සුන්දර උයන් පෙතක

සේනානායක වේරලියද්ද ගායනා කරන සුන්දර උයන් පෙතක ගීතය අපූරු පදවැලක් උසුලන්නක්. දුප්පත් කම අඩුකුලය නිසා සිදු වෙන දැයක් කියවේ යැයි සිතමි.

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සුන්දර උයනක පිපිණා වුනානම් පින්සර දෑතින් සැලකුම් ලබන්න තිබුනා. ඒතැනදී සුන්දර උයන් ඇති වන්නේ පොහොසත් ඉහල කුල ගෙවල්වල. ගීතයේ පද ලියැවෙද්දී කාල වකවානුවත් මේ ගීත පද බඳිද්දී බලපානවා. එහෙම තැනක නුඹ ඉපැදුනානන් නුඹට සැලකුම් ලැබෙනවා. නමුත් නුඹ එතැන නෙවෙයි ඉපදී තියෙන්නේ. පෙරකල පව් පඩිසන් දීල තමයි මෙහෙම වෙලා තියෙනනේ ඒ නිසා නාඬා ඉඳින් කියල මේ චරිතය බෞද්ධයකු කරනවා. ඒ වගේම අන්දර කැකුලේ නාඬන් කියල කියන්නේ මේ ආමන්ත්‍රණය සිදු වෙන්නේ දියණියකට. අන්දර මල් තියෙන්නේ කැලේ. එතැනත් ඔව්න්ගේ දුප්පත් කම අඩු කුලය පෙන්වනවා. පව් පඩිසන් දුන්න නිසා තමයි දුවේ උඹට මේ වෙලා තියෙන්නේ කියලයි කියන්නේ.

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

බෞද්ධයා දුකකදී කරදරයකදී යන්නේ පන්සලේ පිළිසරණ පතාගෙන. නමුත් ඔවුන් පන්සලට ගියා වුනත් පන්ස‍ලත් ඔවුන්ට පිටුපානවා. විහාර දොර වහල දාන්නේ ඔවුන් එද්දී. ලෝකෙ මිනිස්සු අසරණ අපට පිහිට නෙවෙන තරම් ලෝකෙ වෙනස්වෙලා. දහම නැති වෙලා. ඒත් කමක් නෑ අපි ලතැ නොවී ඉමු. අපිට දුක සැප සියල්ල වෙනුවෙන්ම බැද්ද තියෙනවා. අපි හිටි දැප්පත් තැනම අපි ඉමු එතැන උන් හොඳයි. කියල තමයි කියන්නේ. මට හිතෙන විදිහෙන් නම් එතැන අරථවත් කරන්නේ දුගී ඔවුන්ගේ පැලැන්තිය අතරේ නැතිබැරිකම ඇතත් මිනිසත් බව තියෙනවා කියල කියන්න කල උත්සාහයක් වගෙයි.

සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

බෞද්ධ අරමුණ වෙන්නේ සසරින් එතෙර වෙන එක. බොහෝම පරිස්සමින් එතැනට යා යුතු වෙනවා. අපි දුප්පත් වුනත් අනිත් අය ගැන ද්වේශ හිතන්නේ නැතිව මෛත්‍රී වඩමින් සසර ගමන එතෙර වීම ගැනයි හිතන්න ඕන. අපිට පිලිසරණක් නැති වුනත් අපි ලෝකෙට වැරදි නොකර කැලේ පිපිල කැලේම පරවෙද්දෙන්. හැබැයි සිතේ සැනසි්ල ඇතිව තමයි මියැදෙන්න ඕන. අපි අපේ ජීවිතේ තියෙන හැටියෙන් ජීවත් වෙමු කියල අවසානයේ හිත හදන්න උත්සාහ කරනවා.

පියෙකු බඩගින්නේ හඬන කුඩා දියණියක නලවා ගන්න කියන ලතැවිල්ලක් වගේ දැනෙන ගීතයක්. කුළමල භේද පොහොසත් කම් ඉදිරියේ නැවෙන මනුස්සකම. මුදලට කුලයට යටවුන බෞද්ධයන් පිළිබඳ කියවෙන්නා වූ කාලීන ගීතයක් හැටියට මම මේ ගීතය විඳිනවා.

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්


 අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

 සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

ගායනය  : සේනානායක වේරලියද්ද

3 comments:

  1. වෙරලියැද්දගේ ගීත බොහොමයක් අර්ථයෙන් පිරිපුන් !

    අර සඳ පළුවෙන් ගීතයත් මරු..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම... ඒකත් ඉදිරියේ ලියන්නම්

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!