2019 දෙසැම්බර් 26 වන දා වලයාකාර සූර්ය ග්‍රහණයක්


පෘථිවිය දින 365ක් පුරා සූර්යා වටා ගමන් ගන්නා සේම චන්ද්‍රයා දින 27.3කට වරක් පෘථිවිය වටා ගමන් කරයි. මෙම ගමනේ දී ඇතැමි විටක චන්ද්‍රයා, සූර්යයා සහ පෘථිවිය අතරට පැමිණීම නිසා පෘථිවි වාසීන්ට සූර්යයා පූර්ණව හෝ අර්ධ වශයෙන් නොපෙනී යයි.  මෙම සංසිද්ධිය සූර්ය ග්‍රහණයක් ලෙස හැදින්වේ. මෙලෙස පූර්ණ වශයෙන් සූර්යයා නොපෙනී යාම පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසද අර්ධ වශයෙන් සූර්යයා නොපෙනී යාම අර්ධ සූර්ය  ග්‍රහණයක් ලෙසද හැදින්වේ. 

සූර්ය ග්‍රහණයක දී චන්ද්‍රයාගේ සෙවනැල්ලෙහි ප්‍රධාන කොටස් දෙකක් හදුනාගත හැකිවේ.
1.       පූර්ණ ඡායාව (Umbra)

2.       උප ඡායාව (Penumbra)

මෙහි දී පූර්ණ ඡායාව තුල සිටින අයෙකුට පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වන අතර උප ඡායාව තුල සිටින අයෙකුට අර්ධ සූර්යග්‍ර හණයක් දිස්වේ. තවද පාථිවිය වටා චන්ද්‍රයාගේ ගමන ඉලිප්සාකාර වන බැවින් චන්ද්‍රයාගේ සෙවනැල්ල තුල පෘථිවිය ආකාර දෙකකින් පිහිටිය හැකිය. එනම් කෙටි අරය ඇති අවස්ථාවක සහ දිගු අරය ඇති අවස්ථාවක වශයෙනි. එහිදී කෙටි අරය ඇති අවස්ථාවක සූර්ය ග්‍රහණයක් ඇති වීමේදී පූර්ණ සූර්ය ග්‍රහණ අවස්ථාවේ දී කලු පැහැති වෘත්තයක් පමණක් දැකිය හැකි වන අතර දිගු අරය ඇති අවස්ථාවේ දී පූර්ණ සූර්ය ග්‍රහණය අවස්ථාවේ දී කලු පැහැකි වෘත්තයක් වටා දීප්තිමත් මුදුවක් ආකාරයෙන් සූර්යයා දැකිය හැකි වේ. එය වලයාකාර සූර්ය ග්‍රහණයක් ලෙස හැදින්වේ.


සූර්ය ග්‍රහණයක දී චන්ද්‍රයාගේ සෙවනල්ල මගින් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 160ක පමණ ප්‍රමාණයක් වසා ගනු ලැබේ. නමුත් පෘථිවියේ ගමන නිසා මෙම ප්‍රමාණය වෙනස් විය හැකිය. ඒ මෙන්ම චන්ද්‍රයා මගින් සූර්යා වසා සිටින උපරිම කාලය මිනිත්තු 7කුත් තත්ත්පර 30ක් වේ. 
මෙලෙස සූර්ය ග්‍රහණ ඇති වීම කලාතුරකින් සිදුවන සංසිද්ධියක් වන බැවින් ලොව වටා බොහෝ පිරිස් මෙම සංසිද්ධිය සියැසින් දැක ගැනීමට කැමැත්තක් දක්වනු දැකිය හැකිය. ලොව විවිධ ස්ථාන වලට විවිධ කාල වලදී විවිධාකාරයෙන් සූර්ය ග්‍රහණ දැකිය හැකි වන අතර ලංකාවට 2007 වසරේ මාර්තු 19 වන දින අර්ධ සූර්ය ග්‍රහණයක් ද 2010 ජනවාරි 15 වන දින වලයාකාර සූර්ය ග්‍රහණයක් ද දැකිය හැකි විය. මෙම වසරේ සෙසැම්බර් මස 26 වන දා ලංකාවට දිස්වන්නේ ද වලයාකාර සූර්ය ග්‍රහණයකි. තවද 2022 ඔක්තොම්බර් 25 වන දින අර්ධ සූර්ය ග්‍රහණයක් ද ශ්‍රි ලංකාවට දිස්වනු ඇත.
මෙම වලායාකාර සූර්ය ග්‍රහණය පෘථිවයට දිස්වීම ආරම්භ වන ස්ථානයේ දී අර්ධ සූර්යග්‍රහණය දිස්වීම ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 7.59ට වන අතර පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වීම ආරම්භ වීම උසෑසන 9.04ට සිදු වේ. සූර්ය ග්‍රහණයේ උපරිම අවස්ථාව උදෑසන 10.47ට සිදු වන අතර පූර්ණ සූර්ය ග්‍රහණයේ අවසානය දහවල් 12.30ට සිදු වේ. අර්ධ සූර්ය ග්‍රහණය අවසානය සිදු වන්නේ පස්වරු 1.35ට ය. නමුත් ශ්‍රී ලංකාවේ අයට මෙය දිස්වීම ආරම්භ වන්නේ උදෑසන 8.08ට වන අතර අවසානය උදෑසන 11.27ට පමණ සිදු වේ.

දක්වා ඇති ශ්‍රී ලංකා සිතියමේ ඇති A, B සහ C ලෙස දක්ව ඇති වර්ණ කලාප තුනෙහි සූර්ය ග්‍රහණය දිස්වන ආකාරය පහත දක්වා ඇත.


A
B
C
හිරු වැසී යන ප්‍රමාණය
93.5%
91.5%
88.6%
සම්පූර්ණ ග්‍රහණ කාලය
පැය 3 මිනි. 11 තත්. 48
පැය 3 මිනි. 15 තත්. 55
පැය 3 මිනි. 13 තත්. 38
වලයාකාර සූර්ය ග්‍රහණය පවතින කාලය
මිනිත්තු 3 තත්පර 11
වලයාකාරව දිස් නොවේ
වලයාකාරව දිස් නොවේ
අර්ධ සූර්ය ග්‍රහණය ආරම්භය
පෙ. ව. 08.08.57
පෙ. ව. 08.11.11
පෙ. ව. 08.10.35
පූර්ණ සූර්ය ග්‍රහණයේ ආරම්භය
පෙ. ව. 09.33.38
පූර්ණව වැසී නොයයි
පූර්ණව වැසී නොයයි
උපරිම අවස්ථාව
පෙ. ව. 09.35.13
පෙ. ව. 09.39.22
පෙ. ව. 09.37.45
පූර්ණ සූර්ය ග්‍රහණයේ අවසානය
පෙ. ව. 09.36.49
පූර්ණව වැසී නොයයි
පූර්ණව වැසී නොයයි
අර්ධ සූර්ය ග්‍රහණය අවසානය
පෙ. ව. 11.20.45
පෙ. ව. 11.27.06
පෙ. ව. 11.24.13

මෙහි දී වලයාකාර අවස්ථාව දිස්වන්නේ  A ලෙස දක්වා ඇති උතුරු ප්‍රදේශයේ  සහ නැගෙනහිර ප්‍රදේශයේ සිටින අයට පමණක් වන අතර B හා C කලාප වල සිටින අයට අර්ධ සූර්ය ග්‍රහණයක් ආකාරයෙන් දිස්වනු ඇත.

A කලාපයට සූර්ය ග්‍රහණය දිස්වන ආකාරය

B සහ C කලාප වලට සූර්යග්‍රහණය දිස්වන ආකාරය
සූර්ය ග්‍රහණයක් නිරීක්‍ෂණය කරනවා නම් කිසිදු විටක පියවි ඇසින් නොබැලිය යුතු අතර ඒ සදහා සකසා ඇති ඇස් ආවරණ භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එසේ නැතිනම් පෑස්සුම් කරුවන් භාවිතා කරන ඇස් ආවරණ සුදුසු වේ. නමුත් එමගින් වුවද වැඩි වේලාවක් හිරු දෙස බලා සිටීම නොකළ යුතුය. එසේ සිදු කිරීම මගින් සදාකාලික අන්ධභාවයට පත්වීමේ අවධානමක් පවතී. සූර්ය ග්‍රහණයේ ඡායාව දර්පණයක් හෝ දූරේක්‍ෂයක් මගින් තිරයකට පතිත කිරීම මගින් නිරීක්‍ෂණය කිරීම ද සිදු කල හැකිය. 

ප. ලි. දෙසැම්බර් 26 දා ලබා ගත් ඡායාරූප පෙල

Video එක

3 comments:

  1. මුලින්ම දැක්කේ The Art Gallery එකේ ෆොටෝ එක විතරයි. බ්ලොග් ලින්ක් එකක් දාලා තිබ්බ නිසා කියවන්න ආවා. සූර්‍යග්‍රහණයක් ගැන විස්තර සරලව සම්පූර්ණයෙන්ම සිංහල පාඨකයින්ට ගෙනාවාට ස්තූතියි!

    ReplyDelete
  2. Veryy nice blog you have here

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!