විදුලි මිණි පහන් දැවී

ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි. 

ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.

ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලී
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාගරේ

විදුළි පහනින් ආලෝකමත් වී ඇති ඇයගේ මන්දිරය තුල ඇයගේ සාදයට ආරාධනා ලැබ ඇති අයගෙන් පිරී ඇත. ඔවුන්ගේ සිනාවන් කතාවන් සියල්ල තුල සත්‍ය බවක් නොමැත. ඔවුන් සිනාවෙන්නේ කෘතීමව සකස් කරගත් සිනාවන්ගෙනි. ඒ සිනාවන් වල කිසිඳු තාත්වික බවක් නැත. නමුත් මේ සියල්ල තුල ඔවුන් සිරවී සිටින්නේ ඇස් නිලංකාර වූ කලෙක දිප්තිමත් පහණක් දෙස බලා සිටින්නවුන් වැනි ස්වභාවයෙනි. මෙය සත්‍ය නොවන අන්ධකාරයක් පමණක් වුනත් මෙි සියලු රැවටීම් තුල ඔවුන් සිරව සිටී. ඒ මේ සාදයේය. 

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//

නමුත් මේ සියලු දේ සිදුවන ඔබේ සුවිසල් මන්දිරය තුල මා කුඩාම කුඩා කුහුඹුවෙකු මෙනි. මේ සියලු පෝසතුන් මැද මා ඉතා කුඩා ජීවියෙක් පමණක්මය. ඔහුට තමාගේ තත්ත්වය පන්ති වෙනස දැනී ඇත. වඩා වඩාත් තදින් දැනී ඇත.

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//

එන්න කාල බීල සතුටු වෙමු යැයි ඇය තමන්ගේ පන්තියේ මිතුරන්ට ආරාධනා කරයි. ඒ සියලු තකාවන් සිනාවන් හඬ පරයමින් ඇගේ හඬ ඇසෙයි. සැරන් සැරේ ඇසෙන ඇ‍යගේ හඬටත් වඩා ඔවුන්ගේ කතාවන් ප්‍රභලය. නමුත් වරින් වර ඇසෙන ඇගේ හඬ ඔහුට වඩා හොඳින් ඇසේ. ඒ අයගේ හඬ ඔහු සොයන නිසා විය යුතුය. නමුත් මේ කතාවන් ඔහුට නුහුරුය. ඇය ඔහුගෙන් ඈත්ව ඇයගේ මිතුරන්ට සංග්‍රහ කරන්නට ගිය තැන ඔහුට තනියක් නුහුරු බව හා නොගැලපීම් වඩා හොඳින් දැනෙනනට පටන් ගෙන ඇත.

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

මත්පැන් පරවාගෙන උසුලු විසුලු කරමින් කරන මේ රංගනයන් වලින් මිදී මැදුරෙන් පිට ලෝකය දිහා පොඩ්ඩක් බලන්න. එහි ද වෙනම ලෝකයක් ඇත. මේ සියලු රංගනයන්ගෙන් මිදී මගේ ලෝකය දෙසත් පොඩ්ඩක් බලන්න කියල ඔහු ඇයට ආරාධනා කරනවා. ඒ ඇය නොමැති තැන ඔහු තනිවී ඇති බවත් තමන්ගේ නොගැලපීමත් වඩා තදින් දැනෙන නිසා විය යුතුය.

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා....//

මැදුරෙන් පිට ලෝකය පිළිබඳ කතාව ඔහු කියන්නේ මෙසේය. ඒ මැදුරින් පිට ලෝකයේ ඇත්තවුන් කන්න දෙන්න යැයි ඉල්ලන්නේ නැතිව ඇස් වලින් තමන්ට ආහාර නොමැති බව පෙන්වනු ඇත. ඔහු ගැන සිතමින් ඇය ලංවුනා වගේ ඒ දෙස බැලුවොත් ඇය එය තේරුම් ගනු ඇතැයි ඔහු සිතන්නට ඇත. නමුත් ඔවුන් දෑත් යොමු කරමින් ඉතිරි වූ ආහාර ලබා ගැනීමට පැමිණෙයි. ඒ මන්දිරයෙන් පිටත ඇති මුඩුක්කු සමාජයේ තත්ත්වයයි. ඒ ඔවුන්ගේ සා ගින්දරේ අවසාන අදියරයි. ඔවුන් එය ඉල්ලන්නේත් දෑසින් කල කතාවන් පොසතුන්ට නොඇසී නොදැනී ඇති තැන අවසානයත් ආහාර නොමැතිව සිටිය හැකි උපරිමයත් විඳදරා ගැනීමෙන් අවසානයේදීය. හංසයන් තම අවසන් අවස්ථාවේදී, නොකරම බැරි අවස්තාවේදී හඬ නගන්නාක් මෙන් ඔවුන්ද සිදුවන ආහාර හානිය දැක තමන්ට විඳිය හැකි උපරිම දුක අවසානයේ ආහාර සිඟමනේ යෙදෙන්නේ දෑසින් තම දුක්බර කතාව කියමිනි. නමුත් ඇය හා සිටින පෝසතුන් ඒ කතාව කවදාවත්ම අසා නැත.

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

මම අද ඔබ සමඟ මේ මන්දිරයේ සැප සම්පත් දැක්කා වුනත් මගේ සිතින් මම මගේ ලෝකයේ, දුප්පතුන්ගේ ලෝකයේ තනිවී සිටිමි. මගේ ලෝකය ආහාර නැතිව බලා හිඳින හැටි සිහිවෙමින් ගෙවෙන මේ නිමේෂයන්වල ඔබට සමු දෙන්න තරම්වත් ඉඩ නොදී පලා යන්න යැයි මගේ දෙපා කියනවා. එසේ කියමින් මම ඔබේ මන්දිරයෙන්, ඔබගෙන් සමුගෙන යනවා. ඒ ඔබට නොකියා.

ඔහුට ඇයගේ ආදරය හමුවේ ඇයගෙන් සමුගන්න තරම් ශක්තියක් නෑ. ඒ වගේම ඇයගේ ලෝකයේ තමන්ට ඉඩ හදාගන්න බැරි බව තේරෙනවා. ඒ ක්‍රම ඒ සමාජයට හැඩ ගැහෙන්න එහුට බෑ. තමන්ගේ දුප්පතුන්ගේ ලෝකය සිහි වෙද්දී ඔහුට ඇය සමඟ සැප විඳින්නට බැහැ. ඒ සැප සාධාරණ නැති බව ඔහුට දැනෙනවා. ඒ නිසා ඇය හොරෙන් ඔහු ඇගෙන් ඈතට යනවා.


මේන්න එහෙම නම් ගීතය. ඔයාලටත් මේ ගීතය අරුත් සමඟ විඳින්ට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
 
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලී
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාගරේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා....//

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ

ඡායාරූපකරණයට පිවිසෙන ඔබට

ඡායාරපකරණය අද මේවන විය බොහෝම ජනප්‍රයිය වෙලා තියෙනවා. නමුත් කීයෙන් කීදෙනක්ද නිවැරදි දැනුමක් එක්ක ඡායාරූපකරණයට ඇවිත් ඉන්නේ කියන එක නම් ප්‍රශ්ණයක්. ඒ නිසා මේ කරුණු ටික ලිවිය යුතු යැයි සිතනවා.

ඡායාරූපකරණයට ආව ගොඩක් අය ඡායාරූපකරණය එහෙම නැතිනම් Photography කියන එක මොකක්ද කියන එක වත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඡායාරූපකරණයේ මූලික දේවල් දන්නේ නැති ගණනත් අනන්තයි.

එහෙම නම් කොහොමද මේ තරම් අය මේ ක්‍ෂේත්‍රයේ රැදී ඉන්නේ ?
 
ඒක හරි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. ඒ තාක්‍ෂණය නිසා. ඡායාරූකරණය ගැන කතා කරන ගොඩක් අය අද භාවිතා වෙන දියුණු කැමරා උපකරණ එක්ක බැදීල ඉන්නවා.

හොදම කැමරාව, හොදම ලෙන්ස් එක, හොද ආලෝක උපකරණ, ආලෙලා්ක මෘදුකාරක වාගේ දේවල් ගොඩක් එක්ක තමයි වැඩකට යන්නේ.

ඒ එක්කම මේ දේ ඉගෙන ගෙන ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන අයත් ඡායාරූපකරණය කරන්න යනවා. වැඩේ තියෙන්නේ මේ දෙගොල්ලාම එකම තැනකදී දැක්කාම. අන්න ඒ වෙලාවේදී වෙනස තේරෙනවා.

වැඩිම බලයක් තියෙන සියල්ල ස්වයංක්‍රීය වුන කැමරා උපකරණ එක්ක Test shot එක Digitally Save කරන නිසා සහ තත්පරයෙන් එහෙම දෙයක් නොතිබුනා වගේ මකන්නත් පුළුවන් නිසා කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි පින්තූර කීයක් ගන්නවද කියන එක, ඉඩ පිළිබද ගැටලු නැති නිසා මේ අය කිසිම ගානක් නැතිව ලේසියෙන් උපයන්න ක්‍ෂේත්‍රයට එනවා. අවසානයේ ගොඩක් දියුණු මෘදුකාංග එක්ක සංස්කරණය සිදු කරන නිසා අවසානයේ "කොහොම හරි ගොඩ දා න්න පුළුවන්" සංකල්පයෙන් පින්තූර ටිකක් අරගෙන එන අයත් මේ ඇතුලේ ඉන්නවා. 

නමුත් ජාත්‍යාන්තරයට ගිය ලංකාවේ දක්‍ෂයින් අතරේ තාමත් පොඩි කැමරාවකින් සාමාන්‍ය ආලෝක ප්‍රභව වලින් වැඩ කරන අය ඉන්නවා. ඒ අය බොහෝම සරලව වැඩේ කරල අවසානයේ ගොඩක් හොද නිර්මාණයක් බිහි කරනවා.

ලංකාවේ ඡායාරූපකරණය වෙනුවෙන් තාක්‍ෂණය, උපකරණ වලට වියදම් කරද්දී බොහෝමයක් පිරිස ඡායාරූපකරණය ඉගෙන ගනීම සදහා වියදම් කරන්නේ නෑ. තමන්ගේ විෂය සම්බන්ධයෙන් ඉගෙනීම සදහා හොද තැනක් හොයාගෙන එතැනින් නිවැරදි දැනුමක් අරගන්න වියදම් කරල පස්ුව උඵකරණ වලට යනවා නම් තමන්ගේ වියදම් කරන මුදලින් උපරිම ඵල නොලා ගන්න පුළුවන්.
 
දැන් ඔයාල අහන්න පුළුවන් එහෙම තැන් ලංකාවේ තියෙනවාද? කියල. 
 
ඇත්තෙන්ම එහෙම තැන් තියෙනවා.
 
නමුත් ආයතන ප්‍රවර්ධනය මම මගේ අඩෙවිය ඇතුලේ කරන්නේ නෑ වගේම මට ආයතන ප්‍රවර්ධණය සදහා ගෙවන්නේ නෑ. යම් අායතනක් ලොකු වුන පමණින්, ප්‍රසිද්ධ වූ පමණින් හෝ ඒ අය තමා වැඩ්ඩෝ කියල පෙන්නපු පමණින් ඒ අය එක්ක එකතු වෙන්න කලින් ඒ අය ලග ඉන්න උගන්වන අය ගැන හොයල බලන්න. එයාලගේ නිර්මාණ ගැන බලන්න. පුද්ගලයකු හෝ තැනක් විනාශ කිරීමේ කටයුත්තක් මම අඩෙවියෙන් නොකරන බැවින් මෙතැන වැඩිදුර නොලියා සිටිමි. ඒ ඒ තැන් ගැන ඔයාල හොයල බලන්න.
 
හැබැයි මතක තියාගන්න වැඩියෙන් වියදම් කරල වැඩිම වෙලද දැන්වීම දාන තැන හෝ ඒ ඒ අය ලග ප්‍රසිද්ධ අය සිටි පමණින් ඒ අය ලග නිවැරදි දැනුම තියෙනවාද කියන එක නම් ගැටලුවක්. ඒ වගේම තමා ඒ ඒ අයගේ ගෝලයෙන් වුන පමණින් ගුරුවරුන් ප්‍රවර්ධනය කරන අය ලංකාවේ ඉන්නවා. එහෙම අයගෙනුත් අහන්න එපා. වැඩක් වෙන්නේ නෑ. වඩා හොදයි ඒ ඒ අයගේ ක්‍රමවේද පිලිබදව මුලින් බලන්න. ඒ අයගෙ සම්මන්ත්‍රණ හෝ වැඩමුළු එක්ක සම්බන්ධ වෙන්න. එතැනින් ඒ දැනුම පිළිබද ඔයාලට විශ්වාසයක් ඇති වෙනවා නම් ඒ අය එක්ක සම්බන්ධ වෙලා දිගටම ඉගෙන ගන්න. 
 
අවසානයේ මතක තියා ගන්න ඡායාරූපකරණය එන ඔයාල කොයි විදිහෙන් හරි නැවැරදි දැනුම වෙනුවෙන් වියදම් කරන්න. එවිට අනිත් දේ සම්පූර්ණ වෙද්දී පැවැත්මක් තියේවිත නැතිනම් ඉතින් ටික කාලෙකට විතරක් ධායාරූප ගන්න කෙනෙක් වෙයි.
 
හැමෝටම ජය


මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන දෙවන කොටස

මන්නාරම් ගමනේ පුංචි පුංචි සුන්දර තැන් ටිකක් ගැන පළවෙනි ලිපියේ තිබුනානේ. මේ ඒකේ ඉතිරි ටික...

ලූර්දු මාතා දේවස්ථානය ගාවින් ආව අපි දවල් කෑම කන්නත් වෙලාව ඉතිරි වෙලා තිබුන නිසා මඩු දේවස්ථානය බලන්න යන්න තීරණය කලා. 

මරද මඩු දේවස්ථානය

මඩු දේවස්ථාය ඉදිවන්නේ කන්‍යා මරියතුමිය වෙනුවෙනුයි. මාත්තෙයි වල තිබූ මරියතුමියගේ දේවමාතා ප්‍රතිමාව පළමුව තබා තිබුනා යැයි සැලකෙන්නේ ලූර්දු මාතා දේවස්ථානයේය. නමුත් ලන්දේසි ආක්‍රමණ සමඟ පෘත්‍රගීසින්ගෙන් පාලනයෙන් ගිලිහුණු ලංකාවේ කතෝලික, හින්දු හා බෞද්ධයන් ගේ ජීවිත වලට තර්ජන එල්ල විය. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මඩුමාතා පිළිරුවද වඩම්මවාගෙන මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා පිටත් විය. එම පිරිස ලන්දේසීන්ගෙන් හා වන සතුන්ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අසල නැවතී ඇත. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්තානයේ බදු නිලධාරියාගේ උදව් ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි විය. එම ගම හඳුන්වා ඇත්තේ මරද මඩු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙන්නකි. එම කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක වන හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි.
මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එකී බදු නිලධාරියා සමඟ විවාහ වීමෙන් පසු සෙසු පිරිසද වනය හෙළිකොට නව ගම්මානයක් තනාගනිමින් එහි නැවතී ඇත. ඉන් අනතුරුව හෙලේනා සිය සැමියා ඇතුළු සෙසු පිරිස සමග එක්ව කුඩා ස්ථිර ගොඩනැඟිල්ලක් සාදා මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකොට තිබේ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එය බව පැවසේ. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ එම මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් තරමක විශාල මැදුරක් තැනවීය. ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට ධර්මදූත කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ ජුසේවාස් පියතුමාද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. වත්මන් මඩු දේවස්ථානය වර්ෂ 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරදගුරු තනතුරට පත් බොන්වින් නමැති පියතුමෙකි. නයි, පොළොන් ආදී විසකුරු සර්පයන් සේම රුදුරු වග, වලස්, කොටි, සිංහයන් ගහන වනපෙතක දිවි ගෙවමින් මඩු මාතාවන් ඇදහූ බැතිමතුන්ගේ විශ්වාසය සපල කරමින් මඩු මාතා දෙව්මැදුර ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට විය. 1868 වසරේදී නිර්මල මරිය නිකාය පාලනයට භාරවූ මඩු පුදබිමේ ප්‍රථම මංගලෝත්සවය පවත්වා ඇත්තේ 1870 වසරේ ජුලි 02 වැනිදාය.

විවිධ කාලවකවානුවලදී විවිධ පියවරු යටතේ වැඩි දියණු කරන ලද වත්මන් මරද මඩු මාතා සිද්ධස්ථානය ආසිරි ගන්වන ලද්දේ 1944 වසරේ ජුනි මස 25 වැනිදාය. මෙහිදී ඉපැරණි දැව මුවා අල්තාරය ඉවත්කොට අලංකාර කිරිගරුඩ අල්තාරයක් සවිකර දේවස්ථානය අභිෂේක කරන ලදි. එමෙන්ම දසදහස් වන්දනාකරුවන්ට එකවර දේව වන්දනා පිළිවෙත්වලට සහභාගි විය හැකි පරිද්දෙන් අද පවතින අඩි 160ක වට ප්‍රමාණයක් ඇති අලංකාර මණ්ඩපයද ඉදිකරන ලදි. ඊට අමතරව වන්දනා ස්ථානයේ සීමාවන් සලකුණු කරමින් සිද්ධස්ථානයට ඇතුළුවන ස්ථානයේ ලංකා අප ස්වාමිදූගේ ප්‍රතිමාවද, කල්වාරියද, පාතිමාවේ ස්වාමිදුගේ ප්‍රතිමාවද, ක්‍රිස්තු රජාණන්වහන්සේගේ ප්‍රතිමාවද ස්ථාපනය කෙරිණි. මඩු මෑණියන්ගේ ආශ්චර්යවත් බව මෙන්ම මඩු දේවස්ථානය අවට භූමියේ ඇති පැළෑටිවල ඖෂධීය ගුණය සහ භූමියේ ඇති පස්වල තිබෙන ආශ්චර්යවත් බව ද බැතිමතුන් අතර ඉතා ප්‍රචලිතය. සුවකළ නොහැකි ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමට සඳහා දේවස්ථාන භූමිය අවට ඇති පැළෑටි ලබාගැනීමටත් නව නිවාස, ගොඩනැගිලි ඉදිකරන අවස්ථාවේ පාදමට දැමීම සඳහා එම විශේෂ පස් වර්ගයෙන් ස්වල්පයක් හෝ රැගෙන යාමටත් බැතිමත්හු අමතක නොකරති. එමෙන්ම එම පස්වලින් සර්ප විෂ නැසීමට ප්‍රතිකාර කළ හැකි බවත් එම පස් අතුල නිවසකට සර්පයන් පැමිණීම සිදුනොවන බවත් ඇතැම් බැතිමතුන්ගේ විශ්වාසයයයි.
මඩු දේවස්ථානයෙන් පිටවුන අපි ආයෙත් ආවේ තල්ලඩි වල අපේ නවාතැනට.. එතැනින් දවල් කෑම අරගත්ත අපි පොඩි වෙලාවක් එතැන ඉඳන් ආගිය තොරතුරු කතා කරමින් වෙහෙස නිවාගත්තා. හවස් වරුවේ අපේ බලාපොරොත්තුව වුනේ තලෙයි මන්නාරම දක්වා යන්නයි. එහිදී තලෙයි මන්නාරමේ ආදම්ගේ සොහොන, තලෙයි මන්නාරම්තොට ප්‍රදීපාගාරය හා ජැටිය බලන්නත් අපි බලාපෙරොත්ත වුනා. ඒ වෙද්දීත් දැන් වැලි පර වලින් සැදුනු ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන දූපත් ටික බලන්න බොට්ටුවේ යන්න නොදෙන බව දැනගන්න ලැබුන නිසා හිතෙන් ඒක අයින් කරලයි තිබුනේ.

මඩු දේවස්ථානය වන්දනා කිරීමෙන් පස්සේ ප්‍රදේශයේ එල්ලෙන පාළමක් පිළිබඳ තොරතුරු කිව්වේ අපිත් එක්ක ගිය රියදුරු. අපිට කාල වේලාව තිබුන නිසාත්, පාලම බලන්න යන්න තිබුනේ කිලෝමීටර දෙකක් විතර දුරක් නිසාත් අපි තීරණය කලා ඒ පාලම බලන්න යන්න. පාලමත් ඒ එක්ක තියෙන අවට පරිසරයත් අපූරු සුන්දරත්වයක් හොබවනවා. පුංචි කැලෑ රොදක් වගේ තියෙන තැනිල් පාලමෙන් එගොඩ වුන අපි පයින්ම අලුතින් හදපු දිය කඩනයක් දියේ මෙහා ගොඩට ආවා. එතැනම තියෙන සොරොව්වකින් වතුර වේගයෙන් ගලා එනවා වගේම විසි දැල් මගින් මාලු මරන අය කීප දෙනෙක්ම තම ජීවිකාව කරන්න මහන්සි වෙන හැටි දකින්න ලැබුනා.
මේ සියල්ල අවසානයේ දිවා ආහාරය ගන්නත් තියෙන නිසා අපි ඉක්මනින් පිටත් වුනේ හවස් වරුව තලෙයි මන්නාරම් යන්නත් හිතාගෙනමයි. තල්ලඩි වලට ඇවිත් කෑම කාල තලෙයිමන්නාරම් යන්න සූදානම් වුනා. ආදම්ගේ සොහොන බලන්න යන්න. නමුත් හිතවත් නාවික සෙලබකුගේ ආරාධනාව නිසා අපි මුලින් තලෙයිමන්නාරම් තොට ප්‍රදීපාගාරය හා ජැටිය බලන්න තීරණය කලා.

තලෙයිමන්නාරම් ජැටිය, ප්‍රදීපාගාරය හා දුම්රිය ස්ථානය

වසර 2000කට අධිකා කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන මුතු සපයන ස්ථානය විදිහට මන්නනාරම පැවති අතර ඒ මගින් රජවරුන් හා බිසෝවරුන් වෙනුවෙන් මෙන්ම අනෙක් රටවල් සඳහා ද මුතු සැපයීම සිදු කර තිබෙනවා. නමුත් වසර සියගනනකට පෙර සිදු වූ අධික ලෙස අස්වනු නෙලීම හේතුවෙන් සම්පූර්ණ කර්මාන්තයම විනාශ වී ගොස් තිබෙනවා.
 
ඉන්දියාවේ ධනුෂ්කොඩි හා ලංකාවේ මන්නාරම අතර සකස් කරනු ලැබූ මගී දුම්රිය සේවය 1964 දී පමණ සුලි සුලඟකින් විනාශ වූ පාලම සමඟින්ම නැවතී තිබෙනවා. මෙහි ධාවනය වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ද ඒ සමඟ නැවතී තිබෙනවා. ඒ මෙන්ම මේ අසල සකස් කර ඇති ප්‍රදීපාගාරය 1915 දී ඉදිකර ඇති අතර එය උසින් මීටර 19ක් පමණ වේ. යුද්ධය හේතුවෙන් වසර 30ක් තිස්සේ වැසී තිබූ මෙම ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කර නැවත මහජනයා වෙනුවෙන් ලබා දී තිබෙනවා.
තලෙයි මන්නාරම් තොට ඇති තවත් විශේෂත්වයක් වනුයේ A14 අධිවේගී මාර්ගයේ අවසානයත් දුම්රිය මාර්ගයේ අවසානයත් යන දෙකම මෙම ස්ථානයෙන් සිදුවීමයි. එසේ සිදුවන ලංකාවේ අැති එකම ස්ථානය වන්නේද මෙම ස්ථානයයි.
එතැනින් පසු අප බලාපොරොත්තු වූයේ ජිටිය ආසන්නයේ සිට ආරම්භ වූ දූපත් බලා යන චාරිකාව වුවද මෑතකදී සිදු වූ අනතුරු හේතුවෙන් බෝට්ටු සේවය සම්පූර්ණයෙන්ම නැවතී ඇත. ඒ හේතුවෙන් ලංකාව හා ඉන්දියාව අතර ඇති කිලෝමීටර 30ක් පමණ වු මුහුදු තීරයේ පිහිටා ඇති දූපත් බලන්න යන්න අවකාශයක් නම් ලැබෙන්නේ නැහැ. මෙහි ඇති දූපත් සංඛ්‍යාව දූපත් 16ක් වන අතර එයින් 8ක් ලංකාවට අයත්වනවා. බෝට්ටු සේවය මගින් කිලෝමීටර 15ක් පමණ දුරින් ඇති මෙම දූපත් බලන්නත් දෙවැනි දූපතට ගොඩ වීමටත් අවස්ථාව සලසා තිබුනත් දැන් නම් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් එයින් නොනැවතුන අපි අදම් හා ඊවාගෙ සොහොහොන බලන්න යන්න තීරණය කලා. 

ආදම් හා ඊවාගේ සොහොන

මෙය මුස්ලිම් ජනතාව විසින් අාදම් හා ඊවාගේ සොහොන බවට විස්වාස කරනවා. මුස්ලිම් ජනයා අතර ඇති පුරාවෘත්තයකට අනුව ශ්‍රී පාදය වෙත යන ගමන ඉන්දියාවේ ධනුෂ්කොඩි වලින් ආදම්ගේ පාලම දිගේ මන්නාරම හරහා සිදු කර ඇතැයි කියැවේ.

මන්නාරමේ ඇති ආදම්ගේ සොහොන ලෙස සැලකෙන මෙම සිලින්ඩරාකාර නිර්මාන දෙක එකක් අඩි 40ක් ද අනෙක අඩි 38ක්ද පමණවේ. මීට අමතරව පසෙක සිමෙන්තියෙන් කල බෝට්ටුවක් ඇති අතර එහි 786 - 1968 ලෙස සඳහන් කර ඇත.
දිනයේ ගමන අවසන් කරන්නට සිතුවේ පළමු දූපත ලෙස හැඳින්වෙන කොටස තෙක් වැල්ල දිගේ ඇවිද යාමෙනි. හිරු බැස යාම ඡායාරූප ගත කරන්නට සිතා සිටියා වුවත් හිරු ක්‍ෂිතිජයේ ගිලෙද්දී තිබූ වලාකුළු හේතුවෙන් ඡායාරූප ගත කරන්නට තරම් දෙයක් නොවීය. කෙසේ වුවත් වැල්ලේ ඇඳුනු රටාවන් දෙස බලමින් ඇඳිරි වැටෙන තුරු ඉන්දියාව දෙසට වැල්ලේ ඇවිද යාමත් අපූරු ආශ්වාදයක් ගෙන දෙන්නට විය. මලාණික හිරු ගිලී යන සන්ද්‍යාවක ඉමක් නෙපෙනෙන වැලි තලාවක සිහිල් සලං විඳිමින් ඇවිද යන්නට ලැබීම මොන තරම් සුන්දරද? නමුත් රාත්‍රිය අවට ගිල ගනිද්දී අප යලිත් තල්ලඩි වෙත යා යුතු නිසා දූපතේ කිලෝමීටරයකට ආසන්න දුරක් ඇවිද නැවත ඉන්නට තීරණය කලෙමු. නමුත් පැහැදිලි දිනක පළමු දූපතේ කෙලවරක නිවී සැනසිල්ලේ හිඳිමින් ධනුෂ්කොඩි වල ආලේක ධාරාවන් දැකීමේ ආසාව තවමත් සිත තුලින් බවත් වී නම් නැත. නැවත තලෙයි මන්නාරම් එන තුරු ආයුබෝවන් පළමු දූපතට....

තලෙයි මන්නාරමෙන් සමුගත් අප තල්ලඩි වල නවාතැනට පැමිණ රාත්‍රී භෝජනයෙන් පසු සතුටු සාමීච්චියේ යෙදුනේ කාලෙකින් හමු වූ මිතරන් සමඟ කතා කරන්නට බොහෝ දේ තිබුන නිසාවෙනි. ඒ වගේම දිනයේ අවසානයවන විට ඇවිදීමෙන් ලද ප්‍රීතිය කාගේත් දෙනෙත්වල තිබුනා. සිංදු කියමින් ප්‍රීතිමත්වුන අපි දෙවැනි දිනය සැලසුම් කරන්නට වුනා. ඒ ඩොරික් බංගලාව බලන්න සහ කොයි විදිහෙන් හරි මුහුදේ නාන්න ඕන කියල දඟලපු අපේ සාමාජිකාවකගේ ආසාව ඉටු කරන්නත් පුවවන් විදිහටයි. හැබැයි ඉතින් දෙවැනි දවස මැදදී අපේ සාමාජිකයින් කීප දෙනෙක්ට ආපසු යන්න වෙනවා. එ් ඒ අයට නිවාඩු අවසන් වන නිසාවෙන් රාජකාරියට වාර්තා කල යුතුව තිබුන බැවින්. කොහොම වුනත් ඉතිරි අයත් එක්ක බස් එකේ දවල් දවස ඇවිදින්න තී රණය කල අපි දවස නිමා කලා.....

*************************************

දෙවැනි දවසේ තල්ලඩි වල කලපුවත් එක්ක තිබුන දර්ශනය බලන්න උදේම කලපුව ලඟ වාඩිවුනා. මන්නාරමට නැගෙන ඉර වෙනදා නැගෙන ඉරමද කියල හිතෙන තරම් ලස්සන බව දැනෙද්දීම උදේ පාන්දර ගමනට අවශ්‍ය කටයුතු සකස් කරන්නට වුනා. කෑම බීම හා අනෙකුත් බඩු අසුරගත්ත අපි 9.00 වෙද්දී නවාතැනට සමුදුන්නා. එැතැනින් මුරුක්කන් වලට ආව අපි සිලාවතුර ප්‍රදේශයේ තියෙන ඩොරික් බංගලාව බලන්න තීරණය කලා. 

ඩොරික් බංගලාව

ලංකාවේ පළමු ආණ්ඩුකාරයා වුන ෆෙඩ්රික් නෝර්ත් විසින් 1798 - 1805 කාලයේ සිටි ඔහු 1804 දී මෙය සාදවා නිමකර නිරිත වයඹ දිග නිවස්නය ලෙස භාාවිතා කරනවා. අද පාලුවට ගිය ප්‍රදේශයක් වුවත් එකල ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් බවට ඉතිහාසයේ කියැවෙන මේ අවට ප්‍රදේශය මුතු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. එකල මුතුපර විශාල වශයෙන් තිබුන මෙහි මුතු ලබා ගැනීම නිරීක්‍ෂණය කරන්න ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයා මෙම නිවස සැදුවා යැයි ඉතිහාසය පවසනවා. ක‍්‍රි.පූ. 540 දී ලංකාවේ මුතුවලින් විජය රජු ත්‍යාග යැවූ බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. ක‍්‍රි.ව. 360 දී දේවානම්පියතිස්ස රජු අශෝක රජුට යැවූ ත්‍යාග අතර මුතු විශේෂ තැනක් ගෙන තිබුණු බව සඳහන් වෙනවා. ලංකාවේ මුතු පිළිබඳව ලෝකයේම ප‍්‍රකට වී තිබුණු බව කියැවෙනවා. ඇතැම් විට ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි යෙදුමක් ඇතිවෙන්නට මුතු කර්මාන්තයත් හේතු වෙන්නට ඇත.
ශ්‍රී ලංකාවේ වටිනාම මුතුපර සහිත කොණ්ඩච්චි මූදු බොක්කේ මුතු වෙළෙඳාම එවකට ඉතා දියුණු මට්ටමක පැවැති අතර එම වෙළෙඳුන්ගෙන් ඇතැම් අය මෙම ස්ථානයේ නවාතැන් ගත බව ඉතිහාසයේ සඳහන්. වෙනවා රොබට් නොක්ස් ගේ කෘතිය වන ‘‘එදා හෙළදිව’ හි තවත් බොහෝ තොරතුරු අඩංගු වෙනවා. උඩරට රාජධානි ඉතිහාසයේ සුප‍්‍රකට කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණිය දෝන කතිරිනාව සිරකරගෙන සිටි ස්ථානයක් ලෙස ද මෙය සැලකෙනවා.දමිළ බසින් මේ මාළිගයට කියන්නේ  ‘අල්ලේ රාණි කොටුව’ කියලා.
 
1807 දී පමණ ජෙම්ස් කෝඩිනර් විසින් ලියූ ‘අ ඩිස්ක‍්‍රිප්ෂන් ඔෆ් සිලෝන්’ කෘතියේ මේ පිළිබඳව මෙසේ සඳහන් වෙනවා. ''එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහනවන අතර ගෘහ සැලසුම් ශිල්පය අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැක''. ෆෙඩ්රික් නොර්ත් බංගලාව වෙනුවට ග්‍රීක ව්‍යවහාරයේන් බිඳී ආ සම්ප්‍රදායකට හිමිකම් කියන මෙම නිර්මාණ ශිල්පය උස කුලුණු සහිත ආරුක්කුවලින් සමන්විත යන අර්ථය ගෙන දෙන ඩොරික් නමින් ප්‍රසිද්ධ වීම ම මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සාර්ථකත්වය තේරුම් ගත හැකිය. නිවස අභ්‍යන්තරය මුහුදු සුලඟින් සිසිල් වීමට හා විශාල ඝණකමින් යුතු ගඩෙිලින් කලග බිත්ති මගින් එම සිසිලස ආරක්‍ෂා වන අයුරින් සකස් කර ඇත. නිවස අසල තල් කොළ හා ලෑලි වලින් තැනූ තාවකාලික නිවාස තිබූ බවටද ඉතිහාසයේ සඳහන්ය. 
සම්පූර්ණ ගඩොලින් නිර්මිත මෙය කාමර සතරක්, විශාල සාලයකින් යුතු පහත මාලයකින්ද කෑම කාමරයක් හා තවත් විශාල නිදන කාමරයකින් සමන්විත ඉහල මාලයකින්ද සමන්විතව තිබී ඇත. අදවන විට මෙයින් වැඩි ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර විවිධ හේතූන් නිසා මෙය සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අතහැර දමා ඇති බව අසන්නට ලැබෙනවා. කෙසේ හෝ වේවා මෙයින් පසු අරිප්පු කොටුව නමින් හැඳින්වෙන පෘතුගීසි කොටුව බලන්නට පිටත් වූයේ මා සහ මගේ මිතුරෙකු පමණි. 

අරිප්පු කොටුව

තමන්ගේ රුවල් නැව සුළඟට හසුවී ලංකාවට සේන්දු වූ පෘතුගීසීස් ලංකාවේ මුහුදු බඩ පෙදෙස් තම ග‍්‍රහණයට නතු කර ගත්තා. ඒ අනුව අරිප්පුවේ වෙරළද ඔවුන් සතු කරගත් පෘතුගීසිහු 1620 ගණන් වලදී අරිප්පුවේ බළකොටුවක් තනා ගන්නවා. සේනාංක දෙකක් පමණක් රඳවා තැබීමට හැකි පරිදි කුඩාවට තැබූ මේ බළකොටුවේ ප‍්‍රධාන ගේට්ටුව තිබුණේ මුහුද පැත්තට. හතර පැත්තම පෙනෙන පරිදි තැනූ බැලූම් කුළුණට නැගුණු විට පෙනුණේද මනස්කාන්ත දර්ශනයකි. පෘතුගීසින්ගෙන් පස්සේ 1658 දී අරිප්පු බළකොටුව අයිති වූයේ ලන්දේසින්ට. අරිප්පුවේ බළකොටුවට අලූතින් ගොඩනැගිලි එකතු කළ ඔවුහු බලකොටුව තරමක් විශාල කළහ.
මහනුවර රාජධානියේ සිංහල රජුගේ සිරකරුවකු බවට පත්ව සිටි ඉංග‍්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස් අරිප්පු බළකොටුවට ළඟාවූයේ මේ කාලයේදීය. ඔහු එනවිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා අරිප්පු කොටුවේ නොසිටියත්, බළකොටුවේ සිටි ලන්දේසීන්ගෙන් නොක්ස්ටත් ඔහු සමඟ පලා ආ මෙට්ලන්ඞ්ටත් ලැබුණේ උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා. ඊට හේතුව නොක්ස් ඒ මොහොතේ වීරයකු බවට පත්වෙලා හිටි හින්දා. කෲර ඒකාධිපතියකු වූ සිංහලේ රජුගෙන් මිදී පලා එන්නටලේසි වෙන්නේ නෑ ඒ වගේම මේ මිනිසා සතුව උඩරට රාජධානිය ගැන ඇති රහස් නිසා නොක්ස් කියන්නේ ඒ වෙලාවේ සම්පතක්. බළකොටුවේ සිටි ලන්දේසීන්ට උඩරට තොරතුරු කියන්නටම නොක්ස්ට ලොකු කාලයක් ගතවිය. උඩරට රහස් කියන ගමන්ම අරිප්පු ඇතුළු වයඹ වෙරළ තීරය නිරීක්ෂණයකරන නොක්ස් එරිට්ටුකඞ්ඩුවේ පිහිටි උසැති වැලිකන්ද දකිනවා. ඒක මුතු බෙල්ලන්ගේ කටු වලින් හැදුණු වැලිකන්දක් බව දැනගත්තාම විට ඔහු පුදුමයට පත්වෙනවා.

ලන්දේසි බළකොටුවක්ව තිබූ අරිප්පුව ඊළඟට බි‍්‍රතාන්‍ය පාලනයට යටවෙනවා. ප්‍රෙඞ්රික් නෝත් මන්නාරම් පළාතේ බළකොටුවල පාලකයා බවට පත්වෙද්දි ඔහුගේ සුවිශේෂ අවධානයට යොමුවූයේද මුතු බෙල්ලන් කැඞීමයි. මුතු බෙල්ලන් කැඞීම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබීම නිසාම නෝත්, අරිප්පු බළකොටුවෙහි නතරවෙලා මේ කටයුතු ගැන සොයා බැලනවා. ඒ නිසාම තමයි නිල නිවෙස අරිප්පු බළකොටුව අද්දරින්ම ඉදිකරවා ගන්නේ.
 

අරිප්පු බලකොටුව පිළිබද කතාන්දරය අනුව නම් බලකොටුව තිබිය යුත්තේ මුහුදු ලග වුවත් අද එසේ නොවේ. අරිප්පු කොටුව ලෙස ඇත්තේ ඉතා කුඩා ගෙඩනැගිල්ලක් පමණි.අනොත් සියල්ල බම් බිම් ලෙස යටවී ඇත. එසේ නම් වැලලී ගිය අතීතයක් අප සතුව ඇත්තේය.


සියල්ල අවසානයේ අප නැවතත් මන්නාරම බලා පිටත් වන්නට විය. මන්නාරමේ සිට කීරි වෙරළ තීරය වෙත ගිය අපේ උන් සවස් වනතුරුත් දිය නාමින් සිටියෝය.. රාත්‍රිය වැටෙද්දී නැවත මන්නාරම නගරයට පැමිණි අප රාත්‍රී ආහාරය ගෙන දුම්රිය ස්ථානයට පැමිණියේ නැවත ගම් බිම් බලා පැමිණිය යුතු නිසාවෙනි. කෙසේ හෝ වේවා අපූරු ගමනක අවසානය මෙලෙස සටහන් කරමි.. තවත් ගමනක තතු සමග පැමිණෙන තුරු ආයුබෝවන් සැමට......

මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන පළමු කොටස

කාලෙකට පස්සේ යාලුවෝ ටිකත් එක්ක ඇවිදින්න යන්න හිතුවා. ඒ මන්නාරම.. මම පය නොතිබ්බ ලංකාවේ තිබුන එකම දිස්ත්‍රික්කය. කොහොම වුනත් ඒ හීනයත් හැබෑ කරගෙන ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලට පය තැබීමත් එක්ක මන්නාරම් යන්න හිතුවා. මේ මන්නාරමේ ඇවිදපු එක ගැන කතාව.... යන්න පිටත් වුනේ ජොබ් එක නිසා එකතු වුන දැන් සමහරු ඒ ජොබ් එකේම නැතත් තවමත් ඉතිරිව ඇති අපූරු මිතුරු හවුලක්..

අවුරුදු ගානක් කොටි ත්‍රස්තවාදය නිසා හැංගිලා තිබුන මන්නාරම කියල කිව්ව ගමන් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ කරවල. හැබැයි ඉතින් කරවල වලටත් වඩා මන්නාරමේ ඓතිහාසිකව වැදගත්කමක් තියෙන තැන් ගොඩක් තියෙනවා බලන්න. ඒ වගේමයි ලස්සන තැන්. මුලින් මන්නාරම අරාබිවරුන්ගේ වෙළඳ නගරයක්. පසු කාලෙක පෘතුගීසීන්ද දෙවනුව ලන්දේසීන්ද අවසානයේ ඉංග්‍රීසීන්ද අත්පත් කරගෙන පාලනය කරල තියෙනවා. ත්‍රස්තවාදය නිසා බොහෝ දෙනෙක් වෙනුවෙන් වැහිල තිබුන මන්නාරම අද ආයෙමත් හැමෝම වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.
අපේ ගමන ආරම්භ වෙන්නෙ කොළඹින් රාත්‍රී තැපැල් දුම්රියේ... මගදී දුම්රියේ කාර්මික දෝශයක් නිසා සෑහෙන වෙලාවක් ප්‍රමාද වුනා.. කොහොම හරි අපේ කට්ටිය 10 දෙනත් එක්ක පාන්දර 6 වෙද්දී අපි මන්නාරම් දුම්රිය ස්ථානයෙන් බැහැගත්තා. අපේ නවාතැන වුනේ හමුදාවේ නිවාඩු නිකේතනයක්. ඒ තල්ලඩි වල. අපේ ගමන අපි සැලසුම් කරල තිබුනේ තල්ලඩි වල ඉඳන් වාහනයක් අරන් ඇවිදින්න යන්න. ඒ නිසා කොච්චියෙන් බැහැල කෙලින්ම ආවේ නවාතැනට. අපේ බඩු මලු පැත්තකට දාල කෂණික නූඩ්ල්ස් වලින් උදේ කෑම සම්පූර්ණ කරගෙන මුලින්ම යන්න හිතුවේ මන්නාරමේ තියෙන ලන්දේසි කොටුව බලන්න.

මන්නාරම් ලන්දේසි කොටුව

මන්නාරම් පාලම පහුවෙද්දීම දකුනට හැරුණාම මේ බලකොටුවට බලන්න යන්න පුවවන්. මුලින් කිව්වා වගේ අරාබිවරුන්ගේ වෙළඳ නගරයක් වෙච්ච මන්නාරම 1550 දී පෘතුගීසි ආක්‍රමණයකට ලක්වෙනවා. ඔවුන් එතැන බලකොටුවක් ඉදිකරගන්නවා. පස්සේ 1658 පෙබරවාරි 22 ලන්දෙසීන් විසින් ආක්‍රමණය කරනවා. 1696 දී කොටුව ප්‍රතිසංස්කරනය කරන්නේත් ලංදේසි ජාතිකයන් විසින්මයි. 1795 දී මෙම කොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වෙනවා.
පවුර හතරැස් වෙන විදිහට හදල කෙලවරවල් වල මුරකුටි සකස් කරල තියෙනවා. ඒ වගේම බිම් මට්ටමට ටිකක් ඉහලින් නැරඹුම් කුටියක් වැනි එකක් සකස් කරල තියෙනවා. ඒක ඒ කාලේ වැරදි කරපු අයට ප්‍රසිද්ධියේ එල්ලා මරන්න භාවිතා කලා කියල තමයි කියන්නේ. පෘතුගීසීන්ට පස්සේ ආව ලන්දේසීන් විසින් පල්ලියක්, පරිපාලන ශාලාවක්, අධිකරණ ශාලාවක්, සොහොන් බිම් ආදිය සකස් කරල තියෙනවා. පසු කාලීන පාලකයන් වුන ඉංග්‍රීසින් මේ කිසිවක් විනාශ කරල නෑ. මේ හැරුනාම හිරකරුවන් සඳහා වූ හිරකුටි, විශේෂ නිලධාරීන් සඳහා වූ කාමර සහ ඒ කාමර වලටම සම්බන්ධ කරල සකස් කරපු නාන කාමර පවා තවමත් ආරක්‍ෂා වෙලා තියෙනවා. බලකොටුව වටේටම පැරණි රජ මාලිගා වල වගේ පළල් දිය අගලක් සකස් කරල තියෙනවා. බලකොටුව වටා ඇති තාප්පය මත පහසුවෙන් ඇවිද යා හැකි ආකාරයෙන් සකස් කරල තියෙනවා.

මේ කොටුවට වැස්සොත් ඒ වැහි වතුර අපතේ නොයන විදිහට එකතු කරගන්න පුළුවන් විදිහේ කාණු පද්ධතියක් හා බලකොටුව ඇතුලේම සකස් කරපු ලිං තියෙනවා. ඒ නිසා බලකොටුව අකර්මණ්‍ය කරන එක ලේසි වෙන්නේ නෑ. මොකද සටනකදී බාහිරින් කිසිවක් ලැබෙන්නට සැලැස්සුවේ නැතත් බලකොටුව ඇතුලේ තියෙන දේ වලින් සෑහෙන්න කාලයක් රැකෙන්න පුළුවන් විදිහට තමයි මේක හදල තියෙන්නේ. 

එතැනින් අපි පිටත් වුනේ ලංකාවේ විශාලම බයෝබැබ් ශාකය බලන්න.

බයෝබැබ් ගස (Baobab Tree)

Adansonia digitata නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම බයෝබැබ් ශාකය අශ්වයන්ට බෙහෙත් සකස් කිරීම සඳහා ලංකාවේ වගා කරල කියලයි කියන්නේ. පෘතුගීසීන් විසින් ඇති කරනු ලැබූ අශ්වයන් දැනට කැලෑ අශ්වයන් ලෙස ඇති ඩෙල්ෆ්ට් දූපතේත් මේ වගේම බයෝබැබ් ශාක වගා කරල තියෙනවා. මන්නාරම් නගරයේ ඉඳන් පලේමුනේ පාරේ ටිකක් දුර ගියාම මේ ගස දකින්න පුළුවන්. ලංකාවේ දැනට ඉතිරිව ඇති බයෝබැබ් ශාක 40කින් 34ක් පමණ තිබෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ. ඒ අතරින් විශාලම හා පැරණිම ගස වන්නේ මේ පලේමුනේ පාරේ ගියාම හමුවෙන බයෝබැබ් ගහ. වසර 300 - 400ක් පමණ පැරණි මෙම ගස වට ප්‍රමාණයෙන් මීටර 19.5ක් හා උස මීටර 7.5ක් විතර වෙනවා. අප්‍රිකාව, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවට ආවේණික වූ ශාකයක් වුන මෙය විවිධ නම් වලින් හැඳින්වෙනවා. නමුත් මෙම ශාකයට බයෝබැබ් ලෙස නම් ලැබිල තියෙන්නේ එය අරාබි බසින් හැඳින්වෙන බුහිබැබ් නමෙන් විය යුතුය. 
බාඕබැව්, බෝබ්, බොඅබොආ, බෝතල් ගහ, උඩුකුරුඤ්ඤං ගහ යනුවෙන්ද හැඳින්වෙනවා. මීට අමතරව එහි ගෙඩි වඳුරන් විසින් කන නිසා "වඳුරු දෙල් ගස" කියලත් බයෝබැබ් ගෙඩියක ඇට 30ක් තිබීම නිසා "ජුදාස්ගේ මල්ල" කියලත් හැඳින්වෙනවා. ඒකට හේතුව ජේසුතුමන් ජුදාස් විසින් පාවා දෙනු ලැබුවේ රිදී 30කට යැයි කියවෙන නිසායි. නමුත් ගසේ පොත්ත අලියකුගේ සමට සමාන බැවින සාමාන්‍යයෙන් මෙම ගහ දේශීයව සිංහලෙන් හැඳින්වෙන්නේ "අලි ගහ" කියලයි. දෙමළින් “පෙරුක්කු මරම්” කියලත් හඳුන්වනවා. 
ශුෂ්ක පරිසරයට අනුවර්තනය වී ඇති බයෝබැබ් ගසට ආවේණික වූ විශේෂ ලක්‍ෂණ අතර එහි විශාල තද කොළ පැහැති පත්‍ර කැපී පෙනේ. ඒවා මිනිස් අතක ඇඟිලිවලට සමානය. එහි රාත්‍රියට පිපෙන විශාල එල්ලා වැටෙන සුදු තනි මල් අඟල් 6ක් පමණ පළලය. මලේ පිළුණු සුවඳට විවිධ මැස්සන්, සලබයන්, වවුලන් ආදීන් ආකර්ෂණය වන අතර එම සත්තු එම මල්වල පරාග පෝෂණය කරති. බයෝබැබ් ගස අවුරුද්දේ මුල් මාස නවය තුළ පත්‍ර රහිත වේ. එම වියළි මාස නවය තුළදී එහි මහත පොරොප්ප මෙන් පිම්බුණ සහ ගින්නට ඔරොත්තු දෙන පොත්ත ඇතුළත වතුර ලීටර 120,000 ක් පමණ රඳවා තබා ගත හැකිය. ගසේ විරලභාවය හා ඉපැරණිභාවය නිසා එය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ශාක විශේෂයකි. කිසිදු හැඩයක් නොමැති විකාර රූප පෙනුමැති මෙම ගස අසාමාන්‍ය ලෙස අත්පා කේඬෑරි වූ හස්තියකුගේ ඉරියව්වෙන් නැගී සිටී.
එතැනින් මන්නාරමේ තිරුකේතීස්වරම් කෝවිල හා ලූර්දු මාතා දේවස්ථානය බලන්න පිටත් වුනා. ඒ නාවත්කුලි - කාරතිව් - මන්නාරම් මාර්ගයේ හමුවෙන මාන්තොට තියෙන කෝවිලක්. තිරුකේතීස්වරම් වලට නම් කැමරාව තහනම් නිසා පින්තූරයක්වත් නැහැ.

තිරුකේතීස්වරම් කෝවිල
මෙහිදී කේතු භගවාන් ස්වාමිදරයා විසින් සිව දෙවියන් වැඳපුදාගෙන ඇති බවට පුරාවෘත්තයක් පවතී. මෙම කෝවිල සිව දෙවියන් වෙනුවෙන් කැපවූ මූලික කෝවිල් 5න් එකක් වේ. 7 වන හා 8 වන සියවසේ ජීවත් වූ තිරුගාන සම්බන්ධර් හා සුන්දරාර් නම් සිව සාන්තුවරයන් දෙදෙනෙකු විසින් ශුද්ධ ස්ත්‍රෝත ගායනා කරමින් පාලවි ජලාශයේ ජලය පාරිශුද්ධත්වයට පත් කර ඇතැයි කියැවේ. මෙහි මුල් නිර්මාණය සම්බන්ධයෙන් තොරතුරු නැතත් පෙර ක්‍රිස්තියානි කාලයේ ඉදිකර ඇති බවට විශ්වාසයක් පවතී. මාන්තොට වරාය හා මන්නාරම ක්‍රියාකාරීව ඇති කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට තිබූ ප්‍රධාන පිවිසුමක් වන නිසා මෙය සත්‍යයක් විය හැකි යැයි විශ්වාස කෙරේ.

1505 දී සිදු වූ පෘතුගීසි කතෝලික ආක්‍රමණය සමඟ රට තුල ඇති වූ බෞද්ධ හා හින්දු භීෂණය හේතුවෙන් මෙම කෝවිල හා අවට බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ විය. ඒවායේ තිබූ වටිනා වස්තු හා ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මන්නාරම් කොටුව, ක්‍රිස්තු දේවස්ථාන හා කයිට්ස් දූපතේ හැමර්ෂිල්ඩ් කොටුව ආදිය නිර්මාණය කර තිබේ. වසර 400 කට පමණ පසු මෙහි නියම පිහිටීම 1894 දී සොයාගෙන 20 වන සියවස මුල් භාගයේ පිලිසකර කටයුතු සිදු කර ඇත. 1970 වන තුරුත් විවිධ අවස්ථාවන්හිදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති අතර 1949 දී පල්ලවි වැව ප්‍රතිසංස්කරණය කරන ලදී.

ලූර්දු මාතා දේවස්ථානය

ලූර්දු මාතා දේවස්ථානය තිබෙන්නේ තිරුකේතීස්වරම් කෝවිල ආසන්නයේය. මෙය වරෙක මඩු මාතාවගේ පිළිමය තබා තිබූ තැනක් බවටද විශ්වාසයක් පවතී. කෙසේ වුවද අපුර්ව සුන්දරත්වයක් ඇති මෙතනත් නොබලා ආවොත් අඩුවක් යැයි සිතුවා...


එතැනින් පස්සේ ගිය තැන් ගැන මෙම ලිපියේ දෙවැනි කොටසින් ඉදිරිපත් කරන්නම්... දිග ලිපියක් වුනාම ලියන්නත් කම්මැලියි.. කියවන්නත් කම්මැලියිනේ.. එහෙනම් හමුවෙමු දෙවැනි කොටසින්....

පින්තූර ගොන්න බලන්න මෙතැනින්...

අදහසක් ලියගෙන යන්න ඊලඟ ලිපිය එනකම්...  

දෙවැනි කොටස කියවන්න