අඹන්කුලමේ දිවියා

මේ දවස් වල සමාජ ජාල ඔස්සේ හා විවිධ මාධය ඔස්සේ කතාබහට ලක්වී ඇති මාතෘකාවක් වන්නේ කිලිනොච්චිය, අඹන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පහර දී මරාදැමූ දිවියෙකු පිලිබඳ කතාන්දරයයි. මේ පිලිබඳ යමක් නොකියා සිටීමට මා සිත කැමැත්ත තිබුනද මාගේ බ්ලොග් අඩෙවියේ කලකට ඉහත කතා කල සමාජ මාතෘකාවන්ට පණ පොවන්නටත් හේතු කාරණාවක් කරමින් මේ පිලිබඳ මාගේ අදහස ලියන්නට තීරණය කලෙමි. තවද මෙහි කොතැනකවත් දේශපාලණික හෝ වර්ගවාදී සිතුවිල්ලකින් නොලියන බැවින් ලිපිය එවැන්නකට හරවා ගැනීමෙන් වලකින්න යැයි පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
මිනිස්සු ජොලියට වගේ අනුන්ගේ ගම් වලට රිංගුවට කැලෑ වැදුනා වුනාට කැලෑ සත්තු නම් ජොලියට ගම් වදින්නේ නෑ. බොහෝමයක් වන මංකඩවල දැන් පාරවල් හදලා. වානාන්තර එලි කරලා ගෙවල් හදාගෙන. ඉතින් උන් යන පාරේ අපි පාරවල් ගෙවල් හදාගෙන කියන එක මතක තියා ගත්තානම් හොඳයි කියන එක තමා කියන්න ඕන. ඒ වාගේම තමයි ලංකාවේ වනජීවී එකට මම කෙලින්ම චෝදනා කරනවා. මොකද මම ඒ අය ගැන හොඳින් දන්න නිසා.

කාලෙකට කලින් මාරාන්තික විෂ සහිත සර්පයෙක් වුන තෙල් කරවලයෙක් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ලඟට ඇවිත් කියල ඇමතුමක් දුන්න වෙලාවේ මටම, “ඕකව මරල දාන්න” කියාපු වනජීවී එක සතෙකුගේ ජීවිතය මුලින්ම බලන්නේ මරලා නම් ඒ වන ජීවී එක අපට අවශ්‍යද කියන එක ගැටලුවක්. ඒක එක උදාහරණයක් විතරයි. මොකද මම කතාකරපු බොහෝ අවස්ථාවල මේ දේ වෙලා තියෙන නිසා පුද්ගලිකව මම දැන් වනජීවී එකේ අයට කතා කරන්නේ නෑ. දැන් තියෙන වනජීවී වෙනුවට වන මරණ කියල දැම්ම නම් තමයි වඩා හරි.
 
දිවියා ගැන කතා කරන්න ඇවිත් වැල් වටාරම් කියවනවා කියල හිතෙනවා නම් මේ සියල්ල දිවියා මැරෙන්න හේතුකාරණා බව මතක තියා ගන්න. ඊලඟට මෙතැනදී වනජීවී එක අසාර්ථක බව ඔප්පු කරන්න ඕන තරම් කාරණා තියෙනවා. දැකපු වීඩියෝ සියල්ලේම සහ මතු වුන කරුණු ටික කාලයන් එක්ක ගලපා ගත්තාම දිවියාගේ මරණය මට මැවෙන්නේ මෙන්න මේ විදිහට..

දිවියා ගම් වැදීම සම්බන්ධයෙන් වනජීවී එකට කල දැනුම් දීම් වල අවසාන ප්‍රතිපලය වනජීවී එක ගමට එන එක. වනජීවී එකෙන් දිවියෙන් ඉන්නවා කියන පැමිණිල්ලට එද්දී අත් වන වන ආවා කියල නම් හිතන්න අමාරුයි. (දැන් නම් එයාල කියන්න හදන්නේ එහෙමයි) වීඩීයෝ වලත් මෙහෙයුම කරන්න නිර්වින්දන තුවක්කුවක් තිබුන බවට සාක්‍ෂි තියෙනවා. කොහොම හරි, හරි හැටි ඉලක්කය ගන්න බැරිවුන අසාර්ථක වනජීවී නිලධාරීන් සම්පූර්ණ වශයෙන් නිර්වින්දනය වූවා යැයි සිතා දිවියාට කිට්ටු වෙනවා. මේ වගේ මෙහෙයුමකදී මිනිස්සු වට වෙන එක සාමාන්‍ය දෙයක්. මිනිස්සු ආවේ දිවිය මරන්න හිතාගන නම් නෙවෙයි. ඒ වෙලාවේ ඒ භූමියේ තියෙන එක එක දේවල් අතට ගන්නේ ආරක්‍ෂාවට කියන එකයි මගේ හැඟීම. සමහර විට දිවියාට කැලේට පැනගන්න බැරි වෙන්නත් හේතුවත් මිනිස්සු වටවෙලා හිටි එක වෙන්න පුළුවන්. දිවියා අර්ධ වශයෙන් නිර්වින්ධනය වෙලා ඉද්දී කිට්ටු වෙන වනජීවී නිලධාරීයා දෙසට දිවියා පණින්නේ ස්වභාව ධර්මයා විසින් දායාද කල අනතුරකින් පැනයාම සඳහා වූ සහජ ඉව නිසා විය යුතුයි. නමුත් දිවියා පැන වනජීවී නිලධාරියෙකුට තුවාල කරද්දී වනජීවී එක කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය නැතිවෙනවා. මිනිස්සු ප්‍රශ්ණයට මැදි වෙලා පීඩා වෙලා සිටීමත්, තමන්ට තිබුණ එකම පිහිට තමන්ගේ ඇස් ඉදිරියේම විනාශ වීමත් එක්ක මිනිස්සු කෝප ගැන්වෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ට වට වෙන පිරිස නිසා බිය වෙන දිවියා මිනිසුන්ට පනින්නේ තමන්ගේ ශරීරයේ නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වෙන ශාරීරික දුබලතාවයත් එක්ක. ඒ මේ මර උගුගෙන් ගැලවිලා පැන යන්න. මාංශ භක්‍ෂක සතෙකුගේ ආත්මාරක්‍ෂණ ක්‍රමය දන්නා ආයෙකු නම් මෙතැනදී ක්‍රියා කරන්නේ වෙනත් විදියකටයි. නමුත් ක්‍ෂණිකව ක්‍රියාත්මක වන මිනිසුන්ගේ ආත්මාරක්‍ෂාව කියා ගන්නා හේතුව නිසා එල්ල වන පහර දීම් හමුවේ අඩපණ වූ දිවියෙකු මොනවා නම් කරන්නද?

පොලු මුගුරු, උදලු වලින් වටකරගෙන පහර දෙන විට අසරණවන දිවියා අවසන් හුස්ම හෙලද්දී මිලේච්ඡත්වය වීරත්වය ලෙස ආරූඪ කරගන්නා මිනිසුන් විසින් මල සිරුරකට වද දෙන අයුර දකිද්දී එවන් තැනක හුස්ම යන්නට පෙරාතුව නිර්වින්දන ඖෂධ නිසා අඩපණ වූ අසරනයෙකුගේ සිතිවිලි කෙබඳු වන්නට ඇත්දැයි බිඳක් සිතා බලන්න.
අවසාන ඉල්ලීම වන්නේ විවිධ වාසි තකා පත්වීම් ලබා දෙන නිලධාරීන් අඩුම තරමේ ක්‍රමවත් පුහුණුවක් ලබා දීමෙන් අතතුරුව රාජකාරියට යොදා ගැනීමත්, මෙවැනි මෙහෙයුම් වලදී ප්‍රදේශ වාසීන් ඉවත් කර නිලධාරීන් විසින් සම්පූර්ණ මෙහෙයුම අවසන් වනතුරු ඒ ප්‍රදේශ තහණම් කලාප බවට පත් කිරීමත් කල යුතුය. ගම් වැසියන් ඉදිරියේ වීරයන් වනවා වෙනුවට සත්ත්වයෙකුගේ ජීවිතය ආරක්‍ෂා කිරීම යන ආචාර ධර්මය පෙරදැරි කරගත් නිලධාරීන් යොදවා රාජකාරි කරනවා නම් තවත් එක් සතෙකු හෝ අදින් පසු අත්තනෝමතික ලෙස මරා දැමීම සිදු නොවනු ඇත. තවද ලංකාවට ආවේණික සතෙකු මරාදැමීමට අදාල පාර්ශ්ව වලට නිසි දඩුවම් ලබාදිය යුතු වන්නේය.

කැමරාවද ලෙන්ස් එකද????

ඡායාරූපකරණයට ආධුනික ඔබට ආරම්භයේදී ඇති වෙන්නා වූ ගැටලුවක් වන්නේ අපි ලඟ තියෙන මුදල කොයි විදිහටද වියදම් කරන් ඕන කියන එක. මම කලින් ලියපු කැමරාවක් තෝරගන්න කලින් කියන ලිපිය කියවලා යම් කරුණු ටිකක් එකතු කරගන් පුළුවන්. ඒ වගේම තමයි කැමරාව තෝරගනිද්දී කැමරාවට වියදම් කරනවාට වඩා ලෙන්ස් වලට වියදම් කරන්න කියන එක නම් වඩා වාසිදියක වෙනවා. හොඳම දේ වෙන්නේ තමා ලඟ තියෙන මුදලින් වැඩි ප්‍රමාණය ලෙන්ස් එක වෙනුවෙන් වෙන් කරන එක. මොකද කොයි වෙලාවේදීත් පින්තූරය හදන්නේ ලෙන්ස් එකෙන් වීමත් කැමරාව කරන්නේ ඒ සකස් කල පින්තූරය අල්ලා ගෙන ගබඩා කිරීමත් නිසා.

මේ එක්කම සාමාන්‍යයෙන් තාක්‍ෂණය අලුත් වෙනවාත් එක්කම කැමරාවල මිල අඩු වෙනවා. නමුත් ලෙන්ස් එකක් ඒ විදිහට මිල අඩු වෙන ප්‍රමාණය අඩුයි. තව දෙයක් තමයි ඔයාල තෝරගන්න කැමරාවත් එක්ක ඒ කැමරාවට ගැලපෙන ලෙන්ස් කීයක් විතර තියෙනවා ද කියන එකත් හොයල බලන්න කියලත් මම මතක් කරන්න කැමතියි. සමහර අය මේකත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් විවිධ වැඩ කරන කෙනෙක් නම් ඒ ඒ වැඩ වලට අවශ්‍ය වෙන ලෙන්ස් තියෙනවාද කියන එක බොහෝම වැදගත් වෙනවා. මොකද වැඩක් කරන්න ගියාම හදිසියට ලෙන්ස් එක ගන්න නැති වුනොත් මොකද වෙන්නේ...

තව වාදයක කෙලවර තමයි කැමරාව පිටුපස ඉන්න කෙනාද නැත්තම් කැමරාවද වැදගත් කියන එක. ඒකට නම් සරලම පිලිතුර තමයි ලෝකෙ තියෙන හොඳම කියන කැමරාවත් හොඳම කියන ලෙන්ස් එකත් අන්ධයෙකුට දුන්නොත් මොකද වෙන්නේ. පින්තූර තියේවි හැබැයි ඒ පින්තූර වල වැඩක් තියෙනවද කියන එක පිලිබඳ ගැටලුවකුත් එක්ක. ඒ නිසා පළමුව හොඳ ඡායාරූපශිල්පියෙකු වන්න. හොඳ ඡායාරූප ගන්න ඉගෙන ගන්න. ඡායාරූප කියවන්න ඉගෙන ගන්න. එතැනින් පස්සේ ඔයාලටම තේරෙන්න ගන්නවා ඔයාල ගන්න ඕන කැමරාව මොකක්ද ලෙන්ස් එක මොකක්ද කියන එක. ඒ නිසා මූලික කැමරාවක් එක්ක හොඳ ලෙන්ස් ගන්න එක තමා වඩා වැදගත් වෙන්නේ..

එහෙම නම් තියෙන ගැටලු මේ ලිපිය පහලින් කොටාගෙන යන්න.. අපි කතා කරමු මොකක්ද වෙන්නේ කියල... හැමෝටම ජය වේවා