කෝච්චියයි මමයි...


ලංකාවේ කෝච්චියක් යන ඕනම තැනක කෙනෙක් රැකියාවට යන්න හොඳම තේරීම කරගෙන තියෙන්නේ කෝච්චිය තමයි. බස් වලින් ගිහින් වාහන තදබද අස්සේ යන එකයි බස් සිංදු ටික දැම්මාම කණක් ඇහිල යන්න බැරි එකයි සැලකුවාම පුංචි කාලේ ඉඳන්ම කෝච්චියේ යන එක මාරම ජොලි වැඩක්. ඉස්සර කොලඹ එනවා කියන්නේ හෙනම ට්‍රිප් එකක්. කෝචිචයේ යන අපිට තිබුන එකම ට්‍රිප් එක වුනේ කොලඹ යන එක. ඉතින් අම්මල කොළඹ යමු කිව්වාම අපි මුලින්ම හොයන්නේ පත්තරයක්. ඒ වෙන මොකකටවත් නෙවෙයි. පත්තරේ පුංචි පුංචි කෑලි කඩාගෙන ඒක පරි‍ස්සමට මල්ලක දා ගන්නවා. නැතින්ම කලිසම් සාක්කු දෙකම පුරව ගන්නවා. කොහොම හරි කෝච්චියේ ජනේලයක් අයිනට සෙට් වෙලා කොල කෑලි ටික එකින් එක හුල‍‍ඟේ පා කරල යවන ටික තමා ‍ජොලිම ටික. ගිය වැඩේ කොහොම වුනත් ආයේ එද්දී ජනේලේ අයිනේ හම්බෙයිද කියල හිතන එක තමා ඊලඟට කරන්නේ.

ඇයි ඒ විතරක් යැ. ඒක ඔෆිස් යන උන් යන කෝච්චියක් නම් පැත්තකින් කාඩ් සෙල්ලන් කරන උන් ටිකකුයි තව පැත්තකින් සිංදු කියන සෙට් එකකුයි ඉන්නවා. උන් දාන වැඩ කෑලි ටික බලාගෙන ඉන්නේ මැජික් කාරයො ටිකක් දිහා බලන් ඉන්න වගේ. මග යන වඩේ කාරයෙක්ගෙන් වඩේ ටිකකුත් කෑවේ නැත්තම් නින්ද යන්නෙත් නෑ එදාට. ඒ කාලේ හරිම සුන්දරයි. හැබැයි ඉතින් කාලයක් ඉගෙනීම් එක්ක ඉඳලා ආයෙමත් කෝච්චියේ යන්න සෙට් වෙද්දී හරිම පුදුමයි. ඒ ඒ අතීතයේ කිසි දෙයක් දැන් නැති නිසා.

දැන් දැන් තියෙන්නේ හරිම පුදුම ලෝකයක්. කෝච්චියේ තැන තැන ඉන්න කීප දෙනෙක් විතරක් කතා කර කර යනවා. බොහෝමයක් අය ෆෝන් එකට ඉයර්ෆෝන් ගහගෙන බෙල්ල කඩාගෙන බුදි. තව ටික දෙනෙක් ෆෝන් එකට බෙල්ල දික්කරගෙන මොනා හරි බලනවා. බොහෝමයක් වෙලාවට ඒ ෆිල්ම් එකක්. නැත්තම් යූ ටියුබ් එකේ මියුසික් වීඩියෝ එකක්. බොහෝමයක් වෙලාවට කතා කරන මාතෘකා වුනත් හරි අසාර්ථක සාකච්ඡා කියලයි මට හිතෙන්නේ. තරුණයින් පිරිසක් නම් ඉන්නේ බොහෝමයක් වෙලාවන් වලදී අසභ්‍ය වචන ගොඩකුත් සම්ප්‍රප්පලාප වලිනුත් ඒ කතාබහ පිරෙනවා. ලස්සන ගෑනු ලමයි ටිකක් ඉන්නවා නම් උන්ට ඇහුනද දන්නේ නෑ කියල බල බල ව්‍යංගාර්ථයෙන් කුණුහරිප කියන එක තමා කරන්නේ. කෙල්ලෙක්ව වචන වලින් අපහසුතාවයට පත් කරන එක දැන් ප්‍රධාන කාර්යයක් ව‍ගේ වෙලා.

කෝච්චියේ කොටස් කොටස් එක එක පිරිස් වල අයිතිය වෙන් වෙලා වගෙයි. ඒ තැන් වල වෙන කෙනෙක් හිටියොත් එදාට රැවුම් ගෙරවුම් විතරයි. ඒ විතරක්ද තම “කල්ලිය” යන තැනට වෙ‍න කෙනෙක් ආවොත් හරි එතැනට අලුතින් හෝ පැරණි කෙනෙක් තමාගේ “අනුගාමික” කල්ලි සාමාජිකයෙකුට විහිලුවක්වත් කලොත් එදා ඉඳන් වැඩේ හබක්. උන්දෑ එතැනින් යනකම් නොයෙකුත් නොරිස්සුම් පුකාශ කරනවා. ඒ විතරක්ද සෙට් එකේ එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනොත් එහෙම එයාව වහාම වෙන තැනකට යොමු කරවනවා. ඇයි ඉතින් එහෙම නොවුනොත් මාරුවට වාඩි වෙන්න බැරි වෙනවානේ. හැබැයි ඉතින් ලමයා හම්බෙලා ආයේ වැඩට යද්දී එයා ආයෙත් පරණ සෙට් එකට එනවා.

කලුතර බෝධිය ලං වෙද්දී නින්දෙන් ඇහැරිලා පස්ස ටිකක් උස්සල වඳිනවා වුනත් වයසක කෙනෙක් වෙනුවෙන් හෝ වෙනයම් ආබාධිතයෙන් වෙනුවෙන් නම් ඔවුන් නැගිටින්නේ නෑ. ඒ විතරක්යැ තමන්ට කලින් නැගපු කෙනෙක් තාවකාලිකව සීට් එක දුන්නාම ආයේ එයාට දෙනවා වෙනුවට තමන්ගේ “කල්ලියට” ඒ සීට් එක නතු කරගන්නත් මේ කෝචිචි කල්ලි වලට තියෙන්නේ මාරම දක්‍ෂතාවයක්.

ලඟදී වුන සිද්ධියකුත් මේකට ලියු‍වේ නැතිනම් වැඩක් නෑ කියල හිතෙනවා. ජාති වාදය නොවුනත් මේ සිදුවීම ලිවිය යුතුමයි. කවුරුත් දන්න ගර්භනී මාතාවන් සඳහා වෙන් කල ආසනයේ මුස්ලිම් කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා. පොඩි දරුවෙක් වඩා ගත්තු අම්ම කෙනෙක් ආව නිසා ඒ සීට් එක දෙන්න කියන එක වටේ කවුරුත් කිව්වා. ම හිටි තැනට ඒ කාන්තාවගේ මුහුණ පෙනෙන නිසා මම වඩා හොඳින් බැලුවා. බෙල්ල පහත් කරගෙන නිදි වගේ පෙන්නුවා වුනත් ඇයගේ මුහුණේ ඉරියව් හා ඇස් ඇරගෙන කේන්තිය හා නෙරිස්සුම් ප්‍රකාශණය මට හොඳින්ම පෙනුනා. නමුත් ඇයට තට්ටු කරමින් කතා කල කිසිවෙකුටත් ඇය ප්‍රතිචාර දැක්වූයේ නැහැ. එතැනම නිදා සිටි වෙනත් පුද්ගලයෙක් තම ආසනය මේ මටට දුන්නා. හැමදාමත් එම ආසනයේ යන ගර්භනී මවක් ඊලඟ නැවතුමෙන් කෝච්චියට ගොඩ වුනා. ඇය කවදත් යන කෙනෙකු නිසා මේ ආසනය ඇය වෙනුවෙන් වෙන් වූවක් වගේ. ඇය වෙනුවෙනුත් මේ ආසනයේ හිටි කාන්තාව නම් නැගිට්ටේ නැහැ. නමුත් වට පිටාවේ සිටි අයගේ කෑ ගැහිල්ල හා තට්ටු කිරීම් නිසා ඇයට නැගිටින්න සිදු වුනා. ඒ නැගිටින වෙලාව වෙනකම්ම ඇගේ මුහුණේ ඉරියව් වල තිබුන කෝපය හා නොරිස්සුම නිසා මට ඇති වුන පිලිකුල කියා ගන්න බැරි තරම්. මොකද ඒ වයස අනුව ඇයත් මවක් විය යුතු නිසා. මෙය එක් සිද්ධියක් පමණයි.

කෙසේ හෝ වේවා විවිධාකාරයේ පුද්ගලයින් යන එන මේ කෝච්චියට ගොඩ වෙලා කීප දවසක් හොඳ අවධානයෙන් ගියොත් ඒ ඒ තැන් වල යන අයගේ පැටිකිරිය ගැන අනිත් තැන් වල යන අය කියන දේවල් අහගන්න පුළුවන් වෙයි. ඒ කාලේ කෝච්චියේ යන්න ආස වුන කිසි දෙයක් දැන් කෝච්චියේ නැති වුනත් ලේසියය, රස්තියාදුවක් නැතිකම් හා කන්කරච්චලයක් නැතිව යන්න ලැබෙන එක නිසා තාමත් ඇස් කන් පියාගෙන කෝච්චියේ යන මම වගේ උනුත් මේ කෝච්චියේ නැතිවාම නොවෙයි. විවිධ තැන් වල වැඩ කරන අය ඉන්න නිසා ‍හොඳ සමාජ දැනුමක් හා සම්බන්ධතා ‍ගොඩ නඟාගන්නත් දුම්රිය වඩා හොඳයි.