රෝස මලට කියනවාද

කාලෙකට පස්සේ ආයෙත් ලස්සන ගීතයක් එක්ක. ලියන්න කියල තරම් නොවුනත් කුරුටු ගාපු ගීත ගානක් තියෙනවා. කොහොම වුනත් අද මේ ගීතය ආයෙත් ඇහිල නිතර මිමිණෙන නිසාම ලියන්න හිතුවා.

මේ ගීතය ලියල තියෙන්නේ නව පරපුරේ රචකයෙක් වුන රවී සිරිවර්ධන විසින්. පරිසරයෙන් සොයාගත්ත ආදරය ගැන වුරුත් කතාවෙන් රෑපකයක් තමයි මේක ඇතුලේ යොදාගෙන තියෙන්නේ. "රෝස මලක්". ආදරය සමහර වෙලාවකදී සතුටින් ගලා යනවා වගේම කඳුලකින් අවසන් වෙන්නත් පුලුවන්. බොහෝ වෙලාවල් වලදී ඒ කඳුලු තව කෙනෙක් හෝ පිරිසකට චෝදනාවකින් සමනය කර ගන්න උත්සාහ කරනවා. සමාජය එහෙමයි. නමුත් මේ ගීතය ඇතුලේ රචකයා දෝදනාවක් නොකර අපූර්ව විඳ දරාගැනීමක් කරනවා.

රෝස මලට කියනවාද
මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග

මෙතැන රෝස මල විදිහට උඵමා කරන්නේ තමන්ගේ ප්‍රේමවන්තිය. කවුරුත් ආදරය සංකේතවත් කරන රෝස මල ම තමයි යොදා ගන්නේ. නමුත් පෙම්වතා....? ඔව් ඔහු මිය ගිහින්.. රචකයා ආමන්ත්‍රණය කරන්නේ, ඉල්ලීම් කරන්නේ සමාජයෙන් විය යුතුයි.  පෙම්වතා මිය ගිහින් කියල පෙම්වතියට කියන්න කියල ඔහු ඉල්ලීමක් කරනවා. නමුත් ඒ එක්කම ඉල්ලීමක් කරනවා මිය යන්න හේතුව වුනේ මොකක්ද කියල කියන්න එපා කියල. මොනවද මේ නොකියා ඉන්න සත්‍යය. ඒ තමා පෙම්වතියගේම පවුලේ අය ම තමා මේ මරණයට වගකිව යුතු වෙන්නේ කියල. ඇයි ඒ?

මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං

රෝස මලක් වටේට කටු තියෙන්නේ මල රකින්න. දුවක් පරිස්සම් කරන්නම තමා ඒ පවුලේ අය හැම වෙලාවේ දීම බලන්නේ. ඉතින් අපේ ආදරය ගැන ඇයව දන්න අය ගිහින් පවුලේ අයට ගිහින් කිව්ව කියල මම තරහ ගන්නේ කොහොමද? ඒක ඒ අය කල යුතු දෙයක්. ඒක ඔවුන්ගේ වගකීමක්. ඒ නිසාම තමයි පෙම්වතා කියන්නේ මරණයට හේතුව පෙම්වතියට දැන ගන්න එපා කියල. ඇය තුල පවුලේ අය පිලිබඳ වැරදි ආකල්පයක් ඇතිවීම වලක්වන්නයි පෙම්වතා තාමත් උත්සාහ කරන්නේ.

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්

මේව අහල ඇගේ පවුලේ අයගේ අවසරයක් ලැබිල ඇය මාව බලන්න ආවොත් ඇයට කියන්න ඇපේ පු=වුලේ අය තරම්ම තමන් ඇයට ආදරය කල බව. දුවක් පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන්නේ පියෙකුගේ ආදරයක් කියල කියනවනේ. ඉතින් පෙම්වතා කියනවා ඇයට තමන් ආදරය කලේ ඇය බලාපොරොත්තු වුන විදිහටමයි. නමුත් අහේතුකව අවාසනාව නිසා ඔහු අද මිය ගිහින්. ඒ සදහා කිසිවෙකුට චෝදනා කරන්න ඉඩ තියන්න එපා කියල ඔහු ඉල්ලීමක් කරනවා. 

කෙනෙකුගේ ජීවිතයේ ආදරය නැති වෙද්දී ඔහුගේ චිත්ත රූප කොහේට දිව යනවාද කියන්න බැහැ. එය පෙම්වතෙක් වේවා පෙම්වතියක් වේවා සිදු වෙන දෙයක්. ඒ නිසාමයි පෙම්වතා තම මරණයේ හේතුව පෙම්වතිය තුලට දාල ඇයටත් තමන්ට හිමි වුන මරණයෙන් නිමවන ජීවිතයක් හිමි කරන්න උත්සාහ කරන්න එපා කියල සමාජයෙන් ඉල්ලන්නේ.

දර්ශන වික්‍රමතුංග විසින් මේ ගීතය සඳහා එකතු කල සංගීතය සහ පලමු අන්තරා කොටසෙහි පසුබිමෙන් එක්කර ඇති ගායනය මෙහි හැඟීම වඩා තීව්‍ර කරනවා කියලයි මම හිතන්නේ. ක්‍රිශාන්ත එරන්දක ගායන ශිල්පියාගේ තියෙන හඬ මේ ගීතයේ පද අරුත හරි අපූරුවට මතු කරනවා. ඒ ඉල්ලීම් ස්වරන=යට උපරිම සාධාරණයක් ගායකයා කරනවා.

අහලම බලන්න ගීතය..

රෝස මලට කියනවාද
මා මිය ගිය බව ...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...

මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම් ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්...
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම් ...

ගායනය - ක්‍රිෂාන්ත එරන්දක
පද - රවී සිරිවර්ධන
සංගීතය - දර්ශන වික්‍රමතුංග

1 comment:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!