දුරස්ථ පාලක ගුවන් යානාවක් හදමු..

ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් බ්ලොග් එකට ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්න එක ලේසි නැහැ. ඒ කොහොම වුනත් කාලෙකට පස්සේ ලැබුන ඉඩෙන් කියවන අය වෙනුවෙන් වැදගත් දෙයක් දෙන්න ලැබෙයි කියල හිතෙනවා. 

කාලෙකට කලින් වගේම දැනුත් මගේ ආසම විෂයක් වෙන්නේ භෞතික විද්‍යාව. හැබැයි ඒක මහා අණ්ඩරදෙමළයක් වගේ අන්තවාදීව හිතන්න නම් මගේ ආසාවක් නැහැ. තවම. අපි ඉගෙන ගන්න සරල භෞතික විද්‍යාව ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන් විධි ගැන මගේ කවදත් ආසාවක් තිබුනා. මේ එයින් එක් අවස්ථාවක් භාවිතා කරල පොඩි සෙල්ලමක් කරන හැටි ගැන. 

බර්නූලී.. තරල ගති විද්‍යාව ඉගෙන ගද්දී අපි හැමදාම හිතුවේ මොන මගුලකට මේක ඉගෙන ගන්නවද කියලයි. හැබැයි ඒ ප්‍රායෝගික භාවිතයන් ගැන කියාදෙන තරම් පාඩම අගට එද්දී නම් හිගෙනවා මේක වැදගත් කියල. හැබයි ඉතින් ප්‍රායෝගිකව තමන්ම අත් විදින්නේ නැතිව ඒක කොයා තරම්ද කියන එක තේරෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.