මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස - රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි. 

වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත් අපේ නිවාඩු එක්ක අපිට තිබුනේ මේ දිනය විතරයි. ඒ නිසා වර්ෂාව කොහොම වැටුනත් යනවා කියන අධිෂ්ඨානය එක්ක අපේ ගමන තීරණය වුනා. ඒ පිදුරුතලාගල කන්දේ එක් කෙලවරක තියෙන Chariot path එහෙමත් නැතිනම් කරත්ත පාර දිගේ යන්න. අපි චැරියට් පාත් කියන නමින් මේක හැදින්නුවා වුනත් ගම් වැසියන් නම් මේ තැනට කියන්නේ පිට්ටනි කියලයි.

නුවර එළියේ ඉදන් නුවර බස් රථයක පැමිණ පුස්සැල්ලාවට පැමිණි අප එතැනින් දිනයේ කීප වරක් පමණක් යන පෙරට්ටාසි බස් රථය පැමිණෙන තුරු බලා සිටියෙමු. ඒ අතරතුර කදවුරු බැදීම සදහා අවශ්‍ය ආහාරපාන ආදිය මිළදී ගත්තෙමු. බසු රථයෙන් ගමන් කල යුතු දුර කිලෝමීටර 12ක් පමණ වුවද පැයකට වැඩි කාලයක් ගමනට ගත විය. එයට හේතු වන්නේ කදු මුදුන දෙසට තිබූ මාර්ගය ද ඉතා අබලන් තත්වයේ වීමයි. වතු කර්මාන්තයේ නියැලෙන ද්‍රවිඩ කම්කරුවන්ගේ නිවාස හා ගම් බිම් මේ මාර්ගයේ තිබෙන නිසා ත් ඔවුන්ගේ එකම ප්‍රවාහන සේවය මෙය වන නිසාත් බස්රථය තුල අධික සෙනගක් දැකිය හැකිය. ගම් වැසියන්ගේ සියලු අවශ්‍යතා සදහා වූ ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මෙම බස්රථයේ බැවින් මෙය බසයකට වඩා ලොරි රථයක් යැයි සිතෙනු නොඅනුමානය. මේ ගමන අතරවාරයේදී කොත්මලේ ජලාශයේ අපූරු දසුනක් දකින්නත් හැමෝටම අවස්ථාව ලැබෙනවා.

පෙරට්ටාසි ගම කෙලවර වූ තැන ඇති ෆ්‍රොටොෆ්ට් වතුයාය මැදින් ආරම්භවෙන මෙම ගමන වනාන්තරය ආසන්නයට යනතුරුම වතුයාය මැදින් වැටුනු ජීප්රථ මාර්ගයේ යා යුතු වනවා. දැන් නම් මේ වතු යාය දම්රෝ ආයතනය විසින් මිළදී ගෙන තියෙන බවයි ආරංචිය. කෙසේ වෙතත් මේ වතු යායෙන් ගමන් කරද්දී පරෙස්සම් විය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි වතු කම්කරුවන් ටිකට් කඩන්න පටන් අරන් තියෙන විදිය. ඒ පිළිබදව අපට ලැබුණු අත්දැකීම නම් මෙන්න මේ විදිහයි.

අපේ කණ්ඩායමේ සිටි අය ගණන 09ක්. අපිට නියම උන ටිකට්පතේ මිල රුපියල් 2000ක් නමුත් ටිකට් පත ලියැවෙන්නේ කාබන් පිටපතේ කිසිවක් නොලියවෙන විදිහට කඩදාසියක් තියලයි. මේ වගේ අවස්ථා මට ඕනෑ තරම් හමුවී තිබෙන නිසා ඒ පිළිබද විමසීමක් කලා විතරක් නෙවෙයි වතු නිළධාරියාගේ දුරකතන අංකය ඉල්ලාගෙන එම දුරකතනයට කතා කලා. එවිට දෙවැනි පාර්ශවයෙන් දුන් පිළිතුර අනුව නම් ටිකට් පත එක් අයෙකුට රුපියල් 100ක් බවත් වනාන්තර අඩිපාර සොයාගැනීම දක්වා මාර්ගඋපදේශකයෙකු ද ලබා දෙන බවයි. කෙසේ වෙතත් කාබන් පිටපතෙහිද සටහන් වන අයුරින් ටිකට්පත ලබාගත් අපට න්ම මාර්ගෝපදේශකයෙකු ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් මාර්ගය සොයාගෙන වනාන්තර අඩිපාරට වැටුනු අපි Zig-Zag ආකාරයට වැටුණු මාර්ගයක් දිගේ කදු මුදුනට ඇදෙන්නට වුනා. මෙම මාර්ගය ඉහලට ඇදෙන්නට තියෙන්නේ ඉතා කුඩා අඩි පාරක් වගේම කටුක කදුකර පරිසරයේ පවතින ශුෂ්ක ශාක තිබෙන නිසා ඇගපත සීරෙන එක නම් නොඅනුමානයි. අඩිපාර දිගේ ඉහලට අදෙද්දී පරිස්සමින් මාර්ගය තෝරාගත යුතු වෙනවා. මග වැරදීමෙන් කදු මුදුනට යාමට තිබෙන අසීරු මාර්ගයන්ට වැටෙන්නට සිදුවෙනවා මෙන්ම අප ගමන අවසන් කල යුතු ස්ථානයට වඩා වෙනස් තැනකින් අපේ ගමන අවසන් කරන්න වෙන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි කදුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩෙවිය වන බැවින් රාත්‍රියට ප්‍රථම මෙම කැලෑව තරණය කරනවා නම් තමයි හොද. Zig-Zag ආකාර මාර්ගය තැනීමේ ක්‍රමවේදයේ හදුනා ගැනීමෙන් මාර්ගය වරදින තැන් නම් අඩු කර ගන්න පුලුවන්. කොටියා, වල් ඌරා වැනි සතුන් රාත්‍රියේදී සිටි බවට සාක්‍ෂි නම් මේ අඩිපාරවල් අවට ඕනෑ තරම් දකින්න පුලුවන්.

කදුකර කුරු ශාක විවිධත්වය එක්වරම අවසන් කරමින් අප පිවිසියේ මනරම් තණ පිට්ටනියකටයි. ඒ කදු මුදුනේ අපගේ කූඩාරම් භූමිය බවට තේරුම් යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. කූඩාරම් උපකරණ, ආහාර හා කැමරා උපකරණ සියල්ල එක් වූ මාගේ බෑගයේ බර බිමින් තබා විවේක ගැනීම සදහා සම්පූර්ණ අවකාශය ලද මා මිනිත්තු කීපයක් තණ බිස්ස මත වැඩී සිටින්නට විය. ඒ මොහොතේ දහඩිය සිදී කදු මුදුනේ සීතල සුලග මා වෙනුවෙන් ලබා දුන් සහයෝගය නම් කිසිදා අමතක නොවනු ඇත. ඒ වන විටත් කදු මුදුනේ කදවුරු බැදීම සදහා කණ්ඩායම් කීපයක් පැමිණ ඇති බවත් අපගේ කදවුර සදහා ස්ථානයක් තෝරාගත යුතු බව මතක් වූ නිසාත් මාගේ වෙහෙස නිවා ගැනීම සදහා තවත් කාලයක් ගත වන බව පසක් විය. 

කණ්ඩායමේ සියල්ලේ කදුමුදුනට පැමිණ මද වේලාවක් යන තුරු විඩා නිවා රාත්‍රී කදවුරු බැදීමේ කටයුතු ආරම්භ කරන්නට විය. කදුමුදුන නිමනයක ආකාරයෙන් සැකසුනු ස්ථානයක කුඩා දියපහරක් මෙන්ම ජලය පිරුණු වලවල් කීපයක් තිබේ. ඒවායෙන් පිරිසිදු ජලය අපගේ අවශ්‍යතාවයන් සදහා ලබාගත හැකිය. ආහාර පිසීම, ගිණිමැලයක් සූදානම් කිරීම ආදී කටයුතු සියල්ල අවසන අප මදක් විවේක ගනිමින් කලකට පසු හමුවූ අපගේ සතුටු සාමිච්චියක යෙදෙන්නට විය. රාත්‍රිය ගීත ගායනා කරමින් සිටි අපට තවත් කූඩාරම් නඩයකගේ ආරාධනයෙන් ඔවුන් සමගින්ද ගීත ගායනා කරමින් විනෝද වන්නට අවකාශ සැලසුණි. මේ සියල්ල අවසන කූඩාරම් තුල සීතල සුලගින් වටවී ඇති කදුමුදුනේ අප නින්දට ගියේ උදෑසනම අවදිවීමේ බලාපොරොත්තු ඇතිවය. 

චැරියට් පාත් හි විශේශත්වය හා ඉතිහාස කතාන්දරයද ඉතා අපූර්වත්වයක් ගෙන එනු නිසැකය. උදෑසන අත්දැකීමට ප්‍රථම එය සදහන් කල යුතු යැයි සිතමි. මෙය රාවණ රජුන්ගේ ඉතිහාසයේ ඔහු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානයට රැගෙන ගිය බවත් ඒ යන අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත් එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බවත් පැවසේ. මෙහි ඇති දිය වලවල් හා කුඩා පොකුණු සීතා දේවියගේ කදුලින් පිරී පවතින බවටත් කියවේ. කෙසේ වෙතත් මෙහි කුරු ශාක විවිධත්වය නෙමැතිව තණ කොල පිරි පිට්ටනියක ආකාරයේ වෙනස්ම ආකාරයක් දකින්නට ලැබෙන අතර දිය පොකුණු වියළි කාලයේදීවත් නොසිදෙන බව කියවේ.


කදු මුදුනේ අති නැරඹුම් ස්ථානයකි. පාන්දරින් එයට නැගි අපට හැටන් මාර්ගය වැටී ඇති පසින් ශ්‍රී පාදය ද දොලොස්බාගේ කදු පන්තිය හා පිදුරුතලාගල කදු පන්තියත් දකින්නට පුලුවන්. කොත්මලේ සානුව හා කොත්මලේ වැව දකින දර්ශනයත් ඉතා අපූරුයි. උදෑසන සීතලත් වරින් වර සැමදෙන නොපෙනී යන තරමින් වැටෙන මීදුමත් නිසා දැනෙන සුන්දරත්වය වචන වලින් විස්තර කරන්නට බැරි තරම් සුන්දරයි. මේ සියල්ල අවසානයේ අප අඩි සටහන් හැරෙන්නට අන් සියලු දේ රැගෙන නැවතත් ගම් බිම් බලා එන්නට පිටත් වුනේ අප කදු නැගි මාර්ගයෙන්මයි.

මගේ ගමන් බිමන් එකසිය එකොලොස්වන කොටස - පැට්නා

හැමදාමත් මගේ ගමන් බිමන් එක්ක එකතුවෙලා හිටි මිතුරු මිතුරියන් වෙනුවෙන් ලියන්න තරම් කාලයක් නොමැති නිසා පොඩි ප්‍රමාදයක් තිබුනා වුනත් ඕන ආයෙමත් ලිපියක් එක්ක ආව. ඒ කොයි කවුරුත් ආසාවෙන් යන්න දලන තැනක් ගැන විස්තරයක් එක්ක. ඒ තමයි පැට්නා.
 
දෙනියායේ තියෙන හරිම අපූරු විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි පැට්නා කියන්නේ. එනසල්වත්ත වතුයායේ පැට්නා කියන කොටසට අයිති මෙම ස්ථානය වඩා ප්‍රසිද්ධ වෙන්නේ "බුරුස් ගල" නමින් හඳුන්වන දිය සීරාව තියෙන ලිස්සා යා හැකි කොටස නිසාවෙන්.  දෙනියායේ ඉන් විහාරහේන මාර්ගයේ ඇවිත් එතැනින් එනසල්වත්ත මාර්ගයට හැරෙන්න ඕන. ඒ පාර දිගේ ගියාම පැට්නා නැරඹුම ලගට එන්න පුළුවන්. එතැනින් පස්සේ තේවත්ත මැදින්  පොඩි දුරක් පයින් යන්න වෙනවා. එවිට පැට්නා "බුරුස් ගල" නමින් හඳුන්වන තැනට එන්න පුළුවන්.
ගිං ගඟ පහලට ජලය ගලා යන තැනකින් ස්වභාවිකව නිර්මාණය වුන මෙම ස්ථානයේ විශාල පිරිසකට එකවර විනෝද වෙන්න පුළුවන් වගේම මේ තැන ඉන් ටිකක් පහලට ඇවිදගෙන යද්දී දිය ඇලි කීපයකුත් නරඹන්න පුළුවන්. ගල ඉහලට නැගල කට්ටිය එක්ක පේලියට ගල දිගේ ලිස්සල එන්න පුළුවන් වගේම ජල පහරේ නාල විනෝද වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ලිස්සන තැන වැඩිය වැඩ දාන්න ගිහින් දත් එහෙම නැති කරගත්ත අයත් නැතිවාමනොවෙයි. 
 
විනෝද වෙන්න දවසක් ගත කරන්න අපූරු තැනක් වගේම කෑම බීම ගෙනියන්නත් කිසිම තහනමක් නැති නිසා දවසම උනත් ඉල එන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ගිය බොහෝමයක් අය ගමන් ගෙනියන ප්ලාස්ටික් වගේ දේවල් මෙතැන දාල ඇවිත් නිසා තව ටික කාලෙකින් තහනමට ලක්වෙයිද කියන්න බැහැ. ඒ නිසා තව කෙනෙකුට මේ සුන්දරත්වය විඳින්න ඉඩ තියල මේ තැනට ගිහින් එන්න කියල ඔයාලට මතක් කරනවා.