාෂාවේ පරිත්‍රාණ විදිහටත් පාලි භාෂාවේ පරිත්ත විදිහටත් සිංහල භාෂාවේ පිරිත විදිහටත් හඳුන්වලා තියෙනවා. පිරිත බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කල බුද්ධ භාෂිතයක්මයි. පිරිත මගින් කරන්නේ සත්‍ය ප්‍රකාශ කිරීම මගින් මෛත්‍රිය පතුරා බලයක් ජනාත කරවීමකි. පිරිතක ශබ්ද තරංග නිවැරදි පාලනයෙන් සිත සන්සුන් කිරීම හා අර්ථය තේරුම් ගැනීමෙන් ධර්ම වැටහීම ලබාදීම සිදුවේ. එවිට සිත සන්සුන් වන අතර පාලනය වූ සිත ධර්මය තේරුම්ගැනීමෙන් කායික හා මානසික සුව ලබාගත හැකිවේ. මෙය පිරිතේ අරුත කැටි කර බිඳක් ලියවීමක් පමණකි.
දානය කියන දේ හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට,

පුද්ගලයෙක් කිසිදු ලෞකික ප්‍රතිලාභයක් නොතකා තමන් සතු දෙයක් අත්හැරදැමීම දානය නම්වේ.

පඤ්චමානි භික්‌ඛවෙ සප්පුරුස දානානි , කතමානි පඤ්ච?
සද්ධාය දානං දේති
සක්‌කච්චං දාන දේති
 කාලේන දානං දේති
 අනග්ගහිත චිත්තෝ දානං දේති
 අත්තානංච පරංචච අනුපහච්චි දානං දේති

මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්‌ද?
ශ්‍රද්ධාවෙන් දන් දෙයි
සකසා දන් දෙයි
සුදුසු කාලයෙහිම දන් දෙයි
 දෙන දෙයෙහි සිතේ බැඳීමක්‌ නැතිවම දන් දෙයි
  තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන් දෙයි
සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.

දැන් දැන් පිරිතක් කියල (දැන් පිරිත් සජ්ජායනය කරන්නේ නැති නිසා) දානයක් දෙනව කියන්නේ පොසත් මිනිහෙක් කියල සමාජයට කියන ක්‍රමයක්. පිරිතක් කියන්නේ ඇයි? පිරිත කියන්නේ මොකක්ද නොදැන ඒ දේ කිරීම පලක් නැති වැඩක්. කොටින්ම කියනවා නම් පිරිතක් කරන්න පවා දැන් සැලසුම්කරුවන් ඉන්නවා. පිරිත් මණ්ඩප කුලියට ගන්න තියෙනවා. පිරිතක් කියන්න එන හාමුදුවන්ට ගානක් දෙන්න ඕන. ප්‍රවාහනය සපයන්න ඕන. තව තව දේ දෙන්න ඕන. ඒවා ලිස්ට් එකක් විදිහට පිරිතට ආරාධනා කරද්දී ලැබෙනවා. සමහර තැන් වල ඒවා කඩදාසි වල මුද්‍රණය කරල පවා තියෙනවා.
 
දානයක් දෙන්න වුතන් හාමුදුරුවෝ එක්කන් එන්න පන්සල් කීපයකට යන්න ඕන. ආව අයට පිරිකර දෙනවා, අවසානයේ සල්ලිත් දෙන්න ඕන. පිරිකරක් කඩෙන් අරන් ඒක පන්සලට දුන්නාම හමුදුරුවෝ ඒක ආයෙත් කඩේට දීලා ඒක මුදල් කරනවා. බොහෝ විට අපි කඩෙන් අරන් පූජ කරන පිරිකර අඩුම ගණනේ දහ පහලොස් වතාවක්වත් පූජ කරපු එකක්. දානය වෙනුවෙන් හදන්න ඕන දේවල් පවා ලිස්ට් එකක් විදිහට පන්සලෙන් ගන්න තියෙනවා. එහෙම නැති වුනොත් ඒක මහ අඩුවක් විදිහට හාමුදුරුවෝම ප්‍රකාශ කරනවා.

අද දානය පිරිත කරන්නේ මොනවා අරමුණු කරගෙනද කියන දේ තවමත් මට පැහැදිලි මදි. දානයක් පිරිතක් කරන එක ලොකු බෆල් දාගෙන ගමට ඇහෙන්න කරනවා. ඒක හොඳයි. නමුත් ගේ වටේමයි පාරෙයි ලයිට් දාගෙන මස් මාලු උයාගෙන, කේටරින් සර්විස් එකෙන් එන කෝකියා ගේ පිටිපස්සේ පණදාගෙන උයද්දී බණ පිරිත් කියන්නේ ඊට පස්සේ දවසේ උදේ දානය පන්සලටයි දවල් දානය ගෙදරය ගෙනෙල්ලි දෙන්න ඕන හින්දමද කියල හිතෙනවා. හොඳ ලොකු තැනක දානයක් කලාම පින්තූර ගන්නවා, වීඩියෝ කරනවා විතරක් නෙවෙයි ඒ ඒ දේවල් කරනවා දැක්කාම පන්සලේ හාමුදුරුවන්ටත් ඒකේ පිටපත් ඕන වෙනවා. අත්හැරීම පුරුදු කල යුතු තැන පින්තූරයක් වෙනුවෙන් බැ‍ඳෙන්නේ ඇයි? කියන දේ තේරුම් කරන්න බෑ. හාමුදුරුවෝ කණ එකේ විතරක් පින්තූර ගන්න එපා කියනවා. මම හිතන්නේ කන්නේ මොනවද කියල හා කන විදිහ මාට්ටු වෙන නිසා වෙන්න ඇති. 
දානය දවසට කන්න වගේම මත්පැන බොන්න දෙන තැනුත් තියෙනවා. දානෙට බීල කන්න බලාගෙන එන පිරිසකුත් ඉන්නවා. හාමුදුරුවෝ කෑවා නම් යන්න එපැයි. තව මොනව කියවනවද මන්ද? කියන වචන ඇහෙන්නේ නැති දානේ ගෙවල් නැති තරම්. පිරිත අහන්නේ නැතිව නූල් කෑල්ල ගැට ගහගෙන යන්න බලන් එන අයත් ඉන්නවා. දානයක් අවසානේ කන්න දුන්න ගානයි, හිටපු ගානයි, ආව හාමුදුරුවෝ ගානයි, එක්ක ගනන් බලනවා. මම ‍පොකු දානයක් කරල නේද? මාස ගානක් කතා කරන්න මාතෘකාවක්. හාමුදුරුවන්ට විතරක් පනස්දාහක් ගියා, ලක්‍ෂයක් ගියා කියන පුරාජේරු අනන්ත ඇහෙනවා. දානය පිරිත වෙනුවෙන් පේවිලා නිවැරදි උච්චාරණ එක්ක කෙරෙන පිරිතක ආනිසංස ලබන්න අනාගතයේ නම් කාටවත් බැරිවෙයි වගේ.

කොහොම වුනත් නිවැරදි අරමුණු එක්ක පිරිතක් කරනවා නම්, දුන් දේ ගැන හිතන්නේ නැතිනම් හාමුදුරුවෝ මොන අඩව්වක් ඇල්ලුවත් පිරිතක දානයක ආනිසංස කරවන්නාට ලැබෙයි. ඒත් ඒ දීපු දේ ගැන මත කියවනවා නම් තමත් දුන්දේට බැඳුනු තැනැත්තෙක් ඔවුනට ආනිසංස ලැබෙන්නේ නම් නෑ. එක තවත් එක් උත්සවයක් පමණයි.

මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සල

උලපනේ - පුස්සැල්ලාව මාර්ගය දිගේ ඇවිත් හරන්ගල පාරට හැරිල හරි නාවලපිටිය - හරන්ගල පාර දිගේ හාරන්ගල හන්දියෙන් හැරිල හරි කොත්මලේ වේල්ල උඩට යන්න පුළුවන්. හැබැයි ඉතින් ලේසි පාර වෙන්නේ උලපනේට ඇවිත් පුස්සැල්ලාව පාර දිගේ එන එක. අවුරුදු ගානක් තිස්සේ බලා ඉඳල කොත්මලේ වැව සිඳුනාම පෙනෙන කඩදොර පන්සල බලන්න ගිය ගමන ගැන තමයි මේ විස්තරය.
අතීතයේදී පිදුරුතලාගල ඔය, නානු ඔය, පූනා ඔය, ග්‍රෙගරි වැව වගේ ඔයවල්  වල වතුර ඩෙවෝන් ඇල්ල, සෙන්ට්ක්ලෙයාර් ඇල්ල, රම්බොඩ ඇල්ල, පූනා ඇල්ල, ගැරඬි ඇල්ල වගේ දිය ඇලි වලින් වැටිල අන්තිමට එන්නේ කොත්මලේ ඔයට. ඒක යන්නේ මහවැලි ගඟට. මේ සියල්ල නිසාම අතීතයේ මේ තැන බොහෝම සශ්‍රීකයි. තිස්පනේ කන්දත් කඩදොර කන්දත් අතරින් ගිය කොත්මලේ ඔය නිසා බොහෝම ඉක්මනින් මේ ප්‍රදේශ ජනාවාස වුනා. නමුත් අධික වර්හා කාල වලදී පහත් බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවුනා. ඒ කොයි තරම්ද කියල තාමත් ගම්පොල දුම්රිය ස්ථානයේ බිත්ති වල සටහන් වෙලා තියෙනවාලු. 
එක්දහස් නමසිය පනස් ගනන් වල ඉඳන්ම මේ ගංවතුර ගැටලුවට පිලියම් විදිහට වේල්ල තනන්න වුවමනාව තිබුනා වුනත් 1979 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නිසා වේ‍ල්ලේ වැඩ ආරම්භ කරල තියෙනවා. 1986දී වේල්ල විවෘත කරල තියෙනවා. මේ සියල්ල ඡායාරූප එක්ක වේ‍ල්ල නරඹන අයට බලන්න පුළුවන්.
 
මේ වේල්ලේ විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් තමයි මේක හදල  තියෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවයි. ඒ පස් වෙනුවට කලුගල් අඩියක් අඟලකට තලල තමයි නිර්මාණය කරල තියෙන්නේ. ජලාශය පැත්තේ විතරක් සෙන්ටිමීටර 50ක ඝනකම තියෙන කොන්ක්‍රීට් එකක් දාල තියෙනවා. අනිත් කාරණාව තමයි හරි කෙලාන් තියෙන වේල්ලක් වීම. මේ වේල්ල අතර මැද වාන් දොරටු නැහැ. කෙලවරක විතරක් වාන්දොරටු සඳහා ඉඩ තියල තියෙනවා. තව දෙයක් තමයි මේකට පිටවානක් නෑ.
 
සම්පූර්ණයෙන්ම පිරී ගිය විට ජලය ඝන මීටර් දශලක්‍ෂ 174 ක ධාරිතාවක් තියෙන මේ ජලාශයෙන් ජලය ඝන මීටර් දශ ලක්‍ෂ 665 ප්‍රමාණය තෙක් විදුලිය නිපදවීම සිදු කළ හැකියි. පාවිච්චියට ගන්නට බැරි කොටස ඝන මීටර් 24 ක්. එම ජලය අවශ්‍ය වුවහොත් ඉවත් කරන්නට හැකි මඩ සොරොව්වක් ද තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට සෑහෙන දායකත්වයක් ලබා දෙමින් මෙගාවොට් 201 ක විදුලියක් මෙයින් නිවදවන්න පුළුවන්. විදුලිය නිපදවීමේදී ජලය, කිලෝ මීටර් 7 1/4 ක දිගට උමඟක් දිගේ  අටබාගේ ප්‍රදේශයේ පිහිටා ඇති බලාගාරයේ ටර්බයින වලට ගෙනියනවා. ගොඩ බිමින් නම් එම දුර ප්‍රමාණය කිලෝමීටර් 15 ක් විතර වෙනවා. ජලය තත්පරයකට ඝන මීටර් 5500 ක් මේ එක් දොරටුවකින් මුදා හරින්න පුළුවන්. එහෙම මුදා හැරෙන ජලය කිලෝ මීටර් 10 ක පමණ දුරක් ගොස් මහවැලි ගඟට එකතු වනවා.

පින්තූර ගොන්නට ගිහින් බලන්න...

මේ කොත්මලේ ඔය දෙපැත්තේ තියෙන කඩදොර කන්දත් තිස්පනේ කන්දත් පාමුල ගම්මාන 57 ක් ජලයෙන් යටවෙලා තිබෙනවා. ඒ ගම්මාන ආශි‍්‍රතව තිබුණු පන්සල් 54 ක් ඒ සමඟම ජලයෙන් යටවෙලා. පායන කාලෙකදී විතරක් මතුයවන කඩදොර පන්සල තමයි ලස්සනම පන්සල වෙන්නේ සහ විශාල ප්‍රමාණයක ඉතිරිවෙලා තියෙන්නේ. එතැන ඉඳන් අනිත් ඉවුර පැත්ත බලද්දී තිස්පනේ මැද්දේගම පන්සලේ ඉතිරිවුන චෙත්‍ය දකින්න පුළුවන්. ඉස්සර මේ කිට්ටුව පාලමක් තිබිල තියෙනවා. ඈතට ඈතට යන ගල් අතුරලා මිනිස්සුන් එහා මෙහා ගිය පාරවල් වල නටඹුන් දකින්න පුළුවන්. යටවුන පන්සල් හා ගම් සියල්ල වෙනුවෙන් මතක සටහනක් විදිහට මහවැලි මහා සෑය හදල තියෙනවා. ඒක බැම්ම උඩට ගියාම ලස්සනට බලා ගන්න පුළුවන්.
 
මම ගිය දවසේ හිටි සෙනඟ එක්ක ඡායාරූප ගන්න එක නම් ඒ තරම් ලේසි වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි එන පිරිසට මේ තියෙන්නේ මොකක්ද කියන එක ගැන ගානක් නැහැ. බුදු රුවක් කියන දේ අමතකයි. හැසිරිම කෙසේ වෙතත් මෙතැනට ආව බව පෙන්වන්න ගත්තු ඡායාරූප ගෙදර ගෙනියාම තමයි හුඟක් දෙනාගේ අරමුණ වුනේ. බුදු හාමුදුරුවෝ එක්ක සෙල්ෆියක් ගහගන්න උත්සාහ කරන තරුණයෝ අතරේ වයසක උදවිය තමන්ගේ අතීතයේ ගම් බිම් වල හිටි තැන් පිලිබඳ මතකය අවදිකරන්න උත්සාහ ගත්තා. කොහොම වුනත් ආව තැන අමතක වුන සිංහල බෞද්ධයන් ගාන නම් අපමණයි.