දෑවැදි දෙන්නට

තවත් එක් අපූර්ව ගීතයක් තමයි මේක. සුනිල් ඒදිරිසිංහයන් විසින් අපූර්ව ආකාරෙයන් ගායනා කරන්නේ මේ ගීතයට කඩහඩකින් දෙන්න පුළුවන් උපරිමය ලබා දීල කියලයි මම නම් හිතන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත බොහෝමයක් ඔහුගේ ජීවිතය හා බැදුනු සිදු වීම. මේ ගීතයත් ඒ විදිහට බැදුණු ගීතයක් ද කියන එක නම් මම දන්නේ නෑ. හැබැයි බොහෝම ලස්සන කාලීන ගීතයක්.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

ගීතය ආරම්භ වෙන්නෙ අයිය කෙනෙක් සහ නංගී කෙනෙක් ගැන කතාවකින්. මේ සහෝදරයා තමයි ගීතයේ ප්‍රධාන චරිතය. දෑවැද්දක් දෙන්න බැරිව ගෙදරට නාකි වුන ඒ කියන්නේ කසාද නොබැදපු නංගී කෙනෙක් ඉන්න සහෝදරයෙකුගේ සිතිවිලි දාමයක් තමයි මේ විදිහට ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ගීතයක් බවට පත් කරන්නේ. ඒ නංගිව දැන් කසාද බැදල අරන් යන්න කෙනෙක් මේ රටේම නැහැ සමහර විට ඒකට හේතුව දැන් ඇය වයසට ගිහින් නිසා වෙන්න ඇති. හැබැයි ඇය වයසට යනකම් ගෙදර තියා ගන්න වුනේ ඇයට දෑවැද්දක් දෙන්න තරම් ඔහු පොහොෙසතෙක් නොවුන නිසා විය යුතුයි.

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

ඔහු තවත් හේතුවක් කියනවා ඇය විවාහ නොවෙන්න. ඒ තමයි කලින් ප්‍රේමයක අදුරු සෙවනැලි. ප්‍රේමයෙන් විරහ වුන එකත් ඇය හේතුවක් කරගෙන තියෙනවා යම් දිනක කසාද නොබැද ඉන්න. නමුත් ඒ හේතු නිසා නැතිවෙන කාලය යලි ගන්න බැහැ. තරුණ ජීවිත ඒ් කාලය ගත කරන්නේ ඉරණම කාරයා එනකම් ඉන්නවා කියන හේතුව කියාන වුනත් සහෝදරයා තේරුම් කරල දෙනව එහෙම ඉරණම තමා ගාවට සොයාගෙනම එන්නේ නෑ තමනුත් සොයන්න ඕන කියල. ඇයගේ විරහව නිසා ගේ ඇතුලේ ලිප ගාව අම්මට උයන්න උදව් කරපු ඇ දැන් ගෙයි මුල්ලටම වෙලා. සමහර විට ඇය ප්‍රියමානාප මදි වෙන්නත් පුළුවන්. කාලය ගතවෙද්දී තරුණියකගේ මුහුණේ දුක ශෝකය නිසාත් ඇතිවෙන නිදිබර ගතිය හා ඇගේ මුහුණේ තියෙන අදුරු ස්වභාවය නිසා ඇය පහු වෙද්දී විවාහ කර ගන්න කැමති වෙන මනාලයෝ අඩු වෙන්න හෙතු වෙලා වෙන්න ඕන.

රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ

රත්තරන් මාල බදින්න ඕන නුඹේ බෙල්ල වටේට දැන් නවගුණ වැල දාගෙන. ඇය කළකිරීමෙන් ඉදල වෙන්න පුළුවන්. ඒ කලකිරීමේ අවසානය ඇය පන්සලට ගිහින් බණ අහන භාවනා කරන කෙනෙක් බවටම පත්වෙන තරම් වෙලා වෙන්න පුළුවන්. පෝය දවසේ පන්සල් ගිහින් හිත සනස ගන්න උත්සාහ කරන ඇයට සහෝදරයා හිත හැදෙන කතාවක් කියනවා. ඒ තමයි දීගෙක ගියානම් ඒ දවසට ඔයාට දැනේවි මේ තනිකඩව ඉන්න ජීවිතය කොයි තරම් වටිනව ද කියල. සෙහා්දරයා විවාහක බවත් ඒ විවාහයේ තියෙන ගැටලු එක්ක ගත්තාම විවාහ නොවී ඉන්න එක හොදයි කියල ඔහු ඇයගේ හිත හදන්න උත්සාහ කරනවා.

සහෝදරියක් ඉන්න සහෝදරයකුට තියෙන කාලීන ගැටලුවක් ලස්සන ගීතයක් විදිහට නිර්මාණය වෙලා. ඒ විතරක් නොවෙයි මේ ගීතය කවදාටත් විදින්න පුළුවන් විදිහේ ගීතයක් නිසා කාවදාවත් පැරණි නොවෙන පැරණි ගීතයක් විදිහට හදුන්වන්න පුළුවන්. අහලම බලන්න මේ ගීතය.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ //

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

දේශපාලනය, නවක වදය සහ කොරෝනා

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට අදහස් ලියන්නත් එපා.
ඉස්සෙල්ලාම මම මතෘකාවේ අගින් පටන් ගන්නම්. "කොරෝනා". මේක විද්‍යාත්මක විග්‍රහයක් නොවන නිසා කොරෝනා කියන්නෙ මොකක්ද? ඒකේ ආරම්භය කොහේද කියල ලියන්න යන්නේ නෑ. මේක බෝවෙන රෝගයක්. මාරාන්තිකයි. දැන් ඒක ලංකාවේ අයටත් බෝවෙලා. හැබැයි ඒකට අපේ අය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන නම් කිසිදු සතුටක් පෙන්වන්න බෑ. ලංකාවේ පනතක් මගින් සම්මත් නීති රීති සමුදායක් තියෙනවා මෙහෙම දෙයක් වුනාම කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන. ඒ සියල්ල පැත්තකින් තියල මේ අය මොකක්ද මේ කරන්න යන්නේ කියන එක ගැන නම් මට තියෙන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්. බෝවෙන රෝගයක් හැදුනාම අපේ අය කල යුතු වෙන්නේ අනිත් අයට බෝවෙන්න පුළුවන් අවකාශ ඉවත් කරන එකයි. නමුත් අපේ අය මොකක්ද කරන්නේ ?

අනිත් කාරණය තමයි විදේශ රටවල ඉදන් එන අයගේ හැසිරීම. ලංකාව වගේ දුප්පත් රටකට ඒ අය විදේශයෙන් ගේන විනිමය වටිනවා. එකේ විවාදයක් නැහැ. නමුත් ඒක එකම දේ නෙවෙයි. ඒ අය ඇත්තටම රට ගැන හිතනවානම් රට ඇතුලට එද්දී තියෙන සියලුම පරීක්ෂණ කරලයි එන්න ඕන. මේ වගේ අවස්ථාවක සම්පූර්ණයෙන් රට වහල දාන්න ඕන. එහෙම කරල සම්පූර්ණයෙන්ම වගේ නිරෝධායනය කරන්න පුළුවන් නම් හොදයි. ලෝකයේ බොහෝ රටවල් එහෙම දේ කරනවා. පාසල් නිවාඩු දෙන දේ වගේ එකක් කරල මිනිස්සු කලබල කරනවාට වඩා ඒ දේවල් වලින් ආරක්‍ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන මිනිස්සු දැනුවත් කරනවා නම් වටිනවා.

දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් මිනිස්සුන්ගේ මොළ සුද්ධ කරල තමන්ගේ මත ඒවා තුළ ඔබ්වන්න වෙන මහන්සිය රටේ ජනතාව ආරක්‍ෂා කරන්න කියන අරමුණු ඇතිව කොරෝනා වලින් ආරක්‍ෂා වෙන හැටි ගැන කියල කැම්පේන් ඒකක් කරන්න දේශපාලන නායකයන් මහන්සි වෙන්නේ නැත්තේ ඇයි කියන ඒක නම් ගැටලුවක්. අනික තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතන මේ වගේ දෙයක්යක් වුනාම නිල වශයෙන් ප්‍රවෘත්ති දානවා. පුළුවන් හැම වෙලාවේදීම ඒවා සමග යාවත්කාලීන වෙලා අනිත් අය දැනුවත් කරන්න.

මම ගොඩක්ම දකින සමාජ මාධ්‍ය ජාල මේ වගේ බෝවෙන රෝග විහිලුවකට අරන් බොරු ප්‍රචාර ඇති කරනවා. ඒ විතරක් නොවෙයි මේ වගේ රොග දේශපාලන වාසි ගන්න පාවිච්චි කරනවා. අනිත් කාරණය තමයි ඒක අතකොලුවක් කරෙගන තම තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගන්න උත්සාහ කරන එක. එක එක සමාගම් තම තමන්ගේ තිබුන නිෂ්පාදන ලේබල කොරෝනා සදහා මේක හොදයි කියල විකුණන්න පටන් අරන්. නමුත් රෝගය මුලින්ම ඇතිවුන චීනය වත් රෝගීන් පරීක්‍ෂා කරමින් රෝගය සදහා තාම ප්‍රතිකාර සොයනවා. මට තියෙන ප්‍රශ්ණය මේ සමාගම් වල පරීක්ෂණාගාර තියෙනවා නම් ඒවා රෝගියෙක් හෝ රෝගකාරකය නොදැක හෙතේ කරන්න තරම් දියුණු නම් ඇයි රෝගීන් වාර්තා වුනාමත් නිට්ටාවට සුව වෙන බෙහෙතක් දෙන්න බැරි. මේ වගේ හදිසි අවස්ථාවකදීත්, අවස්තාවාදී සමාගම් සදහා දඩුවම් හෝ තහනමක් ගේනන ඕන කියන එකයි මගේ නම් මතය. සර විකුණන අය, ආගම විකුණන අයත් මේ ගොඩේ ඉන්නවා. හැබැයි කොරෝනා රෝගකාරකයට ආගම්, ජාති කුල බේද කිසිම දෙයයක් නැහැ.

දෙවැනි මාතෘකාව තමා නවක වදය, මේ තියෙ කාර්යබහුල කම නිසා මේ ලිපිය ප්‍රමාද වුන නිසා දැන් නම් නවක නවකවදය කතාව අපිට අමතක වේගෙන යන මාතෘකාවක් වෙලා. නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට සහ කිසිම දේශපාලනික හෝ ශිෂ්‍ය සංගමයක් වෙනුවෙන් වැඩ නොකරත් උපාධියක් ගත්තු මට මේ ගැන කතා කරන්න තරම් පුළුවන් සහ යුතුයි කියන ඒකයි මගේ නම් හැගීම.

විශ්ව විද්‍යාල වලින් දේශපාලනය ඉවත් කල යුතුයි. අපි විශ්ව විද්‍යාලයේ යන කාලයේ අපේ විශ්ව විද්‍යාලෙය් අපේ පීඨය ඇතුලට දේශපාලනික අතකොලු වලට එන්න නාෙදෙන්න තරම් අපි ඉන්න කාලයේ අපිට හැකියාව තිබුනා. දැන් නම් ඒක වෙනස් වෙලා කියලයි ආරංචි වෙන්නේ. කොහොම වුනත් දේශපාලන අතකොලු කැම්පස් ඇතුලට රිංගුවේ නැහැ කියල නවකවදය හෝ සටන් නැත්තටම නැති වෙන්නේ නෑ. නමුත් ඉතා විශාල ප්‍රමාණයකින් අඩු වෙයි.

බාෙහෝමයක් සමාජ ජාල වල හා වෙනත් පොදු ස්ථාන වල මේ ගැන කතා කරන බහුතරයක් විශ්ව විද්‍යාලයට ගියේ නැති අය. සමහර වෙලාවල් වලදී මාත් එක්ක පිරිස් මේ මාතෘකාව ගැන කතා කරන්න ඇවිත් මාත් විශ්ව විද්‍යායාල ශිෂ්‍යයෙක් විදිහට කියල කතාව පටන් ගත්ත ගමන් මාතෘකාව වෙන පැත්තකට හරවනවා. මාත් මගේ පියා සහ වැඩිමහල් සහෝදරයා විශ්ව විද්‍යාලයේ ගිය අය හැටියට දරණ මතය තමා නවක වදය කියන දේ අරුත් දෙකක් තියෙනවා. මේ වැඩසටහන් පටන් ගන්නේ නව්‍යතාවයට හුරු කිරීම කියන සංකල්පය යටතේ. මූලික පරමාර්ථය වුන කරුණ ගැන කියනවා නම් අම්මා තාත්ත එක්ක දන්න කියන ප්‍රදෙශයක ජීවත් වුන අය තනිව ජීවත් වෙන්න පටන් ගන්න තැනකට පුරුදු කරන්න කරන වැඩසටහනක් වගේම ඒ ඒ සිසුන් අලුත් තැන තමාගෙ වැඩ තමන්ම කරගෙන අනිත් අයටත් උදව් කරන්න ඕන විදිහ සමාජයට වැඩදායක එකෙක් විදිහට හැම කෙනෙක්ම එකා වාගෙ වැඩ කරන්න ඕන කියන සංකල්පය හිත් වල ඇති කරන්න කරන වැඩසටහනක්. නමුත් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම එකම සිතිවිලි දාමයක ජීවත් වුන අය නෙවෙයි. ඒ නිසා මේ දේ වැරදියට තේරුම් ගන්න සහ වැරදි විදිහට කරන අයත් නැතිවාම නොවෙයි.

කෑම නැති එකාට තමන්ගේ කෑම එකෙන් දෙන්න. මළ ගෙයක් දානයක් වුනාම ඒ තැනට අවශ්‍ය දේවල් වලට උදව් කරන්න. අදින්න නැති එකෙක්ට ඇදුම් දොගන්න වගෙ දේවල් ගොඩකින් අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පෝසත්. පොදු වැඩක් කරන්න ගියාම ඒ දේවල් කරන ආකාරය අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ගේ වෙනස බොහෝම අපූරුවට හදුන ගන්න පුළුවන්. නමුත් මේ සියල්ල වුනා සහ වෙන නිසාම ඒ එකමුතුව හැදෙන බව සහ ඒ දෙයින් වැඩ ගන්න පුළුවන් බව දන්න නිසාම බොහේමයක් දේශපාලන පක්‍ෂ බොහෝම ආසායෙවන් ශිෂ්‍ය ව්‍යාපාර ඇති කරමින් විශ්ව විද්‍යාල ඇතුලට රිංගනවා.

බොහොමයක් වෙලාවල් වලදී විශ්ව විදයාල වලට ඇතුල් වෙන එක්තරා දෙශපාලන පක්‍ෂයක ක්‍රමවේදය ඔටුවා සහ කූඩාරම ක්‍රමයට සමානයි. උදාහරණයක් විදිහට අපි හිතමු එක්තරා විශ්ව විද්‍යාලයක එක්තරා කොටසකට තමන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇති කරන්න ඕන කියන අවශ්‍යතාවය ආවා කියල. ඔවුන් කොහොම හරි ඒක ඇතුලෙ ඉන්න එකෙක් අල්ල ගන්නවා. සමාජයෙන් පීඩා වුන කෙනෙක් තමා බොහෝ විට ඒකට අල්ල ගන්නේ. ඌට හොද තෙලක් ගහනවා. ඒ කියන්නේ උගේ මොලේ හෝදල අපි හිටියනම් ඔයා ඒ තරම් පීඩා විදින්නේ නෑ කියන සංකල්පය ඇති කරනවා. දැන් ඌ ලව්ව කැම්පස් එකේ තොරතුරු ගන්නවා. ඒවා ආශ්‍රයෙන් විශ්ව විද්‍යාලය ඇතුලේ ප්‍රශ්ණයක් නිර්මාණය කරනවා. සමහර විටක ඔවුන් ඇති කරපු ඉත්තා යොදා ගන්නවා නැත්තම් ඒ ඉත්තා ලවා වැඩේ කරන්න පුළුවන් එකෙක් හොයා ගන්නවා. මුදල් වලටත් ප්‍රශ්ණය ඇති කරන්න කැමති වෙන උන් ඉන්නවා. ප්‍රශ්ණය උග්‍ර වෙන්න අවශ්‍ය කරන වටපිටාව උසි ගැන්වීම් තමාගේ ඉත්තා හෝ ඉත්තන් ආශ්‍රයෙන් කරල ඌ ලවා ප්‍රශ්ණයේ එක අන්තතයක් ගෙන්වා ගෙන උන්ගෙත් මොළ හෝදනවා. මේ වැඩේ කරන්න ලේසිම පිරිස පළමු වසර සිසුන්. මොකද උන් තාම විශ්ව විද්‍යාලයේ ක්‍රියාව හා වාසි ගැන හරිහැටි අවබෝධයක් නැති නිසා. අනික නව්‍යතාවයට හුරු කිරීමේ වැඩසටහන් කොයි තරම් හොදින් සිදු කරත් ඒක රැග් වශයෙන් තියෙන අර්ථ දැක්වීම ඇතුලේ තියෙන එහි වාසි ගැන තාමත් නොදන්නා පිරිස ඔවුන් නිසා.

දැන් මූලික අදියර හරි. දෙවැනි අදියර විදිහට ඒ අදාළ පක්‍ෂයේ අදාළ ශිෂ්‍ය ව්‍යාපාරය කරගෙන යන පිරිස ගැටලුව විසදන්න සහාය වෙන්න පොරොන්දු වෙනවා. ප්‍රශ්ණය ඇති කල අයට ප්‍රශ්ණය විසදන එක ලොකු වැඩක් නෙවෙයි. ඉතින් ඔවුන් ඒක විසදලා වීරයන් වෙනවා. දැන් තමා ප්‍රති උපකාර කරනන ඕන වෙලාව. ඉල්ලන්නේ එක දෙයයි. ඒ තමන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ශාඛාවක් ඇති කරන්න. මේ වගෙ ගැටලුවක් ආවොත් ඒක විසධන්න දන්න ශක්තියක් තියෙන මේ වීරයන්ට බැහැ කියන්නේ කොහොමද එක පයින් කැමති වෙනවා. දැන් වැඩේ හරි. දැන් උන් කැම්පස් එක ඇතුලේම ඔවුන්ගේ මතය ජය ගන්වන්න අවශ්‍ය මොළ හෝදන වැඩේ ප්‍රසිද්ධියේ කරනවා. ඒ විතරක් නෙවෙයි ඒකට විරුද්ධ වෙන අය හොදින් හෝ නරකින් ඒකට අවනත කරගන්නත් ඔවුනට හකියාව හා ක්‍රම තියෙනවා.

අවසාන වශයෙන් තුන්වන මාතෘකාව වුන දේශපාලනය. ඒක මම මේ මාතෘකා දෙක ඇතුලෙම කතා කලා. ලලංකාවේ දේශපාලනය ඇතුලේ තියෙන්නේ බලය රැක ගැනීම කියන සංකල්පය විතරයි. බලය රැක ගන්න කරන්න පුලුවන් ඕනම දෙයක් කරනවා. තමන්ගේ බලය රකින්න උදව් කල අයට උදව් කරන නමුත් ඒකට විරුදධ වෙන හෝ උදව්වක් නොදෙන අය ගැන තැකීමක් නැහැ. ඒ නිසා නවකවදය, කොරෝනා හරි වෙන මෙන නමගින් එන ගැටලුවක් හරි ආවාම ඒක දේශපාලනීයකරණය කරමින් සාධාරණය කරන්න හෝ විවේචනය කර විසි කර දමන්නට ඔව්න්ට හකියාව සහ බලය තියෙනවා. ඒ සදහා මාධ්‍ය, සමාජජාල තුල බොරෙු ප්‍රචාර ඇති කිරීම සදහාත් මූල්‍යමය බලය භාවිතා කරන්නත් ඔව්න් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ දේශපාලනය ඇතුලේ අධ්‍යාපනය දැනුම හෝ බුද්ධිය කියන දේට ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර වලට උදව්වක් නැතිනම් කිසිදු උපකාරයක් නැහැ.

කොහොම වුනත් මේ තියෙන නවකවදය හා කොරෝනා කියන ගැටලු දෙකට මම දකින්නේ මෙන්න මේ විසදුම. රට සම්පූර්ණයෙන් වසා දමල පූර්ණ නිරෝධායනයක් කරන්න ඕන. ඒකට රට රසියන් කැමතිද අකමැතිද කියන එක අදාළ වෙන්නේ නෑ. දේශපාලන බලය භාවිතා කරල අනිත් දේවල් කරනවා වගේ මේක කරන්නම ඕන දෙයක්. නවකවදය දෙන සාක්‍ෂි සහිත අවස්ථා වලදී දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් ඒ සියල්ලට කලින් දේශපාලන අතකොලු වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාර නවත්තලා දානන ඒන. තහනමක් මගින්.

මම මේ ලිපිය ලියන්න රන් සතියක් වුනා. නමුත් මගේ වැඩ කටයුතු සහ පාරට ගෙවෙන පැය ගාන හින්ද රෑට ඇවිත් මේක ලියන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ. නමුත් දැන් තියෙන තත්ත්වයටත් මේක වලංගු නිසා අවසන් ලිපියක් විදිහට පල කරනවා. ස්තූතියි.

රන් කෙන්දෙන් බැඳ

දිවංගත අජන්තා රණසිංහයන් විසින් රචිත අපූර්ව ගීතයක් තමා අද කතාව ලියන්න තෝරා ගත්තේ. මේ ගීතයේ සංගීතය සපයන්නේ සරත් දිසානායකයන් අතින්. ඒ වගේම තමා ගීතයේ අර්ථයට අපූර්ව හැගීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ කටහඩක් තියෙන නන්දා මාලිනී විසින් ගීතය ගායනා කරල තියෙන්නේ. මේ ගීතය දුහුල් මලක් චිත්‍රපටය සදහා කල නිර්මාණයක් වුනත් චිත්‍රපටය නොබලපු කෙනෙකුට වුනත් අපූර්ව ආකාරයෙන් ගීතය විදින්න පුළුවන් විදිහෙන් නිර්මානය වෙලා තියෙනවා. මේ ගීතය රචනා කරන වෙලාවේදී අජන්තා රණසිංහයන්ගේ සිතිවිල් දාමය කොයි ආකාරයෙන් ක්‍රියා කරන්න ඇතිද කියන ප්‍රශ්නාර්ථය හැම වෙලාවේ දී ම දැනෙන කරුණක්. කොයි ආකාරයෙන් ද මේ ගීතයේ කතා නායිකාවගේ සිතිවිලි වචන කලේ කියන එක.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

ගීතයේ කතා නායිකාවට පෙම්වතුන් දෙදෙනෙක් ඉන්නවා. අපි හැමදාම දකින්නේ පෙම්වතියන් දෙදෙනෙක් ඉන්න පෙම්වතුන් වුනත් මේ කතාව ඒ හැගීම් දෙපැත්තටම පොදු බවට හොද උදාහරණයක් දෙනවා. මේ පෙම්වතුන් දෙදෙනාගැන කෙටි පේලි දෙකකින් කියනවා. එක්කෙනක් රත්තරන් කෙන්දකින් අතැගිලි බැදල දුන්න ආදරය. ඒ කියන්නේ සැමියෙක්. නමුත් ඒ තුල ආදරය තියෙනවා. සැමියා ඇයට ආදරෙයි. නමුත් ඒ තමන්ට අවශය තරමම නෙවෙයි. කෙන්දකින් තරම් ප්‍රමාණයකින් තමා ඒ ආදරය රැකිල තියෙන්නේ. ඒකට හේතුව සැමියා කාර්‍ය ඉහුල වීම වෙන්න ඕන. දෙවැන්නා ඇගේ ආදරය හිමිකර ගත්ත සිතිවිලි වසග කර ගත්ත ආදරයයි. ඒ ආදරය තමා තමන්ව හොදින් තේරුම් අරන් තියෙන්නේ. ඒ ආදරය ශක්තිමත් රැහැනකින් බැදල වගෙයි.

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ

කිරිල්ලිකයක් වගේ පියාඹන්න පුළුවන් වගේම එහෙම පියාඹපු තාමන්ගේ අත්තටු රිදිල විතරයි. ඇය දැන් දන්නවා ඇය දුව ගිහින් තියෙන්නේ මිරිගුවක් පස්සේ කියල. ඇයට දැන් දෙදෙනාවම අත්හරින්න බැරි තරම් වෙලා. අත්දෙක දෙපැත්තට දික් කලාම තමන්ගේ සැමියාටත් පෙම්වතාටත් තියෙන අයිතීන් සමාන වන තරම් වෙලා. සැමියාට නීතයෙන් හා සමාජ සම්මතය මගින් දීල තියෙන අයිතියත් පෙම්වතාට තමන්ගේ සිතිවිලි තේරුම් අරගෙන තියෙන ආදරයේ අයිතියත් සමානවයි තියෙන්නේ. නමුත් ඒ දෙදෙනාගේම ආදරය තියෙනවා වුනත් තමන්ගේ ජීවිතයේ කිසිදු වැදගත් කමක් වටිනාකමක් ඇයට නැති බව දැනෙන්නට පටන් අරන්. ඒකට හේතුව තමාගේ සැමියාට වංචා කරනවා කියන වැරදිකාර හැගීමම වෙන්න පුළුවන්. ඒක අපූරු විදිහට කියන්නේ හිරු සදු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ කියලයි. හිරුත් සදුත් එකවර අහසේ තියෙද්දී මොනතරම් එළියක් තියෙයිද, ඒක එහෙම වෙලා වුනත් මගේ විජිතය මගේ දේශය සම්පූර්ණයෙන්ම අදුරේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. ඇය තුල තියෙන්නේ ප්‍රශ්ණාර්ථයක්. මට කලාතුරකින් ලැබෙන ආකාරයෙන් සියලු දේ ඔවුන් දෙදෙනාගෙන ලැබෙනවා. නමුත් ජීවිතයේ කිසි සතුටක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ.

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ

ඒ සියල්ල මෙහෙම වෙද්දී ඇයගේ සිතිවිලි ප්‍රේක්ෂකයාට කියන්නේ කණාටු සුළගේ දුහුල් මලක් සිතිවිලි වලට උපමා කරමින්. සුලගට හසුවුන දුහුලු මලක් කිසිදු අවසානයක් නොමැතිව පාවෙලා යන්න වගේ ඇයගේ සිතිවිලිත් එහේ පාවෙලා යනවා. කිසි අරමුණක් නැහැ. ඇය තාමත් තම සැමියාගෙන් වෙන්වෙනවාද පෙම්වතාගෙන් වෙන් වෙනවාද කියල හිතා ගන්න බැරිවයි ඉන්නේ. මම හිතන්නේ ඒ පෙම්වතා ඇයට තමා සමග එන සෙ කල ආරාධනාවක් නිසා වෙන්න ඇති.

කොහොම වුනත් අපූරු ආකාරයෙන් පෙම්වතුන් දෙදෙනෙකුට මැදිවුන කාන්තාවකගේ සිතිවිලි වචන වෙලා තියෙනවා. උපමා යොදා ගැනීම තුලම ඒ හැගීම තවකෙකුගේ සිත තුල දැඩි මනෝභාවයක් ඇති කරනවා කියල මම හිතනවා.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දිසානායක
ගායනය - නන්දා මාලනි

මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා. 
එනසාල් වගාව නිසා පරිසරයට වෙන හානිය අති විශාලයි. ඒකට හේතුව යටිවගාවක් ගෙස ආරම්භ වුන මේ එනසාල් ගස් යට වෙන කිසිම පැලයක් පැලවෙන්නේ නෑ. ඉතින් තියෙන රූස්ස ගස් ටික මැරුනාම ඒ වෙනුවට හැදෙන්න ඒ වගේ පැල නෑ. ගහක් පැලටක් එක්ක බැදුන සියලු ජීවීන්ගේ රදා පැවැත්ම තීරණය වෙන්නේ ශාක වල පැවැත්ම මත. නමුත් එනසාල් වගාව නිසා තියෙන වනාන්තරයට පැවැත්මක් නෑ. ඒ නිසා එනසාල් වලින් පරිසරයට ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා තමයි 2000 වෙන විට මේ වනාන්තරය තුල වගාව තහනම් වෙන විදිහට නීති එන්නේ.

1873 විතර වෙද්දී මුහුදු මට්ටමේ ඉදන් මීටර 1500ට වැඩි වනාන්තර රක්‍ෂිත විදහට නම් කෙරෙනවා. සුද්දා තියෙන හැම තැනම තේ වැව්ව වුනත් වැහි නැති කාලෙට රටේ ජලය පවත්වා ගන්න උරදෙන ජල උල්පත් තියෙන මේ කදු ගැන හොද අවධානයකින් තමයි ඉදල තියෙන්නේ. ඉතින් මේ 1873 කාලයේ රක්‍ෂිත අතරට නකල්ස් වනයත් එකතු වෙනවා. 2000 වර්ෂයේදී නකල්ස් අධිරක්‍ෂිතයක් වශයෙන් නම් කරනවා.

ලෙබනන් වතුයාය පහුකරගෙන යන පාරෙදී අපට ගොම්බානිය, යකුන්ගෙ ගල, කිරිගල්පොත්ත, නකල්ස්, කන්දසාමි ගල, හුන්නස්ගිරිය කන්ද, සෙල්වකන්ද වැනි දැවැන්ත කඳු පන්ති දකින්න පුළුවන්. එතැනින් රත්නගිරිය වත්තටත් නකල්ස් වනයටත් ඇතුලු වෙනවා. හොදින් පැහැදිලි දවසක දී නම් බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දකින්න පුළුවන්. කැලේට ඇතුලු වෙද්දී මතක තියෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි දෙබර වද, කූඩැල්ලෝ, මාඋස්සා ගස් සහ අලි, සර්පයන් ඇතුලු වන සතුන්. මේ සියල්ල ගැන අවධානයෙන් තමයි කැලේට ඇතුලු වෙන්න ඕන. අනිත් වැදගත්ම කාරණය තමයි මාගෝපදේශනය. කැලේ හරි හැටි පාරවල් නැති නිසා බොහෝම පහසුවෙන් අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා මාර්ගොපදේශකයෙක් අරන් යන්න නැතිනම් අඩුම තරමේ හරි GPS Map එකක් අරගෙන යන්න. කැලේ ඇතුලේ කෑමක් හොයාගන්න නැති නිසා කෑමට ගන්න ඕන කරන දේවල් සියල්ල අරගෙන යන්න වෙනවා.
පැය ගානක ඇවිදීමකින් පස්සේ කූඩැල්ලන්ටත් දානේ දීගෙන අපි KMP වාඩියට පැමිණියෙමු. ඒ ලෙබනන් වත්තේ ඉදන් රත්නගිරිය වත්තට කිලෝමීටර 5ක් විතරත් එතැනින් කිලෝමීටර 8ක් විතරත් ඇවිදලයි. පලවෙනි දවසේම තුන්තිස්ගල නගින්න හිතාගෙන හිටියා වුනත් නොහිතපු ප්‍රමාදය නිසා දෙවැනි දවස උදේම තුන්තිස් ගල නගින්නත් හවස් වෙද්දී දූවිලි ඇල්ලේ යන්නත් තමයි අපේ සැලසුම වෙලා තිබුනේ. රාත්‍රියට කැලේ මැද්දේ කිසිම තැනක විදුලිය නම් නෑ. ඒ විතරක් නෙවෙයි බොහෝමයක් තැන් වලට දුරකතන සංඥා පවා නැහැ. කොහෝම වුනත් අපි රාත්‍රිය ගත කරන්න අවශ්‍ය ගිනි මැලයක් ගහ ගන්නත් උයන්නත් ඕන කරන දේවල් සකස් කරන්න වුනා. රෑ වෙද්දී ඉන්න ආලෝකයක් ඕන වෙන නිසා පහනත් හදන්න තමා මම බැලුවේ. වාඩියේ නැවතුන අය දාල ගිය පරණ සුවද විලවන් බෝතල් දෙකක් හොයාගෙන පරණ බියර් බෝතලයකුත් හොයාගෙන පහන් දෙකක් හැදුවා.
රාත්‍රියට උයන්න ලෑස්ති කරන ගමන්ම අපේ නඩයේ කෙනෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන් පුදුම කිරීමේ පාටියක් දාන්නත් එයාගේ හස්බන්ඩ්ට අවශ්‍ය වුන නිසා අපි ඒකටත් අපූරු සැලසුමක් හැදුවා. රාත්‍රියට උයාගෙන කාල රාත්‍රියේ සින්දු කියල පොඩි පහේ සංගීතයකුතු දාලු අපි ඊලග දවසේ තුන්තිස් ගල නගින්නත් හිතාගෙන නින්දට වැටුනා. රාත්‍රී සීතල දොරවල් වල යටින් ඇදිල එද්දී තියෙන සියල්ල පොරවගෙන නිදා ගන්න උත්සාහ කරත් රාත්‍රී නිහඩ බව නම් ඒ තරම් සුන්දර නින්දක් ආරම්භ කරන්නේ නෑ. කොහොම වුනත් ලැබෙන කෙටි නින්ද වුනත් අපූරු විදිහට ශරීරය පහසුවක් ඇති කරන්නේ ස්වභාවික වාතාශ්‍රය සහ ගහකොල වල හැපිල එන නිසා හරි අපේ මහන්සිය නිසා වෙන්නත් පුළුවන්. 
උදේම නැගිටපු අපි උදේටත් දවල්ටත් කෑම ටික හදල ඉක්මනින්ම සූදානම් වුනේ තුන්තිස්ගල නගින්න යන්න. තුන්තිස් ගල කියන්නේ ගල මුදුනට නැග්ගාම වටේම කදු 33ක් පේන නිසා කියලත් කියනවා. මේකට ගම් වැසියන් කලු පහන කියලත් කියනවා. තවත් පිරිසක් ශීර්ෂ තුනකින් තියෙන කන්දක් නිසා තුන්හිස් ගල කියලත් කියනවා. එනසාල් වත්ත මැදින් වැටුන අඩිපාර දිගේ තුන්තිස්ගල දක්වා වැටුනු කැලෑ පාර දිගේ යන ගමන නම් පහසු වුනේ නෑ. සීග්‍ර නැග්මක් තියෙන නිසා ගස්වැල් වල ඉල්ලීගෙන ගිය ගමන බොහෝම හෙමින් තමයි සිදු වුනේ. ඒකට හේතුව බොහෝමයක් දෙනා කාලෙකින් තමා මේ තරම්කන්දක් නගින්නේ. කොහොම වුනත් කන්දෙන් බාගයක්විතර නැග්ගාම එක් පැත්තකින් සීග්‍ර බෑවුමක් තියෙන්නේ. ශාක විවිධත්වයත් වෙනස් වෙලා කුරු ශාක ස්ථාරයක් බවට වෙනස් වෙන්න පටන් ගන්නවා. අඩි 4ක විතර කුරු ගස් වලින් වැහුන ශාල වල එල්ලීගෙනම තුන්තිස්ගල කන්දේ තුනෙන් දෙකක් විතර නැග්ගා වුනත් වටේම මීදුමෙන් වැහිලයි තිබුනේ. තවත් ඉහලට ගිහින් වැඩක් නෑ කියන අමාරු තීරණයත් අරගෙන සුන් වුන බලාපොරොත්තු එක්ක අපි ආවේ රාත්‍රිය ගත කරන්න දූවිලි ඇල්ලටත් යන්න ඕන නිසා. කූඩැල්ලන්ගෙන් සෑහෙන්න බැට කන්න වෙන ගමනක අවසානය මම නම් ආවේ කොයි වෙලාවේද සපත්තු ගලවන්නේ කියල හිත හිතමයි. මොකද සපත්තු අස්සට රිංගපු කූඩැල්ලෝ මේස් අස්සෙන් ගිහින් කකුලේ ලේ බීල. සපත්තු අස්සේ බෙරි ගෙඩි දාගෙන ආව එකෙක් වගේ හැගීමකින් ආව මම KMP වාඩියට ආව ගමන් සපත්තු ගලවද්දී එක කකුලක කූඩැල්ලේ 20ක විතර ගුලියක් උපරිමේටම ලේ බීල හිටියේ මේස් එකටත් ඇතුලෙන්. කිලෝමීටර 3ක් විතර කන්ද නැගල ආයෙත් ආවේ කිලෝමීටර 5ක් විතර ගමනක් අවසන් කරලයි. කූඩැල්ලන්ගෙනුත් බේරිලා ඇගපත හෝදගෙන ඉක්මනින්ම කෑම කෑවේ රෑ වෙන්න කලින් දූවිලි ඇල්ලට යන්න පිටත් වෙන්න ඕන නිසා.
නකල්ස් දූවිලි ඇල්ල මාර්ගයට ඇතුලු වුන අපි එතැන් ඉදන් 5ක් විතර ආවාම දූවිලි ඇල්ල තියෙනවා. අපිට මග ටිකක් වැරදුන නිසා ආයෙත් පාර හොයාගෙන එන්න  වුනා. කැලේකට ඇතුලු වුනාම මග සලකුණු සදාකාලිකව තියෙන්නේ නෑ. ඒ නිසා පාරවල් හොයාගන්න ටිකක් වෙහෙසෙන් වෙන්නත් පුළුවන්. ඒ වොලවකදී වැඩිය කලබල වෙන්නේ නැතිව ඉන් තැන ඉදන් වටේ පොඩ්ඩක් හොයල බලල පාර හොයාගන්න එක තමා නුවනැතිම වැඩේ වෙන්නේ. කොහොම වුනත් දූවිලි ඇල්ල ආසන්නයටම යන විට ඇල්ල අයිති කන්දේ අයින දිගේම දිය ඇල්ල මැද තියෙන ගුහාවට යන්න පාර තියෙනවා. නකල්ස් දූවිලි ඇල්ල ප්‍රසිද්ධ වෙන්නේම මේ නිසා. හෙමීට දූවිලි ඇල්ලේ ගුහාවට සේන්දු වුන අපි බඩු ටික බිම තිබ්බ ගමන්ම මගේ ප්‍රධාන කාරිය වුනේ කලින් දවසේ වගේම කූඩුල්ලන්ගෙන් මිදෙන එක. 

දූවිලි ඇල්ලේ තියෙන ගුහාවේ 50ක විතර මිනිස්සු පිරිසකට ඉන්න තරම් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිය ඇල්ල පිටිපස්සටම ගිහින් ලස්සන දර්ශනයක් බලන්නත් පුළුවන්. දිය ඇල්ල එක්කම තියෙන මුල් ටිකක් අල්ලගෙන දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. නමුත් මේ සියල්ල කරන්න මහ වැහි කාලේ නම් සුදුසු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මත්පැන් පාවිච්චි කරල නම් දිය ඇල්ලෙන් නාන්න යන එක ඒ තරම් හොද වැඩක් නෙවෙයි. මොකද දිය ඇල්ලෙන් වැටුනොත් ඒක සුන්දර අත්දැකීමක් දෙන්නේ නෑ. කෙලින්ම මරණය තමයි. 


අපි යන වෙලාව වෙද්දීත් කූඩාරම් දෙකක් ගහගෙන තවත් නඩයක් ඇවිත් හිටිය නිසා අපි එක කූඩාරමක් සවි කරල ඉතිරි අය ගුහාව ඇතුලේ නිදා ගන්න තීරණය කලා. රාත්‍රී කෑම විදිහට නූඩ්ල්ස් හදපු අපි කෑමත් කාල සිංදුවක් කියල විනෝදයක් ගන්නත් අමතක කලේ නෑ. ගිය අයගේ අතීත කතා, කාලෙකින් මුණගැහුණු යාලුවන්ගේ කතා වලින් පිරුණු රාත්‍රිය දිය ඇල්ලේ ශබ්දයයි ගිණි මැලයේ රස්නයයි එක්ක වඩාත් තිව්‍ර කලා. කලින් දවසටත් වඩා අපූරු නින්දකින් අපේ රාත්‍රිය අවසන් වෙද්දී කකුල් අත පය වලට නම් ඒ තරම් සුන්දර වුනේ නෑ. 

වනාන්තරයේ ඉන්න අවසන් දවසත් උදාවුනා. අපි උදේ නැගිටලා කෑම එහෙමත් උයාගෙන පින්තූර ටිකකුත් අරන් අපි ගෙනාපු දේවල් අස්පස් කරන්න වුනා. කැලේට එද්දි අරන් ආව සියලු දේවල් ආයෙත් අරන් යන එක බොහෝම වැදගත් කාරණාවක් වෙන නිසා අපි අපේ අපද්‍රව්‍ය එක බෑග් එකක්ට දා ගත්තා. කෑම කාපු ඒවායේ ඉතිරි තියේ නම් හොදම දේ තමයි වල දාන එක. මොකද සත්තු අපේ කෑම වලට පුරුදු කරන එක ඒ තරම් හොද වැඩක් නොවන නිසා. එතැනින් අපේ ගමනේ අවසන් දවසේ ආරම්භය සිද්ධ වුනා.

මුලින්ම දූවිලි ඇල්ලේ පහල කොටසට ආව අපි එතැන ඉදන් අපි හිටපු තැන දිහා බැලුවා. ඒක අවධානම් වුනත් ඒ ගුහව් තිබුන සුන්දරත්වය කොයා තරම්ද කියන එක අපටම දැනුනේ ඒ වෙලාවේ තමයි. එතැනි අපි පිටත් වුනේ ඉන්ෆිනිටි පූල් එහෙමත් නැතිනම් අනන්ත තටාකය බලන්නත් එතැන ඉදන් ඔය දිගේ ඉහලට තියෙන දිය ඇලි කීපය බලන්න හිතාගෙන. දූවිලි ඇල්ලේ ඉදන් කිලෝමීටර 2ක් විතර යද්දී අනන්ත තටාකයට ආව අපි කෙලින්ම ගියේ එතැන ඉදන් ඔය දිගේ ඉහලට. දිය පාර ඒ තරම්ම සැර නොවන නිසා ඔය දිගේම ගියත් දිය ඇලි තියෙන ඔයක් දිගේ ඉහලට යන එක බොහෝම පරිස්සමින් කල යුතු දෙයක්. ඒකට හේතුව දිය පාර ඉහලට වැහි ඇද වැටුනොත් ක්‍ෂණිකවම දිය පාර වැඩි වෙන නිසා.



අනන්ත තටාකයේ ඉදන් තට්ටු ඇල්ල එහෙම නැතිනම් පඩිපෙල ඇල්ලත් එතැනින් දිගේ ඉහලට ගියාම අන්තිමට තියෙන්නේ සංසුන් ඇල්ල. දිය ඇලි ටික බලාගෙන සංසුන් ඇල්ල ගාවට දොල දිගේ යද්දි තමයි මට තේරුනේ අපි කොයි තරම් සුන්දර ලෝකයක් අතහැරල ද කියල. ගස් අතරින් වැටෙන ඉර එළියත් එක්ක මැවෙන සුන්දරත්වය විස්තර කරන්න නම් වචන නැහැ. ඒ දිය ඇලි දාමය එක්ක අපේ ගමනේ බලන් තියෙ දේවල් නම් අවසන්. දැන් තියෙන්නේ රණමුරේ ගම්මානය වෙත යන එක. අනත්ත තටාකයේ ඉදන් කිලෝමීටර 12ක් විතර දුරින් තියෙන රණමුරේ ගම්මානයට එන එක ඒ තරම් ලේසි වුනේ නෑ. එක දිගට නොනැවතීම ගම්මානය වෙත ඇවිදන් එන්න හිතුවත් පොඩි පොඩි තැන් කීපයක නවතින්න වුනේ අපි අරන් ආව දේවල් සහ තුන්වෙනි දවසක ඇවිදීමේ ප්‍රතිඵල නිසයි. 
කොහොම වුනත් කලුවර වැටෙන ආසන්නයේ රණමුරේ ගම්මානයට ඇවිත් එතැන තියෙන පොඩි කඩෙන් කෑම ඇණවුම් කල නිසා ගමේ ඇල පාරෙන් නාන්න යන්නයි තීරණය වුනේ. කට්ටිය ඔක්කොම කැලෙන් එලියට එනකම් සපත්තු ගලවල ජාල පාරකට කකුල් දාගෙන හිටි මිනිත්තු කීපයත් අමතක නොවන මතක ගොඩට අනිවාර්යයෙන් වැටෙනවා. ගමේ ඇල පාරෙන් නාල ගමේම කෙනෙක්ගේ වාහනයක දඹුල්ලට ආව. ඒ එන මග අපි ඇසූ දුටු දේ පිළිබදවත් ගමනේ සාරාංශයත් කාතා කලා. කාගේත් තිබුනේ මේ වගේ අපූරු ගමනක් ආයෙත් එන්න තරම්වුනු උනන්දුවක්. දඹුල්ලට ආව අපි කොළඹටත් නුවරටත් එන්න පිටත්වුනා. 


ගමනේ තතු විත්ති ඒ විදිහට අවසන් වෙද්දී ස්තූති කල යුතු කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අපි ගමනේ අවසානයේ කඩේ ගාවදි හමුවෙන තුරු නොදැක්ක KMP වාඩියේ මහතුන් මාමා. අපිට කෑම ටික හදා දුන්න ගමේ කඩේ අය. ඒ සියල්ලට ඉහලින් අපිව සම්පූර්ණ සැලකිය යුතු පමාවක් නැතිව (අපේ පමාවල් හැරුනාම) සැලකිය යුතු අතුරු අන්තරාවක් නැතිව එක්ක ගියපු ආපු ගයිඩ් මලයා තත්සර. මේ තියෙන්නේ ඔයාලත් මේ වගේ ගමනක් යනවා නම් ඒ මලයගේ විස්තර. 

Thathsara Munasinghe - 071 786 2113

එහෙම නම් ආයේ ගමනකින් හමුවෙන තුරු ආයුබෝවන්.

ඈත කඳුකර හිමව් අරණේ


 


















ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.

මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අව‌බෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරද‌ේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.

නල දමයන්ති කතාවට අනුව නිෂධ රාජ්‍යයේ විසූ නල කුමරුවන් රූප ශ්‍රීයෙන් මෙන්ම අශ්වයන් ධාවනයේ අති දක‍්ෂයෙක් වීය. ධර්මිෂ්ඨ පාලකයෙකු වූ හෙතෙම විවිධ රටවල තොරතුරු රැස් කිරීම උදෙසා චරපුරෂයින් යොදවා තිබින. දිනක් ඉන් එක් චරපුරුෂයෙකු පැමිණ විදර්භ නම් දේශයේ පාලකයා වන හිම රජුන්ගේ වැඩිමහල් දරුවා වන දමයන්ති කුමරිය පිළිබඳව සැල කර සිටින්නට විය. වරෙක තමා ඈ දුටු බවත් කුමරියගේ රූපශ්‍රීය දුටුවනම තමාට නල කුමරුවන් සිහි වූ බවත් එම කුමරියට ගැලපෙන්නේ නල කුමරුවන් බවත් සැල කර සිටියේය. දමයන්ති කුමරියගේ රූ සිරිය පිලිබඳ ඇසූ නල කුමරුවන් සිතෙන් ඇයට ආලය කරන්නට විය.

දමයන්ති කුමරිය පිලිබඳ සිතමින් විල් තෙරක ඇවිදමින් සිටින නල රජු ඉතා ශෝභමාන වූ හංසයෙකු දකිනවා. නල කුමරු එම හංසයා සැනෙකින් අල්වා ගත් පසු හංසයා තමාට ජීවිත දානය දෙන ලෙසත් නල කුමරුවන්ගේ සි

සිතෙහි ඇති ආදරය පිළිබඳ තමා දන්නා බවත් සැක කර සිටින්නට විය. කෙසේ හෝ දමයන්ති කුමරියට නලකුමරුන් පිලිබඳ පුවත සැල කරන්නටත් ඇයගේ සිතෙහි නල කුමරුවන් ගැන අදහසක් ඇති කරනන්නටත් හංසයා පොරොන්දු විය. එම පොරොන්දුව අසා සිටි නල කුමරුන් සතුටුව හංසයා නිදහස් කරන ලද්දේය. පොරොන්දු පරිදි දමයන්තිය සොයා ගිය හංසයා නල කුමරුවන් වර්ණනා කරන්නට විය. ඇගේ සිතේ කුමරුවන් පිලිබඳ ආදරයක් ඇති කරන්නට තරම් ඒ් වර්ණනාව සමත් විය.

මෙම ගීතයේ කියැවෙන්නේ එකී වර්ණනාවයි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ්
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සඳුන් ගස් වලින් පිරුනු සීතල හිම වනාන්තර අතරින් හමාගෙන එන සීතල හුලං වල පාවෙලා එන්නේ ඔහු‌ගේ නාමයයි. හංසයා දමයන්තියට නල කුමරුවන් පිළිබඳ වර්ණනාව අරඹන්නේ එලෙසයි. ඔහු පිළිබඳ නොදත් අයෙත් නැහැ. ඒ වගේම ඔහුව දන්නේ ධර්මිෂ්ඨයෙකු නිසා සුන්දරවයි ඔහුගේ නාමය පිලිබඳ මිනිසුන් දන්නේ.

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

අහසේ තාරකා තියෙන රාත්‍රියක මැණික් සඳලු තලයක ඉන්න වෙලාවක් ගැන හංසයා මතක් කරන්නේ ඒ තියෙන සුන්දරත්වය ඉතාමත් ඉහල නිසයි. එහෙම සුන්දරත්වයක ඉන්න සුන්දර කුමාරිකාවන්ගේ වුනත් සිහින වල ඉන්නේ නල කුමාරයා. ඒ සුන්දර මොහොතට වඩා නල කුමාරයාගේ සුන්දරත්වය වැඩි බව හංසයා පෙන්වන්නේ එහෙමයි.

රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

රත්තරනින් කලා වගේ තියෙන පිරුණු පපුවක් තමයි නල කුමාරයාට තියෙන්නේ. ඒ තරම් සුවිසල් වටිනා කියල හදවතක් හිමි කුමාරයෙක්ට තුරුල් වුනාම කාන්තාවන්ගේ පයෝධර මුසපත් වෙනවා. හදවතේ ආදරය හට ගන්නවා. ඔහුගේ ඇස් සරාගයෙන් පිරිලා නුරා රසය ඉතිරී යනවා. ඒ තරම් ඔහු ලස්සනයි. පෞරුෂයක් හිමියි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගම සේකර
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම