සක්මන් කරන මළුව

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පබැඳුනු අපූර්ව ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය. ලෝකයේ විවිධ රටවල ඇති ආදර කතා මෙන්ම අප ඉතිහාසයේ ඇති තවත් එක් ආදර කතාවක් මෙම ගීතය සඳහා පාදක වී ඇත.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්‍ද්‍රසිංහ රජ සමයේදී සිටි දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ තහනම් ආදරය මෙම ගීතය පාදක වී ඇත. මේ ගීතයේ තතු කතා කරන්නට පෙරාතුව මඳක් ඉතිහාසය දෙස බැලීම වටී යැයි සිතමින් මෙහි සටහනක් තබමි.

දෙවන රාජසිංහ රජ සමයේ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමැති ප්‍රංශ ජාතිකයෙකු හා ඔහු හා විවාහ වන පෘතුගීසි කාන්තාවකට දාව උපන් පේද්‍රෘ ගැස්කොන් හෙවත් දස්කොන් හා වීර නරේන්‍ද්‍රසිංහ රජුගේ බිරිඳක් වූ ප්‍රමිලා බිසව මෙම කතාවේ ප්‍රධාන චරිත වේ.

නරේන්‍ද්‍රසිංහ රජුගේ ක්‍රඩා කල මිතුරකු වන දස්කොන් පසුකලෙක මහ අදිකාරම් තනතුරට පත්වේ. එකල රජ පරපුරේ සිරිතට අනුගත වෙමින් ඉන්දියාවෙන් ගෙන්වා ගත් ප්‍රමිලා බිසව රජුගේ එක් බිසවක් වන්නේ මේ සමයේදීමය. රජු රාජකාරි කටයුතු හා ඔහුගේ කෙලිලොල් ජීවිතය සමඟ විනෝද වීම සඳහා කාලය ගත කරද්දී ප්‍රමිලා බිසව සමඟ ගත කරන කාලය ටිකෙන් ටික අඩු වන්නට විය. කවියට පෙම්බැඳි ඇය තවත් කවියෙකු වූ දස්කොන් හා පෙමින් බැ‍ඳෙන්නේ මේ අතරවාරයේදීය. කවියෙන් සංවාදයන් කලා වුවද රජුන්ට හොරෙන් මේ සංවාද ආදරයක් බවට පෙරලුනි. නමුත් මේ ප්‍රේමය අවසන්‍ වන්නේ තහනම් ආදරය පිලිබඳ තතු රජුට සැලවී දස්කොන් ‍ගේ හිස ගසා දැමීමෙනි.