මගේ ගමන් බිමන් එකසිය දහසයවන කොටස - වලපනේ

ආයුබෝවන් හැමෝටම.. කාලෙකට පස්සේ ලිපියක් ලියන්න වගේම ගමනක් යන්න ලැබුනේ කොරෝනා නිසා ඇතිවුන බලපෑම නිසා. නමුත් දැන් දැන් ටිකෙන් ටික කොරෝනා බලපෑම අඩුවෙන නිසාත් අපිටත් ගෙවල් වල ඇතිවුන නිසාත් ආයෙමත් ඇවිදින්න හිතාගත්තා. මේ විදිහට පටන් ගත්ත ගමනක් ගැන විස්තරයක්.

කාලයක් තිස්සේ සැළසුම් කල කිසිම ගමනක් යන්න වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. අපි හැමදාම සැලසුම් කල ගමන් අභාවයට ගියේ සිතිවිල්ල එක්කමයි. කාලෙක ඉඳන් එකට එකතුවෙලා ගමන් බිමන් ගිය මගේ ගමන් සගයන් අවසානයේදීඋඹ අපිව එක්කන් යනවද නැද්ද?” කියල අහන තරමට ආව. ඉතින් අපේ මිතුරෙක් කලින් රාජකාරි කල වලපනේ පැත්තෙ ඇවිදින්න තීරණය කලේ රටේ තියෙන වසංගතය ටිකක් අඩු ගම්බද නිදහසේ ඉන්න පුලුවන් පළාතක් වුන නිසයි. සතියක් වගේ ඇතුලත සැලසුම් කල ගමන සඳහා කට්ටියම එකතු වෙන්න තීරණය කලේ මහනුවර නගරයට

ගමන යොදාගෙන තිබුණේ පෙබරවාරි මාසේ අන්තිම සතියේ දින තුනක නිවාඩුවට. සිකුරාදා උදේ 9.00 වෙද්දී මහනුවරට එකතු වුන වැඩිහිටියෝ 7 දෙනෙක් සහ මගේ මිතුරෙකුගේ පුංචි එකත් හිටියා. මහනුවර ඉඳන් රන්දෙණිගල මාර්ගයේ ඇවිත් කන්දේ හන්දියෙන් හරවල හඟුරන්කෙත රිකිල්ලගස්කඩ හරහා පදියපලැල්ලට ආව. පදියපැලැල්ලේ බස් නැවතුම ලඟින් දවල් කෑම පැකට් කරල ගත්තේ කාලය ඉතිරි කරන්න සහ අපි මන්දාරම්නුවර කොළපතන ඇල්ල බලල එතැන ඉඳන් කමු කියන තීරණයක් තිබුන නිසා. පදියපැලැල්ලෙන් එලමලේ හන්දියෙන් හැරිල කිලෝමීටර 11 ආවම මන්දාරම්නුවර. මන්දාරම්නුවරට බස් රථයේ යන අතරෙ දෙපස ඇති සුන්දරත්වය විඳිනනත් අමතක කලේ නැහැ. මාර්ගය දෙපස හෙල්මලු ක්‍රමයෙන් වගා කරන කුඹුරු සකස් කරල තිබුනා. දින කීපයක් ඇතුලත වගා කරන ස්වභාවයකින් තිබුණු කුඹුරු සහ මේ වන විටත් වගාවන් ආරම්භ කරපු කුඹුරු අතර තිබුනා

මන්දාරම්නුවර කියන නම හැදෙන්නේ මේ ගමන වෙනත් ගම් වලට පසුව හිරු නැගීම සහ වෙනත් ගම් වලට කලින් හිරු බැසීමත් සිදුවන නිසා. මෙහෙම වෙන්න හේතුව මේ ගම තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි කඳු වළල්ලක් මැද පතුලේ වීම. මන්දාරම් නුවර කියන්නේ මහ විශාල ඉතිහාස කතාවක් කඳු පන්තියක් ඇතුලේ හංගගෙන ඉන්න තැනක්.

මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කවි පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා රජවරු 8 දෙනෙක් ගැන මේ කව් පොතේ තොරතුරු විස්තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 කාලයක් උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ. මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්ෂිත ස්ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක් එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික් ආදී සියලු ධනයද රැගෙනය. මහනුවර යුද්ධයක් නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්තඃපුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික් ගෙනැවිත් ආරක්ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය. නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්ථානයක් හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.

මන්දාරම්නුවරින් බසයේ ගමන අවසන් කල අපි එතැන ඉඳන් කොළපතන ඇත්ත ගාවට ගමන තිබුනේ පයින්. කාලයකට කලින් නම් නොයිඳුල් ගම්නමානයක් විදිහට තිබුනත් දැන් දැන් නම් නාගරීකරණයේ ලකුණු සෑහෙන්න තියෙනවා.

කිලෝමීටර තුනකට ආසන්න දුරක් පයින් ගමන් කරන්න තිබුනත් ප්‍රවේශපත්‍ර ලබාගන්නා ස්ථානයට තිබුන කිලෝමීටර දෙකක විතර දුර ගියාට පස්සේ බෑග්, කෑම වගේ දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. විතරක් නෙවෙයි එතැනින් ඇතුලේ දිය ඇල්ලෙන් එන ජල පාරවල් වල නාන්න හෝ බහින්න තහනම්

 “රජකාලෙ දි, මල්සරා කියල දේවියක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල, කොළපතන ඇල්ල කියල ව්‍යවහාරයට එක්වුනා කියල කියනවා. අපූර්ව සුන්දරත්වයක් තියෙන ඇල්ල කොටස් කීපයක් විදිහට දුරින් බලන්න පුළුවන්. දිය ඇල්ල පාමුලට යනකම් ඇවිදගෙන යන්න පුලුවන් උනත් දිය ඇල්ලේ සැබෑ ලස්සන දකින්න නම් ටිකක් ඈත ඉඳන් බලන්න ඕන කියල එකයි මගේ නම් හැඟීම. ක්‍රමයෙන් හිරු බහිද්දී දිය ඇල්ල මත කඳු පන්තියේ සෙවනැල්ල වෙනස් වන හැටි බලාගෙන පැය ගානක් ගත කරන්න පුලුවන්. තම් ලස්සනක් තියෙන දිය ඇල්ලක් තමයි කොළපතන ඇල්ල.

අපේ ගමන සවස් වරුවක සිදු වුන නිසාත් මන්දාරම් නුවර මේ දිය ඇල්ල විතරක් බලන්න ගියා වුනත් මන්දාරම් නුවර කියන්නෙ දවස් දෙක තුනක් නැවතිල ඇවිදින්න තරම් දේවල් තියෙන තැනක්. කබරගල ඇල්ල, ඇතිනිවල ඇල්ල, පෙයාර්ස් ගොවිපල, කොඩි ආර ගල, කොල්ලන්ගල, බෙර ගහන ඇල්ල, මොරපාය රජමහා විහාරය, වඩුවේවල, වැල්ලගිරි විහාරය කියන්නේ මේ බලන්න තියෙන දේවල් වලින් ටිකක් විතරයි. අපේ කණ්ඩායමේ ස්වභාවය වගේ ගමන් වලට සුදුසු නොවන නිසා අපේ ගමන කොළපතන ඇල්ලේ අවසන් කරන්න අපට සිදුවුනා. පළමු රාත්‍රි ගත කරන්න තියෙන නිල්දණ්ඩාහින්න ගම්මානයට කිලෝමීටර 37ක් විතර අපි යා යුතුව තිබුන නිසා වේගවත් ගමනකින් අපි මන්දාරම් නුවර බස් නැවතුමට ආව. අවසන් බසයෙන් නැවතත් පදියපැලැල්ලට ගියත් පෝය දවසක් වුන නිසා එතැනින් නිල්දණ්ඩාහින්නට හෝ වලපනේ නගරයට බසයක් තිබුනේ නැහැ. නිසා එතැනින් වාහනයක් කුලියට ගන්න වුනා. නිසා බසයකට වඩා ඉක්මනින්න නවාතැන ලඟට එන්න පුලුවන් වුනා. මාගේ මිතුරාගේ දැන හැඳුනුම්කම මත සොයාගත්ත නවාතැන අපිට නිදහසේ ඉන්න පුලුවන් තැනක් වීම කාගෙත් සතුටට කාරණයක්

කාලෙකින් හමුවුන මිතුරන්ගෙ කයි කතන්ද වලින් රාත්‍රි ගෙවපු අපි නින්දට යන්න සූදානම් වෙද්දී පෝය දවසේ හඳ, අහසේ තරු ඔක්කොම වගේ සඟවලා තිබුනා. දවසේ මහන්සියත් එක්ක නින්දට වැටුන අපි දෙවැනි දවස ආරම්භ කලේ මගේ මිතුරාගේ මිතුරා නිසා සොයාගත්ත වාහනයකින්. නිල්දණ්ඩාහින්නෙන් උදෑසන ආහාරය ගත්ත අපි සැලසුමේ හැටියට කුරුඳු ඔය ඇල්ල බලන්න පිටත් වුනා

ලංකාවේ පිලිගත් වාර්තා අනුව තෙවැනියට උසම ඇල්ල විදිහට හඳුන්වන්නේ කුරුඳු ඔයෙන් පෝෂණය වන කුරුඳු ඔය ඇල්ලයි. මීටර 206ක් උස මේ දිය ඇල්ල පිදුරුතලාගල කඳුවැටියේ උතුරු බෑවුමෙන් කඩා හැලෙනවා. වලපනේ නගරයෙන් හරගම පාරේ ඇවිත් බ්රම්ලි වතුයාය පැත්තට හරවල ආවාම දිය ඇල්ල පැත්තට යන පාරට එන්න පුලුවන්. මේ පාරවල් වල එන්න නම් සඳහා සුදුසු වාහනයක් තොරගන්න එක නම් වටිනවා. තේ වතු මැදින් තියෙන පාරවල් නිසා සාමාන් වාහනයක නම් යන්න අමාරුයි. අපි ගිය වෑන් රථයේ රියදුරු බොහෝම ප්‍රවේශමෙන් පදවගෙන ආවත් කීප තැනකින් පාර අහගෙන තමා අපි වාහනයට යන්න පුලුවන් උපරිමය යා හැකි මාර්ගයක් සොයා ගත්තේ. වාහනය නවතපු තැන ඉඳන් කිලෝමීටර දෙක තුනක් පයින් යන්න තියෙනවා. වාහනය නවතපු ගැනට පේන කන්දෙන් සම්පූර්ණයෙන් වැහිල තිබුන දිය ඇල්ල ටිකෙන් ටික කඳු මුදුනට එද්දී පේන්න ගන්නවා. මතුරට ඇල්ල යන නමින් ද හැඳින්වෙන මෙම දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසින් පිහිටා තිබෙනවා.
දිය ඇල්ලෙ සුන්දරත්වය විඳ ගත්ත අපි ඊලඟට ආවේ වලපනේ ජපන් සාම විහාරය බලන්න. 1885-1985 කාලයේ ජීවත්වුන නිචිදට්සු ෆුජි (Nichidatsu Fuji) කියන බෞද්ධ භික්‍ෂුව විසින් නිපොන්සන් යෝහෝජි (Nipponzan Myohoji) කියන නිකාය ආරම්භ කරනවා. පසුව උන්වහන්සේ 1931දී මහත්මා ගාන්ධි හමුවීමත් සමඟ ලොව පුරා සාමය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ 1947 දී සාම විහාර නිර්මාණය කරමින්. සාම විහාර, මහායාන බුදුදහමේ සම්ප්‍රදායට ‍බෝධිය, ස්තූපය හා විහාර ගෙය යන නිර්මාණ ඇතුලත්ව ගොඩනගල තියෙනවා. වසර 2000 වෙද්දී ලොව පුරා සාම විහාර 80ක් ඉදිවෙලා තියෙනවා. අපේ පුංචි ලංකාවේ විතරක් සාම විහාර 5ක් තියෙනවා. ඒ අම්පාර, ගාල්ල, ශ්‍රී පාදය, බණ්ඩාරවෙල හා වලප‍නේ යන ප්‍රදේශ වල. එයින් අම්පාර සාම විහාරය සහ ගාල්ල උණවටුන ප්‍රදේශයේ තියෙන සාම විහාරය ගැන මම ලිපි ලියල තියෙනවා.

නගර මැද සිට සැතපුම් භාගයක පමණ දුරින් පිහිටි මිල්ලපිටිය ගම්මානයේ ලස්සන කඳු ගැටයක් මත ජපන් ගෘහ නිර්මාණ ශිල්පය පෙරදැරි කරගත් මෙම විහාරය වර්ෂ 1983 ඉදි කරන ලදී. ප්‍රධාන මාර්ගයේ සිට දීර්ඝ පඩි පෙලකින් මේ විහාරයට යන්න පුලුවන් වුනත් අපි වාහනයකින් පන්සල ලඟටම යන්න පුලුවන් මාර්ගය තමා අපි තෝරගත්තේ. කෙනෙක්ට පඩිපෙල් මාර්ගය තෝර ගන්නවා නම් දෙන්න තියෙන උපදෙස තමයි රිලවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියන එක.

විහාරය සාම විහාර සම්ප්‍රදාය පෙන්නුම් කරනවා වගේම පැදකුණු කරන්න තට්ටු වශයෙන් තියෙන මලු තුනක් තියෙනවා. අපි යන වෙලාව වෙද්දී නම් විහරගෙන වහලයි තිබුනේ. හරි හැටි නඩත්තුවක් නැති බැතිමතුන්ගෙන් අඩු විහාරයක් හැටියට පෙනෙන මෙම චෛතයය පිටුපසින් පෙනෙන කඳු සමඟ අපූරු දර්ශනයක් මවනවා.

එතැනින් පිටවුන අපේ අරමුණ වුනේ නිල්දණ්ඩාහින්නෙන් දිවා ආහාරය අරගෙන ගොලුමලේ දිය පාර පැත්තට යන එකයි. යටිමාදුර ප්‍රදේශයේ පිහිටා තියෙන මේ ස්ථානය බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක මායිමේ පිහිටලා තියෙනවා. මේ ප්‍රදේශයට ඒ නම ලැබෙන්නේ ගඟ මැද තියෙන ස්වභාවික ලිඳකට වැටිලා අනිත් පැත්තෙන් තියෙන කවුලුවකින් මෙම වතුර එලියට එන නිසා. නමුත් ගඟේ වතුර වැඩි කාලයේදී මෙම සිදුවීම බලන්න බැහැ. දිය පාර දිගේ එන අලි ගම් වැදීම වලක්වන්න අලි වැටත කියෙනවා. දිය පහරේ යන කවුරුත් මේ අලි වැට යටින් රිංගලා තමයි යන්න ඕන. පෙන බුබුලු ගංවමින් ගල් මතින් ඇදෙන ජල පහර විශාල ගලින් සැදුණු බේදමක් වැනි ලිඳට වැටී අනෙක් පස ඇති සොරොව්වෙන් එන බවයි කියන්නේ. මෙම ගං පතුලේ මෙවැනි තැන් විශාල ප්‍රමාණයක් තිබෙන බවයි පැවසෙන්නේ. ගොලුමලේ දිය පහරින් නිදහසේ නා ගෙන එද්දි නම් ඇවිදපු මහන්සිය කොහෙන් ගියාද කියල හිතා ගන්න බැරි තරම් වුනා.

දවස ඇතුලේ ඇවිදින්න තිබුණු සියලුම තැන් වල ඇවිද්ද අපි නවාතැනට ආවේ හිතේ සතුටයි, සැප නිද්දක අවශ්‍යතාවයයි එක්ක. කට්ටියට තිබුන රාජකාරි එක්ක ඊලඟ දවසේ කල් ඇතුව ගෙවල් වලට යන බලාපොරොත්තුවත් තිබුනත් මගේ හිතේ තිබුණේ සැළසුමේ හැටියට තිබුන හරස්බැද්ද පුංචි ලෝකාන්තය බලන්න යන එක. ඒ එක්කම උදේ ඉර පායන හැටි බලන්නත් පින්තූර ගන්න ආසාවත් එක්ක පාන්දර ඉර පායන්න කලින් ගිහින් හරස්බැද්ද පුංචි ලෝකානතය බලන්න තීරණය කලා. අපි එකක් ගිය කීප දෙනෙක්ම ඒක යන්න බෑ මහන්සියි කීවත් තුන්දෙනෙක් එක්ක පාන්දර 4.00ට කන්ද නගින්න තීරණය කලා.

නවාතැනේ ඉඳන් හරස්බැද්දෙ පුංචි ලෝකාන්තයට කිලෝමීටර 3.5 ක් 4ක් විතර තිබුනා උනත් සීග්‍ර නැග්මක් එක්ක තිබුන නිසා සෑහෙන්න හෙමින් තමයි අපේ ගමන සිද්ධ වුනේ. මහන්සියට වඩා අවසානය ගැන හිතපු නිසාම වෙන්න ඇති ඉර පායන්න කලින් අපි එතැනට ලඟා වුනා. මේ කඳු මුදුනට ආවාම නිලදණ්ඩහින්න, යටිමාදුර, උඩමාදුර, උඩපුස්සැල්ලාව පැහැදිලිව දැකගත හැකි අතර ඉතා ඈතින් පිටමාරුව පුංචි ලෝකාන්තය පිහිටි ප්‍රදේශයත් ලුනුගල, මඩොල්සිම, නාරංගල සහ නමුනුකල කදුවැටියත් පැහැදිලිව දැකබලා ගන්න පුලුවන්.

 

තව පින්තූර බලන්න මෙතැනින්..

ඉර පායනකන් පින්තූර සහ වීඩියෝ කර ගත්ත අපි ඉක්මනින්ම පහලට බැස්සෙ ආයෙත් ගම රට බලා යා යුතු නිසා. මූලිකව වලපනේ ආව කෙනෙකුට බලන්න තියෙන ලේසි තැන්ටික බලපු අපි නිලදණ්ඩහින්නෙන් කාල නුවරට එන්න පිටත් උනා. එතැනින් ඉතින් විසිර යා තමයි.

1 comment:

  1. මමත් ආය පාරක් කියවනවා
    පොඩි මෙන්ඩාටත දෙනවා

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!