මගේ ගමන් බිමන් එකසිය දහතුන්වන කොටස - ඇඩිසම් බංගලාව

කාලෙකට පස්සේ ආයෙත් ආවේ අපූර්ව ස්ථානයක් ගැන ලිපියක් අරගෙන.. ඒ තමයි හපුතලේ තියෙන ඇඩිසම් බංලගාව ගැන.. හුගක් අය හපුතලේ පැත්තෙන් යනවා නම් මේ තැන බලන්න අමතක කරන්නේ නෑ.. ඒ මේ තැන හරි අපූර්ව මනස්කාන්ත ස්ථානයක් නිසා.
හපුතලේ ඉදන් වැලිමඩ පාරේ කිලෝමීටර 3ක් විතර ගියාම ඇඩිසම් බංගලාවට ලගාවෙන්න පුළුවන්. ගම්වැසියන් ගල් බංගලාව කියන නමින් හදුන්වන මෙහි අද තියෙන්නේ සිල්වෙස්ත්‍රෝ - ‍බෙනදිකාන නිකායේ ඉගැන්වීම ්සිදු කරන තාපසාරාමයක්. ඒ නිසා මහ සිකුරාදා සහ නත්තල් දිනය හැර සියලු සති අන්ත වලත් පෝය සහ රජයේ නිවාඩු දවස් වල විතරක් උදේ 9.00 ඉදන් සවස 4.00 වෙනකම් මේක බලන්න යන්න පුළුවන්. තංගමලේ අභය භූමිය මධ්‍යයේ තියෙන නිසා බලන්න යද්දී කැලේ මැදින් සකස් කරපු මාර්ගයක් දිගේ තමයි යන්න ඕනි.

දෙපාරක් එංගලන්තයේ අගමැති ධූරය හොබවපු ජෝන් රසල් මහත්මයාගේ මුණුබුරා වුන තෝමස් ලිස්ටර් විලර්ස් තමයි මේ බංගලාවේ නිර්මාතෘ වෙන්නේ. ඔහුගේ පියා හෙන්ඩ්‍රි මොන්ටේගු කියන දේවගැතිවරයායි. මව ජෝන් රසල්ගේ දියණිය වුන වික්ටෝරියා රසල් ය. ඔහු ලංකාවට එන්නේ තමන්ගේ පළමු රැකියාව වුන බොගවන්තලාව පල්ලේබැද්ද වතුයායේ ආධුනික වතු පාලකවරයා විදිහට වැඩ කරන්න. පසුව ජෝර්ජ් ස්ටුවර්ට් වැවිලි සමාගමේ සභාපති ධූරයට පත්වෙනවා. ඒ කාලේදි තමයි තෝමස් ලිස්ටර් විසින් මෙම බංගලාව නිර්මාණය කරන්නේ. ඔහුගේ උපන්ගම සිහිවීම පිණිස මෙයට ඇඩිසම් යන නම ලබා දෙන්නේත් ඔහු විසින්මයි.
1929 වර්ෂයේදී ආරම්භ කරන මෙම බංගලාවේ වැඩ නිම වෙන්නේ 1931 වර්ෂයේදීයි. මෙම මන්දිරය සදහා අවශ්‍ය කරන සියලු ගල් ලංකාවෙන් සොයා ගත්තා වුනත් ඇතුලත භාවිතා කරපු සියලු දේ එංගලන්තයෙන් ගෙනාපු දේවල්. එංගලන්තයෙන් ආව සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ආර්. බොත් සහ එෆ් වෙබ්ස්ටර් යන නිර්මාණකරුවන් දෙදෙනා විසින් ඉදි කරපු මෙම බංගලාව සදහා කම්කරුවන් අරන් ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියානෙුයි. ටියුඩර් සම්ප්‍රදායෙන් නිම කරපු මේ මන්දිරයේ වහලය බුරුම තේක්ක ලී පටි වලින්ද සියලු ජනෙල් දොරවල් හා බිම සදහා ද බුරුම තේක්ක ලීය යොදාගෙන තියෙනවා. එසේම මෙහි කාමර උණුසුම්ව තබා ගැනීම සදහා තාප උදුන් ද දකින්න පුළුවන්. ඇඩිසම් බංගලාවේ ප්රධානතම කාමරා දෙකකි. ඒ Blue Room සහ Horse Shoe Room වන අතර ඒවා සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එම මැතිණිය එවන්ලි හෝම් විසින් භාවිතයට ගැනුනු ඒවාය. මෙම බංගලාව සදහා අවශ්ය ගෘහභාණ්ඩ, පාපිසි, පිගන් භාණ්ඩ සහ විදුරු භාණ්ඩ යන සියල්ලම එංගලන්තයෙන් ගෙන එන ලදී. සම්පූර්ණ මන්දිරය කාමර 25කින් සමන්විත වන අතර උඩු මහළ කාමර 12කින් සමන්විතයි. සෑම කාමරයක්ම උණුසුම් කිරීම සදහා ගල් අගුරු උදුන් නිර්මාණය කරල තියෙනවා. ඒවායින් පිටවන අළු ඉවත් කිරීම සදහා විශේෂ භ්‍රමණාකාර කවුළු 6ක් වහල මත ඉදි කරල තියෙනවා. වසර දෙකකට වරක් මෙම වහලය ආරක්‍ෂා කිරීම සදහා විශේෂිතව සකසන ලද තෙල් වර්ගයක් ඒ මත ආලේප කරනු ලැබේ.
කාමර සදහා උණුවතුර සැපයීම සදහා විශාල බොයිලේරුවක් ද කලාත්මක හා පෞරාණික බව ඇති කර ගැනීම සදහා තේක්ක ලීයෙන් කල විවිධ කැටයම් සිවිලිමේ තැන තැන දකින්න පුළුවන්. විලර්ස් මහතාගේ බිරිද විසින් සිතුවම් කරන ලද නිර්මාණ සහ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කරන ලද තෝමස් ලිස්ටර් මහතාගේ ආලේඛ්‍ය ඡායාරූපයක්ද මෙහි දකින්න පුළුවන්. 
පැහැදිලි දවසක තොටපොල කන්ද, හග්ගල, පිදුරුතලාගල කන්ද, නමුණුකුල හා උඩපුස්සැල්ලාව කදු පන්තියත් ඇතුලුව සැතුම් ගණනාවක් පුරා විහිදුණු කදු පන්ති ගණනාවක්ම මේ මන්දිරයේ ඉදන් බලන්න පුළුළුන්. 
අක්කර 15ක භූමියක් පුරා විසිර ඇති මෙම මන්දිරය අවට විවිධ පළතුරු වර්ග වගා කරනවා. මන්දිරයේ අවශ්‍යතා සදහා ඒවායින් විවිධ බීම වර්ග හදා ගන්නවා. කිසිදු යාන්ත්‍රික ක්‍රමයකින් තොරව නිෂ්පාදනය කරනු ලබන මෙම බීම වර්ග මිළදී ගැනීමේ හැකියාවත් බලන්න එන අයට තියෙනවා. 
1948 දී මෙම මන්දිරය විකුණා දමා සිය බිරිද සමග නැවත එංගලන්තය බලා පිටත් වෙනවා. එය රුක්මණි බෙලාගම්මන මැතිණිය විසින් මිළට ගෙන පසුව 1951 දී සේදවත්ත වැවිලි සමාගම විසින් මිළට ගනු ලබනවා. එයින් පසු විමලා විජේවර්ධන මහත්මිය විසින් මිළදී ගත් මෙය 1962 දී රෝමානු කාතෝලික සභාවට විකුණා දමනවා. එයින් පසු සිල්වෙස්ත්‍රෝ - බෙනඩික්ට් තාපසාරාමය බට සංවර්ධනය කර අද දක්වාම "යාච්ඥාන හා වැඩකිරීම" යන ශුද්ධ වූ බෙනඩික්ට්තුමාගේ ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් පූජකවරුන් පුහුණු කිරීම හා දැනුම සංවර්ධන වැඩපිලිවෙල සිදු කරමින් පවත්වාගෙන යනවා. මේ අපූර්ව මන්දිරය නිර්මාණය කල සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 දෙසැම්බරි 21 වන දින එංගලන්තයේ දී තම අවසන් ගමන් යනවා.