මගේ ගමන් බිමන් එකසිය අටවන කොටස - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය

බස්නාහිර පලාතට අයිති වන ඉලුක්ඕවිට ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ලංකාවේ පස්වන උද්භිද උද්‍යානය ලෙස සැලකේ. ලංකාවේ උද්භිද උද්‍යාන පිහිටුවීම පිලිවෙලින් 1821 ඉදිකල පේරාදෙණිය උද්භිද උද්‍යානය, 1861 දී ඉදිකල හග්ගල උද්භිද උද්‍යානය, 1876 ඉදිකල හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, 2013 දී ඉදිකල මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය හා 2015 දී ඉදිකල සීතාවක උද්භිද උද්‍යානය දැක්විය හැකිය.

පුවක්පිටිය තුම්මෝදර ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක උද්භිද උද්‍යානය අක්කර 106ක පමණ භූමි භාගයකට හිමිකම් ලබයි. ඉදිකඩ මූකලාන වන රක්‍ෂිතයට ආසන්නව ඇති මෙම් උද්භිද උද්‍යානය ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටා ඇත. 

බසයෙන් ගමන් ගන්නා කෙනෙකුට අවිස්සාවේල්ල පාදුක්ක 239 ගමන් මාර්ගයේ බසයකින් පාදුක්කේ සිට කිලෝමීටර 17කුත් අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 10කුත් තිබේ. සෑම පැය භාගයකටම වරක් බස් රථයක් මෙම මාර්ගයේ ගමන් කරයි. තමන්ගේම වාහනය පැමිණෙන අයෙකුට පුවක්පිටිය දුම්රිය ස්ථානය ලඟින් හැරී කිලෝමීටර 6ක් පමණ යද්දී උද්භිද උද්‍යානයට ලඟාවිය හැකිය.

උද්‍යානය ආරම්භයේ මූලික පරමාර්ථය වුනේ අභියෝගයට ලක්වුන පහතරට තෙත් කලාපීය වනාන්තර වල තියෙන වෘක්ෂලතා ආදිය අනාගත පරපුර වෙනුවෙන් සංරක්‍ෂණය කරන්න පුළුවන් (විතැන් ශාක සංරක්‍ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කරන එක. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද, දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුළ උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙසත් වැදගත් වෙනු ඇති. පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාල වර්ග‍යේ දෙබඩි පොල්, මීවණ වර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්.



උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා අවුරුද්ද පුරාම විවෘතව පවතින මෙම උද්‍යානය ඇතුලේ බලන්න තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි මීවණ උයන , තර්ජිත ශාක එකතුව, මධ්‍යම තෘණ පිටිය, තේ වගාව, රුක් උයන, මුදුන් උයන, ඖෂධ උයන, රෝස උයන හා තාල ශාක එකතුවයි. මීට අමතරව තණ පිට්ටනියේ ඉඳන් ගිමන් නිවන්නත්, මැද හදල තියෙන ජලාශයේ හංස බෝට්ටු පදින්නත් පුළුවන් නිසා විශාල පිරිසක් මේ උද්‍යානය බලන්න එන්න පුරුදු වෙලා තියෙනවා.

මේ තියෙන්නේ කෙනෙක් මේ උද්‍යානය බලන්න එනවා නම් මිල දර්ශනය. (වෙනස් විය හැකියි)

ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
 
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
 
බැටරි කාර් - පැයක් සඳහා (උද්‍යානය තුල ගමන් කිරීමට)
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
 
බෝට්ටු පැදීමට 
දෙදෙනෙකු සඳහා - රුපියල් 200

වාණිජ කටයුතු සඳහා ඡායාරූප ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් කලින් වෙන්කරගෙන එනවා නම් ගොඩක් ලේසි වෙයි. ඒ විතරක් නෙවෙයි ටිකක් කලින් ඇතුල් වෙන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ අයටෙ 036-379-5295 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්. 

 

1 comment:

  1. ඉතාම ලස්සන උද්භිද උද්‍යානයක්. වටිනා සංචාරක සටහනක් . මගේ යාළුවෙක් ඔහුගේ wediing photography වලට නිතර මේ ස්ථානය තෝරා ගන්නවා.
    විචාරක දියණිය

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!