මගේ ගමන් බිමන් එකසිය දහහත්වන කොටස - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අලුත් ගමනක් යන්න ලැබුනා. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ආයේ කවදා ඇවිදින්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා කවදත් මාත් එක්ක ඇවිදින අයත් එක්ක ඇවිදින්න යන්න තීරණය කලා. මේ වතාවේ මිතුරෙක්ගේ මාර්ගයෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බලන්න යන්න අවස්ථාවක් ලැබුනා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාමාන්‍ය ජනතාවට වහල තිබුන බලාගාරය දැන් ආයෙත් විවෘත වෙලා. නමුත් කලාන්ට වඩා ආරක්‍ෂාව නම් තද කරලයි කියලයි මට නම් හිතුනේ. 

කවදත් වගේ මගේ ගමන පටන්ගත්තේ කොලඹ කොටුවෙන්. පැය ගණනාවකට පස්සේ පුත්තලමින් බැස්ස අපි තවත් මිතුරෙකුගේ උදව්වෙන් නවාතැනක් වෙන් කරගෙනයි තිබුනේ. ඒ නවාතැනට ඇවිත් කෑමත් කාල කට්ටිය එක්ක මුලින්ම ගියේ පුත්තලම් කලපුවේ තියෙන සුලං බලාගාර ටික බලන්න. ඔව් අර කලපුව වටේට තියෙන කැරකෙන රූං පෙති ටික. කිලෝමීටර තුනක් විතර තිබුන නිසාත් ඒ පාරවල් වල බස් එකක් යන්නේ නැති නිසාත් අපි පයින්ම තමා ඒවා බලන්න යන්න තීරණය කලේ. කැමරාව අසනීපෙන් හිටිය නිසා හරි හැටි පින්තූර ගන්න නොලැබුනත් ලැබෙන පොඩි පොඩි අවස්ථාවල ගත්ත පින්තූර ටිකක් තියෙනවා. 

පුත්තලම් කලපුව වටේ පයින් යන එකත් වෙනම විනෝදයක් තියෙන වැඩක්. මිනිස්සුන්ගේ ජන ජීවිතය, සංස්කෘතිය වගේ දේවල් තේරුම් ගන්න දකින්න ඒ තරම් ව්‍යායාමයක් තමත් කොයින්ද? පයින්ම අපි ආවේ පුත්තලම් කලපුව වටේ තියෙන එක සුලං විදුලි බලාගාර පද්ධතියක් ලඟට. ඒතමයි සෙගුවන්තිව් මේ සුලං බලාගාරය 2010 ඉඳන් අපේ විදුලි පද්ධතියට මෙගා වොට් 10ක් ලබා දෙනවා.ඒ විතරක් නෙවෙයි ඊටත් ටිකක් ඈතට වෙන්න තවත් මේ ප්‍රමාණයේම සුලං බලාගාරයක් තියෙනවා. ඒ තමයි විඩතමුණේ සුලං බලාගාරය. වසර පුරාම සුලං ආකාරය හදුනාගෙන ස්ථාපනය කරපු මේ බලාගාරය සඳහා 2010 වර්ෂයේ දී Outstanding Leadership in Introducing Technologyකියල ජනාධිපති සම්මානයක් පවා ලැබිල තියෙනවා. මේ බලාගාරය තියෙන තැන ඉදන් පුත්තලම් කලපුව පැත්ත බැලුවාම කලපුවේ අනිත් ඉවුරේ ලක්විජය බලාගාරය වැජඹෙනව දකින්න පුලුවන්. මහා වීරයෙක් රටක් එලිය කරද්දි අපිත් පුලුවන් හැටියට උදව් කරන්නම් කියන් වගේ කලපුව වටේ තියෙන සුලං විදුලි බලාගාර ඒ දිහාව බලං ඉන්නව කියලයි මම නම් හිතන්නේ.
 


මේ සුලං විදුලි බලාගාරය බලන්න යන පාර, ඒකට කියන්නේ ලේක් ෂෝර් වීදිය කියල, මෙන්න මේ වීදියේ තවත් අපූරු ස්ථානයක් තියෙනවා බලන්න. ඒ තමයි පැරණි ප්‍රදීපාගාරයක්. අත්හරින ලද මේ ප්‍රදීපාගාරය පහලින් කාලයකට කලින් පැටියත් තිබිල තියෙනවා. නමුත් කාලත් එක්ක දැන් ඒක නම් විනාශ වෙලා. නමුත් පුත්තලම් කලපුව සහ සෙගුවන්තිව් ප්‍රදේශය හොඳින් බලන්න නම් මේ ප්‍රදීපාාරයට නැග්ගම පුලුවන්. දැන් නම් අත්හැරීම නිසාම විනාශ මුඛයට ඇදිල යන මේ ස්ථානයත් හොඳින් නඩත්තු කලා නම් සංචාරක ආකර්ශණයක් ගන්න පුලුවන් තැනක්. මේ ප්‍රදේශයේ මිනිස්සු මත්‍ය කර්මාන්තය සිදු කරන නිසා නිතරම මේ අවට ධීවර බෝට්ටු සහ ධීවර ජනතාව දකින්න පුලුවන්. බොහෝම නිශ්ෂබ්ද සහ වැඩි තදබදයක් නැති වීදියක් වුන ලේක් ෂෝර් වීදිය ඇවිද යන්න නම් හරිම අපූරුයි.
 


එදා දවසේ මහන්සියත් එක්ක වුනත් කඩේ ගිහින් බඩු ටිකක් අරගෙන උයන කෙනාට දීල අපි ටිකක් මහන්සි ඇරියේ උදේ පාන්දර ඉදන් පටන් ගත්ත ගමන සෑහෙන ප්‍රමාණයක් ශරීර මහන්සියක් ඇති කල නිසා. රෑ වෙද්දී නොරොච්චෝලේ වැඩ කරන අපේ මිත්‍රයත් වැඩ අවසන් වෙලා අපිත් එක්ක රෑ කෑමට එකතු වුනා. කාලෙකින් හමුවුන යාලුවත් එක්ක රෑ වෙනකන් කතා කලේ බලාගාරේ සහ එහි ජීවිතය ගැන. එයාගේ අත්දැකීම් එක්ක හැඩවුන රාත්‍රිය නින්දෙන් අවසන් වෙද්දි පාන්දර එක විතර වුනා.

අපේ දෙවැනි දවස මුලින්ම බලන්න යන්න තීරණය වුනේ ලක්විජය බලාගාරය. අපේ නවාතැනේ ඉඳන් කිලෝමීටර 30ක් විතර තිබුන බලාගාරේ බලන්න කල්පිටිය බස් එකෙන් ගිහින් ඉතිරිය පා ගමනින් තමයි. බලාගාරේ බලන්න යන පාර දෙපැත්තේම විවිධ වගාවන් කරල තිබුනා. ඒ අතර බීට් රූට් පවා සකස් කරල තිබුන. කොහොම වුනත් ලංකාවේ ඇතුලේ කෘෂිකර්මාන්තය විශේෂයෙන් මේ වගේ වියලි ප්‍රදේශයක සිදු කිරීම අපූරු වැඩක්. බලාගාරයේ පලවෙනි දොරටුව ගාව ඉඳන් අපේ මිත්‍රයාට කතා කරල ඇතුලට ගියා. 

ලක්විජය බලාගාරය ආරම්භ වෙන්න මුලින්ම අඩිතාලම් දාන්නේ 2006 මැයි මාසෙදි. 2011 මාර්තු මාසෙ වෙද්දි පලමු අදියර වශයෙන් මෙගාවොට් 300ක් ජාතික විදුලි පද්ධතියට දෙන්න මේ ගල් අගුරුබලාගාරය පටන් ගන්නව. 2011 වර්ෂයේ දී වාර්ෂික විදුලි නිශ්පාදනය වුන ටෙරා වොට් 11.5 කින් 1.7ක්ම මෙම බලාගාරයෙන් තමයි නිෂ්පාදනය කරල තියෙන්නේ. දැන් මෙම බලාගාරයෙන් මෙගාවොට් 900ක් නිෂ්පාදනය කරනවා. ඒ අපේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 45% කට ආසන්න ප්‍රමාණයක දායකත්වයක් දෙන්නේ ලක්විජය බලාගාරයෙන්. 

මුලින්ම කියන්නම් මෙම බලාගාරය පුත්තලමේ නාරක්කලිය කියන මේ ප්‍රදේශයේ හැදුවේ ඇයි කියල කියන්නම්. එයින් එක හේතුවක් මේ අක්කර 300ක පමණ භූමියක් ජනතාවගෙන් අඩු ප්‍රදේශයක් වීමේ අවශ්‍යතාවය නාරකක්කල්ලිය ප්‍රදේශය සැපිරීම. දෙවැනි හේතුව තමයි මේ බලාගාරය ඇතුලේ තියෙන්නේ හුමාලයෙන් කරකැවෙන ටර්බයින් වීම නිසා විශාල ජල අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ අවශයතාවය මුහුදු ජලයෙන් සපයා ගන්න පුලුවන් නිසා මෙම ප්‍රදේශය බලාගාරය සඳහා සුදුසු ප්‍රදේශයක් විදිහට හඳුනගන්නවා.

මේ බලාගාරයේ මැෂින් තුනක් වැඩ කරනවා. ඉතින් ඒ මැෂින් එකක් සඳහා පොම්ප දෙකක් බැගින් වෙන්න පොම්ප හයකින් මුහුදු ජලය බලාගාරය ඇතුලට ගන්නවා. ඒ ආසන්න වශයෙන් පැයට ඝණ අඩි 58000ක් විතර එක මැෂින් එකකට විදිහට එයින් ඝණ අඩි 3000ක් විතර හුමාලය හදන්න, බලාගාරයේ වැඩ කරන්න ආදිය සිදු කරන්න පිරිසිදු කරල භාවිතයට ගන්නවා. ඉතිරි ඝණ අඩි 55000ම ගන්නේ හුමාලය ඝණීභවනය කරන්න. ඒ ජලය පිරිසිදු කිරීමක් කරන්නේ නෑ. රොඩු අයින් කලා, ටයිටේනියම් බට හරහා අරන් හුමාලය සිසිලනය කරල ආයෙමත් මුහුදටම නිදහස් කරනවා. මේ ජලය මුහුදට යවන්න කලින් වැඩ දෙකක් කරනවා. එකක් ඒක පරිසරයට අහිතකර නොවන ආකාරයෙන් සකස් කිරීම. මොකද විශාල උශ්ණත්වයකට රත් වෙලා සිසිල් වෙද්දී මුහුදු ජලයේ සංයුතිය වෙනස් වෙනවා. අනිත් දේ තමයි එයට අවශ්‍ය ඔක්සිජන් එකතු කිරීම සහ පරිසරයට සුදුසු උශ්ණත්ව යාමනයකට ඉඩ හැරීම. ඒ සඳහා ජලය තුලට වාතය පොම්ප කරනවා. මේ දෙකම සිදු කරන ලද ජලය තමයි මුහුදට මුදාහරින්නේ.
 
බලාගාරය සඳහා අවශ්‍ය  ගල් අඟුරු මේ වෙනකොට ගන්නේ දකුණු අප්‍රිකාවෙන්. දකුණු අප්‍රිකාවෙන් නැව් වල පටවල ගේන ගල් අඟුරු නැව මුහුදේ මුහුදු හැතැප්ම 5ක් විතර ඈතින් නවත්තල එතැන ඉදන් Barge boats කියන බෝට්ටු වල පටවල බලාගාරයේ කෙලවරක හදල තියෙන ජැටියට ගේනව. ජැටියෙදී ක්‍රේන් හතරක් භාවිතා කරල ඒ ගල් අඟුරු පුනීලයක්වගේ තියෙන සයිලර් එකකට දානවා. ඒකෙන් බලාගාරය ඇතුලේ ගබඩාවන්ට යන වාහක පටි එහෙම නැත්තම් කන්වේයර් බෙල්ට්  එකකට දානව. සාමාන්‍යයෙන් එක නැවතින් ටොන් 63000ක් විතර වරකට අරන් එනව. පුත්තලම් කලපුව අවට මුහුද ගැඹුර අඩු නිසා තමයි නැව මුහුද මැද නවත්තල බෝට්ටු වලින් ගල් අඟුරු අරන් එන්නේ. මේ වැඩේ සාමාන්‍යයෙන් මාස හයක් තිස්සේ කරනවා. ඒ වලාලේ කාලයේ දී. මොකද වාරකන් වලට මුහුද කැළඹෙන නිසා ඊට කලින් වර්ෂයක් බලාගාරය ක්‍රියාත්මක කරන්න ඕන කරන ගල් අඟුරු ගෙනත් ගබඩා කර ගන්නවා.

මේ ගේන ගල් අඟුරු මුලින්ම ගොඩ ගහල තියල තියෙනවා. ඒ තැනට හුලඟ ඇවිත් ගල් අඟුරු කුඩු ප්‍රදේශය පුරා විසිරෙන එක වලක්වන්න විශේෂ උපක්‍රම දෙකක් භාවිතා කරල තියෙනවා. එකක් තමයි ඉතා උස වැඩක් සකස් කරල හුලඟ මුවා කරන එක. දෙවැනි එක ඒ වැටට ඉහලින් කුඩා නල පද්ධතියක් භාවිතා කරල පැය විසිහතර පුරාවට ජලය ඉසිනවා. ඒ මගින් තෙත්වල අගුරු කුඩු නැවතත් ගබඩා සංකීර්ණය ඇතුලටම වැටෙනවා. ඊට පස්සේ ආයෙමත් කන්වේයර් බෙල්ට් මගින් මෙම අඟුරු අඹරා ගැනීම සඳහා ඒ අදාල පර්යන්නතය යවනවා. එතැනින් පස්සේ සිහින් කුඩක් විදිහට මේ අඟුරු අඹරා ගැනීමට ලක්කරනවා.
බලාගාරය ඇතුලේ බොයිලේරු තුනක් වැඩ කරනවා. මේ බොයිලේරු ඇතුලේ ගල් අඟුරු දහනය කරනවා. ඒ දහනයෙන් උපදින තාපය බොයිලේරුව වටේට ඔතල තියෙන බට ඇතුලෙන් දුවන ජලය රත් කරල හුමාලය බවට පත් කරනවා. මේ බොයිලේරු ඇතුලට ගල් අඟුරු දාන්නේ කුඩු කරල පවුඩර් එකක් විදිහට හදල ඒක බොයිලේරුව ඇතුලට විදීම මගින්. බොයිලේරුව වටේ යන බට පද්ධතිය ඇතුලේ වැඩි පීඩනයක් තියාගෙන කාර්යක්‍ෂමව හුමාලය හදනවා. ආසන්න වශයෙන් බොයිලේරු එකක් පැයකට ගල්අඟුරු ටොන් 114ක් විතර දහනය කරනවා. දහනයෙන් පස්සේ ඉතිරිවෙන අළු ඉහලින් (Fly Ash) ටොන් 10ක් විතරත් පහලින් (Bottom Ash) ටොන් 5ක් විදිහටත් එකතු කරගන්නවා. ඉහලින් එකතුවෙන අළු සිමෙන්ති නිශ්පාදනය, සහ වහලවල් සෙවිලි කරන ෂිට් හදන්නත්, පහලින් එකතුවෙන අළු බ්ලොග් ගල් සහ පාරවල් හදන්න භාවිතා කරනවා.බලාගාරය නැති කාලයේ දී සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය මෙම අළු ඉන්දියාවෙන් තමයි ලංකාවට ආනයනය කරල තියෙන්නේ. 
බොයිලේරු ඇතුලේ හැදෙන හුමාලය ටර්බයින් එකකට යවල ඒ මගින් විදුලිය නිෂ්පාදනය කර ගන්න එක තමා කරන්නේ. මේ අධික උෂ්ණත්වයක් එක්ක එන හුමාලය නිසා ටර්බයින් එක රත්වෙලා විනාශ වෙන එක වලක්වන්න ටර්බයින් එක හයිඩ්‍රජන් වල ගිල්වල සිසිල් කරනවා. ඒ සඳහා ඕන කරන හයිඩ්‍රජන් ගන්නේ මුහුදු ජලය ඛණිජ හරණයෙන් පිරිසිදු කරල ගන්න ජලය විද්‍යුත් විච්ඡේදනය කරලයි. මේ ටර්බයින් වල පිටත ඇති ආවරණය හයිඩ්‍රජන් පිට වෙන එක වලක්වන්න යොදාගෙන තියෙන්නේ ද්‍රව මුද්‍රාවක් ඇති ආවරණයක්. එහි ඇති තෙල් නිසා හයිඩ්‍රජන් එලියට එන එක වලක්වනවා.
මේ තියෙන සියලු උපකරණ දිහා බලාගෙන ඉන්න Distribution Control System එකක් තියෙනවා. ඒ මගින් පැය 24 පුරාවට මේ ක්‍රියාකාරකම් දිහා බලාගෙනයි ඉන්නේ. කොටින්ම කියනවා නම් බොයිලේරුව ඇතුලෙත් කැමරාවක් දාල ඒකත් හරියට පත්තු වෙනවාද කියල බලනවා. යම් තැනක මොනව හරි අඩුවක් වැරැද්දක් වෙනවා නම් ඉක්මනින්ම අදාල වරද හදන්න යුහුසුලුව වැඩ කරන්න ඒ ඇතුලේ ඉන්න ඉංජිනේරුවන් වගේම අනිත් සේවකයොත් වග බලා ගන්නවා. 

ඒ විතරක් නෙවෙයි ඒ බලාගාරය තුලට සහ ඉන් පිටතට යන හැම දෙයක්ම පරිසරයට හිතකර ද අහිතකරද කියල විමසිල්ලෙන් ඉන්න වෙනමම රසායානාගාරයක් පවා තියෙනවා. ඒ මගින් පිටවෙන අළු, ජලය විතරක් නෙවෙයි දහනය කරන්න ගන්න අඟුරු පවා පරීක්‍ෂාවට ලක් කරනවා. අඩි පනහක් හැටක් උස චිමිනි වලින් ඇහැට පේන්න නම් කිසිම අංශුවක් පිට වෙන්නේ නෑ.අපි හිටපු කාලයටම දැක්කේ හුමාලය පිටවෙන තැනක් විතරමයි.

මේ බලාගාරය තියෙන භූමිය ඇතුලේ ඩීසල් ලීටර් 2000000ක් විතර ගබඩා කරල තියන්න පුලුවන් ටැංකි තියෙනවා. ගල් අඟුරු වලින් පණ ගැන්වෙන බලාගාරයක් වුනත් මේ තියෙන මැෂින් එකක් නැවැත්තුවොත් ඒක ආයේ පණගන්වන්න ඕන කරන මූලික දහනවය සිදු කරන්න ඩීසල් ඕන කරනවා. ආසන්න වශයෙන් ඩීසල් ලීටර් 120000ක් විතර ඕන නවත්තල ආයෙ ආරම්භ කරන්න. ඒ නිසා මැෂින් තුනම පැය 24ම වැඩකරනවා. යම් කිසි නඩත්තුවක් සඳහා හෝ විශේෂ හේතුවක් නැත්තම් මේ එකක්වත් නවතින්නේ නැහැ.

මේ සියල්ල බලල ඉවර වෙනකන් මාගේ මිත්‍රයාත් මිත්‍රයෙකුගේ මිත්‍රයෙකුත් යන දෙන්නෙක්ම උදව් කලා. ඒ නිසාමද කොහේද අපි පැය දෙකක් ඉන්න ඕන තැන පැය හතරක් විතර ඉඳලා. වැඩේ අවසන් වෙද්දී මිත්‍රයා ගානේ දවල් කෑමත් හම්බුනා. 
මේ ඔක්කොම බලල ආයෙත් පාරට ඇවිත් කල්පිටියට ගියේ කල්පිටිය කොටුව බලන්න හිතාගෙන. හැබැයි ඉතින් නාවික හමුදාවට භාර කරල ඒක ප්‍රතිසංකරණ කටයුතු සිදුවෙන නිසා ඒක බලන්න යන්න දෙන්න බෑ කිව්ව. ඉතින් අපිට ආපහු හැරෙන්න වුනේ හිතේ කනස්සල්ලකින්. අවසානයේ නවාතැනට ආව අපි හවස හිරු බහින හැටි බලාගෙන රෑ වෙනකන් පුත්තලම් කලපුව අයිනේ පුටුවක වාඩි වුනා. මිත්‍රයොත් එක්ක ගෙවුන අපූරු තවත් ගමනක අවසානයත් සිහිල් සුලං ජීවිතේ මතකයනුත් එක්ක අපි කලුවර වැටෙද්දී ආයෙත් නවාතැනේ. අන්තිම දවසේ මූන්නේශ්වරම් කෝවිලත් බලලම අපි අපේ ගෙවල් බලා පිටත් වුනා.
මූන්නේශ්වරම් කෝවිල

පුත්තලමෙදී වුන සමහර දේවල් නම් කියන්න කණුගාටුයි. පිටස්තරයෙක් විදිහට ගිහින් පුත්තලමින් බඩු ගන්න නම් යන්න එපා. කඩ වල හිටි ගොඩක් අය කතා කලේ දෙමලෙන්. අපි සිංහලෙන් විතරක් කතා කල නිසා උන් හැම බඩුවක්ම උන්ට හිතෙන හැටියට කීයකින් හරි වැඩි කලා. උන් නොදන්නව වුනාට අවුරුදු හතරක් තිස්සේ අම්පාරේ දෙමල මුස්ලිම් අය හිටි තැනක හිටි මට ඒ දේවල් තේරුම් ගන්න අමාරු වුනේ නෑ. අපි හැමදාමත් නොයන නිසාත් මේ වෙලාවේ රටේ හැමෝම කරදරයෙන් හිටි නිසාත් මොකුත් නොකියා ආවට යම්කිසි කෙනෙක් පුත්තම් යනවා නම් එහෙන් බඩු ගනිද්දි මිල සඳහන් නොකල ඇසුරුම් නොකල දෙයක් නම් ගන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ඒ වැඩේම බස් වලත් කරනවා. ටිකට් නොදී වැඩිපුර සල්ලි ගන්නවා. පුංචි ගානක් වෙනුවෙන් රණ්ඩු කරනවා වෙනුවට රටේ කාටත් දැනගන්න ලියන්න හොඳ අත්දැකීමක් ලැබුනා.
 
 
ආයෙමත් දවසක කොහේ හරි ඇවිදින්න යන්න බලාගෙන මේ ගමන ගැන මතක සටහන මෙතැනින් නිමා කරන්නම්.


10 comments:

  1. අගෙයි ලිපිය - දිදුලන රූ ඊට අගෙයි
    කතා කරයි - රහසෙම විස්තරත් කියයි
    පන්හිඳ වගෙම කැමරාවත් එකතු වෙලයි
    නොරොච්චලෙට එක්ක ගීයට ස්තුතියි!

    ReplyDelete
  2. අපේ අජිත් ධර්මකීර්ති මහත්තයලා වැඩ කරන න්‍යෂ්ටික බලාගාර එක්ක බලද්දී මේවා සෙල්ලම් බඩු වගේ.

    අනික ඔය කබල හැමදාම කැඩිලානේ තියෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් නැතිව කියමු කියන දෙයක්

      Delete
  3. මුන් කැරියෝ ලයිට් කපනවා, මම එහෙම ගියා නං මුළු නොරච්චෝලේටම පුකේ ඇරලා එන්නේ

    ReplyDelete
    Replies
    1. ඕකම ඇනෝනිමස් නැතිව කියමු

      Delete
  4. අගේ ඇති විස්තර ටික...

    ReplyDelete
  5. ඇනෝ ආවේ මෙම බ්ලොග් අඩවියේ හිමිකරු අප සොයාගෙන මරා දැමීමට ඉඩ ඇති නිසා.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!