මගේ ලිවිල්ල

ලක්‍ෂ තුනක් කියවපු බ්ලොග් එකක් කියන සතුට ඒ කාලේ  නම් පට්ටයි. නමුත් අද ඒ තරම් දැනෙන්නේ නැත්තේ මිනිස්සු දැන් දැන් වැඩිය කයවන්නේ නැති නිසා. මීට අවුරුදු 10 කට කලින් පළවෙනි බ්ලොග් පෝස්ට් එක ලිව්ව දවසේ ඉදන් අද වෙනකන් පෝස්ට් 350කට ආසන්න සංඛ්‍යාවක් ලියල තියෙනවා. ඒ කාලේ නම් බ්ලොග් එකක් කියන්නේ සම්පතක්. දැන් දැන් Youtube එක ඒ තැන අත්පත් කරගෙන. මිනිස්සු කියවනවට වඩා කරන දෙයක් බලන් ඉන්න ආසයි. අනික දැන් වීඩියෝ එකක් හදන්න ඉස්සර තරම් අමාරුවක් නෑ. අවශ්‍ය කරන බඩුත් අඩු ගානට ගන්න පුලුවන් නිසා.

මාව ලිවිල්ලට ඇදල ගත්තේ මගේ අයිය. (දැන් ඌ ලංකාවේ නෑ. :P) එයා නම් සම්මානලාභී බ්ලොග්කරුවෙක්. ශාකුන්තලගේ සටහන් පොත කියන නමින් තාක්‍ෂණික බ්ලොග් එකක් තමා ලියුවේ. මට මතක විදිහට 2009 හොඳම තාක්‍ෂණික බ්ලොග් අඩෙවිය සම්මානය ගත්ත. ගෙදර කතා කරන දේ සහ මගේ අත්දැකීම් ගැන කතා කරද්දී අයිය තමා කිව්වේ "ඔය කියන ටික බ්ලොග් එකක ලියනවකෝ" කියල. කොහොම හරි එයාගේ බල කිරීම ම කීප පාරක් කියද්දි මාත් පටන් ගත්ත ලියන්න. තියෙන ටෙම්ප්ලේට් එකකින් පටන් ගත්ත බ්ලොග් එක ක්‍රමාණුකූලව මම ම ඉගෙන ගෙන ටික ටික සංවර්ධනය කලා. 

බ්ලොග් එක නිසා ලැබුන ලස්සනම අත්දැකීමක් ලැබුනේ මට මතක විදිහට 2011 හෝ 2012 අවුරුද්දේ අම්පාරෙදි. ඒක වුනේ මෙහෙමයි. 

මගේ මිත්‍රයෙක් එක්ක මම ගියා අම්පාර නගර ශාලාවේ තිබුන ප්‍රදර්ශනයක් බලන්න. මට මතක විදිහට ආවර්ජනා කියන නමින් තිබුන යුද්ධයේ අඳුරු මතකයන් ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් ඒක. ඉතින් එතනදී මගේ යාලුවගේ යාලුවෙක් සහ තවත් මිතුරන් පිරිසක් එක්ක කතා කර කර ඉද්දි අම්පාර ගැන සහ අම්පාරේ ඉතිහාසය ගැන කතාවක් ඇදිල ආව. ඔය මගේ යාලුවගේ යාලුව අපි කියමු සරත් කියල. ඉතින් සරත් කියනවා මගේ යාලුවට (අපි කියමු නිමල් කියල) "නිමල් පට්ට සයිට් එකක් තියෙනවා බන් අම්පාර ගැන ලියන ඒකේ අපිවත් දක්කේ නැති තැන්, අම්පාරේ ඉතිහාසය ගැන ලියල තියෙනවා" කියල. මාත ඉතින අම්පාරේ ඉතිහාසය ගැන වැඩියෙන් උනන්දු නිසා මොකාද මේ සහ ඔය කියන සයිට් එක මොකක්ද කියල දැනගන්න පට්ට ආසාවක් ආව. ඉතින් මේකට සයිට් එක මතක නෑ ඒත් ඒකේ තිබුන කියල එක එක කතා විස්තර කියන්න ගත්ත. ටිකක් අහගෙන ඉද්දි මට තේරුනා මේ කියන්නේ මොකක් ගැනද කියල. නිමල් ටත් තේරිලා අපි මූණට මූණ බැලුව. දැන තියෙන්නේ පොඩි බයිටක් දෙන්න කියන එක අපි දෙන්නට ම තේරුනා.

ඔන්න ඉතින් නිමල් අහනවා "මචං උඹ ආසද ඔය ලියන එකා හම්බෙන්න." කියල. සරත්ට ඉබ්බ දියේ දැම්මා හා සතුටක් මූණට ආව. "අම්මටසිරි උඹ අඳුරනවද ඌව, ඉන්න තැනක් දන්නව නම් දැන් යමුද? කොහේද බන් උගේ ගෙවල්?." මේ වගේ නානා විධ ප්‍රශ්ණ රාශියක් ගලාගෙන ආවේ උගේ සතුට ඉහවහා ගිහින්. නිමලුත් සැර ඇරල අගේ කොරල "හරි හරි බන් උඹට දැන් ඌව හම්බෙන්නම ඔනිද?" කියල අහපි. සරත්ගේ මූණ ඔව් කියන එක විතරක් පිරෙන්න තිබුනා. නිමල් කියාපි "හරි එහෙනම් ඔය ඉන්නේ හම්බෙයන්" කියල මගේ පැත්තට අතක් දික්කලා. සරත්ට නිමල් කියන දේ හරියට තේරුනේ නෑ කියල උගේ මූණේන තේරුනා. නිකන් හරියට එකෙක් ව ක්‍ෂණිකව කකුල් දෙකෙන් ඇදල අරන් වට කීපයක් කරකවල පොලවට අතෑරට වගේ තත්පර කීපයක් බලන් හිටපු ඌට දෑස අදහගන්න බැරිව මගේ පැත්තට හැරුනා. මං හිතන්නේ සරත්ට සිහි එලවුනේ එතකොට. "ඊට පස්සේ ප්‍රශ්ණ වැලක් මං දිහාට. "මල්ලි කොහේද? කොහෙමද ඇවිදින්නේ ? අපිටත් යන්න බැරිද ඔයත් එක්ක." ඔය වගේ ප්‍රශ්ණ ගානකට උත්තර දෙද්දි අපිට ප්‍රදර්ශනේ බලන්නත් අමතක වෙනව තව ටිකෙන්. 

අවුරුදු ගානකට පස්සේත් මට තාම මතකයි ඒ මනුස්සයගේ මූණ. 

මුලින්ම ලියද්දී කියවන අය නෑ. පෝස්ට් එකක් දාල මාසයක් තිස්සේ බලනව කියවල තියෙන්නේ කී දෙනෙක්ද කියල. සමහර වෙලාවට ලියන එකත් වැඩක් නෑ කියල හිතෙනවා ලිපි කියනවන්න අය නැති වුනාම. කමෙන්ට් නම් හරි අඩුයි. නමුත් කියවන අය හිටියත් නැතත් මගෙ අත්දැකීමක් අකුරු කරල තියන එක මටම හොඳයි කියල හිතුන නිසා ආයේ ආයේ ලියුවා. බඩ ලැබෙන ලැබෙන අවස්ථා වලදී ලියුවා. පස්සේ විවිධ පත්තර වලටත් බ්ලොග් එකේ ලිපි දුන්නා. කණගාටුම වැඩක් කලේ එක්තරා නගරයක වෙළඳ සංගමයකින් මගේ ලිපි සහ පින්තූර එයාලගෙ වගේ පලකරන පොත් පිංචක් ගහපු වොලාවේ. පස්සෙ ඔවුන් දැනුවත් කලාම සමාව ගත්ත. පසු කලක පත්තර වලට වෙනමම ඒ ලිපි ලියල ඉල්ලුවත් ඒ සදහා නැවත කැප කරන්න කාලයක් නොමැති නිසා පත්තර වලට ලිපි දෙන එක නැවතුනා. 

දැන් ඉතින් ගොඩක් අය හිතනවා ඇති බ්ලොග් එකක් කියන්නේ ඇඩ් දාල පට්ට විදිහට හම්බ කරනව ඇති කියල. වැඩක් නෑ කරුමේ කියන්නේ ගූගල් ඇඩ් සෙන්ස් සිංහල භාෂාවට වැඩ කරන්නේ නෑ. ඒ නිසා මේ ලියන කිසිම ලිපියකින් මට අද වෙනකන් සල්ලි නම් ලැබිල නෑ. හම්බෙන එකම දේ කියවන අය දෙන කමෙන්ට් තමයි. මේ තියෙන්නේ අද ඊයේ දක්වපු අදහස්. 




දන්න දෙයක් තව කෙනෙක්ට කියා දීල ලැබෙන සතුට ඇරෙන්න ලැබෙන දෙයක් නෑ. කාලය අඩු නිසා සහ වෘත්තීය සදාචාරය හා නීති රීති නිසා සමහර දේ ලියන්න බැරි නිසා බ්ලොග් එක වල් වැදිල වගේම කියවන අයගේ හිඟයත් ඒකට බලපාල. 

බලමු ඉදිරි කාලයේ තවත් අලුත් දැනුම ටිකක් එක්ක ලිපි පෙලක් ලියන්න පුලුවන් වෙයිද කියල. එතෙක් ඔයාලගේ අදහස් කමෙන්ට් විදිහට බ්ලොග් එකට ලියන්න. පරණ ලිපි සෑහෙන ප්‍රමාණයක් වර්ගීකරණය කරල නිසා ඒ ඒ ටැබ් වලින් ගිහින් තමන්ගේ ආසාවන් තියෙන් දේ කියවන්න.

එහෙනම් අදට ආයුබෝවන්.

 

Macro පින්තූර ගද්දි ආලෝකය එක්ක සෙල්ලම්

ගොඩක් වෙලාවල් වලදී මම Macro පින්තූර ගන්නේ ඡායාරූපයේ ඉන්න වස්තුව පැහැදිලිව පේන විදිහට. ඒකක මම ආස විදිහ. නමුත් ආලෝකය හැසිරවීම මත ඒක කලාත්මක ඡායාරූපයක් බවට පත් කරන්නත් පුලුවන්. 

අද මම කියන්න හදන්නේ පුංචි ආලෝක වෙනසකින් කරන්න පුලුවන් දෙයක් ගැන. අවාසනාවක මහත මම පින්තූර ගන්න හැටි පින්තූර ගන්න කවුරුත් නැති නිසා මම කල විදිහ පෙන්වන්න පින්තූර නැහැ. නමුත් ඒ ඒ පින්තූර වල කැමරාව සහ උපකරණ තියපු විදිහ ගැන මම පුංචි රෑප සටහන් ටිකක් එක්ක ලියන්නම්.

අද මම විෂය විදිහට පින්තූර ගන්නේ සමනලයෙකුගේ. සාමාන්‍යයෙන් සමනලුන් දිවා කාලයේ දී තමයි ක්‍රියාශීලී වෙන්නේ. ඒ නිසා සවස් කාලයක, රාත්‍රියක හෝ ඉර නැගෙන්නට පෙර උදෑසනක් කියනනෙ මේ වගේ සමනලයෙක් වගේ සතෙක් එක්ක ආලේඛ්‍ය ඡායාරූප ටිකක් ගන්න හොදම වේලාවන් ටිකක්. 

මේ පින්තූර වලට මම භාවිතා කලේ මම ම හදපු Light Diffuser එකක්.. ඒ වගේ එකක්ට අදහසක් ගන්න මේ පහල තියෙන සබැදියේ මම ලියපු ලිපිය කියවන්න.

http://sulakkhana.blogspot.com/2016/09/blog-post_21.html

හරි, මුලින්ම කියන්න ඕනි මේ තියෙන පින්තූර එකක්වත් සංස්කරණය කරල නැහැ. කරල තියෙන එකම දේ දියසළකුණු යෙදීම, RAW පින්තූර JPEG බවට පත් කිරීම සහ Image Resize කියරීම පමණයි. පින්තූර වල Subject හැටියට දාල තියෙන්නේ සමනලයා සහ මල්පොකුර. මේ පින්තූර ගන්න භාවිතා කරල තියෙන්නේ Nikon D90, Nikkor 105mm 2.8 Micro, Godox 560II Speed light and Tripo TR950 Speed light එකයි.

දැන් මුලින්ම මම ගත්ත පින්තූර දාන්නම්.

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f32, ISO 200, 1/200Sec

මේ තියෙන්නේ මම තෝරගත්ත දෙවැනි පින්තූරය..

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f14, ISO 200, 1/200Sec

මේකෙදි මම පුංචි වෙනස්කම් ටිකක් කලා. ඒ දේවල් ඉහල සටහනින් බලන්න පුලුවන්. එකක් තමයි Speed light 2 වල වෙනස. සබ්ජෙක්ට් එක පැත්තට හරවල ටිකක් පස්සට කලා.. අනිත තමයි Speed light 1 වල Power එක අඩු කලා. ඒකට හරියන්න කැමරාවේ f අගය අඩු කලා. මේ වෙනස්කම් නිසා මල් පෙති වල සෙවනැලි සමනලයාගේ පිහාටු වලට ඇති කරගන්න පුලුවන් වුනා.

තුන්වෙනි පින්තූරය හැටියට තෝරගත්ත පින්තූරය මෙන්න මේක..

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f29, ISO 200, 1/200Sec

මේ පින්තූරය ගන්න මම කල වෙනස්කම් උඩ සටහනින් බලන්න පුලුවන්. Speed light 2, Subject එකට පිටුපසින් දීල Ring light Effect එක අරන් තියෙනවා. Speed light 1 වලින් තමයි Speed light 2 Trigger කලේ ඒ නිසා ඒකේ Power එක සම්පූර්ණ අඩු කරල අනිත් පැත්තට හරවලා තියෙන්නේ Sujbect එකට ඒකේ ආලෝකයේ බලපෑම අවම කරල දාන්න. මේකෙදි මතක තියා ගන්න Speed light 1 එකේ  ආලෝකය Lens එකට වැටෙන එක වලක්වන්න ඕන. ඒකට මොකක් හරි කාඩ්බෝඩ් කෑල්ලක් භාවිතා කරන්න පුලුවන්.

මේ තියෙන්නේ ඊලග පින්තූරය..

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f29, ISO 200, 1/200Sec

මේකෙදී මම කල වෙනස්කම් තමයි Speed light 1 වලින් ආලෝකය පොඩ්ඩක් Sujject සලස්වපු එක. ඒකට light එක හරවල light එකත් එක්ක එන පොඩි Reflector එක එලියට ඇදල ගත්ත.

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f29, ISO 200, 1/200Sec

මේකෙදි කල වෙනස්කම තමයි කාඩ්බෝඩ් කෑල්ලක් Reflector එකක් විදිහට භාවිත කල එක සහ Speed light 1 හැරවීම.

ඊලග පින්තූරය තමා මෙන්න මේක.

මේ පහලින් තියෙන්නේ ඒ ඒ උපකරණ භාවිතා කරපු විදිහ.

f29, ISO 200, 1/200Sec

මේ පින්තූරය ගද්දි කල වෙනස්කම් ගැන මම කියන්න දෙයක් නෑ. කැමරාව ලං කරල Magnification එක වැඩි කිරීම ඇතුලු අනිත් කල වෙනස්කම් පැහැදිලි ඇති.

මේ සියල්ලෙන් මම කියන්න බලාපොරොත්තු වුනේ සරළ වෙනස්කම් ටිකකින් අපිට එකම පින්තූරය විවිධ ආකාර වලින් ගන්න පුලුවන්. ඒක විදින්න ලැබෙන්නේ විවිධ ආකාර වලට. ඔයාලත් Macro පින්තූර ගද්දී මේ දේවල් ගැනත් හිතල පින්තූර ගත්තා නම් ලස්සන පින්තූර ටිකක් අපටත් බලන්න පුලුවන්.

අවසානේදී ඉල්ලන්න තියෙන්නේ කවදාවත් කියවන අය නොකරන දෙයක්. අදහස් අඩුපාඩු කමෙන්ට් එකක් ලියන්න. තව කෙනෙක්ට බලන්න මේක Share කරන්න.

ආයෙම නිවාඩුවක් ලැබුනම කියනකන් හැමෝටම ආයුබෝවන්.

මගේ ගමන් බිමන් එකසිය දහසයවන කොටස - වලපනේ

ආයුබෝවන් හැමෝටම.. කාලෙකට පස්සේ ලිපියක් ලියන්න වගේම ගමනක් යන්න ලැබුනේ කොරෝනා නිසා ඇතිවුන බලපෑම නිසා. නමුත් දැන් දැන් ටිකෙන් ටික කොරෝනා බලපෑම අඩුවෙන නිසාත් අපිටත් ගෙවල් වල ඇතිවුන නිසාත් ආයෙමත් ඇවිදින්න හිතාගත්තා. මේ විදිහට පටන් ගත්ත ගමනක් ගැන විස්තරයක්.

කාලයක් තිස්සේ සැළසුම් කල කිසිම ගමනක් යන්න වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. අපි හැමදාම සැලසුම් කල ගමන් අභාවයට ගියේ සිතිවිල්ල එක්කමයි. කාලෙක ඉඳන් එකට එකතුවෙලා ගමන් බිමන් ගිය මගේ ගමන් සගයන් අවසානයේදීඋඹ අපිව එක්කන් යනවද නැද්ද?” කියල අහන තරමට ආව. ඉතින් අපේ මිතුරෙක් කලින් රාජකාරි කල වලපනේ පැත්තෙ ඇවිදින්න තීරණය කලේ රටේ තියෙන වසංගතය ටිකක් අඩු ගම්බද නිදහසේ ඉන්න පුලුවන් පළාතක් වුන නිසයි. සතියක් වගේ ඇතුලත සැලසුම් කල ගමන සඳහා කට්ටියම එකතු වෙන්න තීරණය කලේ මහනුවර නගරයට

ගමන යොදාගෙන තිබුණේ පෙබරවාරි මාසේ අන්තිම සතියේ දින තුනක නිවාඩුවට. සිකුරාදා උදේ 9.00 වෙද්දී මහනුවරට එකතු වුන වැඩිහිටියෝ 7 දෙනෙක් සහ මගේ මිතුරෙකුගේ පුංචි එකත් හිටියා. මහනුවර ඉඳන් රන්දෙණිගල මාර්ගයේ ඇවිත් කන්දේ හන්දියෙන් හරවල හඟුරන්කෙත රිකිල්ලගස්කඩ හරහා පදියපලැල්ලට ආව. පදියපැලැල්ලේ බස් නැවතුම ලඟින් දවල් කෑම පැකට් කරල ගත්තේ කාලය ඉතිරි කරන්න සහ අපි මන්දාරම්නුවර කොළපතන ඇල්ල බලල එතැන ඉඳන් කමු කියන තීරණයක් තිබුන නිසා. පදියපැලැල්ලෙන් එලමලේ හන්දියෙන් හැරිල කිලෝමීටර 11 ආවම මන්දාරම්නුවර. මන්දාරම්නුවරට බස් රථයේ යන අතරෙ දෙපස ඇති සුන්දරත්වය විඳිනනත් අමතක කලේ නැහැ. මාර්ගය දෙපස හෙල්මලු ක්‍රමයෙන් වගා කරන කුඹුරු සකස් කරල තිබුනා. දින කීපයක් ඇතුලත වගා කරන ස්වභාවයකින් තිබුණු කුඹුරු සහ මේ වන විටත් වගාවන් ආරම්භ කරපු කුඹුරු අතර තිබුනා

මන්දාරම්නුවර කියන නම හැදෙන්නේ මේ ගමන වෙනත් ගම් වලට පසුව හිරු නැගීම සහ වෙනත් ගම් වලට කලින් හිරු බැසීමත් සිදුවන නිසා. මෙහෙම වෙන්න හේතුව මේ ගම තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි කඳු වළල්ලක් මැද පතුලේ වීම. මන්දාරම් නුවර කියන්නේ මහ විශාල ඉතිහාස කතාවක් කඳු පන්තියක් ඇතුලේ හංගගෙන ඉන්න තැනක්.

මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කවි පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා රජවරු 8 දෙනෙක් ගැන මේ කව් පොතේ තොරතුරු විස්තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 කාලයක් උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ. මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්ෂිත ස්ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක් එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික් ආදී සියලු ධනයද රැගෙනය. මහනුවර යුද්ධයක් නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්තඃපුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික් ගෙනැවිත් ආරක්ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය. නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්ථානයක් හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.

මන්දාරම්නුවරින් බසයේ ගමන අවසන් කල අපි එතැන ඉඳන් කොළපතන ඇත්ත ගාවට ගමන තිබුනේ පයින්. කාලයකට කලින් නම් නොයිඳුල් ගම්නමානයක් විදිහට තිබුනත් දැන් දැන් නම් නාගරීකරණයේ ලකුණු සෑහෙන්න තියෙනවා.

කිලෝමීටර තුනකට ආසන්න දුරක් පයින් ගමන් කරන්න තිබුනත් ප්‍රවේශපත්‍ර ලබාගන්නා ස්ථානයට තිබුන කිලෝමීටර දෙකක විතර දුර ගියාට පස්සේ බෑග්, කෑම වගේ දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. විතරක් නෙවෙයි එතැනින් ඇතුලේ දිය ඇල්ලෙන් එන ජල පාරවල් වල නාන්න හෝ බහින්න තහනම්

 “රජකාලෙ දි, මල්සරා කියල දේවියක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල, කොළපතන ඇල්ල කියල ව්‍යවහාරයට එක්වුනා කියල කියනවා. අපූර්ව සුන්දරත්වයක් තියෙන ඇල්ල කොටස් කීපයක් විදිහට දුරින් බලන්න පුළුවන්. දිය ඇල්ල පාමුලට යනකම් ඇවිදගෙන යන්න පුලුවන් උනත් දිය ඇල්ලේ සැබෑ ලස්සන දකින්න නම් ටිකක් ඈත ඉඳන් බලන්න ඕන කියල එකයි මගේ නම් හැඟීම. ක්‍රමයෙන් හිරු බහිද්දී දිය ඇල්ල මත කඳු පන්තියේ සෙවනැල්ල වෙනස් වන හැටි බලාගෙන පැය ගානක් ගත කරන්න පුලුවන්. තම් ලස්සනක් තියෙන දිය ඇල්ලක් තමයි කොළපතන ඇල්ල.

අපේ ගමන සවස් වරුවක සිදු වුන නිසාත් මන්දාරම් නුවර මේ දිය ඇල්ල විතරක් බලන්න ගියා වුනත් මන්දාරම් නුවර කියන්නෙ දවස් දෙක තුනක් නැවතිල ඇවිදින්න තරම් දේවල් තියෙන තැනක්. කබරගල ඇල්ල, ඇතිනිවල ඇල්ල, පෙයාර්ස් ගොවිපල, කොඩි ආර ගල, කොල්ලන්ගල, බෙර ගහන ඇල්ල, මොරපාය රජමහා විහාරය, වඩුවේවල, වැල්ලගිරි විහාරය කියන්නේ මේ බලන්න තියෙන දේවල් වලින් ටිකක් විතරයි. අපේ කණ්ඩායමේ ස්වභාවය වගේ ගමන් වලට සුදුසු නොවන නිසා අපේ ගමන කොළපතන ඇල්ලේ අවසන් කරන්න අපට සිදුවුනා. පළමු රාත්‍රි ගත කරන්න තියෙන නිල්දණ්ඩාහින්න ගම්මානයට කිලෝමීටර 37ක් විතර අපි යා යුතුව තිබුන නිසා වේගවත් ගමනකින් අපි මන්දාරම් නුවර බස් නැවතුමට ආව. අවසන් බසයෙන් නැවතත් පදියපැලැල්ලට ගියත් පෝය දවසක් වුන නිසා එතැනින් නිල්දණ්ඩාහින්නට හෝ වලපනේ නගරයට බසයක් තිබුනේ නැහැ. නිසා එතැනින් වාහනයක් කුලියට ගන්න වුනා. නිසා බසයකට වඩා ඉක්මනින්න නවාතැන ලඟට එන්න පුලුවන් වුනා. මාගේ මිතුරාගේ දැන හැඳුනුම්කම මත සොයාගත්ත නවාතැන අපිට නිදහසේ ඉන්න පුලුවන් තැනක් වීම කාගෙත් සතුටට කාරණයක්

කාලෙකින් හමුවුන මිතුරන්ගෙ කයි කතන්ද වලින් රාත්‍රි ගෙවපු අපි නින්දට යන්න සූදානම් වෙද්දී පෝය දවසේ හඳ, අහසේ තරු ඔක්කොම වගේ සඟවලා තිබුනා. දවසේ මහන්සියත් එක්ක නින්දට වැටුන අපි දෙවැනි දවස ආරම්භ කලේ මගේ මිතුරාගේ මිතුරා නිසා සොයාගත්ත වාහනයකින්. නිල්දණ්ඩාහින්නෙන් උදෑසන ආහාරය ගත්ත අපි සැලසුමේ හැටියට කුරුඳු ඔය ඇල්ල බලන්න පිටත් වුනා

ලංකාවේ පිලිගත් වාර්තා අනුව තෙවැනියට උසම ඇල්ල විදිහට හඳුන්වන්නේ කුරුඳු ඔයෙන් පෝෂණය වන කුරුඳු ඔය ඇල්ලයි. මීටර 206ක් උස මේ දිය ඇල්ල පිදුරුතලාගල කඳුවැටියේ උතුරු බෑවුමෙන් කඩා හැලෙනවා. වලපනේ නගරයෙන් හරගම පාරේ ඇවිත් බ්රම්ලි වතුයාය පැත්තට හරවල ආවාම දිය ඇල්ල පැත්තට යන පාරට එන්න පුලුවන්. මේ පාරවල් වල එන්න නම් සඳහා සුදුසු වාහනයක් තොරගන්න එක නම් වටිනවා. තේ වතු මැදින් තියෙන පාරවල් නිසා සාමාන් වාහනයක නම් යන්න අමාරුයි. අපි ගිය වෑන් රථයේ රියදුරු බොහෝම ප්‍රවේශමෙන් පදවගෙන ආවත් කීප තැනකින් පාර අහගෙන තමා අපි වාහනයට යන්න පුලුවන් උපරිමය යා හැකි මාර්ගයක් සොයා ගත්තේ. වාහනය නවතපු තැන ඉඳන් කිලෝමීටර දෙක තුනක් පයින් යන්න තියෙනවා. වාහනය නවතපු ගැනට පේන කන්දෙන් සම්පූර්ණයෙන් වැහිල තිබුන දිය ඇල්ල ටිකෙන් ටික කඳු මුදුනට එද්දී පේන්න ගන්නවා. මතුරට ඇල්ල යන නමින් ද හැඳින්වෙන මෙම දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසින් පිහිටා තිබෙනවා.
දිය ඇල්ලෙ සුන්දරත්වය විඳ ගත්ත අපි ඊලඟට ආවේ වලපනේ ජපන් සාම විහාරය බලන්න. 1885-1985 කාලයේ ජීවත්වුන නිචිදට්සු ෆුජි (Nichidatsu Fuji) කියන බෞද්ධ භික්‍ෂුව විසින් නිපොන්සන් යෝහෝජි (Nipponzan Myohoji) කියන නිකාය ආරම්භ කරනවා. පසුව උන්වහන්සේ 1931දී මහත්මා ගාන්ධි හමුවීමත් සමඟ ලොව පුරා සාමය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ 1947 දී සාම විහාර නිර්මාණය කරමින්. සාම විහාර, මහායාන බුදුදහමේ සම්ප්‍රදායට ‍බෝධිය, ස්තූපය හා විහාර ගෙය යන නිර්මාණ ඇතුලත්ව ගොඩනගල තියෙනවා. වසර 2000 වෙද්දී ලොව පුරා සාම විහාර 80ක් ඉදිවෙලා තියෙනවා. අපේ පුංචි ලංකාවේ විතරක් සාම විහාර 5ක් තියෙනවා. ඒ අම්පාර, ගාල්ල, ශ්‍රී පාදය, බණ්ඩාරවෙල හා වලප‍නේ යන ප්‍රදේශ වල. එයින් අම්පාර සාම විහාරය සහ ගාල්ල උණවටුන ප්‍රදේශයේ තියෙන සාම විහාරය ගැන මම ලිපි ලියල තියෙනවා.

නගර මැද සිට සැතපුම් භාගයක පමණ දුරින් පිහිටි මිල්ලපිටිය ගම්මානයේ ලස්සන කඳු ගැටයක් මත ජපන් ගෘහ නිර්මාණ ශිල්පය පෙරදැරි කරගත් මෙම විහාරය වර්ෂ 1983 ඉදි කරන ලදී. ප්‍රධාන මාර්ගයේ සිට දීර්ඝ පඩි පෙලකින් මේ විහාරයට යන්න පුලුවන් වුනත් අපි වාහනයකින් පන්සල ලඟටම යන්න පුලුවන් මාර්ගය තමා අපි තෝරගත්තේ. කෙනෙක්ට පඩිපෙල් මාර්ගය තෝර ගන්නවා නම් දෙන්න තියෙන උපදෙස තමයි රිලවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියන එක.

විහාරය සාම විහාර සම්ප්‍රදාය පෙන්නුම් කරනවා වගේම පැදකුණු කරන්න තට්ටු වශයෙන් තියෙන මලු තුනක් තියෙනවා. අපි යන වෙලාව වෙද්දී නම් විහරගෙන වහලයි තිබුනේ. හරි හැටි නඩත්තුවක් නැති බැතිමතුන්ගෙන් අඩු විහාරයක් හැටියට පෙනෙන මෙම චෛතයය පිටුපසින් පෙනෙන කඳු සමඟ අපූරු දර්ශනයක් මවනවා.

එතැනින් පිටවුන අපේ අරමුණ වුනේ නිල්දණ්ඩාහින්නෙන් දිවා ආහාරය අරගෙන ගොලුමලේ දිය පාර පැත්තට යන එකයි. යටිමාදුර ප්‍රදේශයේ පිහිටා තියෙන මේ ස්ථානය බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක මායිමේ පිහිටලා තියෙනවා. මේ ප්‍රදේශයට ඒ නම ලැබෙන්නේ ගඟ මැද තියෙන ස්වභාවික ලිඳකට වැටිලා අනිත් පැත්තෙන් තියෙන කවුලුවකින් මෙම වතුර එලියට එන නිසා. නමුත් ගඟේ වතුර වැඩි කාලයේදී මෙම සිදුවීම බලන්න බැහැ. දිය පාර දිගේ එන අලි ගම් වැදීම වලක්වන්න අලි වැටත කියෙනවා. දිය පහරේ යන කවුරුත් මේ අලි වැට යටින් රිංගලා තමයි යන්න ඕන. පෙන බුබුලු ගංවමින් ගල් මතින් ඇදෙන ජල පහර විශාල ගලින් සැදුණු බේදමක් වැනි ලිඳට වැටී අනෙක් පස ඇති සොරොව්වෙන් එන බවයි කියන්නේ. මෙම ගං පතුලේ මෙවැනි තැන් විශාල ප්‍රමාණයක් තිබෙන බවයි පැවසෙන්නේ. ගොලුමලේ දිය පහරින් නිදහසේ නා ගෙන එද්දි නම් ඇවිදපු මහන්සිය කොහෙන් ගියාද කියල හිතා ගන්න බැරි තරම් වුනා.

දවස ඇතුලේ ඇවිදින්න තිබුණු සියලුම තැන් වල ඇවිද්ද අපි නවාතැනට ආවේ හිතේ සතුටයි, සැප නිද්දක අවශ්‍යතාවයයි එක්ක. කට්ටියට තිබුන රාජකාරි එක්ක ඊලඟ දවසේ කල් ඇතුව ගෙවල් වලට යන බලාපොරොත්තුවත් තිබුනත් මගේ හිතේ තිබුණේ සැළසුමේ හැටියට තිබුන හරස්බැද්ද පුංචි ලෝකාන්තය බලන්න යන එක. ඒ එක්කම උදේ ඉර පායන හැටි බලන්නත් පින්තූර ගන්න ආසාවත් එක්ක පාන්දර ඉර පායන්න කලින් ගිහින් හරස්බැද්ද පුංචි ලෝකානතය බලන්න තීරණය කලා. අපි එකක් ගිය කීප දෙනෙක්ම ඒක යන්න බෑ මහන්සියි කීවත් තුන්දෙනෙක් එක්ක පාන්දර 4.00ට කන්ද නගින්න තීරණය කලා.

නවාතැනේ ඉඳන් හරස්බැද්දෙ පුංචි ලෝකාන්තයට කිලෝමීටර 3.5 ක් 4ක් විතර තිබුනා උනත් සීග්‍ර නැග්මක් එක්ක තිබුන නිසා සෑහෙන්න හෙමින් තමයි අපේ ගමන සිද්ධ වුනේ. මහන්සියට වඩා අවසානය ගැන හිතපු නිසාම වෙන්න ඇති ඉර පායන්න කලින් අපි එතැනට ලඟා වුනා. මේ කඳු මුදුනට ආවාම නිලදණ්ඩහින්න, යටිමාදුර, උඩමාදුර, උඩපුස්සැල්ලාව පැහැදිලිව දැකගත හැකි අතර ඉතා ඈතින් පිටමාරුව පුංචි ලෝකාන්තය පිහිටි ප්‍රදේශයත් ලුනුගල, මඩොල්සිම, නාරංගල සහ නමුනුකල කදුවැටියත් පැහැදිලිව දැකබලා ගන්න පුලුවන්.

 

තව පින්තූර බලන්න මෙතැනින්..

ඉර පායනකන් පින්තූර සහ වීඩියෝ කර ගත්ත අපි ඉක්මනින්ම පහලට බැස්සෙ ආයෙත් ගම රට බලා යා යුතු නිසා. මූලිකව වලපනේ ආව කෙනෙකුට බලන්න තියෙන ලේසි තැන්ටික බලපු අපි නිලදණ්ඩහින්නෙන් කාල නුවරට එන්න පිටත් උනා. එතැනින් ඉතින් විසිර යා තමයි.