මගේ ගමන් බිමන් එකසිය නමවන කොටස - ඩෙල්ෆ්ට් දූපත සහ කැලෑ අශ්වයෝ

යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්ට් දූපත වනාහි අපූර්ව ස්ථානයකි. වර්ග කිලෝමීටර 49.5ක් පමණ වූ මෙම භූමි ‍ප්‍රදේශය සම්පූර්ණෙයන්ම වාගේ සැදී තිබෙන්නේ හිරිගල් පාෂාන වලින් එසේත් නැතිනම් කොරල් වලින්. දිගින් කිලෝමීටර 8ක්ද පළලින් කිලෝමීටර 6ක්ද පමණ වනවා. අවට මුහුදු තීරයද නොගැඹුරු කොරල් පර වලින් පිරුණු මුහුදු තීරයක්. අතීතයේ මෙය නෙඩුන්තිව් ලෙස ව්‍යවහාර වූ බවත් පසුව පෘතුගීසි ආක්‍රමණයෙන් පසු ඩෙල්ෆ්ට් ලෙස භාවිතා වුන බවත් කියවෙනවා. අර්ධ ශුෂ්ක නිවර්තන කලාපීය දේශගුණයකට හිමිකම් කියන මෙම දූපතේ වාර්ෂික වර්ෂාපතනය 500-700mm පමණ වන අතර උපරිමය අප්‍රේල් - නොවැම්බර් කාලයේදී වෙනවා. Equus caballus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඩෙල්ෆ්ට් අශ්වයින් ලංකාවේ ස්වභාවිකව ඇති එකම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ මෙම දූපතයි. මෙහි දැනට අශ්වයින් 500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ගණන් බලා තිබෙනවා. 
 
මේ දූපත බලන්න යන්න සූදානම් වෙද්දීම සාමාජිකයින් 15ක් විතර හිටියා වුනත් අවසානයේ ගමන පිටත් වුනේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන්. ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඉන්න මේ සාමාජිකයින් හැමදෙනාම එකතු වෙන්නේ CPC නමින් හැඳින්වෙන ඡායාරූප සමාජය හරහා. ප්‍රධාන වශයෙන් අශ්වන්ව ඡායාරූපගත කරන්න වගේම කුරුල්ලන් ඡායාරූපගත කිරීම කරගත් අපි 30 උදේ පාන්දර යාපනය ප්‍රධාන බස් නැවතුම්පල ලඟදී එකතු වුනා. එතැන ඉඳන් අපේ ගමන පහසු කරන්න වාහනයක් ගත්තා.
 
 
එතැනින් උදේ කෑම ටිකකුත් පාර්සල් කරගත්ත අපි අරාලි වෙත පිටත් වුනා. ඒ ඒ අවට කුරුල්ලන් ගැවසෙන් තැන් වල පින්තූර ගන්න අතරතුරදීමයි. එතැනින් කයිට්ස් හරහා පුන්කුඩතිව් වලටත් පැමිණියා. ඒ අතරදී තල් රා ටිකකුත් හොයාගෙන ගියේ මාගේ මිතුරන්ට ඒ රසයත් විඳීමේ ආසාව තිබුන නිසාමයි. දවල් කෑම ටික පාර්සල් විදිහට අප මිතුරු නාවික හමුදාවේ සේවයේ නියුතු විජිත අයියාගේ හිතවත් කමින් ශ්‍රි. ලං. නා. නෞ. කංචදේව (කයිට්ස්) කඳවුරෙන් ලබා ගත්තු අපි කුරිකච්චුවාන් ජැටියට ආවේ දවල් පිටවෙන මුල්ම බෝට්ටුවෙන් ඩෙල්ෆ්ට් දූපතට යන්න හිතාගෙන. මේ ජැටියෙන් ඩෙල්ෆ්ට් වලට උදේ වරුවේ බෝට්ටු දෙකකුත් සවස් වරුවට බෝට්ටු දෙකකුත් ප්‍රාදේශීය සභාවෙන් යොදවලා තියෙනවා. මීට අමතරව අවසරලත් පෞද්ගලික බෝට්ටු කීපයකුත් තියෙනවා. නාගදීපය වන්දනා කරන්න යන අයටත් බෝට්ටු පිටත්වෙන්නේ මේ ජැටියෙන්ම තමයි. සවස 1.30 වන තුරු කාලය තිබුන නිසාවෙන් අපි දවල් කෑම කාලම බෝට්ටුවට ගොඩ වෙන්න තීරණය කලා. 
 
 
 
 
ඩෙල්ෆ්ට් දූපතේ ඉතිහාසය අවුරුදු 2000ක් විතර පැරණි බව තමයි ඉතිහාසයේ කියවෙන්නේ. ඒ සඳහා දූපතේ තිබෙන චෛත්‍ය නටඹුන් සාක්‍ෂි දරන බව තමයි අහන්න ලැබුනේ. ඉතිහාසයේදී සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවන අතරතුරදී ඩෙල්ෆ්ට් වල විවේක ගත් බවත් එය සිහි වීමට එම චෛත්‍ය නිර්මාණය කල බවත් ඉතිහාසයේ කියැවෙනවා. පසුව පෘතුගීසි කාලයේදී නිමැවුන බලකොටුවක්ද ඕලන්ද සම්භවය ඇති නිර්මාණ කීපයක නටඹුන්ද ඩෙල්ෆ්ට් දූපත වටා පිහිටා තිබෙනවා. මීට අමතරව කූවීන්ස් ටවර්, ආදම්ගේ අඩිය, ලන්දේසි බලකොටුව, පරෙවි තැපැල් කුලුණ, බැයෝබැබ් ගස බලන්න පුළුවන්. නමුත් මේ සියල්ල අපිට නම් බලන්න වුනේ නැහැ. මොකද අපි ගියේ මේ දේවල් බලන්න පිළිවෙළින් යනවාට වඩා කුරුල්ලන් හා කැලෑ අශ්වයන් ඡායාරූප ගත කරන්න වීම නිසා. 
මේ දේවල් කොහොම වුනත් පළමු දවසේ හවස් වරුව අපි ගත කලේ දූපතේ දකුණු පැත්තේ ඉන්න පෝනියන් එහෙමත් නැතිනම් කැලෑ අශ්වයින්ගේ පින්තූර ගන්න. ඒ යන අතරතුරදී ලියලන ගල හා කූවීන්ස් ටවර් බලාගෙන යන්නත් අමතර කලේ නැහැ. ලියලන ගල යනු ලියලා වැඩෙනවා යැයි ගම් වැසියනගේ විශ්වාසයේ ලවතින කොරල් වලින් සැදුනු ස්ථානයකි. විද්‍යාත්මකව ජලයේ ජීවත් වන පොල්ප් (polyp) නමින් හැඳින්වෙන සත්වයා තම ශරීරය වටා ස්‍රාවය කරගන්නා වූ කුල්සියම් කාලනේට් නිසා සෑදෙන හුණුගල් ජලයෙන් ඉහල වියළි ප්‍රදේශයක වර්ධනය වීමේ කිසිඳු හැකියාවක් නැහැ. නමුත් ලම් වැසියන්ගේ වන්දනාමානයට ලක්වන ස්ථානයක් බවට පත්වුන මෙම ස්ථානය නම් දරන්නේ ලියලන ගල වශයෙනුයි.

දැන් නම් ගොඩක් කැලෑ අශ්වයින්ගේ බෙල්ලේ ලණු දකින්න පුළුවන් වගේම ශරීරයේ හණ ගැසූ ලකුණු දකින්න පුළුවන්. දැන ගැනීමට ලැබුනු අන්දමින් නම් දැන් විවිධ පුද්ගල කණ්ඩායම් විසින් කැලෑ අශ්වයින් අල්ලා හණ ගැසීම සිදු කරනු ලබනවා. හවස් වරුවේ කැලෑ අශ්වයන්ගේ ඡායාරූප ගන්න හිතුවා වුනත් ඒ සඳහා වඩා වැඩි කාලයක් ගත වුනා. ඒකට හේතුව වුනේ අපි නොසිතුව විදිහට අප මිතරකු සතු ඩ්‍රෝනයට බියවී කැලෑ අශ්වයින් පැන දිවීමයි.
කෙසේ වෙතත් කටු සහිත තණබිමේ පෙරලෙමින් හිටි අපි නෑම සඳහා තෝරා ගත්තේ මුහුද. සඳ එළියේ නොගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි අපිට කාලය ගතවන බව නොදැදෙන තරම් වුනා. සියලු වේදනාවන් පහවෙන තුරු දියේ ගිළෙමින් සිටි අපි ගෙඩට ආවේ දීර්ඝ දවසක් ඉදිරියේ තිබෙන බව මතක් වුන විටදීයි. මුහුද ලඟම තිබුන ලිඳකින් ඉතිරිය නා ගත්තු අපිට ලවණ අධික ජලයෙන් නෑම නිසා දෝ අමුත්තක් නාදනුනාම නොවෙයි. මේ සියල්ල අවසානයේ අප රාත්‍රී නවාතැන වුන කන්දයියා ගේ නිවස වෙත එද්දී හොඳින් අඳුරු වැටිලා තිබුනා. එදින රාත්‍රී අහාරය ශ්‍රී. ලං. නා. නෞ. වසභ (ඩෙල්ෆ්ට්) කඳවුරෙන් ලබා ගන්න නාවික හමුදාවේ සේවයේ නියුතු මා මිත්‍ර චාමර ගේ හිතවත්කම උපකාරී වුනා.
දෙවැනි දවස ආරම්භ වන්නේ උදෑසන හිරැ එළිය සමඟ ක්‍රියාකාරී වන කැලෑ අශ්වයන්ගේ ක්‍රියාකාරකම් පින්තූර ගන්න සූදානම් වීමෙනුයි. කන්දයියා සමඟ වාහනයෙන් දූපතේ දකුණු පැත්තට ගිය අපි වාහනය නැවත හරවා යවනු ලැබුවා. ඒ අපිට නිදහසේ ඡායාරූප ගනිමින් දූපතේ ඇවිදින්නත් ඒ කාලයේ කන්දයියාට තවත් නඩයක් දූපත වටා රැගෙන යාමේ පොරොන්දුවක් තිබුන නිසාවෙනුත්ය. සෑහෙන දුරක් ඇවිද්දාට පසු දූපතෙන් කුරුම්මබා ටිකක් බාගෙන බිව්ව අපි හුණු ගල් කුට්ටි එකිනෙක තබමින් වෙන්කල භූමි හරහා ඇදෙන්නට වුනා. ඒ අතර කලකට ඉන්දියාව පෙනෙන දිශාවේ වූ ශ්‍රී. ලං. නා. නෞ. වසභ අනුඛණ්ඩයක් වූ තොට්ටක්කාඩු නාවික මුරපොලේ හිත මිතුරන්ගෙන් තේ පැන් සංග්‍රහයකුත් භුක්ති විඳගෙනම අපි නැවත දූපතේ ඇවිදින්න පටන් ගත්තා. දූපත වටා පැය ගනනක් කිලෝමීටර 10ක් පමණ ඇවිද්ද අපි නැවත කන්දයියාට කතා කලේ සම්පූර්ණ වශයෙන් අප සතු ජලය අවසන් වුන නිසාත් තවදුරටත් ගිණිගහන අවුවේ ඇවිදීමෙන් අපගේ එක් අරමුණකුදු ඉටු නොවන නිසාවෙනි. කන්දයියා පැමිණි පසු වාහනයෙන් ලන්දේසි බලකොටුව නැරඹූ අප දිවා ආහාරය රැගෙන නැවත කන්දයියාගේ නිවසට පැමිණියා. 
දවල් ආහාරය පාර්සල් විදිහට ලබාගත්තු අපි සවස 2.30 ට පිටත් වන බෝට්ටුවෙන් යාපනයට යන්න හිතාගෙන ආවත් ඒ වෙද්දීත් බෝට්ටුවට උපරිම මිනිසුන් ප්‍රමාණය පිරිලා හිටි නිසා අපි කණගාටුවෙන් වුනත් 4.30ට පිටත්වන බෝට්ටුවෙන් එන්න තීරණය කලා. නාල දිවා ආහාරයත් අරගෙන සවස බොට්ටුවෙන් කුරිකට්ටුවාන් වලටත් එතැනින් යාපනයටත් එද්දී සවස 6.30 වෙලා. එතැනින් වෙන්වුන අපි කීපදෙනක් දුම්රියෙනුත් අනිත් අය බස් රථ වලිනුත් නැවත නිවෙස් බලා පිටත් වුනා.

12 comments:

  1. Replies
    1. ස්තූතියි, මේ තැන් බලන්න වගේම මතකයන් අරන් එන්න අකමැත්තක් නැතිව කැමරාව ලෙන්ස් එක පාවිච්චි කරන්න දුන්නට

      Delete
  2. ඉතා අගෙයි ලිපිය!යාපනයේ හැමතැනකටම ගියත් මේ ඩෙල්ෆ්ට් දූපතට තාම යන්න බැරිඋනා සුලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාලි ඇන්ටි, මාත් කාලයක් හිතන හිටි ගමනක්... යන එක ලේසි නෑ අපි වගේ අයට.

      Delete
  3. Superb, it is really interesting

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි අසංක

      Delete
    2. ඇත්තටම අපූරුයි

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!