ඇයි මේ තිරය ක්‍රමාංකිත කිරීම කරන්නේ? (Monitor Calibration)

මොකක්ද මේ Monitor calibration කියන්නේ ඇයි අපිට මේක කරන්න ඕන වෙන්නේ කියන එක දැන් දැන් කාගෙත් ප්‍රශ්ණයක් වෙලා.. අපි ‍අලුතෙන්ම ගත්තු Monitor එක අපි ඇයි ක්‍රමාංකනය කරන්නේ?

මේ වගේ ගැටලු ඇති ඔයාල හැමෝම වෙනුවෙන් ඇයි අපි calibrate කරගන්න ඕන කියන එක ලියන්න හිතුවා.. ඇත්තටම මේක ඕන වෙන්නේ අපි තිරයෙන් දකින වර්ණයයි අපි ඇත්තටම වැඩ කරපු වර්ණයයි වෙනස් වෙන නිසා. උදාහරණ විදිහට අපි පින්තූරයක් හදාගෙන print කරල බැලුවාම අපිට ලැබෙන්නේ අපි තිරයෙන් දැකපු එක නොවෙයි. ඒ වගේම මොනව හරි දෙයක් design කලාම අපි යොදපු වර්ණ අපි තවත් තිරයක හෝ වෙනයම් තැනකදී දකිද්දී වෙනස්ව පේනවා. මෙන්න මේ වගේ දේවල් වලක්වා ගන්න අපිට තිරයක් calibrate (ක්‍රමාංකනය) කරන්න වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙන්
අපි අලුතින්ම ගන්න තිරයක Default Value set එකක් තියෙනවා. ඒකට අදාලව තමයි අපිට වර්ණ පෙන්වන්නේ. නමුත් අපි අපි වැඩ කරන්නා වූ පරිසරයේ ආලෝක තත්ත්ව වලට හා අපේ තිරවල ශක්‍යතාවයට අනුව අපේ තිරය ක්‍රමාංකනය කරගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් D65 කියන සම්මතයට අනුකූල ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය වර්ග මීටරයකට කැන්ඩෙලා 120කට ආසන්න තිව්‍රරතාවයෙන් සහ 2.2 Gamma වක්‍රයක් ඇති ආකාරයට තිරය ක්‍රමාංකනය කර ගැනීමෙන් සාමාන්‍යයෙන් ඡායාරූප බැලිය යුතු හොඳ ආලෝක තත්ත්වයකට තිරය සකස් කරගන්න පුළුවන්. මේක බොහෝමයක් ප්‍රදර්ශන ශාලාවල භාවිතා වෙන ආලෝක තත්ත්වයයි. මේක සම්මත අගයයක් විදිහට බොහෝ රටවල භාවිතා වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
අන්න ඒ කාරණාව නිසා අපි නිවැරදි ක්‍රමාංකනයක් කරගත් තිරයක් මත ඡායාරූපය සංස්කරණය කරනවා නම් කොයි කාටත් එක විදිහට ඒ ඡායාරූපය දකින්න පුළුවන් වෙනවා. ඡායාරූපයක අවසානයේ වැදගත් වෙන්නේ දෘශ්‍ය සංන්නිවේදනයයි. අපි සන්නිවේදනය කරන දේ ඒ අයුරින්ම ග්‍රහණය වෙනවා නම් එය වඩා සාර්ථක වෙනවා.

උදාරණයක් විදිහට ඔයාල ගාව තියෙන තිර කීපයකින් මේ පින්තූරය බලන්න. (මොබයිල් එක, පරිඝණක තිරය හා වෙනත් ඕනෑම තිරයන් දෙකක්)
ඡායාරූපය අන්තර්ජාලයෙනි

තිරයක් ක්‍රමාංකනය කරන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම එකයි තියෙන්නේ. හැබැයි තිර නිශ්පාදනය කරන සමාගම් OS එක එක්ක පොඩි ක්‍රමවේදයක් සකස් කරල දීල තියෙනවා. එය සාමාන්‍ය ඇසෙන් බලා ඇසට හරියන විදිහට තිරය ක්‍රමාංකනය කරන ක්‍රමයක් විදිහට තමයි දීල තියෙන්නේ. නමුත් ඒක සාර්ථකයි කියන්න නම් බෑ. මොකද මිනිස් ඇස නොයෙක් ආලේක තත්ත්වයන්ට ඉතා ඉක්මනින් අනුවර්ථනය වෙනවා. ඒ නිසා නිවැරදි වර්ණයම එනවා යැයි ඇසින් බලා තීරණය කිරීම නම් කරන්න බැහැ. හොඳම දේ තමයි spectrophotometer එකකින් නැතිනම් නියමිත ආලෝකයන් මැනල හරියටම වැඩේ කරගන්න එක. නමුත් මේක colorimeter එකකින් වුනත් කරන්න පුළුවන්.

දැන් කියන්නම් මොකක්ද මේකෙදි වෙන්නේ කියල. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වර්ණ පරාසයක් තියෙනවා. අන්න ඒ පරාසයේ වර්ණ පරිඝණක ගත කරන්න මේ වර්ණ සියල්ලටම පාහේ වර්ණ අංකයක් දීල තියෙනවා. Photoshop භාවිතා කරන අය නම් hexadecimal අංකය භාවිතා කරල ඇති. උදාහරණයක් විදිහට මෙහෙම පොඩි කොටසක් දාන්නම්.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
දැන් හිතන්න අපි දකින යම් වර්ණයක් අපි වර්ණ කේත භාවිතයෙන් ලබා දුන්නා කියල. ඒ වර්ණය හැමතැනදීම අපි අපේ මොනිටරයෙන් නිශ්පාදනය කලා කියල විශ්වාසයෙන් කියන්නේ කොහොමද? අන්න ඒ දේ සඳහා තමා අපි ක්‍රමාංකනය කරන්නේ. එතැනදී Calibrate tool එකෙන් අපේ පරිඝණකය ඇසුරින් විවිධ වර්ණ තිරයට ලබා දෙනවා. ඊට පස්සේ ඒ ලැබෙන වර්ණය මොකක්ද කියල මනිනවා. දැන් අපි ගාව අපි දුන්න වර්ණය හා අපිට ලැබුණ වර්ණය විදිහට තොරතුරු ටිකක් ලැබෙනවා. දැන් කරන්නේ පරිඝණකය මේ ටික වගු ගත කරන එක. දැන් යම් වර්ණයක් තිරයට යන්න කලින් මේ වගුවට යනවා. ගිහින් ඒකේ තියෙන නිවැරදි කිරීමේ අගය බලල ඒ නිවැරදි අගය තමයි තිරයට යන්නේ. ඒ නිසා සියලු වර්ණ සඳහා වූ කේතයන් හ‍ෙ තිරය අතර අතරමැදියෙක් විදිහට මේ වතුව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වැඩේ කරන්න ඕන කරන වලුව හදල පරිඝණකයට ස්ථාපනය කරන එක තමා මේ ක්‍රමාංකනය කිරීමෙන් කරන්නේ.
පින්තූරය අන්තර්ජාලයෙනි

ලේසියෙන් කිව්වා වුනත් මේක ලේසි වැඩක් නම් නෙවෙයි. නිවැරදිව කෙරෙන්න ඕන. හැබැයි තව දෙයක් තමයි මේ වැඩේ අපිට වරින් වර කරන්න වෙනවා කියන එකත් මතක් කරන්න ඕන..

මොකක්................???????? ආයේ ආයේ කරන්න ඕනද??

ඔව් ඇත්තෙන්ම. මොකද අපි තිරයක් භාවිතා කරන්න කරන්න අපේ තිරයේ වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙනවා. කොටින්ම කියනවානම් සියලු උපකරණ භාවිතයේදී ගෙවෙනවා.. අන්න ඒ නිසා කාලයත් එක්ක තිරයක වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙද්දී අපි ආයේ ආයේ ක්‍රමාංකනය කරගන්න ඕන. ගොඩක් අය මේ නිසා තමන්ගේ තිරය ක්‍රමාංකනය කරගන්න මහන්සි වෙන්නේ නෑ. නැවත නැවත මුදල් වියදම් වෙන නිසා. නමුත් වෘත්තීමය වශයෙන් වැඩ කරනවා නම් තිරයක් ක්‍රමාංකනය කරගන්න කියන උපදෙස නම් දිය යුතුම වෙනවා.

වර්ණ කළමණාකරණය කියන්නේ මේ කිව්ව විදිහේ ලේසි වැඩක් නම් නෙවෙයි. ඒ සඳහා හොඳ අවබෝධයක් හා දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් වැඩේ කරගන්න කියන්නේ අන්න ඒ නිසයි. මෙහෙම කෙටියෙන් ලියුවේ ක්‍රමාංකිත තිරයක හා ක්‍රමාංකනය නොකල තිරයක් අතර වෙනස ඔයාල එකපාරක් හරි දැනගෙන ඉන්න ඕන නිසා. මතක තියා ගන්න අන්තර්ජාතික මට්ටමේ තරඟ සඳහා නම් ක්‍රමාංකිත තිරයකින් ඡායාරූප සංස්කරණය කරන්න. දිනන්න තියෙන අවස්ථාව සෑහෙන ප්‍රමාණයකින් වැඩි වේවි..

එහෙම නම් මොනවා හරි ගැටලු තියෙනවා නම් කොමෙන්ටුවක් විදිහට අහන්න. දන්න උපරිමයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.. සියල්ලන්ටම ජය...

7 comments:

  1. හොඳ ලිපියක් අයියේ. ඔය අත්දැකීමට මං මුහුණ දීලා තියෙනවා. ඡායාරූපයක් මගේ පරිගණක තීරයේ සංස්කරණය කරලා වෙන තිරයකට දාලා බැලුවම වගේම මුද්‍රණය කරලා බැලුවම මං හදපු වර්ණ නොවෙයි දකින්නට තියෙන්නේ.එම නිසා ම එම ඡායාරූපවල තිබෙන ගුණාත්මක භාවය යම්තාක් දුරකට අඩු වී තිබෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩි හාමුදුරු‍වනේ...
      ඔව් ඇත්තටම පින්තූර තරඟ සඳහා දානවා නම් ක්‍රමාංකරනය කරගෙන කරන එක තුලින් සෑහෙන්න හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවන්

      Delete
  2. WEDDING ALBUM වලාටත් ඔය දේ සිදුවෙනවා කියා හිතනවා . එක වෙන්න ඇති සමහර ඡායාරූප වල වර්ණ ස්වභාවික නැත්තේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. wedding වලටත් ඕක වෙනවා.. හැබැයි මංගල උත්සව ඡායාරූප ඇල්බම වලදී වැඩියෙන්ම වෙන දේ තමයි පාරිභෝගිකයා වැඩි වර්ණ වලින් ඉල්ලීම සහ අපේ ඡායාරූප ශිල්පීන් බොහෝ දෙනා හිතාමතාම ඒ වර්ණ තීව්‍රරතාව වැඩි කරල ලබා දෙන එක

      Delete
  3. තව ප්‍රශ්නයක් අයියෙ Calibrate කරන්න ඒක IPS තිරයක් වෙන්නම ඕනද ? 

    ReplyDelete
    Replies
    1. ඕනෑම තිරයක් ක්‍රමාංකනය කරන්න පුළුවන් මලයා. IPS (Internal Panel Switching) තිරයකදී වෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි වැඩි කෝණයකින් එකම දේ බලන්න පුළුවන් වෙන එක. ඒ නිසා අපි අපේ ඇස් මට්ටමට තිරය තිබීමේ අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ නිසා අපිට තිර කීපයක් වටේටම තියාගෙන එකම විදිහට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. දෙවැන්න තමයි තිරය ඇල්ලුවා කියල වටේට වර්ණ විසිරෙන්නේ නෑ. ඒක නම් touch screen වලදී වැදග් වෙනවා.. අනික ප්‍රතිචාර දක්වන්න යන කාලය වෙනසක් නැතිව ඒකාකාරව තියෙනවා.

      මේවායේ අවාසි හැයියට තියෙන්නේ මිල වැඩි වීම හා සාපේක්‍ෂව 15%ක විතර වැඩිපුර ශක්තියක් ඕන වෙනවා ක්‍රියාත්මක වෙන්න. අනික තමයි සාමාන්‍ය ප්‍රතිචාර දක්වන්න යන කාලයට වඩා වැඩිපුර කාලයක් යනවා ප්‍රතිචාර දක්වන්න.

      Delete
    2. සාමාන්‍ය තිරයක් වුනත් ක්‍රමාංකනය කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමාංකනය කිරීමෙන් පමණක්ම නිවැරදි වර්ණ ලැනේනේ නෑ. මොකද තිරය දිහා ආනතව බැලුවොත් වර්ණ වෙනස් වෙන එක සාමාන්‍ය තිරයකදී වලක්වා ගන්න බැහැ. ඒ නිසා තිරය ඇස් මට්ටමෙන් තියා ගන්න වෙනවා.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!