මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා.