මගේ ගමන් බිමන් එකසිය දෙවැනි කොටස - මඩුවන්වෙල වලව්ව

ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ ඇඹිලිපිටිය හා සූරියකන්ද අතර පිහිටි කොලොන්න නගරයේ පිහිටා ඇති අපගේ ඉතිහාසය හා සම්බන්ධ අපූර්ව ස්ථානයක් විදිහට මඩුවන්වෙල වලව්ව හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹින් කිලෝමීටර 207ක් විතර ගියාම මේ ස්ථානයට පහසුවෙන් ලඟාවීමේ හැකියාවක් තියෙනවා. දෙවන විමලධර්මසූරිය රජ සමයේදී වසර 1700 දී පමණ මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ගොඩ නැගීම ආරම්භ කර පසුව මඩුවන්වෙල පරම්ප‍රාවේ විවිධ අය විසින් එය විශාල කර නිර්මාණය කරන ලදී. පසුව මඩුවන්වෙල මහ දිසාවේ විසින් 1905දී පමණ අවසන් කරවන ලදී.
1877 සිට 1905 කාලය දක්වා මඩුවන්වෙල වලව්වට කාමර 121ක් අභ්‍යන්තර මැද මිදුල පිහිටි ස්ථාන 21ක් සහ එය වඩා ඉඩම් අක්කර 16500 තිබූ බැව් කියැවේ. දැනට මේ භූමියේ කාමර 43ක් හා මැද මිදුල ඇති ස්ථාන 7ක් ඉතිරිව ඇත. තවද මිනිසුන් 100ක් සඳහා අසුන්ගත හැකි උසාවියක් මිනිසුන් සඳහා දඬුවම් කරන උපකරණ ආදියත් තවම ඉතිරි වී ඇත. මඩුවන්වෙල මහ දිසාවේ ට පසුව මඩු‍වන්වෙල පවුලේ සාමාජිකයන්ට අයත්ව තිබූ මේ භූමිය පසුව ශ්‍රිමත් ෆැන්සිස් මොල්මුරේට පවරා දී ඇත. එයින් පසුව 1974 දී පමණ එය රජයට පවරා පුරාවිද්‍යා පොර්තමේන්තුව විසින් කෞතුකාගාරයක් බවට පත්කොට ඇත.

ඉතිහාසය අනුව මොහුගේ වතුපිටි බොහෝමයක් සිංහල රජවරුන් දෙදෙනෙකුගෙන් තෑගි ලැබූ ඒවා වේ. අක්කර 7000ක් පමණ වූ පනාමුරේ වතුයාය එවැන්නකි. එය මඩුවන්වෙල මහ දිසාවේගේ මුත්තාට දෙවැනි රාජසිංහ රජු විසින් පෘතුගීසි බලකොටුවෙන් පැනවිත් විවධ අපරාධ කල තැනැත්තෙකුගේ හිස ගෙන ඒම වෙනුවෙන් නින්දගම් ලෙස ලබා දුන්නකි. තවත් කොටසක් ලක්දිව අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් රජුගෙන් දිගුකලක් පැනයමින් සිටි සුදු ගෝණෙකු අල්ලා දීම වෙනුවෙනු ලැබී ඇත. මේ සියලු විරක්‍රියා සඳහා ඉතිහාසයේ විවිධ කතා පවතී.
මඩුවන්වලෙ මන්දිරය තැනූ ස්ථානය ගැනද කතාවක් පවතී. ඒ මෙසේය. මඩුවන්වෙල පරපුර මුතුන්මිත්තන් අතීතයේ මෙම ස්ථානයේ සෙල්ලම් කිරීමට භාවිතා කර ඇත. දිනක් මෙහි සිවලෙක් හාවෙක් පසුපස එපවා යනු දැක ඇති අතර තැනකදී ඔවුන්ගේ ගමන් මාර්ගයන් වෙනස් වීම නිසා හාවා සිවලා පසු පස එලවා යනු දැක ගත හැකිව තිබේ. මෙලෙස හාවා ඉතා නිර්භීත ලෙසින් ක්‍රියා කල ස්ථානය ජය භූමියක් ලෙසින් සලකා එහි මන්දිරය තැනීමට තීරණය කර ඇත.

වලව්වට ඇතුලුවෙන ප්‍රධාන දොරටු තුනකි. ඒවායේ පියගැට පෙල අසල ඇත් රූ කැටයම් කල සඳකඩ පහණකි.
වලව්ව තුල ඇති නෙදර්ලන්තයෙන් ගෙනා ටයිල් වලින් මෙසෙයික් ස්වරූපයෙන් කල පොලව ඇති කොටස තවත් ආකර්ශනීය ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය. එය අදටත් අපූර්ව ආකාරයෙන් පැමිණෙන අමුත්තන්ගේ සිත් ඇද ගනී. ටයිල් කැට වල ඇති වික්ටෝරියා රැජිනගේ හා හා වෙනත් පාලකයන්ගේ රූප ද වරෙක රන් පවුමේ රූප කැටයම්ද ආකර්ශණීය කැටයමේ රටාව බිඳ දමනු දැකිය හැක. එය හුදෙක් යටත් විජිතවාදී පලනයට එරෙහිව සිටි දිසාවේ විසින් යටත් විජිතවාදී පාලකයන් වෙනුවෙන් කල හැකි උපරිම නිග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ පාලකයන්ගේ රුව ඔවුන්ගේ දෙපයටම පෑගෙන්නට සැලැස්වීමයි. තවද 1905 දී සෙවිලි කල උලු තවමත් හොඳ තත්ත්වයේ පැවතීමද විශේෂත්වයකි. 

පඩිපෙල හා දොර උලුවස්ස ආදිය බුරුත, සියඹලා හා කොස් ලීයෙන් කර කාමර වල විවිධ වාස්තු නිර්මාණ මඩුවන්වෙල නිවැසියන්ට ස්වභාවධර්මයේ අපූර්ව චමත්කාරයක් නිවස තුලද ලබා ගැත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. මීට අමතරව සියලු දෙරවල් වල උස සීමා කර ඇති අතර එය පැමිණෙන සියලු විදේශිකයන්ට හිස නමා මැදුරට ආචාර කර පැමිණෙන ලෙසින් කල නිර්මාණයක් ලෙස හැඳින්වේ. ඒ සමඟම නිවස ඉදිරි කොටසේ ඉදිකල පිරිත් මණ්ඩපය නිසා ඔහුගේ ආගමික භක්තිය මනාව හඳුනාගත හැකිය. වෙමම තාප්ප තුනකින් වල කල උද්‍යානය හා මැදින් පිහිටි උල්පත් සහිත පොකුණ අද සිඳී ගොස් ඇතත් එදා එය අපූර්වත්වයක් එක්කර තිබූ බැව් සිතිය හැකිය.
 
 
එය රත්නපුර පුදේශයේ ඉහලින් පිලිගන්නා වූ මොල්මුරේ නායද මොහු සතුය. මුතුන්මිත්තන්ගේ පවුලේ නාමය ලබා ඔහුගේ උරුමය වූ ස්වදේශික ප්‍රධාන තනතුරු 18ක් එකක් වූ රටේ මහත්තයා තනතුරට පැමිනෙන්නේ පසුවය. එහිදී ඔහු ඔහුගේ නාමය ලෙස පරම්පරික නාමය වූ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන මුදියන්සේ රාළහාමිලාගේ සර් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාවේ නාමයෙන් ආමන්ත්‍රණය කෙරිණ. ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලදුව තමන්ගේ ප්‍රදේශයට සේවය කිරීම සඳහා නැවත වලව්වට පැමිණියේය. දිසාවේ සමඟ විවාහ වූ කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හට දාව දියණියක උපන්නද ඇය ආබාධිත විය. අඩු ආයුවළඳා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ විය. නමුදු එම විවාහයේ දරුවන් නොසිටි නිසා මඩුවන්වෙල පරපුර එතැනින් අවසන් විය. අදටත් කතා වෙන ලංකාවේ සිටි මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත් වුනු මඩුවන්වෙල දිසාවේ ඇත්ත වශයෙන්ම කුමාරයෙකු සතු සැප සම්පත් විඳි අයෙකු ලෙස සැලකේ. 

මඩුවන්වෙල වලව්ව හා ඒ අවට පරිසරයේ සෑම ස්ථානයක්ම එකිනෙකට වෙනස් වූ කතා ගොන්නකින් සමන්විත වෙයි. ඒ සියල්ල මෙතැන ලිවීමෙන් පොතක් ලිවීමට තරම් කරුණු එක්කොට දැන්වීමක් වැන්නේ යැයි මට සිතේ. කෙසේ වෙතත් මඩුවන්වෙල වලව්ව බලන්න යන්න. එතැන ඒ ඒ කතා කියන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පිරිස් ඉන්නවා. කතා ටික අහන්න ගමේ අය එක්ක කතා කලත් පුළුවන්. කෙහොම වුනත් ලංකාවේ ඒ තරම් සුවිශාල නිවසක් හිමි පුද්ගලයෙකු රජෙකු හැරෙන්නට සිටියානම් මඩුවන්වෙල දිසාවේ විය යුතුය. කෙසේ වෙතත් සුද්දාටත් හිස නවන්නට සැලැස්සූ මඩුවන්වෙල වලව්ව ඉතිසාහයේ අපේ පෞඩ ජාතිය ගැන අපූර්ව සඳහනක් මතු කරයි.

අයෙත් ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන්...

ඇයි මේ තිරය ක්‍රමාංකිත කිරීම කරන්නේ? (Monitor Calibration)

මොකක්ද මේ Monitor calibration කියන්නේ ඇයි අපිට මේක කරන්න ඕන වෙන්නේ කියන එක දැන් දැන් කාගෙත් ප්‍රශ්ණයක් වෙලා.. අපි ‍අලුතෙන්ම ගත්තු Monitor එක අපි ඇයි ක්‍රමාංකනය කරන්නේ?

මේ වගේ ගැටලු ඇති ඔයාල හැමෝම වෙනුවෙන් ඇයි අපි calibrate කරගන්න ඕන කියන එක ලියන්න හිතුවා.. ඇත්තටම මේක ඕන වෙන්නේ අපි තිරයෙන් දකින වර්ණයයි අපි ඇත්තටම වැඩ කරපු වර්ණයයි වෙනස් වෙන නිසා. උදාහරණ විදිහට අපි පින්තූරයක් හදාගෙන print කරල බැලුවාම අපිට ලැබෙන්නේ අපි තිරයෙන් දැකපු එක නොවෙයි. ඒ වගේම මොනව හරි දෙයක් design කලාම අපි යොදපු වර්ණ අපි තවත් තිරයක හෝ වෙනයම් තැනකදී දකිද්දී වෙනස්ව පේනවා. මෙන්න මේ වගේ දේවල් වලක්වා ගන්න අපිට තිරයක් calibrate (ක්‍රමාංකනය) කරන්න වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙන්
අපි අලුතින්ම ගන්න තිරයක Default Value set එකක් තියෙනවා. ඒකට අදාලව තමයි අපිට වර්ණ පෙන්වන්නේ. නමුත් අපි අපි වැඩ කරන්නා වූ පරිසරයේ ආලෝක තත්ත්ව වලට හා අපේ තිරවල ශක්‍යතාවයට අනුව අපේ තිරය ක්‍රමාංකනය කරගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් D65 කියන සම්මතයට අනුකූල ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය වර්ග මීටරයකට කැන්ඩෙලා 120කට ආසන්න තිව්‍රරතාවයෙන් සහ 2.2 Gamma වක්‍රයක් ඇති ආකාරයට තිරය ක්‍රමාංකනය කර ගැනීමෙන් සාමාන්‍යයෙන් ඡායාරූප බැලිය යුතු හොඳ ආලෝක තත්ත්වයකට තිරය සකස් කරගන්න පුළුවන්. මේක බොහෝමයක් ප්‍රදර්ශන ශාලාවල භාවිතා වෙන ආලෝක තත්ත්වයයි. මේක සම්මත අගයයක් විදිහට බොහෝ රටවල භාවිතා වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
අන්න ඒ කාරණාව නිසා අපි නිවැරදි ක්‍රමාංකනයක් කරගත් තිරයක් මත ඡායාරූපය සංස්කරණය කරනවා නම් කොයි කාටත් එක විදිහට ඒ ඡායාරූපය දකින්න පුළුවන් වෙනවා. ඡායාරූපයක අවසානයේ වැදගත් වෙන්නේ දෘශ්‍ය සංන්නිවේදනයයි. අපි සන්නිවේදනය කරන දේ ඒ අයුරින්ම ග්‍රහණය වෙනවා නම් එය වඩා සාර්ථක වෙනවා.

උදාරණයක් විදිහට ඔයාල ගාව තියෙන තිර කීපයකින් මේ පින්තූරය බලන්න. (මොබයිල් එක, පරිඝණක තිරය හා වෙනත් ඕනෑම තිරයන් දෙකක්)
ඡායාරූපය අන්තර්ජාලයෙනි

තිරයක් ක්‍රමාංකනය කරන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම එකයි තියෙන්නේ. හැබැයි තිර නිශ්පාදනය කරන සමාගම් OS එක එක්ක පොඩි ක්‍රමවේදයක් සකස් කරල දීල තියෙනවා. එය සාමාන්‍ය ඇසෙන් බලා ඇසට හරියන විදිහට තිරය ක්‍රමාංකනය කරන ක්‍රමයක් විදිහට තමයි දීල තියෙන්නේ. නමුත් ඒක සාර්ථකයි කියන්න නම් බෑ. මොකද මිනිස් ඇස නොයෙක් ආලේක තත්ත්වයන්ට ඉතා ඉක්මනින් අනුවර්ථනය වෙනවා. ඒ නිසා නිවැරදි වර්ණයම එනවා යැයි ඇසින් බලා තීරණය කිරීම නම් කරන්න බැහැ. හොඳම දේ තමයි spectrophotometer එකකින් නැතිනම් නියමිත ආලෝකයන් මැනල හරියටම වැඩේ කරගන්න එක. නමුත් මේක colorimeter එකකින් වුනත් කරන්න පුළුවන්.

දැන් කියන්නම් මොකක්ද මේකෙදි වෙන්නේ කියල. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වර්ණ පරාසයක් තියෙනවා. අන්න ඒ පරාසයේ වර්ණ පරිඝණක ගත කරන්න මේ වර්ණ සියල්ලටම පාහේ වර්ණ අංකයක් දීල තියෙනවා. Photoshop භාවිතා කරන අය නම් hexadecimal අංකය භාවිතා කරල ඇති. උදාහරණයක් විදිහට මෙහෙම පොඩි කොටසක් දාන්නම්.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
දැන් හිතන්න අපි දකින යම් වර්ණයක් අපි වර්ණ කේත භාවිතයෙන් ලබා දුන්නා කියල. ඒ වර්ණය හැමතැනදීම අපි අපේ මොනිටරයෙන් නිශ්පාදනය කලා කියල විශ්වාසයෙන් කියන්නේ කොහොමද? අන්න ඒ දේ සඳහා තමා අපි ක්‍රමාංකනය කරන්නේ. එතැනදී Calibrate tool එකෙන් අපේ පරිඝණකය ඇසුරින් විවිධ වර්ණ තිරයට ලබා දෙනවා. ඊට පස්සේ ඒ ලැබෙන වර්ණය මොකක්ද කියල මනිනවා. දැන් අපි ගාව අපි දුන්න වර්ණය හා අපිට ලැබුණ වර්ණය විදිහට තොරතුරු ටිකක් ලැබෙනවා. දැන් කරන්නේ පරිඝණකය මේ ටික වගු ගත කරන එක. දැන් යම් වර්ණයක් තිරයට යන්න කලින් මේ වගුවට යනවා. ගිහින් ඒකේ තියෙන නිවැරදි කිරීමේ අගය බලල ඒ නිවැරදි අගය තමයි තිරයට යන්නේ. ඒ නිසා සියලු වර්ණ සඳහා වූ කේතයන් හ‍ෙ තිරය අතර අතරමැදියෙක් විදිහට මේ වතුව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වැඩේ කරන්න ඕන කරන වලුව හදල පරිඝණකයට ස්ථාපනය කරන එක තමා මේ ක්‍රමාංකනය කිරීමෙන් කරන්නේ.
පින්තූරය අන්තර්ජාලයෙනි

ලේසියෙන් කිව්වා වුනත් මේක ලේසි වැඩක් නම් නෙවෙයි. නිවැරදිව කෙරෙන්න ඕන. හැබැයි තව දෙයක් තමයි මේ වැඩේ අපිට වරින් වර කරන්න වෙනවා කියන එකත් මතක් කරන්න ඕන..

මොකක්................???????? ආයේ ආයේ කරන්න ඕනද??

ඔව් ඇත්තෙන්ම. මොකද අපි තිරයක් භාවිතා කරන්න කරන්න අපේ තිරයේ වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙනවා. කොටින්ම කියනවානම් සියලු උපකරණ භාවිතයේදී ගෙවෙනවා.. අන්න ඒ නිසා කාලයත් එක්ක තිරයක වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙද්දී අපි ආයේ ආයේ ක්‍රමාංකනය කරගන්න ඕන. ගොඩක් අය මේ නිසා තමන්ගේ තිරය ක්‍රමාංකනය කරගන්න මහන්සි වෙන්නේ නෑ. නැවත නැවත මුදල් වියදම් වෙන නිසා. නමුත් වෘත්තීමය වශයෙන් වැඩ කරනවා නම් තිරයක් ක්‍රමාංකනය කරගන්න කියන උපදෙස නම් දිය යුතුම වෙනවා.

වර්ණ කළමණාකරණය කියන්නේ මේ කිව්ව විදිහේ ලේසි වැඩක් නම් නෙවෙයි. ඒ සඳහා හොඳ අවබෝධයක් හා දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් වැඩේ කරගන්න කියන්නේ අන්න ඒ නිසයි. මෙහෙම කෙටියෙන් ලියුවේ ක්‍රමාංකිත තිරයක හා ක්‍රමාංකනය නොකල තිරයක් අතර වෙනස ඔයාල එකපාරක් හරි දැනගෙන ඉන්න ඕන නිසා. මතක තියා ගන්න අන්තර්ජාතික මට්ටමේ තරඟ සඳහා නම් ක්‍රමාංකිත තිරයකින් ඡායාරූප සංස්කරණය කරන්න. දිනන්න තියෙන අවස්ථාව සෑහෙන ප්‍රමාණයකින් වැඩි වේවි..

එහෙම නම් මොනවා හරි ගැටලු තියෙනවා නම් කොමෙන්ටුවක් විදිහට අහන්න. දන්න උපරිමයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.. සියල්ලන්ටම ජය...