අම්මාගේ හඬ ගෑම....

"අන්න ඔයාගේ යාලු කටුස්සා ඇවිත්... "

ඒ අපේ අම්මාගේ හඬයි. මා එදෙසට දුවගියේ කටුස්සා සාමාන්‍ය ලෙස ඇවිද ගියා නම් අම්මාගේ හඬගෑමක් සිදු නොවන බැවිනි. 

අපේ අම්මාට අනුව අපේ ගෙවත්තේ මා හට අයිති සතුන් ගණනාවක් වෙති. එයට කුරුල්ලන්, උරගයින්, උභය ජීවීන්, කෘමීන් ලෙස වෙනසක් නොවේ. "ඒ පොඩි පුතාගේ යාලු කටුස්සා" යැයි දින කීපයක පෙර තාත්තාට කටුස්සෙකු හඳුන්වා දෙනු කටුස්සා ද පෙර කී කටුස්සා ම බව මා හට වැටහිණි. අම්මාගේ හඬගෑම සරල බව අම්මා කියූවද මා දුර තියාම කටුස්සාගේ අමුත්තක් දුටුවෙමි. 

"ගෙම්බෙක්ද කොහේද අල්ලගෙන අම්මේ..." යැයි මා කියූ පසු අම්මාද මදක් විපරිමින් කටුස්සා ගිය දෙස බලන්නට විය. මඩුව අස්සට ගිය කටුස්සා සොයා යන්නේ ද නැද්ද යැයි මා සිතන්නට විය.

"ඉතින් දුවල ගිහින් කැමරාව අරන් එන්න" ඒ අම්මාගේ යෝජනාවයි.

අම්මාගේ යෝජනාව නිසාම කටුස්සා ගිය දෙස නැවත වරක් විපරම් කරන්නට වීමි. මා වැරදි බව පෙන්නමින් කටුස්සාගේ කටේ ගෙම්බෙකු වෙනුවට පණ ගැහෙමින් සිටින දුඹුරු පැහැති පොදුවේ පලා පෙත්තන් ලෙස හඳින්වෙන සත්වයෙකු සිරවී සිටිනු දුටිමි. කැමරාවේ අඩුපාඩු හේතුවෙන් කැමරාව ඇල්ලීමට තරම් ප්‍රියතාවයක් මා වෙත නොවුන ද අම්මා‌ගේ කීම නිසාම කැමරාව ගෙන ඒමට ගෙතුලට දිව ගියෙමි.

.........

කලකට පෙර අම්මාට සහ තාත්තාට අනුව කැමරාව යකඩ කෑල්ලකි. එය රැගෙන වත්ත පුරා කරක් ගැසීම මදුරැවන් ලවා කවා ගැනීමට මා දරණ උත්සාහයක් පමණක් ම විය. පළමු සම්මාන සහතිකය වත්තේ සිටි සතෙකුගේ ඡායාරූපයක් නිසා නොලැබෙන්නට අදත් අපේ අම්මාට කැමරාව යනු යකඩ කෑල්ලකි. පුදුමය නම් අද අම්මා ම සතෙකු දුටු විට කැමරාව ගෙන එන්න යැයි යෝජනා කිරීමයි. 

........

කටුස්සා සැගවී සිටින තැන සොයා ගත් මා මඩුවේ මකුලු දැල් අතරින් රිංගා ගොස් කටුස්සාගේ ඡායාරූපයක් ලබා ගත්තේ එම සිදුවීම වාර්තා කර තබා ගැනීමේ අටියෙනි. පසුව සිදුවීමේ ඡායාරූපමය වැදගත්කමක් ඇතැයි සිතෙන කෝණයක් සොයා විපරම් කර කටුස්සාගේ ආහාරයට බාධා නොවන ලෙස ඡායාරූප කීපයක් ලබා ගතිමි. අහෝ ඛේදයකි ෆ්ලෑෂරය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා ක්‍රියාකාරී ඡායාරූපයක් මඟ හැරී ගියේය. සතුටු විය හැකි ඡායාරූප කීපයක් කැමරාවේ සටහන් කරගෙන නැවත ගෙතුලට ඇදුනේ සිදුවීම පෙන්වා දුන් අමාමට පින්තූරය පෙන්වීමටයි. 

කැමරාව වැඩ කරන වෙලාවේ තවත් පින්තූර දෙක තුනක් ගන්න ඕන යැයි සිතමින් නැවතත් ගෙවත්තේ ඇවිදින්නට වීමි. කුඩා කෘමීන් දෙතුන් දෙනෙක් ඡායාරූපයට නගාගත්තද කැමරාවේ සීමාවන් නිසා සිතේ මැවෙන්නා වූ ඡායාරූප සටහන් කරගැනීමට නොහැකි නිසා ඇතිවුන සිතිවිලි බිඳුනේ "මදුරුවෝ කවා ගන්නේ නැතිව දිගකලිසමක් ෂර්ට් එකක් දාගෙන යනවා" යැයි සිදු කෙරුනු තාත්තාගේ විධානයෙනි. එය නැවතත් නිවසට ගොඩවීමට තරම් ප්‍රමාණවත් විය.

වත්ත පුරා සිටින සතුන්‌ගේ විශේෂත්වයක් ඇතැයි සිදුන හැම විටම අම්මා හෝ තාත්තා මා වෙන එම සතුන් ගැන විස්තර කියයි. සතෙකු විෂ හෝ විෂ නැතුවා වේවා දැන් දැන් අමාම වුනත් සතෙකුට පහර දෙනු මා දැක නැත්තෙමි. අම්මා විසින් බත් කවා ඇති කරන හූනන් දෙතුන් දෙනෙකුගේ ක්‍රියාකාරකම් විනෝදයෙන් පවසන්නේ උන් හොඳින් හඳුනන පරිද්දෙනි. 

ටික දිනකට පෙර මැල්ලුමක් සඳහා කතුරුමුරුංගා අත්තක් කඩාගෙන ආ අම්මා ඉන් ඉත්තක් කාමරයට රැගෙන ආවේ "මොකෙක්ගෙද බිත්තර වගයක් මේකේ තියෙනවා" කියාගෙනය. සමනල් බිත්තර වන්නට ඇති කියමින් මා එම ඉත්ත ගෙන බැලුවෙමි. එහි අලුත බිත්තර වලින් එලියට ආ කුරුමිණි විශේෂයක් සිටියේය. 

දැන් දැන් අම්මාගේ හඩගෑම් ප්‍රයෝජනවත් වන බව මා දනිමි. විටෙක අමුතු හැඩේ කුරුමිණියෙක් ඉන්නවා යැයි ද අන්න අමුතු සතෙක් ඉන්නවා යැයි ද තවත් වරක අන්න ඔයාගේ පණුවෝ ටික මගේ ගස් කාල යැයි චෝදනාවන්ගෙන් ද එම හඬගෑම් සමන්විත වේ. නමුත් මේ සියලු දේ අතරම එම එම සතුන්ගේ ප්‍රයෝජන ගැන මාගෙන් ලැබෙන විස්තරයද අම්මා අසාගෙන සිටින්නීය. එම නිසාම ඒ ඒ සතුන්ගේ ජීවිත ආරක්‍ෂා වන්නේය. මිරිස් පැල ටික කන ගොලුබෙල්ලාත් කතුරුමුරුංගා පැල ටිකේ කොල සියල්ල කා දමන තෘණ පීත සමනලුන්ගේ දළඹුවනුත් තවමත් අම්මා යුද්ධ ප්‍රකාශ කරන අයවලුන්ය.

මේ ටික අකුරු කර දැමූ පසු අම්මා කියවා "ඔයා ඒකත් ලියල දැම්මා දැයි අසනු නිසැකය. කෙසේ වෙතත් ආයෙත් දවසක මට අයිති යැයි අම්මාගේ සම්මතයේ ඇති සතෙකු ඇස ගැටුනු විට අම්මාගේ හඬගෑම ඇසෙනු ඇත. එතෙක් අඩෙවියේ ඇවිද ලිපි කියවන්නට ආරාධනා කරමින් මා නවතිමි.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!