මගේ ගමන් බිමන් එකසිය තුන්වන කොටස - ඔහියේ ඉඳන් කලුපහණට යකාගේ පඩිපෙළ දිගේ

ආයුබෝවන් හැමෝටම... කාලෙක ඉඳන් ඇවිදින්න තියා ඇවිදපු ටික ගැන වත් ලියා ගන්න වෙලාව නැතුව හිටියේ.. නමුත් ඔන්න ආයෙත් ගමන් බිමන් ලිපියකින් අලුත් කරන්නයි හදන්නේ...

කාලයක් තිස්සේ යන්න හිටි ගමනක් ඔෆිස් එකේ සෙට් එකත් එක්ක යන්න තීරණය වුනේම අහම්බයකින්... කතාවක් අස්සේ කොහේ හරි යමුද? කියල අහන්නත් ඒක යකාගේ පඩිපෙල යන්න තීරණය වෙන්නත් ගියේ මිනිත්තු කීපයක් විතරයි.. කොහොමත් දවස් ගනන් සැලසුම් කරන ගමන් කවදාවත් යන්න බැහැ කියලත් කියනවානේ.. විවිධ අයගේ අපහසුතා නිසා කට්ටිය එහෙ මෙහෙ වෙලා අවසානයේ 12 දෙනෙක් එක්ක යකා‍ගේ පඩිපෙල යන්න තමා මේ සූදානම් වුනේ... යකාගේ පඩිපෙල ගමන පහල ඉඳන් ඉහලට එක පාරක් බයික් එකේ ගියා මතක ඇතිනේ... 
රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ කොට‍ුවෙන් පිටත් වෙද්දී රෑ 8.00ට විතර ඇති. ඔහියට ආවේ පාන්දර 4.30 විතර වෙද්දී.. එතැනින් "පැටියා" හෝටලේට රිංගුවේ මොනා හරි දෙයක් බඩට දා ගන්න. සෙට් එක එක්ක හනිකට රොටි ටිකක් බඩට දාගෙන ප්ලේන්ටියක් එහෙම බීල අපි ගමන පටන් ගනිද්දී උදේ 6.00ට විතර ඇති. 

පළවෙනි එලිය වැටෙද්දී ඹහිය ස්ටේෂන් එකේ ඉඳන් ඔහිය පාර දිගේ එන එක නම් අපූරු දර්ශන පෙලක් දකින්න පුළුවන් අවස්ථාවක්. එතැන ඉදන් කිලෝමීටර 2.5ක් විතර හෝර්ටන් තැන්න පැත්තට තියෙන පාර දිගේ ගියාම උඩවේරිය වත්තට යන පාර හා හෝර්ටන් තැන්නට යන පාරවල් දෙකක් වෙන් වෙන ස්ථානයක් දකින්න පුළුවන්.. මේ පාරවල් දෙකෙන්ම යකාගේ පඩිපෙල ගමන යන්න පුළුවන් වුනත් ටිකක් විතර කෙටි පාර තමයි හෝර්ටන් තැන්න පාරෙ ගිහින් පලවෙනි පාරෙන් වමට හැරිල යන එක. ඒක ආයෙමත් උඩවේරිය වත්තට යන පාරට වැටෙනවා. එතැන ඉඳන් තේ වත්ත මැදින් වැටුන පාර තියෙනවා.. හැබැයි ඉතින් තේ වත්තක් මැදින් තියෙන පාරක යන එක ලේසි වෙන්නේ නෑ. 

කෑ ගහගෙන පට්ට ලේසියි කියාගෙන හිටි අයගේ වේගය අඩු වෙන්නේ නොදැනීම. කොහොම වුනත් අපි සමහර තැන් වලින් තියෙන පොඩි පොඩි කෙටි පාරවල් දිගේ ඇවිත් සූදානම් වුනේ වට පිට ලස්සන බලන ගමන්ම ලංකා ඇල්ල පැත්තට යන්න. එක දවසක ගමනක් නිසා වෙහෙස මහන්සිය අමතක කරලා ගමන් කරපු අවස්ථාත් නැතිවාම නෙවෙයි. හැමදාම කියන්න වගේ ගමනේ වේගය තීරණය කරන්නේ හෙමින්ම යන කෙනා කියන එක නම් හැමෝටම තේරුම් යන්න ඇති. මීදුමක් එක්ක තිබුන කාලගුණයක් නිසා පරිසරයේ ලස්සන විඳින්න වුනේ බොහෝම ටිකයි කියලයි මම නම් හිතන්නේ. අපේ අයට ලස්සන බලන්න පුංචි පොදක් යන්න කියල කල ප්‍රාර්ථනා කරපු වාර අනන්ත වෙන්න ඇති. මොනවා කරන්නද???

පින්තූර ගොන්න බලන්න...

පැටියාගේ හෝටලෙන් ඔතාගෙන ආව රොටි ටිකත් කාල හෙමින් හෙමින් ඇවිත් ලංකා ඇල්ල බලන්න බොහෝම පටු අතුරු පාරකින් කැලෑ පාරකට වැටිලා ගමන් කරන්න වුනා. පාර පටු නිසාත් කට්ටියට මහන්සි නිසාත් ගමන සිදු වුනේ බොහෝම හෙමින්. කැලෑව ඇතුලෙට වෙන්න තියෙන ලංකා ඇල්ල පාමුලට එද්දී දවල් 12ත් පහුවෙලා. දැන් දැන් කට්ටියට බඩගින්නයි, මහන්සියයි දෙකම කලවම් වෙලා කියල මූණු දැක්කාම තේරුණා. "යමු යමු ඉක්මනට පරක්කුත් වෙයි ගෙවල් වල යන්න" කියාගෙන කට්ටියම ලෑස්ති වුනේ මගදී බඹරකන්ද ඇල්ලත් බලාගෙනම කලුපහණට යන්න. බඹර කන්න දිය ඇල්ල අවට තියෙන ෆයිනස් කැලේට එද්දී සිහින් පොදකින් ආරම්භ වුන වැස්ස බඹර කන්න දිය ඇල්ල ගාවට යන්න කලින්ම මහ වැස්සක් බවට පත්වුනා. 
ඒ වැස්සයි මේ වැද්දයි කියල නොබල බඹරකන්ද දිය ඇල්ල පාමුලින් නාන්නම ඕන කියපු අයට නාන්න දීල කුඩ යටින් කොටසකුත් වැසි ආවරණ අස්සේ කොටසකුත් බඹරකන්ද ඇල්ල ගාව තියෙන වැසිකිලි වහලේ ආවරණයෙන් තව ටිකකුත් හැරවෙලා හිටියේ නාන උන්ටත් ටිකක් වෙලා දෙන්න වුනත් අවසා‍නයේ අපි ඔක්කොමත් වැස්සෙන් නාල. ඒ සියල්ල කරල ආයෙත් පාරට ඇවිත් තේ ටිකක් බීලා කෑම කාල ඉවර වෙද්දී 3ටත් කිට්ටුයි. අවසානයේ 4.05 වෙද්දී කලුපහණ හංදියට එන්න පුළුවන් වුනා. එතැනින් හැමෝගෙම විසිර යාම තීරණය වුනා.. තම තමන්ගේ නවාතැන් වලට යන්න කට්ටියම විසිර ගියේ හිතේ සතුටයි කකුල් වල වේදනාවයි එක්ක වුනාට කාටත් ලැබුන අපූර්ව අත්දැකීම එක්ක ඒ සියලු වේදනා යටපත් වෙන්න ඇති කියලයි මට නම් හිතුනේ.. 
අපූර්ව විදිහට ගෙවුන අපූර්ව දවසක් අවසන වුනේ මෙන්න මේ විදිහට. ඔයාලටත් මේ අපූර්ව ගමන යන්න පුළුවන්. මතක තියා ගන්න ගොඩක් බඩු ගෙනියන්න එපා.. අවශ්‍යම දේ විතරක් අරගෙන යන්න. පරිසරය විනාශ නොකර අපූර්ව සුන්දරත්වය කැමරාවක සටහන් කරගෙන එන්න.