සඳකඩ පහණක කැටයම් ඔපලා....

හැත්තෑව දශකයේ බිහිවන අපූර්ව ගීතයක් වූ මෙම ගීතය සිව් කුළුඳුල් ගීතයක් වශයෙන් ඉතිහාසයේ කියැවෙන ගීතයකි. එසේ වන්නේ "මාතර ආච්චි" චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීතය ලියැවෙන චොලී නානායක්කාරයන්ගේ ප්‍රථම ගීත රචනය වීමත් චිත්‍රපටය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය වීමත් සුනිල් එදිරිසිංහයන්ගේ මුල්ම චිත්‍රපට ගීතයත් වීමයි. මෙම ගීතයේ විවිධ අර්ථ කථනයන් තිුනා වුවද වඩා සාර්ථක වන්නේ මෙයම යැයි මට සිතේ. පෙම්වතිය හැරගිය පෙම්වතෙකුගේ සිතිවිලි මේ ගීතය හරහා දිගහැරෙනු දැකිය හැකිය.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

සඳකඩ පහණක් යනු විශ්වයේ පවතින්නා වූ මහාඅනර්ග නිර්මාණයකි. එහි කැටයමි කිරීම ලේසි පහසු නොවන්නේය. එය නිර්මාණය කල පසු ස්ථිරනිර්මාණයක් ලෙස කාලයක් පවතිනු ඇත. පෙම්වතාගේ ආදරයද එසේමය. නමුත් පෙම්වතියගේ ආදරය දේදුන්නක් ලෙසය. දේදුන්නක් කෙතරම් අලංකාර වුවද මහ වැස්සකට පෙර ඇතිවී කෙමෙන් වෙනස් වී නැතිවී යයි. මෙලෙස ලංවෙන ඇය ගැන ඇතිවන විවිධ සිතිවිලි නිසා කැලැතුනු ඔවුන්ගේ සිත් තුල ආදරය යන අකුරු වැල පැන නගින්නේ දිය බුබුදුක් ඇති වන්නාක් වැනි ලෙස කෙටි කාලයකිනි. එය ක්‍ෂණයකින් ඇතිවුන හැඟීම් සමුදායක සම්මිශ්‍රණයකි. නමුත් ඒ ආදරය නොමැකෙන තරම් ප්‍රභල විදිහට ඔවුන් තුලට ඇතුලු වෙලා එකට ජීවත් වෙන්න තරම් තීරණයකට ඔවුන් එනවා. විවාවහයට යන්න හිතුවත් ඔවුන්ට ගැටලුවක් තියෙනවා. මා හිතන්නේ ඒ දුප්පත් කම කියලයි. කෙසේ හෝ වේවා මේ සියලු ගැටලු විසඳාගන්න උත්සාහ ගද්දී ඇයව බලෙන් ඔහුගෙන් ඈත් කරනවා. ඒ ඇයගේ අකමැත්තෙන්. නමුත් ඇයට කල හැකි දෙයක් නැහැ.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

මල් වල පැණී උරණ බඹරු ඒ මල් පුංචි තුඩු වලින් අරගෙන ගොඩාක් ඉහලින් තියෙනන තැනක රඳවනවා. නමුත් ඒ ඈත තියෙන පැණි වලට කොයා කාගෙත් කටට කෙළ උනන තරම් වෙනවා. බඹරුන්ගේ පැණි වලට කොයා කවුරුත් ආස කරන තරමටම අපූර්වත්වයක් ඒවායේ තියෙනවා. අන්න ඒ තරම් විශාල බලාපොරොත්ත වලින් ඇය වෙනුවෙන් මේ පෙම්වතා පියවරෙන් පියවර ජීවිතේ ගොඩනඟනවා. ඇයගේ වටිනාකම් දිනෙන් දින වැඩි වෙන විදිහට ඇයව ආදරයෙන් රැක බලාගන්නේ මේ පෙම්වතාමයි. ඔහුගේ ආදරය නිසා ඇයගේ වටිනකම වැඩිවෙලා  ඇය හා එකතු වෙන්නයි හිතාගෙන ඉන්නේ. නමුත් අහස අඳුරු කරල අකාල වැස්සක් වැටුනොත් බඹරුන් හදුපු මී පැණි වලින් වැඩක් නැති වෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රේමයෙන් ඇයව ඈත් කරල ඒ ප්‍රේමයේ නටඹුන් අතරෙම ඇයට වෙන කෙනෙක් යෝජනා කරවනවා. කෙසේ හෝ ඇයගේ සිත වෙනස් කරවලා ඇයව වෙන කෙනකු හා විවාහ කරවන්න දෙවැනි පාර්ශවය සමත් වෙනවා. මම නම් හිතන්නේ ඒ ඇයගේ දෙමාපියන් විය යුතුයි.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

හදවතේ ඇතිවුන ආදරය මල්ඵල ගන්වන්න කලින් ඇයව වෙන් කරල දුරකට යවනවා. ඒ නිසා ඔහුට හැඬුම් එනවා. ඒ හැඬුම් කොයිතරම්ද කියනවානම් මහ පොළොව තෙත් කරන්න තරම් පුමාණයක්. ඒවා මහ මුදුදට ගලාගෙන ගිහින් දැන් මුහුදට එක් වෙලා ගිහින්. පෙම්වතියට උරුම කම් කියාපු තමන්ගේ හිත දැන් හොඳටම රිදිලා අවසන්. එය එක්ටැම් මැදුරක හිරකරල තියලයි තියෙන්නේ. ඇයගේ අලුත් පෙම්වතාගේ රත්තරන් මාලිගාවෙන් පිටවෙලා කවදාම හරි ඇය එයි, ඇවිත් තමන්ගේ හිත ඒ එක්ටැම් මැදුරෙන් නිදහස් කරයි කියන සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔහු එක්ටැම් මැදුරේ කවුලුවකින් බලාගෙන ඉන්නවා. ඒ ඇය පිළිබඳ මතකයන් වලින් හා ඇය දකින්න තරම් නොඉවසිල්ලක් හිතේ පුරවගෙන.

මෙයට එක්වූ අපූර්ව සංගීතයක් මේ ගීතයේ අර්ථවත් උපමා ආදියත් නිසා මෙය ඉතිහාසයේ නිමැවුන අපූර්ව ගීතයක් විදිහට තවමත් විඳින්න පුළුවන්.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

සඳකඩපහණක.......

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා.....//
සිටියි බලා.....

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : වොලී නානායක්කාර
සංගීතය : වික්ටර් රත්නායක

1 comment:

  1. මේ ගීත සදාකාලිකයි. සර්වකාලීනව රසවිඳින්න පුළුවන් සුභාවිත ගීත රසවින්දනය ඉගනගන්න හොඳ ගීත
    ඔබේ සන්වෙදිතාවයට මගේ ප්‍රණාම.
    විචාරක දියණිය

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!