මගේ ගමන් බිමන් හැත්තෑ නමවැනි කොටස - ගනේගම විහාරය පැල්මඬුල්ල



රත්නපුර - පැල්මඬුල්ල මාර්ගයේ ගනේගම තියෙන පැරණි සිද්ධස්ථානයක් තමා මේ කියන ගනේගම විහාරය කියන්නේ. රත්නපුර පැල්මඬුල්ල මාර්ගයට මුහුණලා තියෙන නිසාවෙන් මේ මාර්ගයේ ගමන් කරන ගනේගම හිටිවන පිලිමය නොදැකපු කෙනෙක් නම් නොමැති ගානයි. අරමොණපොල විහාරය, දෙනවක විහාරය යන නම් වලින් පවා හැ‍ඳින්වෙන්නේ මේ විහාරයමය. චෝල ආක්‍රමණ වලට පසුව ශ්‍රී පාදය වන්දනාවේ පැමිණි අරමණ දේශයෙන් එනම් බුරුමයෙන් පැමිණි භික්‍ෂූන් වහන්සේලා නවාතැන් ගෙන ඇත්තේ මේ වාහාරයේය. එනිසා අරමණ පොල ලෙස ව්‍යවහාරයට එක්ව ඇතැයි ඉතිහාසයේ කියවේ. කිරිබත්ගල කඳු ශිඛරයටත් කුට්ටාපිටිය කඳු ශිඛරයටත් මැදින් ඇති නිසාවෙන් දෙනවක විහාරය ලෙස පොලොන්නරු යුගයේ සිටම මෙය හඳුන්වා ඇතැයිද ඉතිහාසය සක්‍ෂි දරයි. තවද පසු කලෙක බටහිර ආක්‍රමණ හමුවේ ලක්දිව බුදු සසුන විනාශ වෙද්දී ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වෙන භික්‍ෂු කොට්ඨාශයක් මේ ප්‍රදේශයේ වාසය කර ඇත. විහාරයේ නඩත්තුව හා පාලනය සිදු කිරීමද ගණින්නාන්සේලා විසින්ම කර ඇත. එනිසා මෙය ගණේගම ලෙස ව්‍යවහාරයට එක්ව ඇතැයි සිතිය හැක.

මෙහි ඇති බෝධීන් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ගෙන හා ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාකාවෙන් හටගත් දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක් මෙහි රෝපණය කර ඇති බවද ඉතිහාස පොත්පත් වල සඳහන්වේ. විහාරගෙය තුල ඇති දාරුමය බෝධීන් වහන්සේ සඳුන් ලීයෙන් කරවා ඇති බවට විශ්වාස පවතින අතර තවත් කෙනෙකු එය හික් ලීයෙන් කරවා ඇති බවද විශ්වාස කරයි. එය මෙම විහාරයේ ඇති පැරණිම ප්‍රතිමාව වේ. විහාර පිට මලුවේ ඇති ගල් කුලුණු 24කුත් ගල් උළුවහු 3කුත් සඳකඩ පහණ හා ගලින් කල භාජන දෙකකුත් දැනට ඇති පැරණි ගල් කැටයම් අතර වේ. කෝට්ටේ යුගයේ වූ දක්‍ෂ ගල්වඩුවන්ගේ දක්‍ෂතාව මැනෙවින් පිළිබිඹු කරන්නා වූ ගල් උළුවස්සක් මෙහි දැකිය හැකි අතර උළුවස්ස පාමුල ඇති උක්කුටුක ඝන රූප හා පලාපෙති මෝස්තර වලින් ලැබෙන සංකීර්ණ නිර්මාණ වල අපූර්වත්වය වචන වලින් විස්තර කල නොහැකි තරම්වේ.
අනුරාධපුර පොලොන්නරු යුග වලින් පසුව ලංකාවේ ගලින් කල නිර්මාණ ප්‍රමාණය අඩුවන්නට පටන් ගත්තද ගනේගම විහාරය නැවතත් අනුරාධපුර පොලොන්නරු යුගයන් සිහිපත් කරවයි. රත්නපුර දිස්ත්‍රික්කයේම වැඩිම ශෛලමය නිර්මාණ ඇත්තේ ගණේගම විහාරයේය. මෙහි නිර්මාණ සම්පූර්ණයෙන්ම පාහේ කෝට්ටේ යුගයේ කල නිර්මාණ යැයි පුරාවිද්‍යාඥයන් තහවුරු කරයි. කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කරවා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරුවෙනට පිලිගැන්වූ බවද සඳහන්ය. පසුව පෘතුගීසි සමයේ මේ විහාර විනාශ වී ඇති අතර මහනුවර සමයේදී කොට්ටිඹුල්වල අනොමදස්සී ස්වාමිපාදයන් වන්සේ මෙය ප්‍රතිසංස්කරණය කරන්නට පටන්ගෙන ඇත. එයින් පැහැදුනු කන්ද උඩරට රජ ශ්‍රී විකුම රාජසිංහ රජතුමා මෙම විහාරය හා ගම්වරයක් කොට්ටිඹුල්වල අනොමදස්සී ස්වාමිපාදයන් වහන්සේට පූජා කර ඇත.

පසුකලෙක අඳුරු කාලච්ඡේද අවසන් කරමින් බුදුලෙන රංමහා විහාරාධිපති කර්මාචාර්ය සන්නස්ගම ශ්‍රී රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පිලිසකර කරවා පාලනය කර ඇත. විහාරගෙන හා බෝධීන් වහන්සේ වටා වූ ප්‍රාකාරය පසුව නිර්මාණය වූ අතර අවුකන පිළිමය ආකාරයට නිමවූ හිටි පිළිමයත් පොලොන්නරුව ගල් විහාරයේ ආකෘතියට ඉදිවූ නිර්මාණයත් නිසාවෙන් මේ විහාරය වන්දනාමාන කරන්නවුන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නට සමත්වී ඇත

ඉතිහාසයේ සිට වර්තමානයට වේගවත් ගමනක් ආව ඔයාලට කියන්න තිනේනේ මේ ලංකාවේ පෞඩ ඉතිහාසය කියාපාන තැන්. ඒ ඒ තැන් වලට ගිහින් වන්දනාමාන කරල. දැකබලානෙ අපේ හෙල සම්ප්‍රදායන් කලාකෘතීන් නිර්මාණය වුන හැටි ගැන ටිකක් හොයල බලන්න. මෙන්න ගියපු තැන තියෙන මගේ පින්තූර ගොන්න. ටිකක් වුනත් අනිත්වා දවසක මේ ඇල්බමයේම පල කරන්න බලාපොරොත්තු වෙනවා.

Facebook එකෙන් ඉගෙන ගන්නත් පුළුවන්

මෙන්න අදත් මතභේද වලට තුඩු දෙන මාතෘකාවක් අරන් ආවා. අද අපේ හැමමෝම කතා කරන හා එපා කියන දෙයක් තමා facebook එහෙමත් නැතිනම් මුහුණුපොත කියන්නේ. මම කලින් ලිපියක් ලියුවා මතක ඇති සමාජයික ජාලයන් හා මුහුණු පොත කියල. ඒකට ලියැවුණු කරුණු හැරෙන්නට තවත් කරුණු කීපයක් වෙනුවෙන් මගේ අත්දැකීම් අඩෙවියේ ඉඩ වෙන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

කවුරු කොහොම කිව්වද අද කාලයේ ගොඩක් දෙනාට මූණු පොතේ තැනක් තියෙනවානේ. ඒත් ඒ දේ හරියට පාවිච්චි වෙනවද කියන එක නම් ගැටලුවක්. හැබැයි ඉතින් මමත් තාම ඒ ගොඩේම තමයි. මොනවා වුනත් කියන්න නම් තියෙන්නේ අපූරු දේවල් ගොඩක් දේ කරන්න පුළුවන් තැනක් තමා මූණු පොත කියන්නේ. මම ටිකක් දේ කියන්නම්. අපි කියමු අපි බුකියේ හදාගන්නවා account එකක්. ඒක මොනා කරන්නද ගන්නේ. ගොඩක් දෙනාට කියන්න දෙයක් නෑ. අමාරුවෙන් යාලුවෙක්ට කියල හදාගන්න account එක මාස ගානකට පාවිච්චි කරන්නේ නැති අය අනන්තයි. සමහර අය බුකියේ පින්තූරයක් දානවා, තව වටේ ඉන්න කීප දෙනෙක් එක්ක chat කරනවා, යාලුවෝ දාන ඒවට like දානවා comment කරනවා කියන්න ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.

ඒත් බලන්න බුකියේ pages හදන්න පුලුවන්. ඒ දේ කරන්නේ ඒ දේ කරන්නේ තමන් හදන පිටුවේ මාතෘකාවට එහෙම නැතිනම් පිටුවේ අඩංගු කරන දේ සම්බන්ධව ප්‍රසිද්ධිය හා එයට ඇති කමැත්ත අකමැත්ත ගැන තම මිතුරු සමාජය තුලින් දැන ගන්න. ඉතින් අපි ඒ දේ හරහා ගමන් හෝ තමන් කරන දේවල් සඳහා හොඳ දේවල් දැන ගන්න පුළුවන්. ඒ සඳහා ලැබෙන අදහස් වලින් දැනුම හා තමන්ගේ පිටුව අඩංගු දේ සම්බන්ධව වැඩි දියුණු කර ගන්නත් පුළුවන්.

අනික් දේ තමා අපි හදන groups. මේ දේ නම් අද මහා පරිමානයෙන් දකින්න පුළුවන්. එකක් පරද්දල තවකෙක් හදන  සමූහ තියෙනවා. නමුත් ඒ හදන සමහර ඒවා ගොඩක්ම මන්දගාමී ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම නම් හිතන හැටියට හදන කෙනා සහ ඒ හා සම්බන්ධ වෙන අය ඒ ඒ සමූහ තුල ක්‍රියාශීලී විය යුතුයි සහ ඒ ඒ දේවල් තුලින් සමාජයට වැදගත් දෙයක් දිය යුතුයි කියන එක. මතකයේ තියාගන්න අපි එකතුවෙන පිටු හා සමූහ තුල ක්‍රියාශීලී වීම හා ඒ තුල ගැටෙමින් සිටීම තුලින් අපට ඒ සමූහයේ අඩංගු දේ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අපි සමූහයක් හා එක්විය යුත්තේ ඒ සමූහයේ අඩංගු වෙන දේවල් හා සමූහයේ නීති රීති තමන්ට අනුකූල වෙනවානම් හෝ තමන් ඒ විශයපථය පිලිබඳ කැමැත්තක් තියෙනවා නම් විතරයි.

තමන් කැමතකි නැති තමන්ට ආසාවක් නැති දෙයකට එකතු වෙන්නේ නැතිව තමන්ට ප්‍රයෝජනවත් දෙයක් එක්ක එකතු වුනාම ගොඩක් දේවල් ඉගෙන  ගන්න පුලුවන්. ඒ තුල තමන්ගේ අදහස් එක්ක සාකච්ඡා කරන්න, වාද කරන්න හා තමන්ගේ දැනුම පිලිබඳ නිවැරදි කිරීම් කරගන්න පුළුවන්. දවසක් පුරා කවුරු හරි කෙනෙක් දෙන්නෙක් එක්ක කාපු බීපු දේවල් ගැන කතා කරනවාට වඩා ඒ වගේ සමූහයක් එක්ක එකතුවෙලා මොනාහරි දෙයක් ඉගෙන ගත්තා නම් ගොඩක් ජීවිත වලට වටීවි කියල හිතෙනවා.

තවත් දෙයක් තමා facebook හරහා එකතු කරගන්නා පිරිස පවා තමන්ගේ රුචිකත්වයට හෝ තමන්ගේ සත්‍ය මිතුරකු නොවන්නේ නම් එයිනුත් වැඩක් නැහැ. ඒ වගේම අනන්‍යතාවයක් නැති අය ඇතුලත් කරගනිද්දී වුනත් පරිස්සම් වෙන්න ඕන. මේ වගේ දේවල් එක්ක පරිස්සමින් තේරුම් අරන් ගනුදෙනු කලා නම් සම්පූර්ණ විශයයක් ගෙදර ඉඳන් නොමිලයේම ඉගෙන ගන්න පුළුවන්. කියවන්න තරම් දෙයක් ලියන තේරුම් ගන්න පුලුවන් තරම් දෙයක් බෙදාහදා ගන්න අය මහ ගොඩක් බුකියේ ඉන්නවා. අපි ඒ අයගෙන් වැඩක් ගන්න සහ අපි දන්න දේ වෙන අය එක්ක බෙදා ගන්න නම් අපි සමාජයික ාලයක් පාවිච්චි කරන්න ඕන. ඒ අතරේ තියෙන ප්‍රසිද්ධ වුන එක තමා facebook. ඒ නිසා මතක තියා ගන්න අපිට facebook එකෙන් ඉගෙන ගන්නත් පුළුවන් විනාශ වෙන්නත් පුලුවන්.

මගේ ගමන් බිමන් හැත්තෑ අටවන කොටස - පාහියංගල ලෙන

ඔන්න ගමන් බිමන් විස්තර එක්ක පලවෙනි වතාවට බස්නාහිර පලාතට ආවා. කළුතර දිස්ත්‍රික්කයේ පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය ගම්මානයට තමා මේ විදිහට යන්නේ. බුලත්සිංහල හංදියෙන් නික්ගහ පාරේ කිලෝමීටර 5ක් ආවාම අපට පාහියංගල ලෙන තියෙන තැනට එන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 400ක් විතර උසින් තමා මේ ස්ථානය තියෙන්නේ. වාහනයක ආවත් අපට ගල් පඩි 496ක් නගින්න වෙනවා මේ ලෙන බලන්න යන්න නම්. ලෙන නයි පෙනයක හැඩයෙන් අඩි 468 උසින් තිබෙන ගල් පර්වතය දකින්න පුපුළුවන්. එහි ඇති ලෙනේ කට අඩි 150ක් පමණ උසින් හා අඩි 175ක් පමණ පළලින් යුතු වෙනවා. ලෙනෙහි වැඩිම දිග අඩි 282ක් වන අතර උපරිම පළල අඩි 160ක් විතර වෙනවා. ඉතින් මේ සා විශාලත්වයෙන් තියෙන ගල් ලෙන ලංකාවේ ඇති විශාලතම ස්වභාවික ගල්ලෙන විදිහටත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. එනම් අති විශාල දඹුලු ලෙනේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විතර විශාල ලෙනක් මේක. ගල්ලෙනෙහි නොතෙමී සිටිය හැකි මිනිසුන් ගනන 3000ක් විතර කියල තමා කියන්නේ.
panaroma එකක්
මෙතැනට නම වැටුනු විදිහ ගැන විවිධ ජනප්‍රවාද තිබුනත් වඩාත් පිලි ගන්නා මතය වෙන්නේ මෙන්න මේක. ක්‍රි. ව. 5වන සියවස ආරම්භ වෙද්දී ඒ කියන්නේ  අනුරාධපුරයේ රජකල මහානාම රජ දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් නම් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියායැයි සැලකෙන නිසාවෙන් නම් දැරූ බවයි. සුප්‍රකට දේශ ගවේශකයෙකු වන මේ පාහියන් භික්‍ෂූන් වහන්සේ ලංකාවේ විවිධ පලාත්වල සංචාරය කර ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඓතිහාසික තොරතුරු රැස් කරගෙන සිය රටට ගිය බැව් ඉතිහාසයේ කියවේ.

1986/87 කාලයේ ආරම්භ කල පාහියංගල කැණීම් වලදී මතුවූ මානව ඇටසැකිලි වලින් කාබන් කාල නිර්ණ පරීක්‍ෂාවක් සිදු කල අතර එයින් ලැබුණු පිලිතුර අනුව සියල්ලෝ මවිත විය. ඒ හමුවූ ඇටසැකිලි වල වයස අවුරුදු 37000ක් පමණ වුන නිසාවෙනි. එනිසා ලංකාවේ පැරණිම යැයි විශ්වාස කල බලංගොඩ මානවයාගේ තැන පාහියංගල මානවයාට හිමිවිය.
මෙම විශාල ලෙනෙහි දකුණට වන්නට කුඩා විහාරයක් තනවා ඇති අතර එය වෑවල ධම්මජෝති හිමියන්  වැඩ වාසය කරන සමයේදී තනවන ලද්දක් බව කියවේ. එකල කරවූ මහනුවර යුගයේ චිත්‍ර කරවා ඇතත් අද නම් ඒවා විනාශය පත්වී ඇත. පිලිසකර කටයුතු කරමින් පැවතියත් එකල ස්වභාවිකව ලබාගත් වර්ණයන්ගෙන් වර්ණවත් කල පින්තූර අද කෙසේ වර්ණ ගන්වන්නේදැයි පැණයක් ඉතිරිව ඇත.
පාහියංගල කල කැණීම් වලින් තහවුරු වී ඇති ආකාරයට එහි වසර ගනනාවක් තිස්සේ කඩා වැටුනු ගල් පොතු කැබලි වලින් පොලව ඉහලට එසැවී ඇති අතර මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ඒවා පිලිවෙලකට තැන්පත්ව ඇති බවයි. තවද එහි මීටර 2ක් යටින් පවා ගින්දර දල්වා ඇති බවට සාක්‍ෂි හමුවී ඇත. තවද හමුවූ විශාල අස්ථි කොටස් වලින් රයිනෝසිරස් හා හිපපොටේමස් සතුන් පවා මේ අවට ජීවත් වූ බවට සාක්‍ෂි හමුවී ඇතැයි කියවේ. සමහර අස්ථි කොටස් පිලිස්සුම් හා කැපීම් වලට නකතු වී ඇති නිසා මේවා මානව ක්‍රියාකාරකම් වල අවශිෂ්ඨ කොටස් බව සිතිය හැක. ලෙන තිබෙන තැන සිට සෘජුව මුහුදට ඇති දුර 50km පමණ වන නිසාවෙන් එවකට මානවයන් මුහුද දක්වා පවා ආහාර සොයා ගිය බැව් කිව හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. ගුහාවෙන් විවිධ සතුන්ගේ ඇට කැබලි හා දත් වර්ග හමුවී ඇති අතර එයට කුඩා විශාල යැයි භේදයක් නොමැත. ඒ සියල්ල ආහාරයට ගත් සතුන්ගේ යැයි සාක්‍ෂි පවතී. ඒ අතර කිඹුලා, වලි කුකුලා, හම්බාවා, ඉත්තෑවා, විවිධ මිරිදිය මතස්‍ය වර්ග හා සර්ප විශේෂ පවා මොවුන්ගේ ආහාර රටාවේ තිබී ඇතැයි සාක්‍ෂි පවතී.
 
අවසානයේදී මම දැක්ක දේ නම් කියන්න ලැජ්ජයි ඒත් ඒ ගැන කිව යුතුම යැයි කියලත් හිතෙනවා. ඒ තමයි විහාරයේ පිලිමය පිටිපස්සේ තිබුණ කුණු ගොඩ. ඒක පොලිතීන් එක්ක එකතු කරලා ලෙනේ පැල්මක් තුල පුරවලා තිබීම නම් කණගාටුවට කරුණක්. ඒ දේවල් බලධාරීන්ගේ ඇස් වලටත් පේන්න ඇති නොබලා ගියාට කියලයි මම නම් හිතන්නේ. කොහොම වුනත් සැකවින් කියපු විස්තරයක් එක්ක මේ තැන ගිහින් බලනවා නම් ‍ගොඩක් වටිනවා කියල කියන්න පුළුවන්. කෙසේ වුනත් මෙන්න මම ගත්ත පින්තූර ගොන්න.


මගේ ගමන් බිමන් හැත්තෑ හත්වන කොටස - හිනිදුම කල්වාරි සිද්ධස්ථානය

ගාල්ල නගරයේ ඉදන් කිලා්මීටර 49ක් විතර ගියාම අපට හිනිදුම මේ කියන කල්වාරි පුදබිමට එන්න පුළුවන්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ පුදබිම වසර 60කට අධික තිහසයකට හිමික් කියන තැනක්. මෙහි ඉතිහාසය වසර 1948දී තමා පටන් ගන්නේ. එවකට එහි තිබූ හිනිදුම ක්‍රිස්තියානි පල්ලියේ සිටියේ සිරිල් එදිරිසිංහ පියතුමා. 1948 වසරේ මහ සිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක් පල්ලිය ඉදිරිපිට ඇති කන්දේ ගින්නක් හටගෙන තියෙනවා. පල්ලියට අයත් බිම් කඩ නිසාවෙන් පියතුමා තවත් බැතිමතුන් සමග එක්ව එම ගින්න නිවා දාන්න රාත්‍රිය පුරාම කටයුතු කරලා තියෙනවා.
කෙසේ වෙතත් උදේ බලද්දී කන්ද කොල පාටින් දිස්වෙනවා වෙනුවට අඟුරු වෙලා ගිය කන්දක් තමා දැකල තියෙන්නේ. ඒ අතරේ පියතුමා විශේෂ දෙයක් දකිනවා. ඒ තමයි කන්දේ ගිණිගත් ගස් අතරේ ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීම. මෙය දැකපු පියතුමා තවත් බැතිමතුන් අරන් කන්ද නැගලා ඒ කුරුසය වගේ දිස්වුන ගිණිගත් ගස් තිබුන තැන් ලී කුරුස වලින් සලකුණු කරල තියෙනවා. පස්සේ මේ පියතුමා මේ පුදේශය භාරයේ පත්වෙද්දී ඔහුට හමුවන බුදු පිළිම නෙලන දක්‍ෂ ශිල්පියෙක් වුන සෝමදාස මහත්මයා එක්ක එකතු වෙලා ඔහු සටහන් කල කුරුස ලකුණු ඇති තැන් වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කරන්න පටන් ගන්නවා. 1958දී මෙය ඩියොසිසන් පුදබිම ලෙසින් නම් ලබනවා. නමුත් ඒ වෙද්දිත් කඳු පාමුලින් ගලන්නා වූ ගිංගඟ හරහා ගිහින් තමා බැතිමතුන්ට වන්දනාමාන කරන්න වෙලා තිබුනේ. වන්දනා කරන කාලයේදී ගඟ හරහා පාලමක් සෑදුවද ගඟ පිටාර ගලන කාලයේදී එය විනාශ වුනා. මෙසේ කාලය ගතවීමත් එක්ක 1994දී ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් සාදන්නට වුනා. එය සිදු වුනේ බෙඩී ද සිල්වා පියතුමා‍ගේ අධීක්‍ෂනය යටතේ. නමුත් 2003 දී ඇතිවූ ගංවතුර නිසාවෙන් එයද විනාශයට පත්වුනා. පසුව බොනිෆේස් පෙරේරා පියතුමාගේ අනුදැනුමින් දැන් තිබෙන කල්වාරි පාලම සකස් කරල බැතිමතුන්ට වන්දනා කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා.




කන්ද තරණය කරන එක නම් ඒ තරම් ලේසි කාර්යයක් නොවුනත් භක්තිය නිසාවෙන් නම් ඒ දේ කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. කොහේම වුනත් අපූරු වටපිටාවක් දකින්න පුළුවන් තැනක් නිසා වරක්වත් දැකගන්න කියල තමා කියන්න තියෙන්නේ. මෙන්න මම එකතු කරගත්තු මතක සටහන් ටික.

දුක් විඳින ධීවර කර්මාන්තය

හුඟ කාගෙකින් සමාජයීය මාතෘකාවක් කතා කරන්න හදන්නේ. මගේ අඩෙවිය කියවන කවුරුත් දන්නවා මම ලියන්නේ මම වින්ඳ අත්දැකීම් එහෙම නැතිනම් මට අහන්න දකින්න ලැබුණ දේවල් කියලා. ඉතින් මේ කියන්න හදන්නේත් ඒ වගේ කතාවක්. ටික දවසකට කලින් පොඩි වැඩ කීපයක් වෙනුවෙන් මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ලිහින් හිටපු අම්පාරට ගියා. ඉතින් ඒ එද්දී හරි අපූරු පිරිසක් එකතු වුනා. ඒ ධීවරයන් පිරිසක්. ටිකක් විතර බීලා බස් එකේ නැගල හිටපු නිසා මම හිතුවේම දවසම ඉවරයි කියල. දන්නවනේ ඉතින් බීගත්තු පිරිසක් එක්ක බස් එකේ එනව කියන්නේ කොහොමද කියල. ඒත් ඉතින් ඔවුන් කොයි තරම් ලෙන්ගතු වුනාද කියල තේරෙන්නේ ඔවුන් එක්ක කතාවට වැටුනට පස්සේ. කතාව මට මතක විදිහට එයාලගේ වචන වලින්ම කියන්න උත්සාහ ගන්නම්.
මල්ලි අපි පන්න කරන්නේ මලෙයි වලින් ගිහින් ඈත මුහුදේ ඉතින් දවස් ගනන් යන්න වෙනවා. මේ ඉන්නේ අපේ කොල්ලෝ ටික. (හිටපු අනිත් අය පෙන්නමින්) අපි ඉන්න පැත්තට කුණාටුවක් ආවා. ඒ නිසා අපි ආපහු මලෙයි වරායට ඇවිත් ඉන්නේ මේ දවස්වල.

අයියේ පන්න කරනවා කියන්නේ මොකක්ද? මම ඇහුවා.

පන්න කනවා කියන්නේ මාළු අල්ලන එකට. අපේ අය පන්න කරන්නේ ලොකු කෙලවල්ලෝ. සති ගනන් මාස ගනන් මුහුදේ ඉන්න ඕන. ඒ අල්ලන එක මාලුවෙක් කිලෝ 10ක් 12ක් වෙනවා. අපේ බෝට්ටු ගාල්ල මාතර ඉඳන් සීසන් එකට මලෙයි වරායට ගේනවා. එතන ඉඳන් හැතැප්ම 700ක් 800ක් යනවා දියඹට.

ඉතින් අයියේ ඒ කියන්නේ ගොඩක් දුරනේ. අපට ඒ තරම් මුහුදෙන් අයිති නැහැ නේද?

නැහැ තමයි. ඒ පැත්ත කියන්නේ බංගලි මුහුද. ඒ පැත්තේ නැත්තම් ඉන්දියන් මුහුදේ තමා හොඳ මාලු ඉන්නේ. ඉතින් වැඩි ලාබ ගන්න නම් ඒ පැති වලම පන්න කරන්න වෙනවා.
ඉතින් කොහාමද වැඩේ කෙරෙන්නේ?

රස්සාවේ යනවා කියන්නේ බොහොම භයානක දෙයක්. අපිට නම් දැන් පුරුදුයි. මම කලින් ආමි එකේ හිටියේ. දැන් අයින් වෙලා. මුලින්ම අපි ඇම ගහල යොත් මුහුදට දානවා. ඒකට වෙනම දෙන්නෙක් ඉන්නවා. ඉන්නකෝ මම පෙන්නන්න කරන විදිහ. (දුරකථනය අදිමින්) හැබැයි කොල්ලෝ මේවා වෙන කොහෙන්වත් උඹට නම් ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ අය මාලු මරණ හැටි.

සමහර වෙලාවට අපිව Navy එකෙන් වට කරනවා. ඒ වෙලාවට ඉතින් යොත් කපල පැනල යනවා. සමහර වෙලාව‍ට අහු වෙනවා. ඉන්දියන් Navy එකට අහුවුනාම නම් බෝට්ටු හම්බෙන්නේ නෑ. අන්තිමට එහේ හිරෙත් තැපල තමා එන්නේ. අපේ බෝට්ටුවකුත් ගිය සතියේ අහුවුනා.

ඔහුගේ විසතරය මෙහෙමයි. දුක් විඳිමින් ගෙවන ජීවිතයේ අඩුපාඩු ඔහු වචන විදිහට පිට කලත් එහි කඳුලක් නම් තිබුනේ නැහැ. මේ තියෙන්නේ ඒ අයගෙන් මා ලද වීඩියෝ දර්ශන ටිකක්. මේ ටික දාන්නේ සමහර දේවල් විස්තර කරනවාට වඩා බලන්න දෙන එක වටින නිසා.
https://www.youtube.com/watch?v=LelL_TO6vX0&feature=youtu.be

https://www.youtube.com/watch?v=0mBCh03Jqiw&feature=youtu.be


https://www.youtube.com/watch?v=7n4znFYuxb4&feature=youtu.be

https://www.youtube.com/watch?v=idDdb5cGdY0&feature=youtu.be

https://www.youtube.com/watch?v=sNxrX8vUuxw&feature=youtu.be

https://www.youtube.com/watch?v=NKE6tcDvXlc&feature=youtu.be

https://www.youtube.com/watch?v=t5CtFQBZeuo&feature=youtu.be

https://www.youtube.com/watch?v=B2E-puyLW9s&feature=youtu.be

https://www.youtube.com/watch?v=Tk-Zfv0tTF0&feature=youtu.be

https://www.youtube.com/watch?v=0ESmcR96b2I&feature=youtu.be

කුණාටු වලට අහුවෙලා ජීවිත විනාස වෙන හැටි. ඒවායින් පිරිස් බේරගන්න හැටි. දියඹේ ඉඳන් මාලු මරණ හැටි දකින්න ලැබන්නේ කලාතුරකින් නිසා දාන්නම්. හැබැයි මේ අය කොයි කවුද කියල ‍හොයන්න උත්සහ කරන්න එපා...

මගේ ගමන් බිමන් හැත්තෑ හයවන කොටස - දානේ අරන් නාගදීපයට

කාලෙකට කලින් ගිය යාපනේ ගමන ආයෙත් මතක් වුනා. දැන් දැන් යාපනේ ගියපු අය දාන පින්තූර දැක්කාම සහ යාපනේ යන්න යාල් දේවී ගැන දැන්වීම් පලවෙද්දී මටත් කීප පාරක් හිතුනා ආයෙම යාපනේ යන්න. ඒත් රාජකාරී නිසාවෙන් සීමා වුන නිවාඩු එක්ක ටිකක් විතර අමාරු වැඩක් තමා යාපනේ යනවා කියන්නේ. ඒත් ඉතින් සංවර්ධන වැඩපිළිවෙලවල් එක්ක ඉස්සර වගේ තිස් වසරක යුද්ධයේ නටඹුන් ගොඩක් ඒවා දැන් අයින් කරලා. ඒත් 2009 මැයි මාසේ යුද්ධය අවසන් කියන පණිවිඩේ ලැබිලා, 2010 ජුනි මාසේ යාපනේ යන්න ලැබෙන එක ඇවිදින්න දඟලන මම වගේ එකෙකුට මාර දෙයක්.

2010 ජුනි මාසේ පොසෙන් පෝය දවසේ මගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් කොළඹ ඉඳන් යාපනේ යන්න ආරාධනාවක් ලැබුනාම මම එක පයින් කැමති වුනා. ඒත් කැමරාවක් නැතුව යන්න බැරි නිසා යාළුවෙක්ගෙන් දුප්පත් කැමරාවක් අරන් පටන් ගත්තා යාපනේ යන්න. ඉතින් උදේම අම්මයි මමයි යාපනේ යන නඩේ එක්ක එකතු වෙද්දී පට්ට ත්‍රිල් එකක් තමා හිතේ තිබ්බේ. හැබැයි ඉතින් නඩේ මගේ වයසේ එකෙකුට හිටියේ මම ම විතරයි.  කොහොම වුනත් පටන් ගත්තු වෙලේ ඉඳන් පොටෝ ගහන්න නම් පුළුවන් කමක් තිබුනේ නෑ මොකද අනුන්ගේ කැමරාව, පොඩි මෙමරිය නිසා. ඒ නිසා පොටෝ ටිකයි. එහෙනම් මෙන්න කතාව. ටිකක් දිගයි. ඒත් රසවත් වෙයි කියල හිතනවා. ඔයාලගේ අදහසක් පහලින් දාල යන්න.
පාන්දර කොළඹින් පටන් ගත්ත ගමන වව්නියා කිලිනොච්චි මාර්ගයට එද්දී දවල් වුනා. ඒ මාර්ගයේදී අපට දවල් 11 විතර වෙද්දී යුධ හමුදා සෙබලුන් සංවිධානය කල ‍ොසෙන් දන්සැලකින් කෑම ටික ලැබුණා. අපූර්ව මිත්‍රත්වයකින් හෙබි සෙබලුන් අප හා කතා කලේ බොහොම සතුටින්. එතැන ඉඳන් අපි කෙලාන්ම ගියේ ඉරණමඩු ජලාශය බලන්න. කිලිනොච්චි නගරයේ ඉඳන් කිලෝමීටර 8ක් විර ඈතින් තමා තියෙන්නේ. ලංකාවේ තෙවනියට විශාලම ජලාශය වෙච්ච මේ ජලාශය වර්ග සැතපුම් 227ක් විතර වෙනවා. කිලිනොච්චි ජනතාව යල මහ කන්න දෙකම වගා කරන්න ගන්න මේ ජලාශය යුද්ධය නිසාවෙන් විනාශයට පත්වෙලයි තිබුනේ. මම යද්දී විනාශයේ කෙලවරවල් දකින්න තිබුනා. ධාතුසේන රජුගේ නිර්මාණයක් විදිහට සැලකොන මේ ජලාශය ඒ කාලේ නෙම්ඩුව ජලාශය විදිහට තමා හඳුන්වල තියෙන්නේ. කන්කර්යන්කුලම්, මුනියන්කට්ටු, කායන්තේ හා ඉරණමඩු තමා මේ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම ජලාශ වෙන්නේ.
එතැනින් ඉදිරියට ඇදුනේ ත්‍රස්තවාදීන් විසින් බිමදාපු විශාල වතුර ටැංකිය බලන්න. ඒ තැන දුක්කාම අපට තේරුණා ඔවුන් කල විනාශයේ තරම. ඒ වතුර ටැංකියේ විශාලත්වය හා ඒය පුපුරවා දාපු තැන දැක්කාම අපට කොටි ත්‍රස්තවාදය කොයි තරම් අලාභයක් කරලදකියල හොඳින්ම වැටහුනා. එතුන වැඩිවෙලා රැඳෙන්නේ නැතිව අපි කොප්‍රල් ගාමිණී කුලරත්න ස්මාරකය බලන්න පිටත්වුනා.

1987 දී හමුදාවට ලාන්ස් කොප්‍රල් කෙනෙක් විදිහට යුද්ධ හමුදාවට බැඳුන ගාමිණි කුලරත්න සෙබලා 1991 දී අලිමංකඩ සටනදී දිවි පූජා කරනවා. ඒ 600ක් සෙබලු හිටි බංකරය 5000ක් විතර ත්‍රස්තවාදී සේනාවක් වටකරල පහර දෙනවා. සටන උග්‍රවෙලා තියෙද්දී ත්‍රස්තයන් එවන විශාල යුද්ධ ටැංකිය බංකරය තුලට එන්න සූදානම් වෙනවා. ඒක ආවොත් බංකරේ ඉවරයි කියල දැනගත්තු මේ වීර සෙබලා අත්බෝම්බ දෙකක් අරන් යුද්ධ ටැංකියට පැනල ඒක විනාශ කරනවා. ඒ කල දෙය කොයි තරම්ද කියනවානම් ලංකාවේ පළවෙනි වතාවට සෙබලෙකුට ලැබෙන උසස්ම සම්මානය වුන "පරම වීර විභූෂණ" සම්මානය එක්ක ඔහු‍ගේ නිලය කොප්‍රල් දක්වා ඉහල දානවා. නමුත් ඒ සියල්ල ගන්න ඒ වෙද්දී ඔහු මේ ලොකයේ නැහැ. අදත් හසලක ගාමිණී ලෙසින් රටම හඳුනන ඔහුගේ පිලිරුවක් හසලක ප්‍රදේශයේදීත් දකින්න පුළුවන්. 
එතැනින් නල්ලූර් කොවිල බලන්න තමා පිටත් වුනේ. නල්ලූර් කියන්නේ සියවස් කට විතර කලින් උතුරේ හිටි හින්දූන්ගේ ශුද්ධ වූ නගරය. නල්ලූර් කෝවිල හදල තියෙන්නේ කෝට්ටේ රාජධානියේ හිටි 6 වන පැරකුම්බා රජුගේ අප්‍රමාණ සෙන්පති වුන සපුමල් කුමරුවන් විසින්. ඔහු තමා සෙම්බපෙරුමාල් කියන නමින් හඳුන්වලා තයෙන්නේ. ඔහු හදපු මේ කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල විදිහට තමා ප්‍රසිද්ධ වෙන්නේ. එතැනින් හවස් වෙද්දී අපේ එදා ගමනේ අවසානය සනිටුහන් වෙන්නේ නාග විහාරයෙන්. ඒ යාපනය නගරයේ.
1935 දී කඩවැද්දුවේ නන්දාරාම නාහිමියන් විසින් මෙම විහාරය ඉදිකරවල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙහි රෝපණය කරවල තියෙනවා. මෙමගින් උතුරේ විහාරස්ථානවල බෞද්ධ කටයුතු මෙහෙයවා ඇති බවද කියවේ. නමුත් කොටි ත්‍රස්තයන් විසින් 1985දී මෙහි බෝධීන් වහන්සේ හැරෙන්නට අනෙක් සියල්ල බිමට සමතලා කර විනාශ කරල තියෙනවා. නමුත් පසුව හමුදාවෙන් මෙක පිලිසකර කරල බැතිමතුන්ට වන්දනාමාන කරන්න පුළුවන් තත්ත්වය ඇති කරලදීල තියෙනවා. ඉතින් අපිත් මේ විහාරයේම විශ්‍රාමශාලාවේ රැය පහන් කරන්න තොරගත්තා. උදේ පාන්දරම නාගදීපයේ යන්න තමා හිතන් හිටියේත ඒ නිසා වැඩි වෙලා නොගෙන නින්දට ගියා.
උදේම අපි නාගදී‍පයට යන්න පිටත්වුනේ දානයත් සූදානම් කරගෙනමයි. හැබැයි ඉතින් නාගදීපයට යන්න තියෙන්නේ නම් බෝට්ටුවෙන්. බෝට්ටු වලට සෙනග දාන්නේ නියම ප්‍රමාණයට විතරයි. ඒකත් හමුදාවෙන් කරන නිසා අඩු වැඩි නම් නැහැ. ජීවිත ආරක්‍ෂක ඇඳුම් දාගෙන අපූරුවට බෝට්ටුවෙන් නාග දීපේ යන එකත් ජොලි වැඩක්. බෝට්ටුවේ තට්ටු දෙකයි. ඇතුලේ යන අයට අමාරුවෙන් තමා වටපිට බලන්න වෙන්නේ. ඉතින් මෙහෙම නාගදීපයේ තොටුපලට ආව අපි නාගදීපය වන්දනා කරන්න වුනා. දෙවෙනිවර බුදුන් ලංකාවට වැඩම කරවා ඇත්තේ නාගදීපයටයි. එනිසා අප ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් විදිහට අපට නාගදීපය හඳුන්වන්න පුළුවන්. මණිනාග දිවයින, සමුද්‍රනාග දිවයින කියන නම් වලින් හඳන්වපු නාගදීපයේ එදා මහෝදර නම් නා රජ වාසය කලේ යැයි ඉතිහාසයේ කියවේ. කැලණිය රජ කල චූලෝදර නා රජ හා මහෝදර නා රජ අතර මිණිපලඟක් නිසා හටගත් යුද්ධය සංසිඳවීමට දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකක වාසය කල සමිද්ධි සුමන දෙවියන් සමග බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරවා ඇති අතර ඒ සමඟ බුදුන්ට සෙවණ දීමට සමිද්ධි සුමන දෙවියන් කිරිපලු රුකද රැගෙන අ‍ාවේය. පසුව යුද්ධය සමතයකට පත්කර මිණිපලඟ හා කිරිපලුරුක වන්දනා මාන කිරීමට ඉතිරි කර නැවත දෙව්රම් වෙහෙරට වැඩම කරවා ඇත. එම මිණිපලඟ නිධන් කර සෑදූ චෛත්‍යය නාගදීප චෛත්‍යයයි. කිරිපලුරුක අදල පිහිටි නිසාවෙන් රාජායතතන චෛත්‍ය විදිහටත් ප්‍රසිද්ධ වලා තියෙන්නේ මේ චෛත්‍යයමයි. දේවානම්පියතිස්ස, වොහාරතිස්ස, අග්‍රබෝධි හා විජයබාහු ඇතුලු විශාර රජවරු පිරිසක් පසුව මෙම විහාරය ප්‍රතිසංසිකරණය කිරීමට දායක වී ඇත.
එතැනින් නාගපූෂානි කෝවිල බලන්නත් ගියා. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි. ඒත් මේ කොවිගේ නම් පින්තූර මා ගාව නැහැ. එතැනින් ආයෙත් බෝට්ටුවෙන් යාපනේට ආව අපි ජෙනරල් ඩෙන්සිල්  කොබ්බෑකඩුව ඇතුළු පිරිසට බෝම්බ අවා රථය පුපුරවා හැරීම පරීක්‍ෂා කිරීම සඳහා නැවත පුපුරවා හැරි නිදර්ශක රථයක් බලන්න ගියා. ඒ අවට ප්‍රදේශ වලින් ඇතුල් පාරවල් වල නම් යන්න දෙන්නේ නෑ ඒ දවස් වල. මොකද ඒ වෙද්දීත් බිම්බා්ම්බ පිටි සුද්ධ කරල ඉවර නැති නිසා. එතැනින් අපි පිටත් වුනේ ‍ඓතිහාසික කදුරුගොඩ විහාරය බලන්න.
හුණුගම එහෙමත් නැතිනම් චුන්නකාම් කියන ප්‍රදේශයේ තමා මේ විහාරය තියෙන්නේ. බුදුන් නාලදීපයට වැඩි දිනයේ වෙහස නිවාගැනීම සඳහා මෙතැන සිටි බවත් ඉතිහාසයේ කියවේ. තවද කැණීම් වලින් කුඩා ප්‍රමාණයේ දාගැබ් 60ක් පමණ හමුවී ඇති නිසාවෙන් මෙය උතුරුකරයට විශේෂ ස්ථානයක් වී ඇත. මෙහි බුදුන් ධර්මය දේශනා කල ස්ථානය රජ්ජතන නම් චෛත්‍යය ගොඩනගා ඇත. “පුවන්කු දිවයින“ – පුංකුඩුතිව් හි වැඩ වාසය කරන ලද රහතුන් වහන්සේලා හැට නමක් අපවත්වු බවත් එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදි කර ඇති බව ප්‍රවාදයේ පවතින්නෙකි. 1917 කැණීම් සිදු කර මෙම පුරාවෘත්තය තහවුරු කර ඇත. එතැනින් යන්න තිබුනේ දඹකොල පටුනට. එතැනදී තමයි සංඝමිත්තා තෙරණින් වහන්සේ දඹදිවින් වැඩම කල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව දේවානම්පියතිස්ස රජුන්ට බාර කරල තියෙන්නේ. පුරාණයේ "ජම්බුකෝලපට්‌යාන" කියන්නේ මෙරට අනත් රටවල් එක්ක සම්බන්ධ කළ ස්‌වාභාවික වරායක්. ඒ ක්‍රි. පු. 3 වැනි සියවසට පෙර යුගයේ. ස්‌වාභාවික වරායක්‌ වූ ජම්බුකෝලපට්‌යාන එකල භාවිත වූයේ නාවික ගමනාගමන කටයුතු සඳහායි. අවුරුදු දහස්‌ ගණනාවකට පස්සේ වුනත් ඒක ඒ විදිහටම ස්‌වාභාවික වරායක්‌ විදිහට තියෙනවා.
දවසත් ගෙවිල අපේ ගමනත් අවසන් කරන්න අපි අවසාන ගමන දා ගත්තේ කීරමලේ නාන පොකුණ ගාවට. මේ පොකුණට වතුර එනවා කියන්නේ අසලම ප්‍රදේශයේ තියෙන පතුල නොපෙනෙන ලි‍‍ඳෙන්. එය එසේ කියන්නේ එහි පතුලක් සොයැ ගැනීමට නොහැකි වූ නිසාවෙන්මයි. කීරමලේ පොකුණ ස්වභාවයෙන්ම දෙකකට බෙදී ඇති නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවය වෙන වෙනම නෑමට භාවිතා කරනවා. මේ පොකුණෙන් නෑවම ලෙඩ හොඳ වෙන බවත් රූමත් වෙන බවත් ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් නැති අය මේ පොකුණෙන් නාල ලඟ තියෙන කෝවිලට තිහින් ශිව ලිංගය නෑව්වාම දරුපල තියෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. රාවණ ඉතිහිසය සම්බන්ධවත් මෙහි පුරාවෘත නැතවාම නොවෙයි. වැඩිවතුර මුහුදට පිටාර ගලන්න මුහුද ලඟම හදල තියෙන මේ පොකුණු වල වතර ලුණු රස නොමැති බවත් කියවෙනවා. අපේ අයට ගෙදර එන්න ඕන කම තිබ්බ නිසා නගුලේශන් කෝවිලට නම් යන්න පිටත් වුනේ නැහැ. පොසෙන් බලාගෙනම යාපනේ ගමන අවසන් කරල කොලඹට එද්දී නම් තුන්වෙනි දවසත් එලි වුනා.
අපූරු ගමනක් වුනත් පින්තූර ප්‍රමාණය නම් මදි. මෙන්න ඒ තියෙන ටික මෙතැනින්. මදි පාඩුවට පින්තූර ටිකක් මේ තියෙන නම් වලින්ම පොඩ්ඩක් ගූගල් කරල බලන්න. මම හිතන්නේ ඇති ඔයාලට දැක ගන්න පුළුවන් තරමට. 

මගේ ගමන් බිමන් හැත්තෑ පස්වන කොටස - පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව තෙල්වත්ත හංදියෙන් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම අපට තොටගමුව රන්පත් විහාරයේ වාහල්කඩ දකින්න පුළුවන්. කොළඹ ගාල්ල මාර්ගයේ තොටගමුව හංදියේදී චෙත්‍යයක හැඩය ගත්තු නාමපුවරුවක්ද දකින්න පුළුවන්. 1977 දී නිර්මාණය කරන්නට යෙදුනු රාහුල මා හිමියන්ගේ පිළිරුව තමා අපට වාහල්කඩෙන් ඇතුල් වෙද්දීම දකින්න ලැබෙන්නේ. මේ විහාරය හා ඒ අවට ප්‍රද්ශය අතීතයේ සිටම අභය භූමියක් කර තිබූ බවට සාක්‍ෂි ඇත. විහාරය අවට තිබු විශාල භූමිය අද කුඩා ගම් වලට බෙදී ඇති නිසාවෙන් එදා විහාරය සතු ඓතිහාසික වස්තූන් අද ගම් කීපයක් පුරා විසිරි ඇත.
අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන වසර 200ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක්ද මෙහි ඇත. අතීතියේ සිට මේ දක්වා විවිධ නම් වලින් මෙම විහාරය හඳුන්වා ඇත. ඉන් සමහරක් නම් තෙල්වත්ත පන්සල, තොටගමු පුරාණ විහාරය, රජමහා විහාරය, රන්පත් විහාරය, පාත තොටගමු විහාරය, පුරාණ තොටගමු රජමහා රන්පත් විහාරය යන නාමයන්ය. පැරණි රජ දවස මෙහි රහතුන් වැඩ වාසය කල නිසාවෙන් ර(හ)ත්පත් විහාරය ලෙසද හඳුන්වලා තියෙනවා. පහතරට පිහිටි පුරාණ විහාර අතරින් පැරණිම විහාරය වෙන්නෙ මේ තොටගමු විහාරයයි. මෙයට රත්පත් විහාරය ලෙස ආ හැටි ගැන ජනවහරේ මේ වගේත් තියෙනවා. ඒ දඹදිවින් පැමණි ශ්‍රී චන්ද්‍ර භාරතී පඬි විසින් ගුරු පඬුරු වශයෙන් දුන් දඹරන් කැබැල්ලක් පෙළව යට නිධන්ව තිබී සමුවීමෙන් පසුව මෙය රන්පත් විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වූ බවයි.














අතීතයේ මහා විජයබාහු රජතුමා මෙහි පන්සාලින් රියන් දිග ප්‍රාසාදයක් ගොඩනැගූ බවත් iv වන පැරකුම්බා රජ විසින් තිස් රියන් දිග මනහර චිත්‍ර ඇති දීර්ඝ ප්‍රාසාදයක් කරවා විජයබා පිරිවෙණ කරවා සංඝයාට පූජා කල බවත් කියවේ. 8-10 සියවසට එනම් අනුරපුර යුගයට අයත් අක්‍ෂර සහිත ටැම් නාථ දේවාලය අසලින් අපට දැකිය හැක. නමුත් ක්‍රිස්තු වර්ෂ 1588 දී තෝ මේද සෞසාගේ මෙහෙයවීමෙන් මෙම විහාරය ගිණිබත් කර පොලවට සමතලා කලද මේ ගල් ටම් ඉතිරිවී තිබේ. පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර නුවර යුගයට අයත්ය. එනිසා මෙය නුවර යුගයේදී පිලිසකර  කල බැවි සිතිය හැක.










තොටගමුව විහාරයේ ඇති ලංකාවේ වෙනත් කිසිඳු විහාරයක දැකිය නොහැකි තරමේ විශ්ණු ප්‍රතිමාවකද නාථ දෙවිඳුගේ ප්‍රතිමාවක්ද අනංග රූපයක්ද දකින්න පුළුවන්. මෙසේ වටිනා සම්පතක් වුන විහාරස්ථානය කලකට ඉහත තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද ශ්‍රී සුමංගල නාහිමියන්ද වැඩ වාසය කර තිබේ. පොතපතේ හා සංදේශ කාව්‍යයන් බොහෝමක මේ පිළිබඳ තතු සුලකර ඇති අතර ලංකාවේ ඉපැරණි විහාර අතර දකුණු ලක ඇති මෙම විහාරස්ථානයද ප්‍රමුඛස්ථානයක් ගනී.

මගේ ගමන් බිමන් හැත්තෑ හතර වන කොටස - යටගල රජමහා විහාරය

ගාල්ල උණවටුන ප්‍රදේශ‍යෙන් කිලෝමීටර 4ක් විතර හැරිල ගියාම මේ කියන පන්සලට යන්න පුළුවන්. වසර 2300ක් විතර පරණ මේ විහාරයට රජවරු තුන්දෙනෙකුගේ අනුග්‍රහය විවිධ කාල වලදී ලබල තියෙනවා. ඒ නිසා මේ විහාරය අපේ ඉතිහාසයේ විශේෂ තැනක් ගන්නවා.
අනුරාධපුර යුගයේදී දේවානම් පියතිස්ස රජ විසින් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ලංකාවට වැඩම කරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවන් හටගත් ඵලරුහ වහන්සේ නමක් මෙහි වැඩම කරවා ඇත. තවමත් මෙහි ඇත්තේ එම බෝධීන් වහන්සේ බව පිලිගනියි. පසු ‍කලක, එනම් දඹදෙණිය යුගයේදී පරාක්‍රමබාහු රජුන් විසින් ඔහුගේ අමාත්‍ය දේවපතිරාජ සෙනෙවියාට අණ කර රියන් 18ක් දිග සැතපෙන බුද්ද ප්‍රතිමාවක් ලෙණ තුල කරවා ඇත. ගල යට කල විහාරය පසුව යටගල විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. අවසානයේදී නුවර යුගයේ රජකම් කල ලංකාවේ අවසන් රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙය විහාරාධිපති ස්වාමීන් වහන්සේට භාර කරවා ඇත. පසුව බ්‍රිතාන්‍යයන්ගේ සහයයෙන් බෞද්ධ පාසලක් ආරම්භ කරවා ඇත.


බෝධීන් වහන්සේ හා විහාරය අවට ඇති ගල් කුළු නිසාවෙන් අලි ඇතුන් එවකට අපි ඇතුන් බහුල ප්‍රදේශයක පවා මෙම බෝධීන් වන්සේ ආරක්‍ෂා වී ඇත. මෙවන් තැනක බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ අරමුණද එයම විය හැකි යැයි මත පවතී. නමුදු ජනප්‍රවාදයේදී නම් මෙය හුදෙක් බෝධීන් වහන්සේගේම ප්‍රාතිහාර්යයක් බවට විස්වාසයේ පවතී.

සියලු පින්තූර බලන්න...

විහාරගෙය ඇතුලේ ඡායාරූප ගන්න නෙදෙන නිසාවෙන් එහි ඡායාරූප මා ගාව නම් නැහැ.

මගේ ගමන් බිමන් හැත්තෑ තුන්වන කොටස - සාම විහාරය - උණවටුන

කලින් වතාවක මේ සාම විහාර වලින් එකක් ගැන කතා කලා මතක ඇති. ඒ අම්පාරේ තියෙන සාම විහාරය. එතැනදී මේ සාම විහාරය ගැන අතීත විස්තරයක් කලා මතක ඇති. අමතක අය පොඩියක් ගිහින් බලන්නකෝ. අද කියන්නේ උණවටුන ප්‍රදේශයේ තියෙන සාම විහාරය ගැන. මෙතැනට යන හැටි කියන්නම් මුලින්ම. ගාල්ල උණවටුනට ආවම කාටත් හොඳින් දකින්න පුළුවන් දෙයක් තමයි හොලිසිම් සිමෙන්ති ෆැක්ටරිය. එතැනින් ටිකක් යද්දී ගා‍ල්ලේ ඉඳන් යනවනම් දකුණු පැත්තට ‍පාරක් තියෙනවා. ඒ පාරෙන්ම අපට රූමස්සල යන්න පුළුවන්. ඇත්තටම මේ රූමස්සල ප්‍රදේශයේම තමයි සාම විහාරය තියෙන්නේත්.
හරි අපූරු තැනක් විතරක් නෙවෙයි චෙත්‍යය සඳහා ඉහල මලුවක් හා පහල මළුවක් තියෙනවා. ඉහල මළුවේ ඇවිදන් ගියාම හරි අපූරුවට ගාලු කොටුව, වරාය හා බොනවිස්ටා කොරල් පරය සහිත ප්‍රදේශය දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අවට තියෙන නැව් එක්ක මුහුදු තීරය මනරම් අවස්ථාවන් මවනවා. චෙත්‍යය වටා නිර්මිත බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන් නිසාවෙන් හා නි්මාණයේ අපූර්වත්වය නිසාවෙන් මේ සාම විහාරය තුල ඇති චෙත්‍යය විශේෂ තැනක් ගන්නවා.
මුලින්ම මට විහාරගෙය ඇතුලේ ඡායාරූප ගන්න නොදුන්නත් මගේ කර්තව්‍යය කිව්වහම නම් අවසරයක් ලැබුණා. කොහොම වුනත් එහෙම දෙයක් කරන එක සාධාරණයි. මොකද අද කාලයේ විවාහ ඡායාරූප කරන අය මේ තැන් මාකට් කරන්න පටන් අන් තියෙන නිසා. ඒ පිළිබඳ පසුව ලිපියකින් කරුණු ඉදිරිපත් කරන්නම්. නමුත් මෙතැනදීම කියන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි බෞද්ධ සිද්ධස්ථාන වල ඒ ඒ හැම දෙයක්ම බුදුන් හා සම්බන්ධයි. ඒ නිසා අඩුම ගානේ ඒ දේවල් වලට පිටුපාල ඡායාරූප ගන්න එකවත් කරන්න ඒපා.
මේ විතරක් නෙවෙයි එම සාම විහාරයට පාමුලින් දැන් හෝටලයක් පවා ඉදිවෙලා. පන්සල එක්ක හෝටලයක් තියෙද්‍දී හොඳයිද කියල ඔයාලම හිතල බලන්න. මට පුදුමේ මේ වගේ දෙයක් හදනකල් අවසර දෙන තැන ඉඳන් ගොඩ නලනකල්ම මේ දේ වැරදියි කියන්න එක්කෙනෙක්වත් හිටියේ නැද්ද කියන එකයි.


කොහොම වුනත් මෙහි අපූර්වත්වය විඳිමින් වන්දනාමාන කරනන එන්න. බෞද්ධ සිද්ධස්ථාන ජවුසන් නටන්න පාවිච්චි කරන්න නම් එපා. වඳින්නේ නැතිනම් අඩුම ගා‍නේ ඒ තැන් වලට අගෞරව නොකර ඉන්න කියල තමා කියන්න තියෙන්නේ.