මගේ ලිවිල්ල

ලක්‍ෂ තුනක් කියවපු බ්ලොග් එකක් කියන සතුට ඒ කාලේ  නම් පට්ටයි. නමුත් අද ඒ තරම් දැනෙන්නේ නැත්තේ මිනිස්සු දැන් දැන් වැඩිය කයවන්නේ නැති නිසා. මීට අවුරුදු 10 කට කලින් පළවෙනි බ්ලොග් පෝස්ට් එක ලිව්ව දවසේ ඉදන් අද වෙනකන් පෝස්ට් 350කට ආසන්න සංඛ්‍යාවක් ලියල තියෙනවා. ඒ කාලේ නම් බ්ලොග් එකක් කියන්නේ සම්පතක්. දැන් දැන් Youtube එක ඒ තැන අත්පත් කරගෙන. මිනිස්සු කියවනවට වඩා කරන දෙයක් බලන් ඉන්න ආසයි. අනික දැන් වීඩියෝ එකක් හදන්න ඉස්සර තරම් අමාරුවක් නෑ. අවශ්‍ය කරන බඩුත් අඩු ගානට ගන්න පුලුවන් නිසා.

මාව ලිවිල්ලට ඇදල ගත්තේ මගේ අයිය. (දැන් ඌ ලංකාවේ නෑ. :P) එයා නම් සම්මානලාභී බ්ලොග්කරුවෙක්. ශාකුන්තලගේ සටහන් පොත කියන නමින් තාක්‍ෂණික බ්ලොග් එකක් තමා ලියුවේ. මට මතක විදිහට 2009 හොඳම තාක්‍ෂණික බ්ලොග් අඩෙවිය සම්මානය ගත්ත. ගෙදර කතා කරන දේ සහ මගේ අත්දැකීම් ගැන කතා කරද්දී අයිය තමා කිව්වේ "ඔය කියන ටික බ්ලොග් එකක ලියනවකෝ" කියල. කොහොම හරි එයාගේ බල කිරීම ම කීප පාරක් කියද්දි මාත් පටන් ගත්ත ලියන්න. තියෙන ටෙම්ප්ලේට් එකකින් පටන් ගත්ත බ්ලොග් එක ක්‍රමාණුකූලව මම ම ඉගෙන ගෙන ටික ටික සංවර්ධනය කලා. 

බ්ලොග් එක නිසා ලැබුන ලස්සනම අත්දැකීමක් ලැබුනේ මට මතක විදිහට 2011 හෝ 2012 අවුරුද්දේ අම්පාරෙදි. ඒක වුනේ මෙහෙමයි. 

මගේ මිත්‍රයෙක් එක්ක මම ගියා අම්පාර නගර ශාලාවේ තිබුන ප්‍රදර්ශනයක් බලන්න. මට මතක විදිහට ආවර්ජනා කියන නමින් තිබුන යුද්ධයේ අඳුරු මතකයන් ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් ඒක. ඉතින් එතනදී මගේ යාලුවගේ යාලුවෙක් සහ තවත් මිතුරන් පිරිසක් එක්ක කතා කර කර ඉද්දි අම්පාර ගැන සහ අම්පාරේ ඉතිහාසය ගැන කතාවක් ඇදිල ආව. ඔය මගේ යාලුවගේ යාලුව අපි කියමු සරත් කියල. ඉතින් සරත් කියනවා මගේ යාලුවට (අපි කියමු නිමල් කියල) "නිමල් පට්ට සයිට් එකක් තියෙනවා බන් අම්පාර ගැන ලියන ඒකේ අපිවත් දක්කේ නැති තැන්, අම්පාරේ ඉතිහාසය ගැන ලියල තියෙනවා" කියල. මාත ඉතින අම්පාරේ ඉතිහාසය ගැන වැඩියෙන් උනන්දු නිසා මොකාද මේ සහ ඔය කියන සයිට් එක මොකක්ද කියල දැනගන්න පට්ට ආසාවක් ආව. ඉතින් මේකට සයිට් එක මතක නෑ ඒත් ඒකේ තිබුන කියල එක එක කතා විස්තර කියන්න ගත්ත. ටිකක් අහගෙන ඉද්දි මට තේරුනා මේ කියන්නේ මොකක් ගැනද කියල. නිමල් ටත් තේරිලා අපි මූණට මූණ බැලුව. දැන තියෙන්නේ පොඩි බයිටක් දෙන්න කියන එක අපි දෙන්නට ම තේරුනා.

ඔන්න ඉතින් නිමල් අහනවා "මචං උඹ ආසද ඔය ලියන එකා හම්බෙන්න." කියල. සරත්ට ඉබ්බ දියේ දැම්මා හා සතුටක් මූණට ආව. "අම්මටසිරි උඹ අඳුරනවද ඌව, ඉන්න තැනක් දන්නව නම් දැන් යමුද? කොහේද බන් උගේ ගෙවල්?." මේ වගේ නානා විධ ප්‍රශ්ණ රාශියක් ගලාගෙන ආවේ උගේ සතුට ඉහවහා ගිහින්. නිමලුත් සැර ඇරල අගේ කොරල "හරි හරි බන් උඹට දැන් ඌව හම්බෙන්නම ඔනිද?" කියල අහපි. සරත්ගේ මූණ ඔව් කියන එක විතරක් පිරෙන්න තිබුනා. නිමල් කියාපි "හරි එහෙනම් ඔය ඉන්නේ හම්බෙයන්" කියල මගේ පැත්තට අතක් දික්කලා. සරත්ට නිමල් කියන දේ හරියට තේරුනේ නෑ කියල උගේ මූණේන තේරුනා. නිකන් හරියට එකෙක් ව ක්‍ෂණිකව කකුල් දෙකෙන් ඇදල අරන් වට කීපයක් කරකවල පොලවට අතෑරට වගේ තත්පර කීපයක් බලන් හිටපු ඌට දෑස අදහගන්න බැරිව මගේ පැත්තට හැරුනා. මං හිතන්නේ සරත්ට සිහි එලවුනේ එතකොට. "ඊට පස්සේ ප්‍රශ්ණ වැලක් මං දිහාට. "මල්ලි කොහේද? කොහෙමද ඇවිදින්නේ ? අපිටත් යන්න බැරිද ඔයත් එක්ක." ඔය වගේ ප්‍රශ්ණ ගානකට උත්තර දෙද්දි අපිට ප්‍රදර්ශනේ බලන්නත් අමතක වෙනව තව ටිකෙන්. 

අවුරුදු ගානකට පස්සේත් මට තාම මතකයි ඒ මනුස්සයගේ මූණ. 

මුලින්ම ලියද්දී කියවන අය නෑ. පෝස්ට් එකක් දාල මාසයක් තිස්සේ බලනව කියවල තියෙන්නේ කී දෙනෙක්ද කියල. සමහර වෙලාවට ලියන එකත් වැඩක් නෑ කියල හිතෙනවා ලිපි කියනවන්න අය නැති වුනාම. කමෙන්ට් නම් හරි අඩුයි. නමුත් කියවන අය හිටියත් නැතත් මගෙ අත්දැකීමක් අකුරු කරල තියන එක මටම හොඳයි කියල හිතුන නිසා ආයේ ආයේ ලියුවා. බඩ ලැබෙන ලැබෙන අවස්ථා වලදී ලියුවා. පස්සේ විවිධ පත්තර වලටත් බ්ලොග් එකේ ලිපි දුන්නා. කණගාටුම වැඩක් කලේ එක්තරා නගරයක වෙළඳ සංගමයකින් මගේ ලිපි සහ පින්තූර එයාලගෙ වගේ පලකරන පොත් පිංචක් ගහපු වොලාවේ. පස්සෙ ඔවුන් දැනුවත් කලාම සමාව ගත්ත. පසු කලක පත්තර වලට වෙනමම ඒ ලිපි ලියල ඉල්ලුවත් ඒ සදහා නැවත කැප කරන්න කාලයක් නොමැති නිසා පත්තර වලට ලිපි දෙන එක නැවතුනා. 

දැන් ඉතින් ගොඩක් අය හිතනවා ඇති බ්ලොග් එකක් කියන්නේ ඇඩ් දාල පට්ට විදිහට හම්බ කරනව ඇති කියල. වැඩක් නෑ කරුමේ කියන්නේ ගූගල් ඇඩ් සෙන්ස් සිංහල භාෂාවට වැඩ කරන්නේ නෑ. ඒ නිසා මේ ලියන කිසිම ලිපියකින් මට අද වෙනකන් සල්ලි නම් ලැබිල නෑ. හම්බෙන එකම දේ කියවන අය දෙන කමෙන්ට් තමයි. මේ තියෙන්නේ අද ඊයේ දක්වපු අදහස්. 




දන්න දෙයක් තව කෙනෙක්ට කියා දීල ලැබෙන සතුට ඇරෙන්න ලැබෙන දෙයක් නෑ. කාලය අඩු නිසා සහ වෘත්තීය සදාචාරය හා නීති රීති නිසා සමහර දේ ලියන්න බැරි නිසා බ්ලොග් එක වල් වැදිල වගේම කියවන අයගේ හිඟයත් ඒකට බලපාල. 

බලමු ඉදිරි කාලයේ තවත් අලුත් දැනුම ටිකක් එක්ක ලිපි පෙලක් ලියන්න පුලුවන් වෙයිද කියල. එතෙක් ඔයාලගේ අදහස් කමෙන්ට් විදිහට බ්ලොග් එකට ලියන්න. පරණ ලිපි සෑහෙන ප්‍රමාණයක් වර්ගීකරණය කරල නිසා ඒ ඒ ටැබ් වලින් ගිහින් තමන්ගේ ආසාවන් තියෙන් දේ කියවන්න.

එහෙනම් අදට ආයුබෝවන්.

 

7 comments:

  1. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බලමු කියන අය අනුව

      Delete
  2. අනිවා දිගටම ලියන්න. ආර්ථිකමය වශයෙන් ගොඩක් ලාභදායී නොවුනත්; මේක අපි වෙන කෝණෙකින් බලමු.

    තමන් දෙයක් දැන ඉගෙන ගත්ත නම් ඒක තව කෙනෙකුට කියලා දෙන්න කියලා ලෝකෙ වැදගත් කෙනෙක් කියලා තිබුනලු.

    ඒක ලොකු මානසික තෘප්තියක් වේවි❤💪

    ReplyDelete
  3. නවත්වන්න තියා එහෙම කරණ්න හිතන්නවත් එපා! මේ වෙන කොට යළිත් පරණ බ්ලොග් රචකයි නැවතත් ලියන ප්‍රවණ තාවයක් ඇතිවෙලා තියෙන්නේ! ඔබ මගේ බ්ලොග් එකට ගිහින් බලන්න! ඒකේ ඇතිවූ කථිකාව!වෙනදට කියවලා ගියාට කමෙන්ට් කරණ්න උනන්දු උනේ නෑ! ඉස්සරහට කමෙන්ට් වැටෙයි සට! සට!! ගාලා!

    ReplyDelete
  4. ශාකුන්තලට අසෙනිය කුසුමෙන් සම්මානය දෙන එකේ වීඩියෝ එකක් දැක්කා. මමත් දැන් ලියන්නේ එෆ් බී එකේ. දෙකක් කරන්න බෑ.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!