වනසන වනාන්තර වල වැරදි ගණනයන්

පහුගිය කාලය පුරාවට මගේ අතින් ලිපියක් අකුරු නොකලෙමි. එයට ප්‍රධාන හේතුව අකුරු කිරීමෙන පමණක් පල නැති බව මා දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් මා තුල ඇති "මෝඩයා" මාගේ පාලනයෙන් තොරව නැවත නැවතත් අවදි වන්නේ අකුරු නොකරම බැරි අවස්ථාවන් වලදී පමණක්මය. මේ එවන් අවස්ථාවක් යැයි මා සිතමි.

සිංහරාජය..

මා මෙතැනින් මදක් නවතින්නට සිතමි. ඒ මා සදහන් කල මේ වචනය කාලීන වීමත් මා ද තවත් එක් සංවිධානයක, පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ගැත්තෙක් වී ඇතැයි හංවඩු ගසමින් මේ ලිපිය කියවන ඔබ වෙනුවෙන් එක් දෙයක් සදහන් කිරීමටය. හත කී කිසිදු පාර්ශවයක මා ගැත්තෙකු නොවන බව මා ගැන දන්නා උන් හොදින් දනී. තවද ඔබේ සිතිවිල්ල එතැනින් පටන් ගන්නේ නම් මේ ලිපිය කියවීම හැරුණු කොට ඔබගේ "වටිනා" කාලයෙන් වෙනත් "වටිනා වැඩක්" කරගන්න යන ඉල්ලීම කරමි.

පරිසර පද්ධතියක් විනාෂ නොකරමින් මාර්ග සංවර්ධනය කරන්න යැයි දුන් උපදෙස මා සිත කීරී ගස්සන්ට සමත් විය. තවද වනාන්තරයක් යනු අලි කොටි වලසුන් පමණක් යැයි සිතන සමාජයක් ඇති කල උන්ට සාප නොකරමි. ගැණිය හැකි විශාල සතුන් පමණක් වනාන්තරය යයි සිතන උන්ට මාගේ Facebook පිටුව හා Instagram එක පොඩ්ඩක් බලන්න යැයි ආරාධනා කරමි. මෙම සබැදියන් දෙකෙහිම ඔබ දකින්නා වූ බොහෝමයක් පින්තූර සෙන්ටිමීටරයට අඩු සතුන්ගේ හා ශාක කොටස්ය. සමහර සතෙකු ඔබ කිසි දිනෙක පියවි ඇසින් දැක නැති බව නම් මා හට විශ්වාසය. ලංකාවේ බිලාල පවුලේ සියලු වර්ග එකතු කලද කුඩා සතුන්ගේ එක් පවුලකවත් සතුන් වර්ග ගණනට සමකල නොහැකි වන්නේය. 

උදාහරණ වශයෙන් මා කවදත් ඡායාරූපකරණයට ප්‍රිය කල මකුලුවන් වර්ග ගණන මේ වසර වන විට 590 කට ආසන්නය. එයින් 390කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවේණිකය. මේ එක් උදාහරණයක් පමණකි. සිංහරාජ භූමියේ පමණක් ඇති ශාක, ලයිකන වර්ග ප්‍රමාණය හා සතුන් ප්‍රමාණය පිළිබද හාංකවිසියක්වත් නොදන්නා උන් පිරිස් පිටින් පැමිණ කුඩා සතුන් ශාක ප්‍රමාණය චප්ප කරන ආකාරය කැමරාකරුවන් අපූරුවට ප්‍රචාරය කරන අයුරු මා දුටිමි.

පහුගිය කාලය පුරාම සත්ත්ව නිදර්ශක රට පැටවූ උන් අත්අඩංගුවට ගත් ප්‍රවෘත්ති පිලිබදව ඔය ඇවිද "නිරීක්‍ෂණය" කල උන් නොදන්නවා විය හැකිය. නමුත් ඒ නිදර්ශක වලින් සිදු කරන්නා වූ පරීක්‍ෂණ වල ප්‍රතිඵල අප ඒ රටවල් වලින් මිලදී ගන්නේ කොමිස් මුදල් වලින්ද පරිපූර්ණව ය. 

ඩෝසර් කර අවසානය වන විට විනාශ පළමුව විනාශ වන්නේ කුඩා සතුන් හා ශාක කොටස් ඇති පරිසර පද්ධතිය ය. එය විනාශ ව බව පවා නොපෙනෙන තරම්ය. සිංහරාජය මැදින් පස් රතයක් දමන බව ද මා ඇසූවෙමි. එයින් පිටවන දුම ලයිකන හා කුඩා සංවේදී ශාක කොටස් කොයි තරම් විනාශ කරනු ඇත් දැයි සිතීම පවා බියකරුය. කොලරොඩු ටික දිරාපත් කරන බැක්ටීරියා ටික මැරෙද්දී කුඩා සතුන් ටික මැරෙද්දී සිංහරාජය මැද පාරට ගද දැනෙන්නට පටන් ගනු ඇත. වාහන වල ගමන් ගන්නා දියුණු වූ ගම්වැසියන්ට එය මදි පුංචිකමක් වනු ඇත. ගද නැති කර ඉල්ලා ගම් වැසියන් උද්ගොෂණ කරනු ඇත ඒ දිනයේ දීද පරිසරවේදීන් වැරදිකරුවන් වනු ඇත. කෘතීම රසායණික භාවිතා කර ගද නැති කරනු ඇත. එවිට ඉතිරි කඩා සතුන් ද මි යනු ඇත. එය ආහාර දාමයේ එක් පුරුකක් බිද දැමීමක් වනු ඇත. 

අඩුම ගණනේ හයේ පන්තියේ වාඩි වී සිටය එකෙකු නම් ඉහත අවසාන වාක්‍යය කියවූ පසු හීන් දාඩිය දමනු නිසැකය.

එය ආරම්භයක් පමණක් වනු ඇත. වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වූ පරිසර පද්ධතියක් විනාශ කරන්න යන්නේ එක් දිනයක් පමණක්ය. නමුත් ඒ වෙනුවෙන් නැවත පරිසර පද්ධතිය ඇති කිරීමට වසර දහස් ගණනක් ගතවනු ඇත. 

මීට වසර ගණනකට පෙර මා ද මෝටර් බයිසිකලයක නැගී දෙනියායේ සිට ලංකාගමටත් එයින් නෙලුවට හා නෙලුවෙන් නැවත නෙලුව දෙනියාය ප්‍රධාන මාර්ගය ඔස්සේ දෙනියායටත් ගමන් කර ඇත්තෙමි. මා හා එහි ගිය මා මිතුරන් සමග ඒ අවස්ථාවේ දීත් මා කියා සිටියේ මේ ගම්මානය නැවත පදිංචි කල යුතු ය කියාය. ව්‍යාපෘතියේ කොමිස් මුදල් තියෙන අවස්ථාවේ දී තෙල්දෙණිය නතරය ඉවත් කල හැකි වූ වා නම් කොමිස් ගැන නොසිතන්නේ නම් මෙම ග්‍රාමය ඉවත් කිරීම සදහා තීරණ ගැනීම කිරි කජුය.
 
ඒ සියල්ල අවසානයේ ලංකාගමට පාරක් හැදීමෙන් ලැබෙන ආර්ථික වාසියක් නැත. ගම්මානය ප්‍රසාරණය වී දැනට ඇති පවුල් 188ක ප්‍රමාණය 400ක් වීම කෙටි කාලයකින් සිදු වනු ඇත. එවිට ලංකාවේ සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන් සදහා තවත් එක් සංචාරක පුරවරයක් ඇති වනු ඇත.නමුත් පරිසරයට ආදරය කරන්නා වූ සංචාරකයන් ඒ අතර නොමැති වේවි. 

ලංකාවේ තෙත වනාන්තර වල ඇවිදිමින් ඒ ගස්කොල වැලදගන්නා විදේශිකයන් මා දැක ඇත්තෙමි. ඒ ඇයිදැයි ඔවුන්ගෙන් විමසද්දී තෙත් වනාන්තර නොදැකපු වයස 50ක් වන පුද්ගලයන් ද ඒ අතර සිටියේය. ඔවුන් ඒ ගහ කොල වැලද ගන්නේ කිසිදා නොදැකපු තමන්ට හුස්ම දුන් ගහකොලට කරන ගෞරවයක් වශයෙන් බව ඇසීම එදත් අදත් මා නෙතට කදුලක් උනන්නට සැලැස්වීය. 

කෙසේ හෝ වේවා මතු දිනෙක ඔබේත් මගේත් දරුපරපුර ද එකී විදෙශිකයා සේ හැසිරෙනු ඇත. නමුත් ඒ මාගේ අපූර්ව රට තුල නොව වෙනත් රටක තෙත් වනාන්තරයක ගස් සිඹිමින්ය. එදිනට මේ ලිපිය කියවූ ඔබත් ලියූ මමත් නොදිරා වියළී ගිය ශරීර පමණක්ම වනු ඇත.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!