මහ වැස්සක පෙර නිමිති

කේ. ඩී. කේ. ධර්මවර්ධන අතින් ලියැවෙන මේ අපූරු ගීතය විශාරද සනත් නන්දසිරි විසින් සංගීතවත් කරනවා. ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. පණඩිත් අමරදේව ශූරීන් අවසාන කාලයේ මේ ගීතය ගායනා කරද්දී මේ ගීතය තුල ඔහු ජීවත් වූවා යැයි මට සිතේ. මහළුව ගිය බොහෝමයක් අය වෙනුවෙන් මේ ගීතය ලියවී ඇත්තාක් මෙන් දැනෙන්නේ අප සමාජයේ දකින බොහෝමයකගේ ජීවිතය ද මෙයම වන හෙයින් යැයි මා සිතමි.

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

මහ වැස්සක් එද්දී දැනෙන හැගීම ගැන මා අමුතුවෙන් කිව යුතු නොවන්නේය. එහෙම වෙලාවක තමාට තියෙන කුඩා කාමරයේ කවුරුව අතරින් එන හිරිකඩ සුලග මතකයට නැගෙන්නේ නම් මේ සිදුවීමේ විස්තර කරන අවස්ථාව පිළිබද ඔබට මැවෙනු නිසැකය. එවැනි වෙලාවකදී අප කතා නායකයා වූ මහලු පුද්ගලයා මත්පැන් ටිකක් බීල ශරීරයට උණුසුම ලබා ගන්නට කල්පනා කරනවා. ඒ සදහා කඩමණ්ඩියට යන්නට පිටත් වන්නේ පොද වැස්ස හිරිකඩ වැටෙද්දීමයි. 

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

ඔහු එලියට යන වෙලාවේදී  දැනෙන සීතල එක්ක තමයි ඔහුට මතක් වෙන්නේ කබායත් ඉරිල නේද කියල. ඒත් ඉතින් මේ නාකි මාව කවුරු බලන්නද කියල ඔහු හිත හදා ගන්නවා. මේ කොටස මහලු තැනැත්තා තනිවම ජීවත් වන බව, ඔහුගේ වියපත් වීම හා දුගී බව යන සියල්ල එකතු කරගෙන භාවිතා වුන යෙදුමක් කියලයි මම නම් හිතන්නේ. කොහොම වුනත් ඔහු හිත හදා ගන්නවා තමන් දැන් වයසක නිසා ලස්සනට අදින එක ගැන හිතන්න ඕන නැහැ කියල.

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී

පාරට ආවාම තමා සීතල වැඩියෙන් දැනෙන්නේ. පාරේ වදින හීතල හුලග කබායේ සිදුරු වලින් ඇග තව තවත් සීතල කරනවා. නමුත් ඔහුගේ සිත තුලින් ඔහුගේ තනිකම ඊටත් වඩා විදගෙන තියෙනවා. ඒ තනිකම විදගත්ත මට මේ හීතල විදගන්න පුළුවන් යැයි සිතමින් ඔහු සිගට වෙර ගන්නවා. 
 
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැටි
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි

මේ වැහි කාලගුණයේ ඔහු තනිකම සහ සීතල එක්ක සටන් කරද්දී ඔහුට තවත් දෙයක් පේනවා. ඒ පාර දිගේ සීතල නිසා එකට ගුලිවෙලා එකම කුඩය යටින් යන ආදරවන්තයින් දෙපලක්. මේ සිදුවීම ඔහුගේ සිත අතීතයට අරගෙන යනවා. තමා දැන් තනිකමින් පීඩා විදිනවා වුනත් අතීතයේ තමනුත් මේ විදිහට ආදරයෙන් ඇවිද ගියා නේද කියල ඔහුට සිහිපත් වෙනවා. ඔහු පුන පුනා කියනවා මට හොදට මතකයි ඒ අතීතය. මොකද ඔහුට අහිමි වුන ඒ ආදරය අමතක නොවන ආදරයන් නිසාවෙන්. අතීතයේ ඔහු වින්ද ඒ සුන්දර කාලයට ඔහුගේ සිත දිව යන්නේ නිරායාසයෙන්මයි.

මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ

දැන් ඔහුගේ සිත දෙපැත්තට ඇදෙනවා. අතීතයේ සොදුරු තැන් මතකයට එනවා. ආදරයෙන් කුරුලු වී ගිය යුවල ඔහුගේ හිත තුල තිබුන අතීත සිතිවිලි අවුස්සලා. ඔහු සිතනවා මීවිත ගත උණුසුම් කලා වුනත් සිත උණුසුම් කරන්නට මීවිතට බැහැ. මේ කුඩා සිතිවිල්ල එක්ක අතීතයට ගිය ඔහුගේ සිත අතීත සිතිවිලි වලින් උණුසුම් වූ හැටි ඔහුට සිහිවෙනවා. 
 
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මම ආපසු යනවා

අවසානයේ ඔහු තීරථනයට එනවා. මට මත්පැන් බොන්න ඕන නැහැ. මම යනව යන්න මගේ කුටියට. ඔහුට අද දවස වෙනුවෙන් මත්පැනින් ගත උණුසුම් කර ගන්න ඕන වෙන්නේ නෑ. මොකද ඔහුගේ සිත අතීත සිතිවිලි වලින් මතකයන්ගෙන් පිරිලා නිසා. අතීතයේ මෙන් ඔහුගේ සිතිවිලි වලින් ඔහු දැන් උණුසුම් නිසා.

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

ආයෙමත් ඒ සිතිවිලි ඔහු සිර කර ගන්නවා කබාය ඉරිලා ඒකට කමක් නෑ මම දැන් මහළු වයසේ ඉන්න මනුස්සයානේ කියල. මේ ගීතය ඇතුලේ ඔහුගේ අතීතය හා වර්තමාන කතාව යන දෙකම ඇතුලත් කරල තියෙනවා කියල තමයි මම හිතන්නේ. කොහොම වුනත් අපූරු ගීතයක් හැටියට මම කවදත් එක විදිහට විදින ගීතයක් තමා මේ ගීතය. 


මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැටි
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මම ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය: විශාරද සනත් නන්දසිරි
ගායනය: පණ්ඩිත් අමරදේව

No comments:

Post a comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!