මගේ ගමන් බිමන් එකසිය දහහතරවන කොටස - දෙහෙන ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර දිය ඇල්ලක් ගැන කලින් ලිපියක ලියුවා මතක ඇති. ඒ් බේරුවත්ත ඇල්ල. මේ ලියන්න යන්නේ ඒ් පැත්තේම තියෙන තවත් දිය ඇල්ලක් ගැනයි. ඒ් තමයි දෙහෙන ඇල්ල. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 18ක් විතර ගියාම පහලගම සහ අමුණුගම කියන ගම් දෙක අතරේ පාර අයිනේම දෙහෙන ඇල්ල දකින්න පුළුවන්.
මීටර 73ක් පමණ උස මේ දිය ඇල්ල ස්ථර දෙක් විදිහට තමයි ගලා බහින්නේ. ගම් වැසියන් ගස්ලබු ඇල්ල කියන නමින් හඳුන්වන්නේත් මේ ඇල්ලම තමයි. නමුත් ඒ් නම හැදෙන්න විදිහක් ගැන කිසි සටහනක් නැහැ. අතීතයේ ප්‍රාදේශීය රජ කෙනෙක් විසින් දඩුවම් පමුණුවන්න භාවිතා කල නිසා දමන ඇල්ල නමින් හඳුන්වා පසුව දෙහෙන ඇල්ල බවට ව්‍යවහාරයට ආවා කියල මතයක් තියෙනවා. තවත් මතයක් නම් ප්‍රදේශයේ ඈපා තනතුර ලැබූ පාලකයෙක් නීතියේ රැහැනට හසුකර ගත් වැරදිකරුවන් දිය ඇල්ල පාමුලට තල්ලු කල නිසා දෙහෙදු ඇල්ල ලෙස ප්‍රකට වී පසුව දෙහෙන ඇල්ල ලෙස ලෙස ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද කියවේ.

දෙහෙන දොලෙන් පටන් ගන්න දෙහෙන ඇල්ල අවසානයේ දී බඹරබොටුව ගඟට ගලා බහිනවා. පසුව කලු ගඟට එක්ව මුහුදට ගලා බසී. වර්ෂා කාලයේදී මීදුම් පටලයක් වගේ පිණි වලින් මාර්ගය එක්කම වසා ගන්නා නිසා අපූර්ව සුන්දරත්වයක් ඇති කරන දිය ඇල්ලක් බවට පරිවර්ථනය වෙනවා.
වැස්ස අඩු කාලෙට නම් මේ දිය ඇල්ලේ නාන්න පුළුවන්. නමුත් දිය ඇල්ල බලන්න එන අය නිසා සහ නාන්න ආව අය දාල ගිය කුණු නිසා ගොඩක් දුරට මේ පරිසරයත් විනාශ වෙන්න පටන් අරන්. ඒ් නිසා මේ දිය ඇල්ල බලන්න ගිහින් විනාස නොකර ඒන්න කියන පණිවිඩය නම් දිය යුතුමයි.


Extension Tube එක්ක සෙල්ලම් - දන්න සිංහලෙන් Macro Photography - පස්වන කොටස

ඔන්න ආයෙමත් කාලෙකින් Macro Photography ගැන ලියන්න හිතුවා. මේ කියන්න යන්නේ ගොඩක් කට්ටිය අමාරුවේ වැටෙන තැනක් ගැන.. ඒ තමයි මැක්‍රො ඡායාරූපකරණයේදී Extension Tubes භාවිතා කරන හැටි.

මේක කියවන්න කලින් මම මීට කලින් ලියපු Macro Photography ලිපි කියවල හිටියොත් වඩා සාර්ථක වෙයි...




හරි අපි දැන් බලමු සෙප්පම වෙන්නේ කොහොමද කියල.

මුලින්ම මතක තියා ගන්න අපි මෙතැනදී භාවිතා කරන්නේ ප්‍රතිභිම්භ දුර වෙනස් කිරීමේ ක්‍රමවේදය. විද්‍යාව පීරියඩ් එක කට් කරේ නැති ලමයින්ට මේ ලියන ලියක මතක ඇති කියල හිතනවා. මේ ටික එයාලට ඒ ටික මතක් වෙන්න. කම්මැලි අය මේ ටික පාස් කරල පහලට යන්න.. ඒ අයට අවශ්‍ය ටික පහල තියෙනවා...

වස්තුවේ විශාලනය - m
වස්තු දුර - u
ප්‍රතිභිම්භ දුර - v
කාචයේ නාභි දුර - f

m = v / u

1/f =  1/v + 1/u

මෙන්න මේ සමීකරණ දෙක තමයි වැදගත් වෙන්නේ. අපි ඉතුරු ටික කරන්නේ මෙන්න මේ සමීකරණ භාවිතා කරලයි.

දැන් ඉතින් අපි ගාව තියෙන ලෙන්ස් එක ගනිමු. ඒකට තියෙනවා Maximum Reproduction Ratio කියල එකක්. උදාහරණයක් විදිහට Nikkor 50mm 1.8G ලෙන්ස් එකක් Maximum Reproduction Ratio එක 0.15x. වස්තුව නාභිගත වෙන අවම දුරේදී සෙන්සරය මත සටහන් වෙන පින්තූරේ සත්‍ය ප්‍රමාණය දිගින් L ප්‍රමාණයක් කියල හිතමු. 50mm එකේදී නාභිගත වෙන අවම දුරේදී ඒ කියන්නේ 450mm වස්තුවක් තිබ්බොත් සෙන්සරය මත සටහන් වෙන පින්තූරයේ සත්‍ය ප්‍රමාණය එනම් L අගය වෙන්නේ 240mm. මේ අගය සෙන්සරයේ ප්‍රමාණයෙන් බෙදුවාම අපිට එනවා Maximum Reproduction Ratio එක. Full Frame එකකදී මේ අගය 36mm / 240mm = 0.15. Nikon Crop sensor එකක් තියෙන කැමරාවක දී නම් Crop Factor එක 1.5යි. ඒ කියන්නේ L අගය 160mm. නමුත් සෙන්සරයේ ප්‍රමාණය 24mm නිසා ආයෙමත් Maximum Reproduction Ratio එක 0.15 කියල ලැබෙනවා.
පින්තූරය අන්තර්ජාලයෙන්
දැන් අපි බලමු Magnification එක කොහොමද කියල. විශාලනය අර්ථ දක්වන්නේ වස්තුවට සාපේක්‍ෂව ප්‍රතිභිම්භයේ උස කියල. එතකොට Nikon APS-C එකක දී 50mm 1.8G Lens එකක් 24mm වල 160mm සටහන් කරනවා. ඒ කියන්නේ 0.15ක විශාලනයක්. දැන් Extension Tube එකක් භාවිතා කරද්දී ඇතිවෙන ප්‍රතිභිම්භයේ විශාලනය හොයා ගන්න පුළුවන් සමීකරණයක් තමයි ඔයාලට මම මේ දෙන්න යන්නේ. මේ අලුත් සමීකරණයෙන් ලේසියෙන්ම Magnification එක හොයාගන්න පුළුවන්.

නව විශාලනය = අවම නාභිගත වන දුරේදී ලෙන්ස් එක සතු විශාලනය + (Extension Tube එකේ දිග / ලෙන්ස් එකේ නාභි දුර)

උදාහරණයක් විදිහට 50mm 1.8G ලෙන්ස් එකට 12mm Extension Tube එකක් සවි කලා කියල හිතමු. එවිට,

නව විශාලනය = 0.15 + (12mm / 50mm) = 0.39

හරි දැන් අපි බලමු ඒකට හරියන ප්‍රතිභිම්භ දුර කීයද කියල. ඒකට අපිට ඕන වෙනවා මෙන්න මේ සමීකරණය m = v / u. 

Extension Tube එකක් නැති අවස්ථාවේදී v අගය හොයාගමු..
0.15 = v / 450mm
v = 67.5mm

Extension Tube එකක් භාවිතා කලාම වෙන්නේ කැමරාව සහ ලෙන්ස් එක අතර දුර වැඩි වෙන එක. ඒ කියන්නේ ප්‍රතිභිම්භ දුර වැඩි වෙන එක. අපි කියමු ඒක v' කියල. ඊට පස්සේ අපි ඒ දුරට වස්තුව නාභිගත කරනවා.
පින්තූරය අන්තර්ජාලයෙන්

එවිට v' = v + Extension Tube එකේ දිග

v'= 67.5mm + 12mm = 79.5mm

එවිට නාභිගත වෙන අවම දුර හොයාගන්න අපිට m = v / u සමීකරණය යොදාගන්න පුළුවන්. එවිට,

0.39 = 79.5mm / u
u = 203.8mm

දැන් වැඩේ හරි මේ ගණනය කලාම අපිට පුළුවන් අපි Extension Tube භාවිතා කලාම අපට ලැබෙන උපරිම විශාලනය සහ උපරිම විශාලනයේදී අවම නාභිගත වෙන දුර සොයා ගන්න... 

මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් භාවිතා කරන මම ගාව තියෙන ලෙන්ස් ටික... 

AF-S NIKKOR 50mm f/1.8G
AF-S DX NIKKOR 18-105mm f/3.5-5.6G ED VR
AF-S VR Micro-Nikkor 105mm f/2.8G IF-ED

ඒ එක්කම මම ගාව තියෙන Extension Tube Set එක තමයි 12mm, 20mm සහ 36mm. මේ ටික භාවිතා කරල මම විවිධ දුර අගයන් 7ක් හදා ගන්න පුළුවන්. ඒ 12mm, 20mm, 32mm, 36mm, 48mm, 56mm සහ 68mm.

ඔය උඩින් කිව්ව ගණනයන් ටික කරල මම හදපු වගුව තමා මේ තියෙන්නේ....

දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕන.. ඒ තමයි මොන මංගල්‍යයකටද මේවා ගනන් හද හද ඉන්නේ Extension Tube එක සෙට් කරා පින්තූර ගත්තා නේද කියල. 

නමුත් කැමරාවේ වදින පින්තූරය වෙනුවට අපිට ඕන පින්තූරය ගන්න හිතන අයට මේ ටික හොදටම වැදගත් වෙනවා. මොකද අවශ්‍ය කරන විශාලනය කලින් තීරණය කරල පින්තූරෙ තීරණය කලාම ජීවී සතෙක් එක්ක තමාට වැඩ කරන්න තියෙන දුර සම්බන්ධයෙන් තීරණය ගනිද්දී මේක ගොඩක්ම වැදගත් වෙනවා. 

උදාහරණයක් විදිහට මට16mm ජීවී සතෙක් Nikon APS-C සෙන්සරය සහිත කැමරාවකින් රාමුව පිරෙන්න ගන්න ඒන කියල හිතන්න. ඒ කියන්නේ 1:1.5ක විශාලනයක් සහිතව ඕන. වගුව බැලුවාම මට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක මම ගාව තියෙන 50mm එකට 68mm දිග Extension tube සවි කරගන්න එක. අනික මගේ 105mm Macro ලෙන්ස් එකට 56mm දිග Extension Tube සවිකර ගන්න එක. 

මේ දෙකෙන් මොකක්ද තෝරගන්නේ කියන එක බැලුවාම මම ජීවි සතෙක් නිසා මට වැඩ කරන්න ඕන කරන ඉඩ සලකලා අවම නාභිගත වෙන දුර ගැන හිතනවා. 50mm එකට 68mm Extension Tube සවි කලාම නාභිගත වෙන්නේ 89.7mm වලදී නමුත් 105mm macro එකට 56mm Extension Tubes සවි කලාම අවම නාභිගත වෙන දුර විදිහට ලැබෙන්නේ 241.8mm දුරක්. ඒ කියන්නේ මට වැඩිපුර 152.1mm අවකාහයක් ලැබෙනවා. මේ වකාශය ඇතුලේ ආලෝකය නිදහසේ හසුරවන්න. සතාගේ අවධානයට යොමු වීම අඩු කරන්න වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්..

ඒ නිසා පින්තූරයක් ගනිද්දී තමන් භාවිතා කරන දේවල් ගැන ටිකක් හිතන්න...


එතකම් ආයුබෝවන්..

මගේ ගමන් බිමන් එකසිය දහතුන්වන කොටස - ඇඩිසම් බංගලාව

කාලෙකට පස්සේ ආයෙත් ආවේ අපූර්ව ස්ථානයක් ගැන ලිපියක් අරගෙන.. ඒ තමයි හපුතලේ තියෙන ඇඩිසම් බංලගාව ගැන.. හුගක් අය හපුතලේ පැත්තෙන් යනවා නම් මේ තැන බලන්න අමතක කරන්නේ නෑ.. ඒ මේ තැන හරි අපූර්ව මනස්කාන්ත ස්ථානයක් නිසා.
හපුතලේ ඉදන් වැලිමඩ පාරේ කිලෝමීටර 3ක් විතර ගියාම ඇඩිසම් බංගලාවට ලගාවෙන්න පුළුවන්. ගම්වැසියන් ගල් බංගලාව කියන නමින් හදුන්වන මෙහි අද තියෙන්නේ සිල්වෙස්ත්‍රෝ - ‍බෙනදිකාන නිකායේ ඉගැන්වීම ්සිදු කරන තාපසාරාමයක්. ඒ නිසා මහ සිකුරාදා සහ නත්තල් දිනය හැර සියලු සති අන්ත වලත් පෝය සහ රජයේ නිවාඩු දවස් වල විතරක් උදේ 9.00 ඉදන් සවස 4.00 වෙනකම් මේක බලන්න යන්න පුළුවන්. තංගමලේ අභය භූමිය මධ්‍යයේ තියෙන නිසා බලන්න යද්දී කැලේ මැදින් සකස් කරපු මාර්ගයක් දිගේ තමයි යන්න ඕනි.

දෙපාරක් එංගලන්තයේ අගමැති ධූරය හොබවපු ජෝන් රසල් මහත්මයාගේ මුණුබුරා වුන තෝමස් ලිස්ටර් විලර්ස් තමයි මේ බංගලාවේ නිර්මාතෘ වෙන්නේ. ඔහුගේ පියා හෙන්ඩ්‍රි මොන්ටේගු කියන දේවගැතිවරයායි. මව ජෝන් රසල්ගේ දියණිය වුන වික්ටෝරියා රසල් ය. ඔහු ලංකාවට එන්නේ තමන්ගේ පළමු රැකියාව වුන බොගවන්තලාව පල්ලේබැද්ද වතුයායේ ආධුනික වතු පාලකවරයා විදිහට වැඩ කරන්න. පසුව ජෝර්ජ් ස්ටුවර්ට් වැවිලි සමාගමේ සභාපති ධූරයට පත්වෙනවා. ඒ කාලේදි තමයි තෝමස් ලිස්ටර් විසින් මෙම බංගලාව නිර්මාණය කරන්නේ. ඔහුගේ උපන්ගම සිහිවීම පිණිස මෙයට ඇඩිසම් යන නම ලබා දෙන්නේත් ඔහු විසින්මයි.
1929 වර්ෂයේදී ආරම්භ කරන මෙම බංගලාවේ වැඩ නිම වෙන්නේ 1931 වර්ෂයේදීයි. මෙම මන්දිරය සදහා අවශ්‍ය කරන සියලු ගල් ලංකාවෙන් සොයා ගත්තා වුනත් ඇතුලත භාවිතා කරපු සියලු දේ එංගලන්තයෙන් ගෙනාපු දේවල්. එංගලන්තයෙන් ආව සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ආර්. බොත් සහ එෆ් වෙබ්ස්ටර් යන නිර්මාණකරුවන් දෙදෙනා විසින් ඉදි කරපු මෙම බංගලාව සදහා කම්කරුවන් අරන් ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියානෙුයි. ටියුඩර් සම්ප්‍රදායෙන් නිම කරපු මේ මන්දිරයේ වහලය බුරුම තේක්ක ලී පටි වලින්ද සියලු ජනෙල් දොරවල් හා බිම සදහා ද බුරුම තේක්ක ලීය යොදාගෙන තියෙනවා. එසේම මෙහි කාමර උණුසුම්ව තබා ගැනීම සදහා තාප උදුන් ද දකින්න පුළුවන්. ඇඩිසම් බංගලාවේ ප්රධානතම කාමරා දෙකකි. ඒ Blue Room සහ Horse Shoe Room වන අතර ඒවා සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එම මැතිණිය එවන්ලි හෝම් විසින් භාවිතයට ගැනුනු ඒවාය. මෙම බංගලාව සදහා අවශ්ය ගෘහභාණ්ඩ, පාපිසි, පිගන් භාණ්ඩ සහ විදුරු භාණ්ඩ යන සියල්ලම එංගලන්තයෙන් ගෙන එන ලදී. සම්පූර්ණ මන්දිරය කාමර 25කින් සමන්විත වන අතර උඩු මහළ කාමර 12කින් සමන්විතයි. සෑම කාමරයක්ම උණුසුම් කිරීම සදහා ගල් අගුරු උදුන් නිර්මාණය කරල තියෙනවා. ඒවායින් පිටවන අළු ඉවත් කිරීම සදහා විශේෂ භ්‍රමණාකාර කවුළු 6ක් වහල මත ඉදි කරල තියෙනවා. වසර දෙකකට වරක් මෙම වහලය ආරක්‍ෂා කිරීම සදහා විශේෂිතව සකසන ලද තෙල් වර්ගයක් ඒ මත ආලේප කරනු ලැබේ.
කාමර සදහා උණුවතුර සැපයීම සදහා විශාල බොයිලේරුවක් ද කලාත්මක හා පෞරාණික බව ඇති කර ගැනීම සදහා තේක්ක ලීයෙන් කල විවිධ කැටයම් සිවිලිමේ තැන තැන දකින්න පුළුවන්. විලර්ස් මහතාගේ බිරිද විසින් සිතුවම් කරන ලද නිර්මාණ සහ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කරන ලද තෝමස් ලිස්ටර් මහතාගේ ආලේඛ්‍ය ඡායාරූපයක්ද මෙහි දකින්න පුළුවන්. 
පැහැදිලි දවසක තොටපොල කන්ද, හග්ගල, පිදුරුතලාගල කන්ද, නමුණුකුල හා උඩපුස්සැල්ලාව කදු පන්තියත් ඇතුලුව සැතුම් ගණනාවක් පුරා විහිදුණු කදු පන්ති ගණනාවක්ම මේ මන්දිරයේ ඉදන් බලන්න පුළුළුන්. 
අක්කර 15ක භූමියක් පුරා විසිර ඇති මෙම මන්දිරය අවට විවිධ පළතුරු වර්ග වගා කරනවා. මන්දිරයේ අවශ්‍යතා සදහා ඒවායින් විවිධ බීම වර්ග හදා ගන්නවා. කිසිදු යාන්ත්‍රික ක්‍රමයකින් තොරව නිෂ්පාදනය කරනු ලබන මෙම බීම වර්ග මිළදී ගැනීමේ හැකියාවත් බලන්න එන අයට තියෙනවා. 
1948 දී මෙම මන්දිරය විකුණා දමා සිය බිරිද සමග නැවත එංගලන්තය බලා පිටත් වෙනවා. එය රුක්මණි බෙලාගම්මන මැතිණිය විසින් මිළට ගෙන පසුව 1951 දී සේදවත්ත වැවිලි සමාගම විසින් මිළට ගනු ලබනවා. එයින් පසු විමලා විජේවර්ධන මහත්මිය විසින් මිළදී ගත් මෙය 1962 දී රෝමානු කාතෝලික සභාවට විකුණා දමනවා. එයින් පසු සිල්වෙස්ත්‍රෝ - බෙනඩික්ට් තාපසාරාමය බට සංවර්ධනය කර අද දක්වාම "යාච්ඥාන හා වැඩකිරීම" යන ශුද්ධ වූ බෙනඩික්ට්තුමාගේ ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් පූජකවරුන් පුහුණු කිරීම හා දැනුම සංවර්ධන වැඩපිලිවෙල සිදු කරමින් පවත්වාගෙන යනවා. මේ අපූර්ව මන්දිරය නිර්මාණය කල සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 දෙසැම්බරි 21 වන දින එංගලන්තයේ දී තම අවසන් ගමන් යනවා.

ඡායාරූපවලට දිය සළකුණක් යොදමු

අපි ගන්න ඡායාරූපවලට දිය සළකුණක් යොදන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්ණයක්. අද බොහෝම කාලෙකින් මේ ලිපිය ලියන්නේ ආයෙමත් ඒ ප්‍රශ්ණය මගෙන් අහපු නිසා. හරි දැන් අපි බලමු මේ වැඩේ කොහොමද කර ගන්නේ කියල. (මතක තියා ගන්න මේක එක ක්‍රමයක් විතරයි)

මුලින්ම අපි අපිටම කියල දිය සළකුණක් හදාගෙන ඉන්න ඕන. ඒක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. අපි අපේ ආයතනය අපි පාවිච්චි කරන නම වගෛ් දෙයක් මේ සදහා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු පොඩි පින්තූරයකුත් නමකුත් ඇතුලත් විදිහේ දිය සළකුණක් හදා ගන්න හැටි බලමු. ඔයාල භාවිතා කරන්න කැමති ලොගෝ එකක් පින්තූරයක් ඇඩෝබි ඉලස්ට්‍රේටර් වලින් ඇද ගන්න පුළුවන්. ඒ ඇද ගත්ත පින්තූරය හරි අන්තර්ජාලයෙන් ගත්තු පින්තූරයක් හරි පාවිච්චි කරල පොටෝෂොප් වලින් මේ වැඩේ කරන්න පුළුවන්.

මුලින්ම අලුත් ෆයිල් එකක් ඕපන් කරල ඒකට 3000 x 3000 px විතර දෙන්න. දැන් ඒක උඩ ඔයාලට ඕන විදිහේ දිය සළකුණ නිර්මාණය කර ගන්න. මම මේකෙදි පින්තූරයක් හා අකුරු පේලියක් භාවිතා කරනවා. දෙවැනියට අපි පින්තූරය ඒන ගානට crop කරගෙන Background Layer එක hide කරගන්නවා. දැන් අපි ගාව තියෙන පින්තූරය PNG එකක් විදිහට Save කරගන්න ඕන. ගොඩක් වෙලාවල් වලදී මම කලු සහ සුදු කියන වර්ණ විතරක් ඇතුලත් වෙන්න මේ Watermark එක හදා ගන්නවා. මොකද ඒක අපිට පහසුවෙන් ඕන තැනක භාවිතා කරන්න පුළුවන් නිසා.





දැන් අපි හදාගත්ත පින්තූර Watermark එක අපි ලග තියෙන පින්තූර වලට දාන්නේ කොහොමද කියල බලමු. 

මේක එක පින්තූරයකට විතරක් දාන්න නම් ඔයාලට අවශය පින්තූරය උඩින් වෙනම Layer එකක් විදිහට අපේ මේ Watermark එක දාගෙන ඒක ඕන විදිහට Resize කරල අවශ්‍ය නම් Image --> Adjustment --> Invert හෝ Ctrl + I භාවිත කරපු Watermark එක Invert කරගන්න පුළුවන්. (කලු සුදු වලින් Water mark එක create කරල තිබුනා නම් වැඩේ අපූරුවට කරන්න පුළුවන්)




හරි දැන් පින්තූර 100 - 200 ක් විතර තියෙනවා නම් මේ වැඩේ කරන්න බැහැනේ. අන්න ඒ වගේ වෙලාවන් වලදී අපිට පුළුවන් Photoshop වල Action එකක් Create කර ගන්න. එතකොට අපිට පින්තූර සියල්ලටම අපේ දිය සළකුණ එකපාර දා ගන්න පුළුවන්.

මේකෙදි එක පින්තරයක් Open කරල ඒකට අපිට සිදු විය යුතු දේවල් කරන ගමන් ඒ සියලු පියවර Record කර ගැනීමක් කරනවා. පස්සේ ඒ පියවර සියල්ල අනුපිළිවෙලින් පින්තූර සියල්ලටම සිදු කරන එක තමයි කරන්නේ.

හරි දැන් මුලින්ම පින්තූරයක් Open කරගෙන Windows --> Actions හෝ Keyboard එකේ Alt + F9 යොදන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ Dialog box එකක් බලා ගන්න පුළුවන්.

එතැනින් Create New Action තෝරාගෙන Action එකට නමත් තෝරාගත යුතු වෙනවා. ඒ වගේම අපේ Action එක වර්ගීකරණය කරන්නත් අපිට අවස්ථාව තියෙනවා. ඒක Set කියන option එක මගින් වෙන් කරන්න පුළුවන්.



දැන් Record කියන එක Click කරන්න. මෙතැන් ඉදන් සියල්ල Record වෙන්න පටන් ගන්නවා. ඒක Action Pallet එකේ රතුපාට Record Icon එකෙන් බලා ගන්න පුළුවන්. මෙතැනදී පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි පින්තූර වල අනුපාතය. අනුපාතය මත තමා පින්තූරයේ දිය සළකුණ වැටෙන තැන තීරණය වෙන්නේ ඒ නිසා මම නම් සාමාන්‍යයෙන් පින්තූරය සදහා පළවෙනි පියවර විදිහට පින්තූරය Resize කරනවා.


දැන් අර මුලින්ම තනි පින්තූරයකට කල වැඩ ටික කරල Layers ටික Merge කරල පින්තූරය Save කරල Close කරන්න. සියල්ල අවසන් වුනාම Action Pallet එකේ Stop Recording කියන කමාන්ඩ් එක දෙන්න. දැන් ඔයාලගේ Action එක Create වෙලා ඉවරයි.

දැන් ඉතින් ඔයාලගේ පින්තූර වලින් Water Mark ක්රන්න ඕන පින්තූර ටික Copy එකක් අරන් වෙනම Folder එකකට දා ගන්න. දැන් File --> Automate --> Batch කියන එකට යන්න.

Play යටතේ තියෙන Set වලින් වර්ග කරල තියෙන Action එක තෝර ගන්න. පින්තූර තියෙන Folder එක Source විදිහටත් Water Mark කරල අවසන් ඡායාරූප වෙනම තැනක Save වෙන්න නම් Destination එකකුත් දෙන්න පුළුවන්.




දැන් ඉතින් වැඩේ හරි.. මේක එක ක්‍රමයක් විතරයි. විවිධ ක්‍රම තියෙනවා. ඒ නිසා තමන්ගේම ක්‍රමයක් ආවේණික කර ගන්න. කොහොම වුනත් ගොඩක් පින්තූර වලට එකවර දිය සළකුණු කරන්න නම් මේ ක්‍රමය වඩා හොදයි කියලයි මම නම් හිතන්නේ. 

කරල බලල ඔයාලගේ අදහසක් ලියන්න කමෙන්ටුවක් විදිහට.. ස්තූතියි.

මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස - රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි. 

වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත් අපේ නිවාඩු එක්ක අපිට තිබුනේ මේ දිනය විතරයි. ඒ නිසා වර්ෂාව කොහොම වැටුනත් යනවා කියන අධිෂ්ඨානය එක්ක අපේ ගමන තීරණය වුනා. ඒ පිදුරුතලාගල කන්දේ එක් කෙලවරක තියෙන Chariot path එහෙමත් නැතිනම් කරත්ත පාර දිගේ යන්න. අපි චැරියට් පාත් කියන නමින් මේක හැදින්නුවා වුනත් ගම් වැසියන් නම් මේ තැනට කියන්නේ පිට්ටනි කියලයි.

නුවර එළියේ ඉදන් නුවර බස් රථයක පැමිණ පුස්සැල්ලාවට පැමිණි අප එතැනින් දිනයේ කීප වරක් පමණක් යන පෙරට්ටාසි බස් රථය පැමිණෙන තුරු බලා සිටියෙමු. ඒ අතරතුර කදවුරු බැදීම සදහා අවශ්‍ය ආහාරපාන ආදිය මිළදී ගත්තෙමු. බසු රථයෙන් ගමන් කල යුතු දුර කිලෝමීටර 12ක් පමණ වුවද පැයකට වැඩි කාලයක් ගමනට ගත විය. එයට හේතු වන්නේ කදු මුදුන දෙසට තිබූ මාර්ගය ද ඉතා අබලන් තත්වයේ වීමයි. වතු කර්මාන්තයේ නියැලෙන ද්‍රවිඩ කම්කරුවන්ගේ නිවාස හා ගම් බිම් මේ මාර්ගයේ තිබෙන නිසා ත් ඔවුන්ගේ එකම ප්‍රවාහන සේවය මෙය වන නිසාත් බස්රථය තුල අධික සෙනගක් දැකිය හැකිය. ගම් වැසියන්ගේ සියලු අවශ්‍යතා සදහා වූ ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මෙම බස්රථයේ බැවින් මෙය බසයකට වඩා ලොරි රථයක් යැයි සිතෙනු නොඅනුමානය. මේ ගමන අතරවාරයේදී කොත්මලේ ජලාශයේ අපූරු දසුනක් දකින්නත් හැමෝටම අවස්ථාව ලැබෙනවා.

පෙරට්ටාසි ගම කෙලවර වූ තැන ඇති ෆ්‍රොටොෆ්ට් වතුයාය මැදින් ආරම්භවෙන මෙම ගමන වනාන්තරය ආසන්නයට යනතුරුම වතුයාය මැදින් වැටුනු ජීප්රථ මාර්ගයේ යා යුතු වනවා. දැන් නම් මේ වතු යාය දම්රෝ ආයතනය විසින් මිළදී ගෙන තියෙන බවයි ආරංචිය. කෙසේ වෙතත් මේ වතු යායෙන් ගමන් කරද්දී පරෙස්සම් විය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි වතු කම්කරුවන් ටිකට් කඩන්න පටන් අරන් තියෙන විදිය. ඒ පිළිබදව අපට ලැබුණු අත්දැකීම නම් මෙන්න මේ විදිහයි.

අපේ කණ්ඩායමේ සිටි අය ගණන 09ක්. අපිට නියම උන ටිකට්පතේ මිල රුපියල් 2000ක් නමුත් ටිකට් පත ලියැවෙන්නේ කාබන් පිටපතේ කිසිවක් නොලියවෙන විදිහට කඩදාසියක් තියලයි. මේ වගේ අවස්ථා මට ඕනෑ තරම් හමුවී තිබෙන නිසා ඒ පිළිබද විමසීමක් කලා විතරක් නෙවෙයි වතු නිළධාරියාගේ දුරකතන අංකය ඉල්ලාගෙන එම දුරකතනයට කතා කලා. එවිට දෙවැනි පාර්ශවයෙන් දුන් පිළිතුර අනුව නම් ටිකට් පත එක් අයෙකුට රුපියල් 100ක් බවත් වනාන්තර අඩිපාර සොයාගැනීම දක්වා මාර්ගඋපදේශකයෙකු ද ලබා දෙන බවයි. කෙසේ වෙතත් කාබන් පිටපතෙහිද සටහන් වන අයුරින් ටිකට්පත ලබාගත් අපට න්ම මාර්ගෝපදේශකයෙකු ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් මාර්ගය සොයාගෙන වනාන්තර අඩිපාරට වැටුනු අපි Zig-Zag ආකාරයට වැටුණු මාර්ගයක් දිගේ කදු මුදුනට ඇදෙන්නට වුනා. මෙම මාර්ගය ඉහලට ඇදෙන්නට තියෙන්නේ ඉතා කුඩා අඩි පාරක් වගේම කටුක කදුකර පරිසරයේ පවතින ශුෂ්ක ශාක තිබෙන නිසා ඇගපත සීරෙන එක නම් නොඅනුමානයි. අඩිපාර දිගේ ඉහලට අදෙද්දී පරිස්සමින් මාර්ගය තෝරාගත යුතු වෙනවා. මග වැරදීමෙන් කදු මුදුනට යාමට තිබෙන අසීරු මාර්ගයන්ට වැටෙන්නට සිදුවෙනවා මෙන්ම අප ගමන අවසන් කල යුතු ස්ථානයට වඩා වෙනස් තැනකින් අපේ ගමන අවසන් කරන්න වෙන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි කදුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩෙවිය වන බැවින් රාත්‍රියට ප්‍රථම මෙම කැලෑව තරණය කරනවා නම් තමයි හොද. Zig-Zag ආකාර මාර්ගය තැනීමේ ක්‍රමවේදයේ හදුනා ගැනීමෙන් මාර්ගය වරදින තැන් නම් අඩු කර ගන්න පුලුවන්. කොටියා, වල් ඌරා වැනි සතුන් රාත්‍රියේදී සිටි බවට සාක්‍ෂි නම් මේ අඩිපාරවල් අවට ඕනෑ තරම් දකින්න පුලුවන්.

කදුකර කුරු ශාක විවිධත්වය එක්වරම අවසන් කරමින් අප පිවිසියේ මනරම් තණ පිට්ටනියකටයි. ඒ කදු මුදුනේ අපගේ කූඩාරම් භූමිය බවට තේරුම් යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. කූඩාරම් උපකරණ, ආහාර හා කැමරා උපකරණ සියල්ල එක් වූ මාගේ බෑගයේ බර බිමින් තබා විවේක ගැනීම සදහා සම්පූර්ණ අවකාශය ලද මා මිනිත්තු කීපයක් තණ බිස්ස මත වැඩී සිටින්නට විය. ඒ මොහොතේ දහඩිය සිදී කදු මුදුනේ සීතල සුලග මා වෙනුවෙන් ලබා දුන් සහයෝගය නම් කිසිදා අමතක නොවනු ඇත. ඒ වන විටත් කදු මුදුනේ කදවුරු බැදීම සදහා කණ්ඩායම් කීපයක් පැමිණ ඇති බවත් අපගේ කදවුර සදහා ස්ථානයක් තෝරාගත යුතු බව මතක් වූ නිසාත් මාගේ වෙහෙස නිවා ගැනීම සදහා තවත් කාලයක් ගත වන බව පසක් විය. 

කණ්ඩායමේ සියල්ලේ කදුමුදුනට පැමිණ මද වේලාවක් යන තුරු විඩා නිවා රාත්‍රී කදවුරු බැදීමේ කටයුතු ආරම්භ කරන්නට විය. කදුමුදුන නිමනයක ආකාරයෙන් සැකසුනු ස්ථානයක කුඩා දියපහරක් මෙන්ම ජලය පිරුණු වලවල් කීපයක් තිබේ. ඒවායෙන් පිරිසිදු ජලය අපගේ අවශ්‍යතාවයන් සදහා ලබාගත හැකිය. ආහාර පිසීම, ගිණිමැලයක් සූදානම් කිරීම ආදී කටයුතු සියල්ල අවසන අප මදක් විවේක ගනිමින් කලකට පසු හමුවූ අපගේ සතුටු සාමිච්චියක යෙදෙන්නට විය. රාත්‍රිය ගීත ගායනා කරමින් සිටි අපට තවත් කූඩාරම් නඩයකගේ ආරාධනයෙන් ඔවුන් සමගින්ද ගීත ගායනා කරමින් විනෝද වන්නට අවකාශ සැලසුණි. මේ සියල්ල අවසන කූඩාරම් තුල සීතල සුලගින් වටවී ඇති කදුමුදුනේ අප නින්දට ගියේ උදෑසනම අවදිවීමේ බලාපොරොත්තු ඇතිවය. 

චැරියට් පාත් හි විශේශත්වය හා ඉතිහාස කතාන්දරයද ඉතා අපූර්වත්වයක් ගෙන එනු නිසැකය. උදෑසන අත්දැකීමට ප්‍රථම එය සදහන් කල යුතු යැයි සිතමි. මෙය රාවණ රජුන්ගේ ඉතිහාසයේ ඔහු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානයට රැගෙන ගිය බවත් ඒ යන අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත් එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බවත් පැවසේ. මෙහි ඇති දිය වලවල් හා කුඩා පොකුණු සීතා දේවියගේ කදුලින් පිරී පවතින බවටත් කියවේ. කෙසේ වෙතත් මෙහි කුරු ශාක විවිධත්වය නෙමැතිව තණ කොල පිරි පිට්ටනියක ආකාරයේ වෙනස්ම ආකාරයක් දකින්නට ලැබෙන අතර දිය පොකුණු වියළි කාලයේදීවත් නොසිදෙන බව කියවේ.


කදු මුදුනේ අති නැරඹුම් ස්ථානයකි. පාන්දරින් එයට නැගි අපට හැටන් මාර්ගය වැටී ඇති පසින් ශ්‍රී පාදය ද දොලොස්බාගේ කදු පන්තිය හා පිදුරුතලාගල කදු පන්තියත් දකින්නට පුලුවන්. කොත්මලේ සානුව හා කොත්මලේ වැව දකින දර්ශනයත් ඉතා අපූරුයි. උදෑසන සීතලත් වරින් වර සැමදෙන නොපෙනී යන තරමින් වැටෙන මීදුමත් නිසා දැනෙන සුන්දරත්වය වචන වලින් විස්තර කරන්නට බැරි තරම් සුන්දරයි. මේ සියල්ල අවසානයේ අප අඩි සටහන් හැරෙන්නට අන් සියලු දේ රැගෙන නැවතත් ගම් බිම් බලා එන්නට පිටත් වුනේ අප කදු නැගි මාර්ගයෙන්මයි.

මගේ ගමන් බිමන් එකසිය එකොලොස්වන කොටස - පැට්නා

හැමදාමත් මගේ ගමන් බිමන් එක්ක එකතුවෙලා හිටි මිතුරු මිතුරියන් වෙනුවෙන් ලියන්න තරම් කාලයක් නොමැති නිසා පොඩි ප්‍රමාදයක් තිබුනා වුනත් ඕන ආයෙමත් ලිපියක් එක්ක ආව. ඒ කොයි කවුරුත් ආසාවෙන් යන්න දලන තැනක් ගැන විස්තරයක් එක්ක. ඒ තමයි පැට්නා.
 
දෙනියායේ තියෙන හරිම අපූරු විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි පැට්නා කියන්නේ. එනසල්වත්ත වතුයායේ පැට්නා කියන කොටසට අයිති මෙම ස්ථානය වඩා ප්‍රසිද්ධ වෙන්නේ "බුරුස් ගල" නමින් හඳුන්වන දිය සීරාව තියෙන ලිස්සා යා හැකි කොටස නිසාවෙන්.  දෙනියායේ ඉන් විහාරහේන මාර්ගයේ ඇවිත් එතැනින් එනසල්වත්ත මාර්ගයට හැරෙන්න ඕන. ඒ පාර දිගේ ගියාම පැට්නා නැරඹුම ලගට එන්න පුළුවන්. එතැනින් පස්සේ තේවත්ත මැදින්  පොඩි දුරක් පයින් යන්න වෙනවා. එවිට පැට්නා "බුරුස් ගල" නමින් හඳුන්වන තැනට එන්න පුළුවන්.
ගිං ගඟ පහලට ජලය ගලා යන තැනකින් ස්වභාවිකව නිර්මාණය වුන මෙම ස්ථානයේ විශාල පිරිසකට එකවර විනෝද වෙන්න පුළුවන් වගේම මේ තැන ඉන් ටිකක් පහලට ඇවිදගෙන යද්දී දිය ඇලි කීපයකුත් නරඹන්න පුළුවන්. ගල ඉහලට නැගල කට්ටිය එක්ක පේලියට ගල දිගේ ලිස්සල එන්න පුළුවන් වගේම ජල පහරේ නාල විනෝද වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ලිස්සන තැන වැඩිය වැඩ දාන්න ගිහින් දත් එහෙම නැති කරගත්ත අයත් නැතිවාමනොවෙයි. 
 
විනෝද වෙන්න දවසක් ගත කරන්න අපූරු තැනක් වගේම කෑම බීම ගෙනියන්නත් කිසිම තහනමක් නැති නිසා දවසම උනත් ඉල එන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ගිය බොහෝමයක් අය ගමන් ගෙනියන ප්ලාස්ටික් වගේ දේවල් මෙතැන දාල ඇවිත් නිසා තව ටික කාලෙකින් තහනමට ලක්වෙයිද කියන්න බැහැ. ඒ නිසා තව කෙනෙකුට මේ සුන්දරත්වය විඳින්න ඉඩ තියල මේ තැනට ගිහින් එන්න කියල ඔයාලට මතක් කරනවා.


එදා මෙදාතුර කඳුළට විවරවු

මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය වී ඇති මෙම ගීතය එකි රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ. 

ඉතිහාසය අනුව නම් ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන්ගේ විරුද්ධත්වය ඇතිව තිබේ. ඒ නිසා සියදිවි හානිකරන්නා පෙම්වතිය නිසාවෙන් දුක්වන ඇගේ පියා ඔහුට නිවසට ආරාධනා කරයි. කිසිත් නොදන්නා ඔහු පෙම්වතියගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ පියා විරෝධතාවන් පසෙකලා ඔහුන්ගේ ආදරයට එකඟ වී ඇති බව සිතමිනි. නමුත් නිවසේ සුදු කොඩි දකින ඔහු තවමත් සිතන්නේ ඇයගේ ඥාතියෙකුගේ මරණයක් ලෙසයි. නමුත් ඔහු නිවසට ඇතුලුවන විට ඔහු දකින්නේ තම ආදරය නිසොල්මන්ව සිටින රුවයි. ඒ දකින ඔහුගේ සිතුවිලි මේ ලෙසින් ගීතයක් බවට පත්ව ඇත.

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

කතා නායකයා පරාජිත ප්‍රේමවන්තයෙකි. ඔහුට අහිමිව ඇත්තේ ප්‍රේමය පමණක්ම නොවේ. ආදරයට විරුද්ධ වූ දෙමාපියන් නිසාවෙන් සියදිවි හානිකරගත් පෙම්වතියක් ඔහුට සිටී. එවිට ඔහු මෙලෙස සිතයි. ඇය තමා නිසා දුකින් සිටියා. ආදරයට විරුද්ධ වූ දෙමාපියන් නිසාවෙනුත් ඇය දුකින් කාලය ගත කලා. ඒ කඳුලු වලටම විවරවෙලා තිබුන දෙනෙත් දැන් පියවිලා. ඔවුන්ගේ ආදරය නිසා සිනාවන් පිරිල තිබුන ඇයගේ රතු දෙතොල් අද පියවිලා තියෙන්නේ. මියැදිලි තියෙන කම්මුල් වල ඉස්සර තිබුන රෝස පැහැය වෙනුවට අද තියෙන්නේ සුදුමැලි පාටක්. මේ සියල්ල එක්ක පපුවට අත් බැඳගෙන මටත් නොකියාම ඇය ජීවිතයෙන් සමු අරන් යන්න ගිහින්.

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්

ඇස් රිදෙන තරම් දුකක් ඇවිත් ඇස් වලින් කඳුලු බේරෙන්නේ මටත් නොදැනිමයි. ඒ දුක තුනී කරගන්න කොයි කවුරු බලාගෙන හිටියත් ඒ අය මාව නොදන්නවා වුනත් මට හිතෙන්නේම ඇගේ දෙතොල් සිප ගන්න. අවසාන වතාවට ඇගේ මුහුණ සිඹින්නට. ඒ කාලයෙ අපේ ආලයට විරුද්ධ වුන හැමෝම දැන් මොකුත් නොදන්නවා වාගේ ඔබෙන් සමුගන්න සුවඳ පැන් වලින් ඔබේ මුව සෝදනවා වුනත් මම දන්නවා ඔබේ සුවඳට ඒ දේවල් ඕන වෙන්නේ නෑ කියල. ඒ නිසා කවදාවත්ම මමවත් මගේ හිතවත් ඔබෙන් ඈත්වෙන්නේ නෑ.

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

කිසිම වයසක් නැතිව තරුණ කාලයේ ආකාලයේ මිය යන්න පෙරුම් පුරාගෙන උපදින්න ඇති නමුත් කෙටි කාලයකදී ඇති වුන ආදරයක් මහා දුරක් ගිහිල්ලා ඒක නැතිවෙලා යන්නේ නෑ. නමුත් දැන් ඔබ නැහැ. මම විතරක් මේ ලොකයේ තනිවෙලා. ඇයි එහෙම වුනේ කියල තේරෙන්නේ නෑ. නමුත් මතු සංසාරයේ දවසක ආයෙමත් වෙන් නොවෙන්න පෙරුම් පුරමු. ආයේ උපදිද්දී අපේ ආදරය අපිට ජයගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනාවක් ඔහු කරනවා.

අවසානයේ ඔහුගේ ප්‍රාර්ථාව ඇය එක්ක මතු සංසාරයේදීවත් ආදරයෙන් බැඳිල එකතුවෙන්න. ඒ එක්කම ඔහු ඉඟි කරනවා ඔහුගේ ජීවිතය තවදුරටත් පවතින එකක් නැති බවත්.

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
රචනය - විමල් ජයශාන්ත
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි