ඔබ ඈත සඳ වී පායා..

විශාරද බණ්ඩාර අතාවුද නම් විශිෂ්ඨ ගායකයෙකුගේ හඬින් ගැයෙන මනරම් ගීතයක් තමයි අද ලියන්න හිතුවේ. ගීතයේ පද රචනය ජයලත් මනෝරත්නයන් අතින්. ගීත ගොන්නක් නොලීව පුද්ලගයෙක් වුනත් ලියැවුන මේ ගීතයේ අපූර්ව බව කිය යුතුමය. ගීතයේ සංගීතයද ඒ අපූර්වත්වය වැඩි කරනවා. ගීතය පටන් ගන්නේ අපූර්ව සංගීත ඛණ්ඩයකින්. ඒ සංගීතය අපිව ගීතයේ පද අතර අතරමං කරන්න සමත් වෙනවා කියලයි හිතන්නේ. 

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

ගීතය පටන් ගන්නේ මේ විදිහටයි. ඔබ ඈත සඳක් විදිහට පායලා තියෙද්දී මම මෑත තරුවක පිපිලා. කෙතරම් ගීත ඇති ද සඳත් තරුත් ගැන ලි‍යවෙන හැමදාමත් සඳ තරුණියක සිහිපත් කරවනවා. අද ඔබ ඈතන් ඉන්නේ. බොහෝම ප්‍රභාෂ්වර විදිහට දිදුලමින්. නමුත් මම ගොඩක් ලඟින් එන්න කුඩා තාරකාවක්. ප්‍රමාණය විසින් තරුණිය තව තවත් සුන්දර බවත් ඇයගේ විශේෂත්වයත් ඉදිරියට ගේන්න සමත් වෙනවා. නමුත් මේ සියලු දේ වෙන්නේ මුලු ලෝකයක් නිදාගෙන ඉන්නාවූ බොහෝම නිහඬ නිසල රාත්‍රියක. නමුත් ඔබත් මමත් බොහේම ලඟනි ඉන්නේ. කොහොමද මේ ලඟින් ඉඳගෙනත් මේ තරම් දුරස් බවක් දැනෙන්නේ. 

Star Trail Photography (තරු මංපෙත් ඡායාරූපකරණය)

තරු මංපෙත් ඡායාරූපකරණය කියන්නේ මොකුත් මැජික් එකක් නම් නෙවෙයි. මේක බොහොම සරල ක්‍රමයක් භාවිතා කිරීමක් විතරයි. වේගයෙන් ගමන් කරන වාහනයක ඇති ආලෝකය ඡායාරූපය පුරා රේඛා ලෙස විහිදෙන ලෙස ආලෝක මංපෙත් ඡායාරූපකරණය ඔබ දැක ඇති, කර ඇති. මෙතැනත් භාවිතා වෙන්නේ ඒ ක්‍රමවේදයම තමයි. නමුත් අපි තරු වලට ගොඩක් දුරින් ඉන්න නිසා තරු වල ගමන (ඇත්තටම ගමන වෙන්නේ අපි, පෘඨිවිය වුනත් දැනෙන්නේ තරු ගමන් කරනවා මෙනි) බොහෝම හෙමින් කියලයි අපට දැනෙන්නේ. මෙන්න මේ ගමන් මාර්ගය රේඛාවන් විදිහට ඡායාරූප ගත කිරීම තරු මංපෙත් ඡායාරූපකරණය විදිහට හැඳින්වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
මුලින්ම ඡායාරූප ලබා ගන්න කලින් අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එයින් මුල්ම එක තමයි අපිට සැකසුම් සැකසිය ආකාරයේ කැමරාවක් තියෙන්න ඕන. දෙවැන්න තමයි ‍හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් ඕන. ත්‍රිපාදය වෙනුවට මේසයක තියල වුනත් අපිට ඡායාරූපය ගන්න පුළුවන්. නමුත් මතකයේ තියෙන්න ඕන ඡායාරූපය ලබා ගන්නා සම්පූර්ණ කාල සීමාව තුලදීම කැමරාව නොසෙල්වී තබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඊලඟට අපිට ඕන කරන දේ තමයි හොඳ ද්‍රරස්ථව කැමරාව පාලනය කල හැකි ක්‍රමවේදයක්. මොකද අපි සැරින් සැරේ කැමරාව අල්ලන්න ගියාම අපේ කැමරාව අපි නොදැනුවත්වම සෙලවෙනවා. ඒක වලකා ගැනීමත් බොහොම වැදගත්. හොඳින් ආරෝපිත බැටරි කීපයක් (වැඩේ අතරතුර කැමරාව ඔෆ් වුනොත් වැඩේ ආයෙම මුල ඉඳන් කරන්න වෙන නිසා). මේ ටිකට අමතරව පුළුල් කෝණ (Wide Angle) කාචයක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. crop sensor එකක් නම් 8mm-20mm අතර කාචයකුත් 35mm Sensor එකක් නම් 14-24mm අතර කාචයකුත් භාවිතා කරනවා නම් වඩා සාර්ථක ආකර්ශණීය ඡායාරූපයක් ලබා ගන්න පුළුවන් වෙයි. 

ගතික පරාසය (Dynamic Range)

කාර්යබහුලත්වය නිසා හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරිවුන නිසා අද හිතුවා ගතික පරාසය (Dynamic Range) ගැන ලිපියක් ලියන්න. ඡායාරූප කරණය කරන අයට මේක කිව්ව ගමන් මතක් කරගන්නේ අධි ගතික පරාස (High Dynamic Range) ඡායාරූප කියන එක. නමුත් මේ කාරණා දෙකක්. අපි බලමු ගතික පරාසය කියන්නේ මොකක්ද කියලා.

ගතික පරාසය කියන්නේ යම්කිසි දර්ශනයක ඇති උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයට. එහෙමත් නැතිනම් උපරිම හා අවම වර්ණ ඝනත්වය හා දීප්තිය ඇති ස්ථාන අතර පරාසයයි. උදාහරණයක් විදිහල කලු සිට සුදු දක්වා ඇති පහල තියෙන වර්ණ අනුක්‍රමණය සලකමු.
කලු සිට සුදු දක්වා ගතික පරාසය
මේ තැන තියෙන කලු හා සුදු අතර කෙතරම් වර්ණ තියෙනවාද? මේ සියල්ල ගතික පරාසය තුල තියෙන වර්ණ. දකුණු පැත්තේ තියෙන සුදු වර්ණයක් වම් පැත්තේ තියෙන කලු වර්ණයත් කියන්නේ සීමාවන් දෙක. අන්සියලු වර්ණ තියෙන්නේ ඒ අතර පරාසයේ. දැන් අපි බලමු මේ ගතික පරාසය අඩු කරල තියෙන අවස්ථාවක්.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්

ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතවේදියා අතින් ලියැවුන වික්ටර් රත්නායකයන්ගේ හඬින් ගැයෙන “අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්” යන ගීතය කාලෙකින් ඇසෙන මියුරු ගීයක්.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .

අසම්මත ප්‍රේමයක ලකුණු කියනවා වගේම මෙතැනදී අසන්නාගේ හිතේ ලොවට හොරෙන් සිදුවන අසම්මත ප්‍රේමයට වගේම කිසියම් හේතුවත් නිසා නැතිවුන ප්‍රේමයක සලකුණු මැවෙනවා. අපේ හැඟීම් වලට ටිකක් ඉඩ දීලා පොඩි වෙලාවක් ගත කරමු කියල ආරාධනා කරනවා. නමුත් කාටද කියන එක පැහැදිලි නෑ. හැරගිය පෙම්වතියද නැතිනම් වෙන කාගෙ හරි බිරිඳක්ද???

හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියවුන මේ ගීතයද නිමල් ආනන්ද මහතාට සැබැවින් වුන සිද්ධියක් බැව් කියවේ. කෙසේ හෝ වේවා මෙහි කකාව නිමැවෙන්නේ දුප්පත් මල්ලියෙක් හා පෝසත් අයියෙක් අතර සිදුවීමකින් බැට කෑ මල්ලිගේ සිතිවිලි දාමයක් විදිහටයි.

කුඹුරු ගොවිතැන් කල පියා ලමුන්ට උගන්වන්නට තැත් කලද මල්ලි කට්ටි පනිමින් අධ්‍යාපනය කඩාකප්පල් කරගනී. අයියා හොඳින් ඉගෙන ගෙන සරසවියට ඇතුලුව එහිදී හමුවන නගරයේ ගැහැණු ලමයෙකු හා විවාහ වෙයි. පියා විසින් දෙදෙනාට තම වත්කම් බෙදා දුන් පු අයියා ගමේ ඉඩකඩම් විකුණා නගරයේ පදිංචියට යයි.

දිනක් අයියා නිවසට පැමිණෙන්නේ වී වගාකල අක්කර බාගයක ඉඩම වෙනුවෙනුයි. තමාට වඩා මල්ලීට වැඩියෙන් ඉඩම් දුන්නාය කියමින් පැමිණෙන අයියාගේ සන්ඩුව අවසන් වෙන්නේ අම්මාගේ අත ගසා දමා නිවසින් පිටවී යාමෙනි. මෙතැනදී මල්ලිගේ සිතිවිලි මෙසේ ගීතවත් වේ.

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ

බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම

අජන්තා රණසිංහ ලියූ අපූරු ගීතයක් මේ විදිහෙන් ගායනා වෙන්නේ අමරදේවයන්ගේ සුමධුර කටහඬින්. සරත් දසනායක සංගීතවත් කල ගීතය හරිම අපූරු වින්දනයකින් අහන්න පුළුවන්. ගැමි සුන්දරත්වයත් කොලු කුරුට්ටන්ගේ බාල කාලයත්, බිඳුණු ප්‍රේමයත්, එය මෙත් සිතින් විඳ දරා ගන්නා අයුරුත් මැනෙවින් ප්‍රකාශ වෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් මතක් කරවමිනි.

බොල් වී අහුරු...
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්..
නුඹ මටවත් නොකියාම

බොල් වී කියන්නේ කිරි නොවැදුනු වී වලට. කරල පැහෙද්දී බොල් වී හිස්ව තියෙනවා. ඒ නිසා බරෙන් අඩුයි. සුලං හමද්දී බොල් වී බොහෝම ඉක්මනින් ගහගෙන යනවා. තරුණයාගේ ආදරය කල තරුණිය ඔහුටත් නොකියා විවාහ වෙලා. ඔහු ඇය හා ලබැඳියාවක් තියෙනවා. සිතින් ඔහු ඇයව ගොඩක් ආදරයෙන් තියන් ඉඳල තියෙන්නේ. ඒ නිසා ඇය ‍ඔහුට නොකියා ගිය එක ගැන කණගාටුවක් තියෙනවා. 

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

සිංහයන් තිදෙනෙකුගේ අපූර්ව සම් මිශ්‍රණයක ප්‍රථිපලයක් විදිහට දිග හැරෙන මේ අපූරු ගීතය ගැන පොඩියක් ලියන්න හිතුනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තම රාජකාරි කරන අවධියේ සිදුවුන සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් රත්න ශ්‍රී අතින් ලියවෙන මේ අපූරු ගීතය සිංහල ගීත කලාවේ මනරම් බව මැනෙවින් පෙන්වනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

සුන්දර උයන් පෙතක

සේනානායක වේරලියද්ද ගායනා කරන සුන්දර උයන් පෙතක ගීතය අපූරු පදවැලක් උසුලන්නක්. දුප්පත් කම අඩුකුලය නිසා සිදු වෙන දැයක් කියවේ යැයි සිතමි.

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සුන්දර උයනක පිපිණා වුනානම් පින්සර දෑතින් සැලකුම් ලබන්න තිබුනා. ඒතැනදී සුන්දර උයන් ඇති වන්නේ පොහොසත් ඉහල කුල ගෙවල්වල. ගීතයේ පද ලියැවෙද්දී කාල වකවානුවත් මේ ගීත පද බඳිද්දී බලපානවා. එහෙම තැනක නුඹ ඉපැදුනානන් නුඹට සැලකුම් ලැබෙනවා. නමුත් නුඹ එතැන නෙවෙයි ඉපදී තියෙන්නේ. පෙරකල පව් පඩිසන් දීල තමයි මෙහෙම වෙලා තියෙනනේ ඒ නිසා නාඬා ඉඳින් කියල මේ චරිතය බෞද්ධයකු කරනවා. ඒ වගේම අන්දර කැකුලේ නාඬන් කියල කියන්නේ මේ ආමන්ත්‍රණය සිදු වෙන්නේ දියණියකට. අන්දර මල් තියෙන්නේ කැලේ. එතැනත් ඔව්න්ගේ දුප්පත් කම අඩු කුලය පෙන්වනවා. පව් පඩිසන් දුන්න නිසා තමයි දුවේ උඹට මේ වෙලා තියෙන්නේ කියලයි කියන්නේ.

සඳකැන් වැටිලා අඳුරේ එතිලා


ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශිෂ්ඨ පද රචකයාගේ ගීත අප හට සැමදා විඳිය හැක ගීත බව නොරහසකි. එයට හේතු වන්නේ ඔහුගේ බොහෝ ගීත සිය ජීවිතයේ ඇසූ පිරූ ‍දේ වලින් ලියැවෙන නිසාම විය යුතුය. මෙයද එසේ ලියැවුන පද වැලකි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා මධුර කටහඬින් ගායනා වෙන ගීතයේ කතාව මට දැනෙන්නේ මේ ලෙසිනි.

විවාහක යුවලකගේ ජීවිතයට තුන්වැන්නෙක්ගේ ඇතුලු වීම නිසා ඒ විවාහ ජීවිතය බි‍ඳෙන ආකාරය අපූර්ව ආකාරයෙන් විස්තර කෙරෙන ගීතයක පලමු පද වැල ලියැවෙන්නේ මෙන්න මෙහෙමයි. 

සඳකැන් වැටිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

පෙම් කල වරදට

මෙය දයා ද අල්විස් විසින් රචිත චන්ද්‍රදාස බෝගොඩ සංගීතයෙන් හැඩකල ඉන්ද්‍රාණි බොගොඩ ශිල්පිනියගේ මියුරු කටහඬින් ගැයෙන අපූර්ව ගීතයකි. පවුලක නැගණියක හා අයිය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්ය වශයෙන් ඇති වෙන්නා වූ පවුල් ආරවුලක් තමා මේ ගීතයේ පදනම වෙන්නේ. සංගීතයේ උස් පහත් වීම් පවා මේ ගීතයේ කටහඩ එක්ක එකතු වෙලා ‍හැඟීම් ප්‍රභල කරනවා කියලත් මට හිතෙනවා. බොහෝම නිහඬ තැනක ඉඳගෙන මේ ගීතය අහනවා නම් ඒ දේ දැනේවි. පලවෙනි කොටස ගැයෙන්නේ මෙන්න මේ විදිහට.

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

නැගණිය වැඩිවිය පත්වෙලා ආදරයක් පටන් අරන්. නමුත් ඒ පෙම්වතා හොඳ හෝ නරක වේවා එයට අයියා සම්පූර්ණ වශයෙන් විරුද්ධ වෙලා තියෙනවා. ‍එතැනදී තමා පෙම්වතිය තමන්ගේ අයියට පොඩි නක්කලේකුත් දාන්නේ. ආදරය කලා කියල මට කරදර කරන්නේ අයිය ආදරය කරල නැති නිසා තමයි. නමුත් අයිය ආදරය කලා වෙන්නත් පුළුවන්. නංගී ඒ ගැන දන්නේ නෑ. නමුත් ආදරයට විරුද්ධත්වය ආවාම නංගීගේ දුක පිටවෙන්නේ එහෙමයි. මම ආදරේ කලා කියල අයිය බැන්නට අයිය ආදරය කල දවසට මට සමාව දෙන්න. මම මේ තරම් ‍ආදරය කල එකට. මෙතැන කාරණා කීපයක් මම දකිනවා. සමහර විට මේ පෙම්වතියට අයියා විතරක් වෙන්න පුළුවන්. පවුලේ බර ගෙනියන්නේ අයියා. පියා නැති නිසාවෙන්. අන්න ඒ නිසා තමයි ආරය වෙනුවෙන් මම මැරෙනවා නොකියා දුක ගැන අයියට කියන්නේ. අයියට තේරුම් කරවන්න හදන්නේ.

මුදු මුහුණේ සුව දැනුනේ

මහින්ද දිසානායක පද රචනය කල ගුණදාස කපුගේ සංගීතවත් කල ගීතය කරුණාරත්න දිවුල්‍ගනේ හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ මයුර කටහඬින් ගායනා කෙරුණි. දෙදෙනෙකුගේ සංවාදයක් ලෙසින් දිගහැරෙන ගීතයේ මෙසේ ලියැවුන ආදර කතාවක් වෙතැයි මට සිතේ.

එක් පාර්ශවයක් සැමියාද අනෙක් පාර්ශවයේ බිරිඳ ද යැයි හැඟවෙන තැන් බොහෝමය. ගලායන්නේ මංගල දිනයේ එක්වීමෙන් පසු ‍කැරෙන ප්‍රේමණීය ආමන්ත්‍රණයක් යැයි සිතමි. බිරිඳගේ සුන්දරත්වය වෙනදාටත් වඩා හොඳින් දැකපු සැමියාට වෙවනකෙකු ඇයගේ සුන්දරත්වය විඳ ඇතිදැයි සැක ඇතිවේ. මෙය සාමාන්‍ය සිතිවිල්ලක්මය. බිරිඳටද එවැනි සිතිවිලි පහල වුවද එය අසන්නට කතිකාව විවර වන්නේ සැමියා අතිනි.

මෙය ඔවුන්ගේ ප්‍රථම ප්‍රේමය නොවන බව දෙදෙනමෙ දන්නා රහසකි. නමුදු අන් අයගේ සබඳතා වලදී සිය බිරිඳ ඔුන් ඉදිරියේ තම පතිවත බිඳ ඇතිදැයි සැකයකි. තමා සතු අගනා වස්තුව අනෙකෙකු සතුව ඇතිදැයි යන සිතිවිල්ල සිත පුරා එහෙමෙහෙ දුවන්නේ තමාද සර්ව සාධාරණ නොවන නිසාම යැයි හැ‍ඟේ. බිරිඳ ද එයට පිලිතුරු සපයන්නේ උපහාසය කැටිකරගත් ආදරණීය ගෞරවණීය වදන් වලින්මය.

නෙතින් නෙත බලාලා

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : දයා ද අල්විස් 
තනුව : ස්ටැන්ලි පීරිස් 


ස්ටැන්ලි පීරිස් විසින් සැකසූ තනුවකට දයා ද අල්විස් ගීත රචිකාවිය විසින් රචිත අපූර්ව ගීතයක් රෝහණ බෝගොඩ ගේ කටහඬින් ගැයෙන්නට විය. පෙර සැකසූ තනුවකට දයා ද අල්විස් ගීතයක් රචනා කිරීම මෙම ීතයේ තැනෙද්දී සිදුවූ විශේෂ සිදුවීමකි. බෝගොඩයන්ගේ කටහඬ හැඟීම් කෙසේ නම් මේ ගීතයට බැ‍ඳෙන්නේ දැයි කිව නොහැකිය. එහුගේ ගීත ගායනයේ මේ ගීතයට සජීවී බවක් බලා දී ඇති බව නම් නොරහසකි. ඒ ගීතයේ ඇති හැඟීම ඒ අයුරින් ‍රසිකයාට ගලා යන්නේ ඒ කටහඬ නිසාම යැයි මට හැ‍ඟේ.