හිස්ටග්‍රම් (Histogram) එහෙමත් නැතිනම් ජාලරේඛනය

අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා.

මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින් කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක් එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක් වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා ‍විය යුතුයි. සාමාන්‍යයෙන් අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity, RGB, Red, Green, Blue හා Colors කියන ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත් දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන් කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows) ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය හැකිලිලා තමයි පෙන්වන්නේ.

ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
දැන් බලමු මොකක්ද මේ හිස්ටග්‍රම් එකේ වැදගත්කම කියල. මුලින්ම කියන්න ඕන ඡායාරූප ශිල්පය ආරම්භ කරද්දී මෙක ගැන අව‍බෝධයක් ලැබෙන්නේ නෑ. ටික දවසක් යද්දී මේකෙ වැදගත්කම තේරෙනවා. ඒකට මුල්ම හේතුව තමයි අපේ කැමරාවල තියෙන දර්ශන තිරය නිවැරදි නොවීම. සාමාන්‍යයෙන් අපි දකින SLR කැමරා සියල්ලේම වගේ දර්ශන තිරයක් තියෙනවා. අපි පින්තූරයක් ගත්තාම සාමාන්‍යයෙන් කරන්නේ පින්තූරය දිහා බලල එක එක විදිහේ ප්‍රතිචාරයන් දක්වන එක. මේකට ඡායාරූපකරණයේ කියන වචනය Chimping කියන එක. ඒ කියන්නේ චිම්පන්සියෙක්ගේ ප්‍රතිචාර දැක්වීම කියන එක. නමුත් අපි හොඳම ඡායාරූපය ලෙස දකින දකින ඡායාරූපය පෙන්වන තිරය කොයි තරම් දුරට නිවැරදිද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. එකක් තමයි තිරයේ විශාලත්වය. තිරය කුඩා නිසා අපට අනාවරනයන්ගේ කුඩා පරාස දකින්න බැරි වෙන්න පුළුවන්. අනික තමයි ඒ ඒ තිරයන්නේ ධාරිතාවය අනුව අපට පෙන්වන්න පුළුවන් වර්ණ පරාසය සීමා සහිත වීම. තව දෙයක් තමයි අපි හොඳට අව්ව පායල තියෙන දවසක පින්තූරය අරන් බැලුවොත් කැමරාවේ තිරයට ආලෝකය වැටිල නිසා නිවාරදි අනාවරණයේ පින්තූරය තියෙනවාද කියල කියන්න අමාරු වෙනවා. මේක මට නම් අනන්ත වෙලා තියෙන වැඩක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙනම් අපට ඒ තිරය හරහා පින්තූරය පෙන්වන්නේ කියල. තිරය හරහා ගොඩක් විස්තර පෙන්වන්න පුළුවන්. නමුත් තිරය හරහා අපි ලබාගත්තු ඡායාරූපය පෙන්වන්න එකම හේතුව විදිහට මම නම් දකින්නේ නිවැරදි රාමු සැකැස්ම නිර්ණය කිරීමයි. ඡායාරූපයක් නිවැරදි අයුරින් තියෙනවාද බලන්න තියෙන ක්‍රමය තමයි අංශශෝධනය කල තිරයක් (calibrated display) තුලින් බලන එක. නවීන කැමරා නම් සම්බන්ධක රැහැනකින් පරිඝණකයට සවි කරල අපට ලබාගත් ඡායාරූපය එසැනින් බලාගැනීමේ අවස්තාව ලබා දීල තියෙනවා. නමුත් එය ඡායාරූපාගාරයක් තුලදී සාර්ථක වුනත් ඇවිදින කෙනෙකුට ඒක සාර්ථකව කරන්න අමාරුයි. අන්න ඒකට විසඳුම නම් හිස්ටග්‍රම් එක තමයි.

මතක තියාගන්න තමන්ගේ කැමරාව මොකක් වුනත් ඒකෙන් පේන හිස්ටග්‍රම් එක නම් එකම විදිහක්. එකම සැකසුම් වල කැමරා කීපයක් තියල එකම පින්තූරය ගත්තාම තිරයේ පෙන්වන ඡායාරූපය වෙනස් වෙන්න පුළුවන් නමුත් හිස්ටග්‍රම් එක නම් වෙනස් වෙන්නේ නෑ. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
හිස්ටග්‍රම් එක අපට විස්තර ගොඩක් කියනවා. ඡායාරූපයේ අනාවරණය, වර්ණ වෙනස (contrast), තාන පරාසය ආදී තොරතුරු අපට හිස්ටග්‍රම් එකකින් පෙන්වනවා. ඡායාරූප සඳහා නිවරදි හිස්ටග්‍රම් එකක් කියල නැහැ. එයට හේතුව වෙන්නේ අපිට අවශ්‍ය අවසන් ප්‍රතිඵලය ඡායාරූපයේ හිස්ටග්‍රම් එක තීරණය වෙන නිසා. උදාහරණ විදිහට High key හා low Key ඡායාරූප දක්වන්න පුළුවන්.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
හිස්ටග්‍රම් එකක් 0 කියන අගයේ වැඩි උසක් පෙන්වනවානම් හෝ 255 අගයේ වැඩි උසක් වපන්වනවා නම් අපි ඒකට කියන්නේ clip වෙනවා කියලයි. මෙන්න මේක නම් ඡායාරූපයක ග්‍රනාත්මක බව අඩු කරනවා. හිස්ටග්‍රම් එකක් clip වෙනවා කියන්නේ ඒ ඡායාරූපයේ යම් කොටසක් අධිඅනාවරණය උපරිම අගයට පත්වී තොරතුරු නොමැති වී බව හෝ මඳ අනාවරණය උපරිමයේ පැවත තොරතුරු විනාශ වී ඇත කියන එක. අන්න ඒ නිසා ඡායාරූපය ගන්න වෙලාවේදී හිතන්න ඕන අපි පින්තූරය ක්ලිප් වෙන්න නොදී ගන්නවා කියන එක. නමුත් මේක Low key හෝ High key කියන වර්ග දෙකේදී විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. කෙලවර උස ගොඩක්ම වැඩි නම් ඡායාරූපය ගැන තව හිතන්න වෙනවා කියන එක නම් මතක් කරන්න ඕන.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපයක contrast එක කොයිතරම් හොඳයිද කියන එකත් අපිට මේ හිස්ටග්‍රම් එක පෙන්වනවා. contrast එක වැඩි නම් හොඳින් පැතිරුණු හිස්ටග්‍රම් එකක් දකින්න පුළුවන්. එකේ මැද තින කොටස උපරිමයේත් දෙපස ක්‍රමයෙන් අඩුවන ආකාරයෙනුත් සකස් වෙනවා. contrast එක අඩුයි නම් සීග්‍ර නැග්මක් සහිත හිස්ටග්‍රම් එකක් ලැබෙනවා. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
හිස්ටග්‍රම් එකක දීප්තිය Brightness හා contrast එක අතර වෙනස බලන්න පුළුවන් මේ පහලින් තියෙන පින්තූර පෙල උපයෝගී කරගෙන. පින්තූර වල තියෙන එක එක ගුණය අනුව හිස්ටග්‍රම් එක වෙනස් වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
පින්තූර ගන්න අයට මේ ටික වැදගත් වෙයි. මූලික වශයෙන් හොඳ පින්තූර ටිකක් අරන් ඒවායේ හිස්ටග්‍රම් අධ්‍යයනය කරන්න. හොඳ ප්‍රසිද්ධ ඡායාරූප අන්තර්ජාලයෙන් බාගතකරන්න පුළුවන්. ඒ ඒ ශිල්පීන්ගේ පුද්ගලික වෙබ් අඩෙවි වලින් ඡායාරූප බාගත කරගන්නවා නම් හොඳයි. නැත්නම් flicker වගේ එකකින් හොඳ resolution එකක් තියෙන ඡායාරූප බාගත කරගන්න පුළුවන්. 

මූලික වශයෙන් හිස්ටග්‍රම් ගැන කියන්න තියෙන්නේ මේ ටික තමයි. මොනවා හරි ගැටලු තියෙනවානම් ලිපියේ අවසානයට කමෙන්ට් එකක් හැටියට දාන්න. කමෙන්ට් කරන්න ඔයාලගේ google account එක හරි facebook account එක හරි භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අවකාශය සෑම ලිපියකම අවසානයේ දීල තියෙනවා.
හොඳ පින්තූර ගන්න . හිස්ටග්‍රම් එකට පුරුදු වෙන්න. පසුසංස්කරණයන් අවම කරන්න වගේම පසු සංස්කරණය පහසු කරගන්නත් මේ හිස්ටග්‍රම් ඔයාලට උදව් වේවි. ජය...!

කැරකෙන ලොජික්...

දැන් දැන් ලංකාවේ සෑහෙන්න ඡායාරූප ගන්න අය ඉන්නවා. මේ දවස් වල මාත් ආසාවෙන් ඉගෙන ගන්න විශයයක්. නමුත් අපේ අයගේ රසවිඳීමේ හැකියාව හා පින්තූර ගන්න ඕන අරමුණු ගැන තියෙන ලොජික් එක නම් ඇත්තටම හිතාගන්න අමාරුයි. රසවින්ඳනය ඇත්තටම තියනවාද නැතිනම් වෙන දෙයක්ද කියලත් හිතෙනවා.
ලංකාවේ දිවියන්ගේ පින්තූර ගන්න අලින්ගේ පින්තූර ගන්න අනන්ත අය ඉන්නවා. ඔවුන් දිවියන්ව විවිධ ආකාරයෙන් පින්තූර ගන්නවා. අපියා විවිධ අයුරින් පින්තූර ගන්නවා. නැතිනම් කුරුල්ලන් විතරක් පින්තූර ගන්න අයත් ඉන්නවා. සේ විදිහෙන් එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. හැම සතෙක්ම විශේෂත්වයක් නැතිව ඡායාරූප ගන්න අයත් නැතිවාම නොවෙයි. නමුත් ඒ හැම කෙනාටම විශේෂ ආසාවක් අවධානයක් තියෙන එක සතෙක් හෝ කීපයක් ඉන්නවාමයි.
 පහුගිය කාලේ මගේ විශේෂ අවධානයක් යොමුවුනේ මකුළුවන්ට. හුඟක් අය මගෙන් අහන දෙයක් තමයි මකුළුවන්ගේ පින්තූර අරන් එපා වෙන්නේ නැද්ද? Macro කියන්නේ මකුළුවන් විතරයිද? වගේ ප්‍රශ්ණ ගනනාවක්. මේ ලිපියට හේතුව වෙන්නේත් ඒ කරුණ පැහැදිලි කරන එක.

Sri Lankan leopard (Panthera pardus kotiya) කියන දිවියන් විශේෂය තමයි ලංකාවේ කොටියා කියල පොදු ව්‍යවහාරයේ ඉන්න සතුන් විශේෂය. අලින්ගේ විශේෂ දෙකක් ප්‍රධානයි ඒ උස අලි සහ කුරු අලි කියන දෙක. ඒ ඇරුනාම විශේෂ වර්ග නෑ. ලංකාවේ විශේෂිත වශයෙන් දිවියන්ගේ සහ අලින්ගේ පින්තූර ගන්න අය ඉන්නවා. ලංකාවේ අලි විතරක් පින්තූර ගන්න පිට රට ඉඳන් එන අය ඉන්නවා. ඉතින් අලියා කියන සතාගේ පින්තූර දැකල දැකල කවදාවත් එපා වෙනවද??? කවද හරි අහනවාද වනජීවී ඡායාරූපකරණය කියන්නේ අලි විතරද? කොටියා විතරද? කියල. නැහැ නේද?
2015 වෙද්දී ලෝකයේ මකුළුවන් විශේෂ 45000කට වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ලංකාවේ විතරක් විශේෂ 383ක් ඉන්නවා. එයිනුත් විශේෂ 271ක් ආවේණිකයි. එහෙම නම් මකුළුවන් කියල පොදු විශේෂයක් කරගෙන ඇයි උන් විතරද පින්තූර ගන්නේ කියල අහන්නේ. දිවියන්ගේ පින්තූර ගනිද්දී දිවියෝ වර්ග එකයි ලංකාවේම ඉන්නේ. ලෝකයේ IUCN එකේන හඳුන්වන විශේෂ 9යි ඉන්නේ. එයිනුත් ලංකාවේ ඉන්න විශේෂය සහ පර්සියානු දිවියන් විශේෂය තමයි විශාලම විශේෂ විදිහට හඳුනාගෙන තියෙන්නේ. ලංකාවේ ඉන්න විශේෂය නම් ලංකා‍වට ආවේණිකයි.
එහෙම නම් වර්ගීකරණයේ විවිධත්වය වැ‍ඩි වෙන්නේ මකුළුවන්ද දිවියන්ද? හිතල බලන්න. මකුළුවන්ට ලංවෙලා බලන්න ඕන. ඔවුන් ගොඩක් පුංචියි තමයි. නමුත් හිතල බලන්න ඔවුන්ගේ විවිධත්වය එක්ක දිවියෙකුගේ ප්‍රමාණයත් ලැබුනානම් කොයි තරම් ලස්සන වෙයිද කියල. හැබැයි ඒ ලස්සන එක්කම කොයි තරම් බියකරු වෙයිද කියලත්.

මගේ පින්තූර බලන්න ආස අය මේ තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න.
https://www.facebook.com/sulakkhanaphotography/
https://www.instagram.com/sulakkhna/
https://www.flickr.com/photos/sulakkhana/
https://youpic.com/photographer/sulakkhanachamara/
https://members.nationalgeographic.com/225173184669/
http://photographybysula.blogspot.com/

අපේ අය අතට අහුවෙන ප්‍රමාණය එකක් කියල හඳුනගන්න තුරු මේ විවිධත්වය දකින්නේ නෑ. පුංචි සත්තුන්ගේ ලෝකයට එබිල බලන්න. පුංචි පුංචි සත්තු එක ගොඩකට නොදා විවිධත්වය ඇති විදිහට හඳුනගන්න බලන්න. එහෙම කරද්දී ඔයාල එයාලගේ ලස්සන දකීවි. 

ඔයාලගේ අදහසත් ලිපියට එක් කරන්න. Facebook වලින් හරි Gmail එක හරහා හරි කමෙන්ට් කරන්න Post එක පහල අවස්ථාව තියෙනවා.
ස්තූතියි


මැක්‍රෝ ලෙන්ස් එකයි මැක්‍රෝ ඡායාරූපකරණයයි - දන්න සිංහලෙන් Macro Photography සිව්වන කොටස

පහුගිය කාලේ සමාජ ජාල වෙබ් අඩෙවි වල මැක්‍රෝ ඡායාරූපකරණය කරන පිරිස් බොහෝමයක් බිහිවෙලා තිබුනා. පොඩි පොඩි උපකරණ වලින් වැඩ ගන්න හැටි ගැන මම ලියපු ලිපි වලින් වැඩ ගත්තා කියපු අයත් ගොඩක් හිටියා වුනත් තාමත් බ්ලොත් එකේ ලිපි වල ඒ අදහස් පල කරන අය නම් නැති වීම කණගාටුවට කරුණක්. ‍කොහොම වුනත් ඉදිරියේ ලිපි ලියනවාද යන්න තීරණය වෙන්නේ මේ ලිපි වල ප්‍රතිචාර වලින් මොකද ලියන ලිපි වැඩක් නැතිනම් ඒවා දිගින් දිගට ලිවීමෙන් පලක් නැති නිසා.

අපි ආයෙත් මාතෘකාවට එමු. මැක්‍රෝ ලෝකයට එ‍බිල බලන කෙනෙකුට එයින් පිටවෙන්න ලැබෙන්නේ බෙහෝම අමාරුවෙන් තමයි. ඒක ඒ තරම්ම උන්මාදයක්. ඉතින් පුංචි පුංචි දේවල් වලින් මැක්‍රෝ ඡායාරූප ගන්න පටන් ගන්න අය අවසානයේ එන්නේ මැක්‍රෝ ලෙන්ස් එකක් ගන්න තත්ත්වයට. හැබැයි ඉතින් ලෙන්ස් එකක් ගත්තා කියල විතරක් අනිත් අයට වඩා විශිෂ්ඨ වූ ඡායාරූපයක් ලබා ගැන්න බැහැ. එයට හොඳ උදාහරණ අපිට සමාජ ජාලා තුලම දකින්න පුළුවන්. බොහෝමයක් අය වැඩි මුදලක් දීලා ලෙන්ස් එක්ක අරන් අවසානයේ කියනවා මීට වඩා මගේ තිබුණ උපකරණ වලින් වැඩක් කරන්න තිබුනා කියල. ඒකට හේතු වෙන්නේ ඒ ඒ අය තමන් ගන්න ලෙන්ස් එක හා ඒකෙන් කරන්න පුළුවන් පරාසය ගැන නොදන්නා නිසා කියලයි මගේ අදහස වෙන්නේ.

අපිට මැක්‍රෝ ලෙන්ස් ප්‍රධාන වර්ග තුනක් ගන්න පුළුවන්. මේවා Short Macro Lens 30mm සිට 50mm දක්වාත්, Standard Macro Lens 60mm සිට 105mm දක්වාත්, Tele-Macro Lens 150mm සිට 200mm දක්වාත් පරාසයේ පවතිනවා. Short Macro Lens මිලෙන් පහල වුනත් අරමුණට වඩා වැඩියෙන් ලංවිය යුතු වෙනවා. මේ නිසා Product Photography සහ නිශ්චල අජීවී අරමුණු සඳහා වඩා යෝග්‍ය වෙනවා. Standard Macro Lens මිල සාමාන්‍ය අගයක පවතින අතර කුඩා සතුන් ඡායාරූගත කරන්න වුනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ ඒ සතුන් වඩා ක්‍රියාශීලී නම් සාර්ථකත්වය ටිකක් අඩුයි. Tele-Macro Lens මිලෙන් වැඩියි. නමුත් වැඩ කරන්න පුළුවන් දුර වැඩි නිසා අරමුණට නොදැනී ඡායාරූප ගන්න වඩාත් සුදුසු වෙනවා. 

Short Macro Lens, Standard Macro, Tele-Macro
මීට අමතරව අපි හිතන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිට දෙන විශාලන අගය කොයි තරම්ද කියන එක.  ඒක සාමාන්‍යයෙන් කියන්නේ Reproduction ratio කියලයි. සාමාන්‍ය කාචයක reproduction ratio එක 1:3.5 වගේ අගයක් ඒ කියන්නේ විශාලනය 0.28x විතර නමුත් මැක්‍රෝ ලෙන්ස් එකක් 1:1 කියල සඳහන් නම් ඒ කියන්නේ 1x විශාලනයක් තියෙනවා. ඒ කියන්නේ අපට ජීවී ප්‍රමාණයේ ඒ ආකාරයෙන්ම සෙන්සරයේ සටහන් කරගන්න පුළුවන්. හැබැයි මේ අතර 1:2 ආකාරයේ හා 2:1 ආකාරයේ මැක්‍රෝ ලෙන්ස් වෙළඳපො‍ළ දකින්න පුළුවන්. හැබැයි ඒ ඒ ලෙන්ස්  වල උපරිම විශාලනය දෙන්නේ නාභිගත වෙන අවම දුරේදී බවත් මතකයේ තියාගන්න ඕන. 

මම ගත්තු පින්තූර බලන්න ඕන නම් පහල සබැඳි වලන් ගිහින් බලන්න
https://www.facebook.com/sulakkhanaphotography/
https://youpic.com/photographer/sulakkhanachamara/
https://www.flickr.com/photos/sulakkhana/
https://members.nationalgeographic.com/225173184669/
https://www.instagram.com/sulakkhna/

සාමාන්‍ය ලෙන්ස් එකක් අපිට මීට වඩා විශාලනයක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට 50mm ලෙන්ස් එකක නාභිගත වන අවම දුරේදී විශාලගන 0.15x පමණ වෙනවා. එය 68mm Extension tubes වල‍ට සම්බන්ධ කරල අපිට 1x ට වැඩි විශාලනයක් ගන්න පුළුවන්. නමුත් එ්කෙදි අරමුණට අති විශාල වශයෙන් ලඟ වෙන්න වෙනවා. ඒ විදිහටම 55-300mm ලෙන්ස් එකක සාමාන්‍යයෙන් 300mm වලදී අවම නාභිගත වන දුරේදී සාමාන්‍ය විශාලනය 0.33x විතර වෙනවා. එයට 68mm Extension tube set එකක් සම්බන්ධ කලාම 0.56x තරම් විශාලනයක් තමයි ලැබෙන්නේ. මේ විදිහටම 105mm අවම නාභිගත වන දුරේදී 1:1 විශාලනය සහිත Macro lens එකක් 68mm Extension tube set එකක් එක්ක සම්බන්ධ කලාම අපිට ආසන්නව 1.65x තරම් විශාලනයක් අවම නාභිගත වන දුරේදී ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජීව ප්‍රමාණයට වැඩි ප්‍රමාණයේ පින්තූරයක් ලැබෙනවා. මේ විදිහෙන් තමන්ගේ අරමුණ එක්ක තමන් බලාපොරොත්තු වෙන විශාලනය එකතු කරලම ලෙන්ස් එකක් තෝර ගන්නවානම් තමයි හොඳ. මතක තියා ගන්න 2:1 ප්‍රමාණයේ Macro Lens පවා දැන් වෙලඳපොලේ තියෙනවා. 
2:1 Super Macro Lens