වසන්තයේ අග......

කපිල කුමාර කාලිංග අතින් ලියැවුනු මෙම ගීතය තුල බොහෝමයක් පුද්ගලයින් ඩීවත් වන බව මට සිතේ. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සංගීතයෙන් හැඩ ගන්වා ගායනය කල මෙම ගීතය තවත් එක් වෙන්වූ ආදරයක සොදුරු තැන් ස්පර්ශ කරන්නේ යැයි සිතමි.

වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සද නැගෙනා හෝරාවේ

ගීතයේ කතා නායකයා තමන්ගේ තරුණ විය අවසන්ව යන අවස්ථාවේ සිට පෙම්වතෙකි. තම තරුණ වයස අවසන්ව යද්දී වසන්තය අවසන්ව යද්දී තම හිමි නොවූ පැරණි පෙම්වතිය හමුවේ. ඔහු විවාහකය ඇයද එසේ විය හැකිය. ඔවුන් එකට වෙන්ව ඇත්තේ ප්‍රේමය සදහා වූ විවිධ බාධාවන් නිසා වන්නට ඇත. නමුත් මේ වසන්තය අවසන් වන මේ තරුණ සමය අවසන් වෙද්දී අප මුණගැසී ඇත. ඒ එක් වීමට නොහැකි වුවත් තමන්ගේ සතුටක් නොමැති ජීවිතයට ආලෝකයක් දෙන්නට මෙන්ය. අප එකල කතා කරන්නට නොහැකිව කියා ගන්නට නොහැකි වූ දේවල් අද කතා කරමු. එදා කියා ගන්නට බැරිව වෙන් වූ අපට අද ඒ දේවල් කතා කරන්නට පුළුවන්. ඒ දේවල් නිසා අප වෙන්වුන බව මතක් කරමින් සුසුම් හෙලන්නට පුළුවන්. නමුත් රාත්‍රිය වන විට අප යා යුතු වෙනවා. ඒ මොකද අපට වෙන් වූ ජීවිතයත් තියෙනවා.

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

නමුත් මෙම වෙහෙස දැනෙන ජීවිතයෙන් ඉවත් වෙලා වෙහෙස නිවන්න කවදා ඉඩ සැලසෙයිද ඒ පිළිබදව අප දන්නේ නැහැ. නමුත් ඒ පිළිබද සිතමින් කාලය වැය කරන්නේ නැතිව අපි පියවර තියමු. අපි එකට ඇවිද යමු. මොකද රෑ බෝවී එන නිසා අප යා යුතු වෙනවා. කතා නායකයා ඇගෙන් එදා වෙන්වීම පිලිබදව දුක් වෙනවා විතරක් නෙවෙයි අවස්ථාවක් ලැබුනොත් නැවත ඇය හා එක්වන්නට කැමැත්තෙන් ඉන්නවාත නමුත් ඒ දැන් ගෙවන ජීවිතයට දුකක් දීලා නම් නෙවෙයි.

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු අප පෙර පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ

අපි අපේ හිත්වල තියෙන දේවල් කතා කරමු. අපිට මොකද වුනේ. අපි ඇයි වෙන් වුනේ කියන එක ගැන මෙතුවක් හිරකරගෙන හිටි දේවල් ගැන අපි ටිකක් කතා කරමු. ඒ අතීතයේසුන්දර තැන් ගැන මතක් කරගෙන හිනාවෙමු. කිසිකෙනක් නොදකින නිහඩ වෙලාවේ අපි පොඩ්ඩකට අපේ ලෝකයේ තනිවෙමු. නමුත් ඒ අපි ගෙවන අලුත් ජීවිතයේ අයගෙන් සදාකාලයට අයින් වෙලා දුකක් දෙන්න නම් නෙවෙයි. මොහොතකට. ඒ මොහොතේවත් අතීතයේ අප වෙන්වීම දක්වා වූ සොදුරු තැන් විතරක් මතක් කරමින් සතුටු වෙමු. ඒ අතීතය අමතක නොකොට දැන් ජීවිතයේ සතුටු විට නොහැකි නිසා ඔහුගේ හිත හැමදාමත් ඒ අතීත ප්‍රේමය වෙත දිව යන නිසා.

පළමු ප්‍රේමයක සුන්දරත්වය කෙතරමද යත් කොයි ලෙස කොතන නැවතී සිටින්නට වුවද අපට අපගේ පළමු ප්‍රේමය අමතක කල නොහැකිය. මෙයද එවැනි අවස්ථාවක් හා නොයෙක් බාහිර බාධාවන් නිසා එක්වීමට නොහැකි වූ පෙමවතුන් යුවලක් වෙන වෙනම ජීවිතය ගෙවද්දී අහම්බයකින් හමුවන අවස්ථාවක් යැයි මා සිතමි. කෙසේ වුවද අපූර්ව සුන්දරත්වයක් ඇති ගීතයක් වන නිසා මේ ගීතය රස විදින ලෙස ඔබටත් ඇරයුම් කරනවා.


වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සද නැගෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

වසන්තයේ අග හමුවෙමු....

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු අප පෙර පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ


පද රචනය : කපිල කුමාර කාලිංග
සංගීතය : විශාරද එඩ්වඩ් ජයකොඩි
ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!